මොරගොඩ කළු පාලම කඩිනමින් පිළිසකර කර දෙන්න | සිළුමිණ

මොරගොඩ කළු පාලම කඩිනමින් පිළිසකර කර දෙන්න

බෙන්තොට සිට මහ ඌරගහ දක්වා දිවෙන මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති කළු ගල් ඇළ හරහා ඉදි කොට ඇති කළු ගල් පාලම මේ වන විට බොහෝ අබලන් තත්ත්වයක පවතී. ඇල්පිටිය මාර්ගයේ ඇති පරප්පුව ඇළ මාර්ගය ඔස්සේ ගලා විත් කරදිය වේල්ල හරහා බෙන්තොට ගඟ දක්වා මෙම ඇළ මාර්ගය ගලා යයි.

දිනපතා ලංගම හා පෞද්ගලික බස් රථ කීපයක්ම ධාවනය කෙරෙන නිසා විශාල පිරිසකට අලුත්ගමට හා මහ ඌරගහට යෑමට සිදු වී ඇත්තේ මෙම මාර්ගය ඔස්සේය. මේ වන විට මෙම පාලම බෙහෙවින්ම අබලන් වී කොන්ක්‍රීට් තට්ටුව පමණක් නොව එහි කණුද ඉරිතලා පුපුරා ගොස් තිබේ. එම නිසා පාලම කුමන මොහොතක හෝ කඩා වැටීමට ආසන්නව ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මේ පාලමේ ප්‍රධාන පදනම් බැමි දෙක ගිලා බැස ඇති අතර ඒවායේ බදාම පතුරු ගැල වී ගල් කුට්ටි පවා ගැලවෙන තත්ත්වයක් උද්ගතව පවතී. පාලමේ ප්‍රධාන කොන්ක්‍රීට් තට්ටුවේ යට පැත්තේ ඉරි තැළීම් හා පුපුරා යෑම් දැක ගන්නට ඇත. පාලම මත මහා මාර්ගයේද එවැනිම කඩතොළු පවතී. මීට වසර කීපයකට පෙර මේ මාර්ගය අලුත්වැඩියා කළේ කෝටි ගණනක් මුදල් වැය කරමිනි. බෙන්තොට සිට මහ ඌරගහ දක්වා මාර්ගය එසේ පිළිසකර කෙරුණද මේ පුංචි පාලම වෙනුවට නව පාලමක් ඉදි කිරීමේ අවශ්‍යතාව බලධාරීන්ට අමතක වී ඇතැයිද ප්‍ර දේශවාසින් පෙන්වා දෙති. එම නිසා වගකිවයුතු බලධරයනි දිනපතා දහස් ගණනක් දෙනා ගමන් කරන එම පාලමෙන් විශාල අනතුරකට අත වනන හෙයින් පාලම කඩිනමින් පිළිසකර කර දෙන මෙන් ඉල්ලා සිටිමු.

 

Comments