වෙසක් දිනය ජාත්‍ය­න්තර නිවාඩු දින­යක් වූ වගයි | Page 3 | සිළුමිණ

වෙසක් දිනය ජාත්‍ය­න්තර නිවාඩු දින­යක් වූ වගයි

කුරු­නෑ­ගොඩ පිය­තිස්ස නායක හිමි­යන් වෙසක් දිනය  ජාත්‍ය­න්තර නිවාඩු දින­යක් කරන ලෙස යෝජ­නාව බිල් ක්ලින්ටන්ට  ඉදි­රි­පත් කළ අව­ස්ථාව

 

බුද්ධාගම ලෝක ආගමක් ලෙස පිළිගෙන තිබෙන නමුදු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අනෙක් ලෝක ආගම් වලට තිබෙන පිළිගැනිම බුද්ධාගමට ලැබුණේ නැත. මේ කරුණ ගැන නැවත නැවතත් මෙනෙහි කළ එවකට නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති වූ කුරුණෑගොඩ පියතිස්ස නායක හිමිපාණන් වහන්සේ වෙසක් පෝය දිනය සමස්ත ලෝකයේම නිවාඩු දිනයක් බවට පත්කිරීම කෙසේ හෝ කළ යුතුය යන අධිෂ්ඨානයෙන් යුතුව ඒ පිළිබඳ යෝජනාව පළමුවෙන්ම “නිව්යෝර්ක් බෞද්ධ කවුන්සලය” වෙත ඉදිරිපත් කළහ.

 

1974 සිට 1981 දක්වා ලන්ඩන් බෞද්ධ විහාරයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ කුරුණෑගොඩ පියතිස්ස හිමිප‍ාණේ 1981 දී නිව්යෝර්ක් නගරය වෙත වැඩම කළේය. ඒ අමෙරිකානු ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් කරන ලද ආරාධනය අනුවය. ඒ අනුව ඇමෙරිකාවට වැඩම කළ පියතිස්ස හිමිපාණෝ නිව්යෝර්ක් බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකොට 2019 ඔක්තෝබර් 11 දින අපවත්වන තෙක්ම එහි අධිපතිවරයා ලෙස කටයුතු කළහ.

අමෙරිකානු බෞද්ධ සම්මේලනයේ උපසභාපති වූ උන්වහන්සේ නිව්යෝර්ක් බෞද්ධ කවුන්සිලයේ සභාපති වූහ. වෙසක් පෝය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරගැනීම පිළිබඳව උන්වහන්සේ තුළ පැවැති බලවත් අභිප්‍රාය ඉටුකර ගැනීමට මේ හොඳම අවස්ථාව ලෙස කල්පනා කළ පියතිස්ස හිමියෝ “වෙසක් පෝය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කළ යුතුය” යන යෝජනාව නිව්යෝර්ක් බෞද්ධ කවුන්සිලය වෙත ඉදිරිපත් කළහ. එහිදී එම යෝජනාව ඒකඡන්දයෙන් සම්මත විය. අනතුරුව නිව්යෝර්ක් බෞද්ධ කවුන්සලය මඟින් එම යෝජනාව එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් වූ බෲටෝස් බෲටෝස් ගාලි වෙත ඉදිරිපත් කරන ලදී. ඒ සමඟම එම යෝජනාව අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා වෙතද, නිව්යෝර්ක් ආණ්ඩුකාරතුමන් වෙතද ඉදිරිත් කළේය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ නියෝජිතන් ද මේ පිළිබඳව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලදී. බිල් ක්ලින්ටන්ට මෙම යෝජනාව ඉදිරිපත් කළේ පියතිස්ස හිමි 1998 දී ධවල මන්දිරයේදි එතුමා හමුවූ අවස්ථාවේදීය.

එහෙත් ටික දිනකින්ම ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමත් දක්නට නොලැබුණ නිසා පියතිස්ස හිමි ඊළඟට කළේ එම වසරේ ලංකාවේ පැවැති ලෝක බෞද්ධ සම්මේලනයේ දී “වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කළ යුතුය” යන යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතුබව යෝජනා කිරීමයි. එම සම්මේලනයේදි එහි වූ පළමුවන යෝජනාව වූ මෙය එයට සහභාගි වූ සියලු නියෝජිතයන්ගේ මහත් කැමැත්තෙන් සම්මත විය. ඉන්පසුව ඒ පිළිබඳව කරුණු දැන ගැනීමට එවකට බුද්ධ ශාසන අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් ජයකොඩි පියතිස්ස හිමියන් හමුවී සාකච්ඡා කොට ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් ඊළඟ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන විට වෙසක් දින යෝජනාව ගැන සිය දේශනයේදී සඳහන් කළේය.

එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කළ ජෝන් ද සේරම් සමඟ පියතිස්ස හිමියන් පැවැත්වූ නිරන්තර සබඳතා අනුව ඒ මහතා ලවා “වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශ කළ යුතුය” යන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරවීය. රටවල් 34ක අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළ එම යෝජනාව එක්සත් ජාතීන් විසින් ඒකඡන්දයෙන් සම්මත කරනු ලැබීය.

ආචාර්ය කුරු­ණෑ­ගොඩ 
පිය­තිස්ස නායක හිමි­පා­ණන්  

එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු ආගමික නිවාඩු 10න් 8ක් ක්‍රිස්තියානි, කතෝලික හා යුදෙව් ආගමික නිවාඩු දින වෙනුවෙන් ද 2ක් ඉස්ලාමීය ආගමික නිවාඩු දින වෙනුවෙන් ද වෙන්ව ඇති නිසා වෙසක් දිනය ලෝකයේ උත්සව පවත්වන දිනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්තේය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු නිල වෙසක් උත්සවය 2000 මැයි 15 වෙනි දින පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ “ඩැග් හැමර්ෂල්” අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැති එම ප්‍රථම නිල වෙසක් උත්සවයේ විශේෂ ආරාධිත දේශනය පවත්වන ලද්දේ පූජ්‍ය “භික්ඛු බෝධි” ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේට ඒ සඳහා ආරාධනා කළේ පියතිස්ස හිමියන්ය. මෙම සමුළුවට විශේෂ පණිවුඩයක් නිකුත් කළ එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වූ “කොපි අනන් මහතා” “බුදුරජාණන් වහන්සේගේ සාම පණිවුඩය අද එදාටත් වඩා, වැදගත් වන බව” සඳහන් කොට ඇත. එසේම “බුදුන් වහන්සේගේ උතුම් ආචාර ධර්මය සහ මානව හිතවාදි ඉගැන්වීම් වසර 2500 කට වැඩි කලකට පසුවත් දස ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිත පිවිතුරු කරන්නාවූ සජීවි අධ්‍යාත්මික සම්ප්‍රදායකට ප්‍රභවය දුන්නේය. අද ලොව බොදුනුවෝ බුදුන් වහන්සේ මානව වර්ගයා වෙත දායාද කළ දයානුකම්පාව අවබෝධය සහ අන්‍යොන්‍ය ගෞරවය පිළිබඳ පණිවුඩය තුටු සිතින් සිහිපත් කරති.” යනුවෙන් ද සඳහන් කොට ඇත.

 

Comments