- මුලින්ම මට ලොකු මුදලක් ලැබුණේ ආසියානු කුසලානයට සම්බන්ධ වෙන්න මැලේසියාවට ගිය ටුවර් එකට. ඒ සල්ලි මම එහෙමම අම්මට දුන්නා. එතකොට මම ඉස්කෝලේ යනවා
- පෙම්වතිය සයුනි හැම පැත්තකින්ම මට උදවු කරනවා. දැන්ම විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැහැ. ක්‍රිකට් වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕනේ, සයුනිත් ඒක තේරුම් අරගෙන මට ඒකට උදවු කරනවා
- එදා පළමු වතාවට කෝලි වගේ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න පිට්ටනියට ගියේ ලොකු පීඩනයකින්. හැබැයි ටිකින් ටික ලකුණු ගන්නකොට කලින් තිබ්බ පීඩනය අඩු වුණා
- මගේ තාත්තා මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කළේ වඩු වැඩ කරලා හොයන සල්ලිවලින් කියලා කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ
මගේ අම්මා ගෙදර වැඩ බලාගෙන අපිට උදවු කරගෙන ජීවත් වෙද්දී මගේ තාත්තා වඩු වැඩ කරලා තමයි අපිව ජීවත් කෙරෙවුවේ. මම පවුලේ බාලයා, මට ඉන්නේ අයියලා දෙන්නෙක්. මගේ තාත්තා මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කළේ වඩු වැඩ කරලා හොයන සල්ලිවලින් කියලා කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ…”
ඒ වදන් නුවනිඳු ප්‍රනාන්දුගේ ය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වූ මේ කෝඩුකාරයා ඉන්දීය සංචාරයේදී එක්දින පිටිය පිත්තෙන් වර්ණවත් කළේය. එනිසාම ඔහු බොහෝ දෙනකුගේ මතකයේ රැඳෙන්නට ඉඩ ඇත. ඊට හේතුව ඔහු සිය පළමු තරගයේදීම අර්ධ ශතකයකට හිමිකම් කීමය. දුප්පත්කමට අභියෝග කළ නුවනිදු ඔහු පිත්ත ඔසවා පය ඉදිරියට තැබුවේ තාරුණ්‍යයේ ජවය, ශක්තිය පමණක් නොව විසල් ආත්ම ශක්තිය ද කරපින්නාගෙනය.
ජීවනි පෙරේරා හා විපුල ප්‍රනාන්දු යුවළට දාව 1999 ඔක්තෝබර් 13 වැනිදා මොරටුවේදී නුවනිඳු ප්‍රනාන්දු උපත ලබන්නේ පවුලේ තුන් වැන්නා ලෙසටය. මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට තිඹිරිගෙය කරගන්නේ ද පාසලයි. වයස අවුරුදු 13න් පහළ පාසල් කණ්ඩායමෙන් ක්‍රිකට් පටන් ගන්නා නුවනිදු, වයස අවුරුදු 19න් පහළ දක්වා පාසල නියෝජනය කරමින් තරග සඳහා සම්බන්ධ වී ඇත. ආර්ථික අපහසුතා කොතරම් තිබුණද ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ආශාව අත් හැරියේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ඔහු සමඟ සිය පවුල ද ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ ගැනීමය. එනිසාම නුවනිදු ඔහුගේ පිත්තේ හයිය පෙන්වමින් අවුරුදු විසි තුනේදී ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ භාග්‍යය උදා කර ගත්තේය.
ඔබ සම්බන්ධ වූ ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් දරුණු පරාජයකට මුහුණ දුන්නා. ඒ සිදුවීම ඔබටත් බලපාන්න ඇති නේද? අප ඔහුට යොමු කළ ඒ මුල්ම පැනයට නුවනිදු පිළිතුරු දුන්නේ තත්පර කිහිපයක් නිහඬව සිටීමෙන් පසුවය.
“මම මුලින්ම ජාතික කණ්ඩායමට තේරුණේ 2022 වර්ෂයේ ජුනි මාසේ ඔස්ට්‍රේලියාව එක්ක ලංකාවේ තිබුණු තරඟාවලියකදී. එදා මම සංචිතයේ හිටියා විතරයි, ක්‍රීඩා කළේ නැහැ. පසුගියදා තිබුණු ඉන්දීය සංචාරයට තමයි මම මුලින්ම ක්‍රීඩා කළේ, ඒ එක්දින තරඟාවලියේ දෙවැනි තරගයට. පළමු තරඟාවලියෙන්ම අර්ධ ශතකයක් ගත්තා. එදා පළමු වතාවට කෝලි වගේ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න පිට්ටනියට ගියේ ලොකු පීඩනයකින්. ඒ වගේම ලොකු ලකුණු සංඛ්‍යාවක් ගන්නවා කියලා හිතාගෙන මම පිට්ටනියට ගියේ නැහැ, පුළුවන් උපරිමය කරනවා කියලා හිතාගෙනයි ගියේ. හැබැයි ටිකින් ටික ලකුණු ගන්නකොට කලින් තිබ්බ පීඩනය අඩු වෙලා ගියා. ඒ හින්දම ඔක්කොම අමතක කරලා ලකුණු අතරට යන්න පුළුවන් වුණා. ඒ මොහොත සතුටු වුණාට අවසන් තරගය අඩුම ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායම පරාජය වුණු එක ගැන මම වගේම කණ්ඩායමේ සියලු දෙනාම දුකට පත් වුණා. ඒ දවස මට අමතක නොවන දවසක් කිවුවොත් හරි. ඒ ගැන තවමත් දුකයි. ඒ වගේම කියන්න ඕනෑ, ඒ සංචාරයට මගේ නම ඇතුළත් වෙලා තිබ්බත් ක්‍රීඩා කරන්න හැකි වෙයිද දන්නේ නැහැ කියන දෙගිඩියාවෙන් හිටියේ. 12 වැනිදා මම රූම් එකේ ඉන්නකොට කෝච් කෝල් කරලා කිවුවා දෙවැනි මැච් එකට සෙල්ලම් කරන්න ඔයාව දානවා කියලා. ඒ මොහොතේ ලොකු සතුටක් දැනුණා වගේම ලොකු තැතිගැන්මකින් හිටියේ. අන්තිමට වුණේ ඒ සතුටට ලොකු දුකකුත් එකතු වීමයි, ඒකට හේතුව අපේ කණ්ඩායම පරාජය වීමයි”.
නුවනිඳු ඔහුගේ හැඟීම් පෙළ ගැස්වූයේ අව්‍යාජවය. එදා ඔහුට ජාතික කණ්ඩායමට එක්ව ක්‍රීඩා කිරීමට හැකි වූයේ ඊට පෙර ඔහු පාසල් මට්ටමින් හා ක්‍රීඩා සමාජ මට්ටමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයකු වීම නිසාය.
“පාසල් කාලේ මම දෙවතාවක් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයට සම්බන්ධ වෙලා ක්‍රීඩා කළා. 19 න් පහළ ලෝක කුසලානයටත් ක්‍රීඩා කළා. මුලින්ම මට ලොකු මුදලක් ලැබුණේ ආසියානු කුසලානයට සම්බන්ධ වෙන්න මැලේසියාවට ගිය ටුවර් එකට. ඒ සල්ලි මම එහෙමම අම්මට දුන්නා. එතකොට මම ඉස්කෝලේ යනවා. මේ වෙද්දී මම මැලේසියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව වගේම නවසීලන්තයේ සංචාරය කරලා තියෙනවා. අවුරුදු 23ක් වගේ පොඩි වයසකදී ඒක මට ලොකු අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ජාතික කණ්ඩායමට එක්වීම හා ක්‍රීඩා කිරීමට ලැබීමත් ලොකු භාග්‍යයක් කියලයි මම හිතන්නේ. ඒ වගේම මම මුලින්ම ක්‍රීඩා කළේ පානදුර ක්‍රීඩා සමාජයට සහ බදුරලිය ක්‍රීඩා සමාජයට. 2019 අවුරුද්දෙදි මට එස්.එස්.සී එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මම එල්. පී. එල්. ක්‍රීඩා කළා. ජාතික කණ්ඩායමේ නායක දසුන් ශානක වගේම කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක අයියලා මට ගොඩක් උදවු කරලා තියෙනවා පළපුරුදු ක්‍රීඩකයන් විදිහට…”
අතිදුෂ්කර ගමන් මාවතකට ප්‍රවේශ වී ඒ මාවතේ හෙමි හෙමින් ගමන් කරමින් සිටින බවත් ගමන තවමත් දුෂ්කර බව ද නුවනිඳුගේ හැඟීමයි. එමෙන්ම ආ ගමන කෙටි වුවත් යා යුතු ගමන දිගු බැවින් ඒ මාවත ද දුෂ්කරතා නොතකා යන බව ඔහු නිහතමානීව කීවේය.
“මේ වෙද්දි සංචාර කිහිපයක්ම ගිහින් ටුවර් කිහිපයක් සල්ලි ලැබුණත් මම තවම ප්‍රැක්ටිස් යන්නේ බස් එකේ හෝ කෝච්චියේ. මට ආසාවක් තියෙනවා මටම කියලා ගෙයක් හදාගන්නයි වාහනයක් ගන්නයි. ඒ හීන සෑබෑ කර ගන්න නම් මම හොඳින් ක්‍රීඩා කරන්න ඕනෑ. ලොකු කැපවීමකින් මේ ගමන ආවා වගේ ඉතුරු ගමන යන්නත් කැපකිරීම් කරනවා. ඒකට උපරිම කට්ට කනවා. තවම මම කට්ට කන කොල්ලෙක්..”
ඔහු කීවේ සිනාසෙමිනි. ඔබ ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත්තේ එය පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රමයක් නිසාදැයි ඇසූ පැනයට ද ඔහු පිළිතුරු දුන්නේ සිනා මුවිනි.
“කොහෙත්ම නැහැ, මම ක්‍රිකට් ගහන්නේ ආසාවට. මගේ ලොකු අයියා විශ්ව ප්‍රනාන්දු ජාතික කණ්ඩායමට එකතු වෙලා ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. එයා පොඩි කාලේ ඉඳලා සෙල්ලම් කරනවා දැකලා තමයි මටත් ආසාව ඇති වුණේ. අයියා තමයි මට ඒ ආසාව ඇති කළේ. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම ඇඳුම් මාරු කරගෙන කරන්නේ යාළුවෝ එක්ක පාරේ ක්‍රිකට් ගහපු එක. එහෙම නැත්නම් නිවාඩු දවසට උදෙන්ම බීච් ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරපු එක. අයියටවත් මටවත් හරියට ක්‍රීඩා කරන්න ක්‍රීඩා බඩු තිබ්බේ නැහැ. අයියා එයාගේ යාළුවන්ගෙන් ක්‍රීඩා බඩු අරන් ඇවිත් මට දීලා මාව තරගවලට යවලා තියෙනවා. එයා මට කලින් සෙල්ලම් කරලා සල්ලි හොයපු නිසා එයාට පුළුවන් වුණා මට උදවු කරන්න. එයා ක්‍රිකට් නිසා එයාට කියලා ගෙයක් හදාගෙන වාහනයක් ගත්තා. එතකල් අපි හිටියේ කුලියට. මගේ දෙවැනි අයියා යශෝධ ප්‍රනාන්දු. අයියලා දෙන්නම දැන් විවාහකයි. එයාලගේ හා මගේ අම්මා තාත්තගේ උදවු නිසයි මම අද මෙතන ඉන්නේ. එයාලා මං ගැන ගොඩක් සතුටු වෙනවා. ක්‍රීඩා කළොත් සල්ලි ලැබෙනවා, හැබැයි එහෙම සල්ලි හම්බ කරන්න ලොකු කට්ටක් කන්න ඕන. කට්ට නොකා ඒ තැනට යන්න බැහැ....”
නුවනිඳුගේ වදන්වල ඇත්තේ දැඩි ආත්ම ශක්තියෙන් යුතු තරුණයකුගේ ජීව ගුණයයි. ඔහුගේ පවුලේ පිරිමි දරුවන්ම තිදෙනකු වුවත් ඒ කිසිවකු කුඩා කල සිට දඟකාරයෝ නොවූහ. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා මෙන්ම නුවනිදු ද අහිංසක චරිතයකි.
“අම්මා කියන විදිහට මම පුංචි කාලේ ඉඳලා දඟකාර චරිතයක් නෙවෙයිලු. ඒ වුණාට තේරෙන වයසට ආව දා ඉඳලම මට ක්‍රිකට් ගහන්න තමයි ඕන වෙලා තියෙන්නේ. ඒ නිසා අම්මයි තාත්තයි මාව ක්‍රිකට්වලට සම්බන්ධ කරලා තියෙනවා. කවදාවත් අම්මා තාත්තා මටවත් විශ්ව අයියටවත් ක්‍රිකට් ගහන්න එපා කියලා නීති දාලා නැහැ, අපි කැමැති දේ කරන්න නිදහස දුන්නා.”
ඒ අතීතය සිහිපත් කළ නුවනිඳු ඔහුගේ පෙම්වතිය ගැන මතක් කරන්නට ද අමතක නොකළේය. ආර්ථික ප්‍රශ්න හමුවේ ඇය ද තමාට සහාය දැක්වූ බව ඔහු මතක් කළේය.
“මට පෙම්වතියක් ඉන්නවා, එයා සයුනි. එයත් මට හැම පැත්තකින්ම උදවු කරනවා. අපි දැන්ම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, මොකද මම තව හොඳට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න ඕන. ඒකට කැපකිරීම් කරන්න ඕනේ, සයුනිත් ඒක තේරුම් අරගෙන මට ඒකට උදවු කරනවා. ක්‍රිකට් අතරමග නතර කරන්න කිසිම අදහසක් නැහැ. මේ ලැබුණු පියවර ඉදිරියට තබන්න නම් මගේ කැපවීම අවශ්‍යයි, ඒ කැපවීම තමයි දැන් මගේ ඉලක්කය. මෙතෙක් දුර එන්න උදවු කළ සියලුම ගුරුවරුන්ට සහ පුහුණුකරුවන්ට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.”
නුවනිඳු එලෙසින් කතාවට සමු දුන්නේය. ජාතික කණ්ඩායමට නිතර කෝඩුකාරයන් එක් වෙනවා සේම ඉක්මනින් නික්ම යෑම ද අරුමයක් නොවේ. එහෙත් නුවනිඳුට තිර අදිටනින් සහ කැපවීමෙන් දිගු ගමනක් යෑමට හැකි වේවා යැයි අපිදු සුබ පතන්නෙමු.