අපි ඔහු විමුක්ති යැයි හඳුන්වමු. තරුණ වයසේදීම විවාහ වූ ඔහු දරු සුරතල් බැලීමට කල් යල් බලමින් සිටියේය. ඒ බලාපොරොත්තුව ඉටු වීමට නම් තරමක් කල් ගියේය. වසර 10 කට පසුව සඵල වූ ඒ බලාපොරොත්තුව ඔහුට ගෙන ආ සතුට නම් නිම්හිම් නැත. විමුක්තිත් ඔහුගේ ආදරණීය බිරියත් සැම විටම තම දරුවා ගැන පමණක් නොසිතූහ. ඔවුහු හැම විටම රට ගැන සිතූ අය වූහ. දරු සිඟිත්තාගේ උපතින් පසුව කිරිඅම්මාවරුන්ගේ දානයක් දීමට ඔහුත් ඇයත් තීරණය කළහ. ඒ වෙනුවෙන් අවශ්‍ය කළමනා සියල්ල සූදානම් කළ විමුක්ති සිය මවටත් පියාටත් කතා කර පසු දින අලුයම තම නිවසට පැමිණෙන ලෙසද දැන්වීය. එසේ දන්වා රාත්‍රී 9.00ට පමණ නිවසින් පිටව ගියේ කිරි දානයට අවශ්‍ය මල් ගෙන ඒම සඳහාය. කිරි දානයට අවශ්‍ය නෙළුම් මල් ඇතුළු මල් රැගත් ඔහු රාත්‍රී 10.00 ට පමණ නිවෙසට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ තමන් පිටත්වීමට ආසන්න බව පවසමිනි. ඔහු කැස්බෑවට නුදුරු වීදියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසක සිට මල් ද රැගෙන ගෝනපොළ, කුඹුක පිහිටි තම නිවස කරා එන්නට පිටත් විය. එහෙත් රාත්‍රී 10.30 ද ඉක්මවා යන තුරුත් විමුක්තිගේ නොපැමිණීම ගැන යම් චකිතයක් නිවෙසේ වැඩ කටයුතු කරමින් සිටි අයට මතු විය. තවත් සැලකිය යුතු වේලාවක් යනතුරුත් නොපැමිණි නිසා ඔහු ගැන සොයන්නට උත්සාහ ගන්නා විටම ලැබුණු පණිවුඩයකින් කියැවුණේ විමුක්තිගේ රථය අනතුරකට පත්ව ඔහු හොරණ රෝහලට ඇතුළත් කළ බවයි. සියල්ලෝම කිරි දානයේ වැඩ කටයුතු පසෙක තබා හොරණ රෝහලට දිව ගියහ ඒ යනවිටත් සියල්ල සිදුවී හමාරය. විමුක්තිගේ පණ වා තලයට මුසුවී අවසන්ය. ඔහුගේ ආදරණීය බිරියට ලෝකයම පුපුරන්නාක් මෙන් දැනෙන්නට ඇත.‘
අප මේ කියවන්නේ නවකතාවක හෝ කෙටිකතාවක පරිච්ඡේදයක් නොවේ. මීට දින කිහිපයකට පෙර වූ සිදුවීමක කෙටි සාරාංශයකි.
ඔහු නමින් විමුක්ති ජයවීරය. තරුණ විද්‍යාඥයෙකි. මාස 3ක් වයසැති තම දරුවාගේ කිරි දානයට නෙළුම් මල් රැගෙන නිවෙස කරා පැමිණෙමින් සිටියදී ගෝනපල කුඹුක ප්‍රදේශයේ මාර්ගයේ අනාරක්ෂිත ලෙස තිබූ නඩත්තු ස්ථානයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ඔහු එසේ මිය ගියේය. ඔහු 37 හැවිරිදිය. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෙකි. ඔහු මුහුණ පෑ අනතුර ගැන අපි සොයා බැලුවෙමු.
අනතුර සිදුවී ඇත්තේ පසුගිය පෙබරවාරි 3 වෙනිදා රාත්‍රියේය. වීදියගොඩ සිට ගෝනපොළ දක්වා වන මාර්ගයේ පැමිණ කුඹුක නැඟෙනහිර පිහිටි තම නිවෙසට යන්නට හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඔහු පැමිණ ඇත්තේ තද වර්ෂාවක් ද පැවතියදීය. එම ප්‍රධාන මාර්ගයේ භූගත දුරකතන රැහැන් අලුත්වැඩියා කටයුත්තක් නිම කර අනාරක්ෂිත ලෙස ගොඩ කර තිබුණු පස් වැටියකි. ටෙලිකොම් ආයතනයෙන් උප කොන්ත්‍රාත්තුව ලබාගත් අදාළ සමාගමේ නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපයයි ඒ. රාත්‍රී කාලයේ එය නිසි ආකාරයෙන් දර්ශනය නොවේ. විමුක්ති පදවා ගෙන ආ රථය එම පස්ගොඩේ ගැටී පාර මධ්‍යයේ පිහිටි මාර්ග දෙක වෙන් කරන තීරයේ (Middle Island) ගැටී තිබේ. එහි ගැටී වාහනය ඉදිරියට ඇදී ගොස් ඇත. වාහනය ගැටුණු වේගයත් සමඟම වාහනයේ ආරක්ෂිත වායු බැලූන ක්‍රියාත්මක වී තිබේ. ආරක්ෂිත වායු බැලූන ක්‍රියාත්මක වන්නේ තත්ත්පරයෙන් ¼ක කාලයකදීය. වායු බැලූනය ක්‍රියාත්මක වුවත් එහිදී වූ යම් හානියක් නිසා විමුක්ති වාහනයේ ආසනය තුළම වැටී සිටියේය. වාහනය තිබූ ස්ථානය අනුව එය නවතා ඇතැයි ඇතමකුට සිතෙන්නට ඇත. එහෙත් බිම තිබූ අංක තහඩුවක් දැක මාර්ගයේ ගමන් ගත් වාහනයක් එහි නැවැත්වීය. මහ වැස්ස මැද වුවත් ඔහු වාහනයෙන් බැස පරීක්ෂා කර බැලුවේය. එහි ඇතුළේ අයකු සිටින බව දැනගත් ඔහු තම වාහනයේ සිටි සහකාරියට ද ඒ බව දැන්වීය. වහාම ඔහු රෝහලට ගෙන යෑමට ඔහු කටයුතු කෙළේය. එහෙත් ඒ ගෙනියන අතරමඟදී විමුක්ති දිවියෙන් සමුගත්තේය.
ඒ ආචාර්ය විමුක්ති ජයවීර නම් තරුණ විද්‍යාඥයාගේ මරණය සිදු වූ අයුරුය.
වාහනයේ ආරක්ෂිත වායු බැලූනය නැතහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ ‘එයාර් බෑග්‘ නමින් හඳුන්වන මේ ආරක්ෂිත උපකරණය ක්‍රියාත්මක වන්නේ රියැදුරා හා ඉදිරිපස ආසනයේ ගමන් ගන්නා අයගේ ආරක්ෂාව පතාය. ඇතැම් වාහනවල එයාර් බෑග් 8ක් හෝ 10ක් ද තිබේ. ඒ ඉදිරිපස අයගේ වැඩි ආරක්ෂිතතාව උදෙසා මෙන්ම පසුපස අයගේ ද ආරක්ෂාව උදෙසාය. එවන් තත්ත්වයකදී විමුක්ති මිය ගියේ කෙසේද? එය සමාජයට විශාල ප්‍රශ්නයකි.
අපි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධව අවධානය යොමු කළෙමු. එහි දැක්වෙන්නේ වායු බැලූනය සමඟ ආ යකඩ කැබැල්ලකින් බෙල්ලේ නහරයක් කැපීමෙන් වූ හානියෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවකි.
‘ආරක්ෂිත එයාර් බෑග් එක නිසා සිදුවූ මරණයක්‘ එය අදහා ගත නොහැකි කතාවකි. මීට පෙර අප මෙරටදී එවන් කතාවක් අසා නැතත් විදෙස් රටවල එවන් මරණ ගැන අසා තිබේ. මේ සිදුවීම හරියට ආරක්ෂාවට සිටි සුනඛයා විසින්ම හාම්පුතා මරණයට පත් කළා හා සමානය. මෙවන් සිදුවීමක් විය හැකිද? අපි මේ ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) ටී.එම්.එස්.කේ තෙන්නකෝන්ගෙන් විමසුවෙමු.
‘වාහනයක් කියන්නෙ මහ මඟ ධාවනය වන්නක්. එම නිසා අනතුරක් වීමේ අවදානම 100%ක්ම තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී වාහනයේ ගමන් ගන්නා අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහි නිෂ්පාදන ආයතනයේ වගකීමක් තියෙනවා. ඒත් ගැටලුව තියෙන්නේ ඒ වගකීම තියෙන්නෙ වාහනය නිෂ්පාදනය කරපු සමාගමෙන්ම ආනයනය කරන්නේ නම් පමණයි. මෙරටට වැඩිපුරම වාහන ගෙන්වන්නේ වාහන ආනයනකරුවන් විසින්. ඔවුන් ගෙන්වා අලෙවි කරන වාහන සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නැහැ.
සාමාන්‍යයෙන් වාහනයක නිෂ්පාදනයෙන් පසු යම් යම්දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදී එම වාහන ආපසු කැඳවීමක්, සරලව කියනවා නම් Re Call කිරීමක් කරනවා. නමුත් අපේ රටේ වැඩිපුරම තියෙන්නෙ ඒජන්තවරුන්ගෙන් ආනයනය කරපු වාහන නෙමෙයි. ඒජන්තවරුන් විසින් ගෙන්වපු වාහන නම් අදාළ රටේ සමාගමෙන් ඒජන්තවරුන්ට කියලා එම වාහන ආපසු ගෙන්වා ඒවා යළි සකසනවා. නමුත් යම් වාහන කාණ්ඩයක දෝෂ තිබිලා එම වාහන කාණ්ඩය ආපසු ගෙන්වා යළි සකස් කළහොත්, අපේ රටේ ක්‍රමවේදය අනුව ඒ සම්බන්ධයෙන් වාහනය ගෙන්වන කෙනා දන්නෙත් නැහැ. වාහනය මිල දී ගන්නා තැනැත්තා ඒ සම්බන්ධයෙන් දන්නෙත් නැහැ. අදාළ වාහන කාණ්ඩයේ එවන් දෝෂ සහිත තත්ත්වයක් තිබිලා ආපසු කැඳවා සකස් කරලා භාවිත කළත් අපේ රටේ දෝෂය සහිතවම තමයි භාවිත කරන්නෙ. අනතුරට පත්ව තරුණ විද්‍යාඥයකු මිය ගිය ඒ වාහනයත් එවන් දෝෂ සහිත හොණ්ඩා ඉන්සයිට් වාහනයක්. එම වාහන කාණ්ඩයත් යළි කැඳවා වායු බැලූන නැවත සැකසූ වාහන කාණ්ඩයක්. විශේෂයෙන්ම නැවත කැඳවීමක් කළ වාහනයක වායු බැලූනයක් පුපුරනවා කියන්නෙ සාමාන්‍ය දෙයක් නෙමේ. වායු බැලූනය පුපුරා එන්නේ ක්ෂණයකින්. ඒ වෙලාවෙ එහි තිබිලා යකඩ කෑල්ලක් වගේ දෙයක් ආවොත් එය එන අධික වේගය මෙන්ම එය ශරීරයේ ගැටෙන තැන අනුව වාහනය පදවන්නාට මරණීය තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. මෙතනදි වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක් බවයි පෙනෙන්නෙ.
කොහොම වුණත් මේ වගේ ආපසු කැඳවීම් කරපු වාහන සමබන්ධ විස්තර කඩිනමින් ජනතාවට දැනුම් දෙන්න අප කටයුතු කරනවා.‘‘
මෝටර් වාහනයක වායු බැලූනයේ තාක්ෂණික තත්ත්වය මෙන්ම එය ආරක්ෂිතව ධාවනයට සුදුසු නුසුදුසු බව අපට තීරණය කළ හැක්කේ කෙසේද? අපි මේ සම්බන්ධයෙන් මෝටර් වාහන විශේෂඥයකු වන ආචාර්ය නුවන් මදනායකගෙන් විමසුවෙමු.
‘‘ මෝටර් රථයක් ඇතුළු වාහනයක වායු බැලූන හදන්නෙ අනතුරකදී පුපුරා එළියට එන්න. වාහනයක වායු බැලූන නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අපට කිසිසේත්ම ඍජුව නිෂ්පාදකයාට දොස් පවරන්න බැහැ. මොකද අපේ රටට වාහන නිෂ්පාදකයන් හරහා ඍජුව එන්නේ වාහන අතළොස්සක් පමණයි. අනෙක් රථවාහන ලෙස එන්නේ එහේ භාවිත කරල ඉවත් කරපුවා. උදාහරණයක් ලෙස කියනවා නම් ජපානයේ භාවිත කරලා ලියාපදිංචිය අවලංගු කරපු මෝටර් රථ තමයි මෙරටට වැඩිපුර ගෙන්වන්නේ. ලියාපදිංචිය අවලංගු කරපු වාහනයකට වගකීමක් අදාළ නිෂ්පාදන සමාගමකට පවරන්න පුළුවන්ද?
එහෙම එහේ ලියාපදිංචිය අවලංගු කරපු වාහන ගෙන්වනවා නම් එහි වගකීම ගන්නේ කවුද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. ඇත්තෙන්ම එහි වගකීම ගත යුත්තේ වාහන ආනයනය කරන්නන් විසින්.
වාහනයක වායු බැලූනය හදිසි අවස්ථාවකදී පිපිරී එළියට ඒමට සකස් කර ඇත්තේ. කිසිදු අවස්ථාවක එය එසේ එනවාද බලන්න අපට ක්‍රමයක් නැහැ. ඒ වගේම තමයි සමහර වෙලාවට වායු බැලූනයට අදාළ දැනුම් දීමේ බල්බය ක්‍රියාකාරී වුවත් වායු බැලූනය ක්‍රියාකාරී නොවන්න පුළුවන්. සමහර විට අලුත්වැඩියා කර එවන ලද්දක් වන්නට පුළුවන්. ඒ වගේම අපේ වාහන ලෝකයේ තියෙන භාෂාවෙන් කියනවානම් ‘යන්තම් අටවල එවන‘ වාහන වෙන්නත් පුළුවන්.
යම් වාහන කාණ්ඩයක් ආපසු කැඳවීමකදී අදාළ නිෂ්පාදන සමාගම කැඳවන්නේ සමාගමේ ඒජන්තවරුන් හරහා පාරිභෝගිකයාට අලෙවි වූ වාහනයි. එම නිසා ලියාපදිංචිය අවලංගු කළ වාහන ආනයනය කර ඒවා භාවිත කිරීමෙන් අනතුරක් වූ විට එහි වරද නිෂ්පාදන සමාගමට පවරන්න අපට බැහැ. පෙර පැවසූ පරිදි ලෝකයේ වාහන නිෂ්පාදනයේ ගැටලු එනවා. ඒවා දැනගත් පසු යළි ගෙන්වා සකසනවා. වායු බැලූන පමණක් නෙමෙයි එන්ජින්වල පවා මේ ලෙස දෝෂ මතුවනවා. කොහොමත් වාහනයක සියලු අංග නිෂ්පාදකයා විසින්ම නිෂ්පාදනය කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස පුළිඟු පේනුව (ප්ලග්) එක සමාගමක, වීදුරු තවත් සමාගමක වශයෙන් නිෂ්පාදනය කර ඒවා එකලස් කර වාහනයක් ලෙස අපට නිමවා දීමයි නිෂ්පාදකයා කරන්නෙ.
අනතුරට පත් හොන්ඩා ඉන්සයිට් වාහනයත් අදාළ ආපසු කැඳවීම්වලට ලක් වූ කාණ්ඩයේ වාහනයක්. නමුත් අපේ රටේ කී දෙනෙක් ඒ බව දැන සිටියාද? එම වාහනයේ ඇත්තේ ‘ටකාටා‘ වර්ගයේ වායු බැලූන. එම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පැමිණිලි ගලා ඒම නිසා ටකාටා වායු බැලූන සහිත වාහන දස දහස් ගණනක් ආපසු කැඳවා යළි සකස් කරා.
මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ අපේ රටේ වාහන ආරක්ෂිතව ආනයනය සම්බන්ධ නිසි ප්‍රමිතියක් ප්‍රතිපත්තියක් නැතිවීමයි. ශ්‍රී ලංකාවට වාහන ආනයනයේදී බලන්නේ ඒ.බී.එස් තිරිංග පද්ධතියක් තියෙනවද? වායු බැලූන දෙකක් තියෙනවද? ආසන පටි තියෙනවද වැනි කරුණු විතරයි. ඒ හරහා පමණක් වාහන පදවන්නන්ගේ ආරක්ෂාව සලසා ගත නොහැකි බව මේ සිදුවීමෙන් හොඳින් පැහැදිලි වෙනවා. ආනයනික වාහනවල වගකීම රජයට ගන්නත් බැහැ. ඒ නිසා ආනයනකරුවන්ට වගකීම පැවරෙන ආකාරයේ හෝ ප්‍රමිතියක් තිබිය යුතුයි.‘‘
මාර්ගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. අපි මේ සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූවගෙන් කරුණු විමසුවෙමු.
‘‘මේ මරණයට ප්‍රධාන හේතුව අනතුර නෙමෙයි, අනතුර නිසා වාහනයේ තිබූ වායු බැලූනයේ සිදු වූ ගැටලුවයි ප්‍රධාන හේතුව වී ඇත්තේ. අපට වාර්තා වන ආකාරයට මියගිය තැනැත්තා ආසන පටි පැළඳ සිට නැහැ. ගැටලුව වන්නේ ආසන පටි පැළඳ නොසිටියා නම් වායු බැලූන ක්‍රියාත්මක වූයේ කෙසේද යන්නයි. කොහොම වුණත් මේ මරණය සම්බන්ධයෙන් අදාළ කොන්ත්‍රාත් සමාගමේ වැඩ අධීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ තැනැත්තාට අන්තරාදායක ක්‍රියාවකින් පුද්ගලයකුගේ මරණය සිදු කිරීම යන චෝදනාව යටතේ නඩු පවරන්න පුළුවන්.
අපේ රටේ බොහෝ මාර්ගවල මෙවන් නොසැලකිලිමත් සේ සිදු වෙනවා. ගල්ගොඩවල් ගෙනැත් මාර්ග අයිනේ ගොඩගහනවා. එවන් දේ කරන්න බැහැ. නීති විරෝධීයි. කුඩා ගල්කැටයක් මතින් යතුරු පැදියක් ගියොත් එය පෙරලී මාරාන්තික අනතුරක් සිදු විය හැකියි‘‘
ආචාර්ය විමුක්ති ජයවීර යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ. ඔහු රටට තවත් දශක ගණනාවක් සේවය කරන්නට සිටි විද්‍යාඥයෙකි. ගෝනපොළ, කුඹුක නැගෙනහිර පිහිටි ඔහුගේ නිවෙසට අප ගියේ ඔහුගේ ඒ වටිනාකම නිසාමය.
විමුක්තිගේ ආදරණීය භාර්යාව වන කොළඹ මහානාම විදුහලේ උසස් පෙළ ගණිත විද්‍යා ආචාරීනී ලක්මිණී ප්‍රියදර්ශනී තවමත් හැඬූ කඳුළිනි.
‘‘මගේ මහත්තය නැතිවුණේ මටයි දරුවටයි මේ දෙමවුපියන්ටයි සහෝදර සහෝදරියන්ට විතරක් නෙමේ. මුළු ලංකාවටම ලොකු වැඩ ගොඩක් කරන්නයි එයාගෙ ඔළුවෙ තිබුණෙ. එයාට ගොඩක් අය කිව්ව මේ රටේ ඉඳල හරියන්නෙ නැහැ රට යන්න කියල, එයාගෙ දැනුමට ඕනතරම් විදේශ රැකියා තියෙනවා. මාත් කිව්වා අපිට දැන් දරුවෙකුත් ඉන්නවා, ලංකාවෙ තත්ත්වය හොඳ මඳි නිසා අපි පිටරටකට යං කියලා. ඒත් එයා කිසිම විදිහකින් කැමති වුණේ නැහැ.
එයා කිව්වෙම පුළුවන් අපි වගේ අය රට ගියහම බැරි අය දරුවන් ජීවත් කරවන්නෙ කොහොමද කියලා. ඒ අය වෙනුවෙන් අපි මේ රටේ ඉදගෙන සේවය කරන්න ඕන කියලයි එයා හැමදාම කිව්වෙ.
මහත්තයගෙ නැතිවීමට දැන් දෝෂාරෝපණය කළා කියල වැඩක් නැහැ. සාධාරණයක් ඉටුවෙයි කියලා හිතන්නත් බැහැ. රටේම ගසා කෑම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ. වගකීමක් නැතිව වැඩ කිරීම සාමාන්‍ය දෙයක් වෙලා ඒකයි.
මේ ලෝකෙ හැමෝටම වැඩියෙන් එයා ගැන දන්නෙ මම. එයා පින්කම්වලට පුදුමාකාර උනන්දුවක් තිබුණා. කොහේ හරි ඉඳගෙන අපට ආශීර්වාද කරයි. මම ඉල්ලන්නෙ මේ වගේ ගින්දර තවත් අයකුට ඇති නොවන්න කටයුතු කළ යුතුයි කියලා. එයාගෙ නැතිවීමෙන් එයා කරන්න හිටපු පර්යේෂණ එයා රට වෙනුවෙන් කරන්න හිටපු දේවල් කරන්න පුළුවන් කෙනෙක් තව එයිද කියල හිතන්න බැහැ‘‘
විමුක්තිගේ පියා වන එන්.ටී.එස් ජයවීර හා මව වන සීලවතී ලියනගේ දෙදෙනාම පවසන්නේ එකම කතාවකි. ඔවුන් පවසන්නේ දකුණේ අකුරැස්සේ සිට පැමිණ ව්‍යාපාරයක් ආරම්භ කර දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සිදු කළ බවයි. මියගොස් ඇත්තේ වැඩිමල් පුතු බවත් ඔහුට බාල දුවත් පුතාත් දෙදෙනාම උපාධිධාරීන් බව ද ඔවුහු පවසති. ස්වඋත්සාහයෙන් ජීවිතය ජයගත් විමුක්ති
පළමුව ලුම්බිණි විද්‍යාලයෙන් හා පසුව ඩී.එස්. සේනානායක විදුහලෙන් අධ්‍යාපනය ලැබූ බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ආචාර්ය උපාධිය ලබා මෙසේ විද්‍යාඥයකු ලෙස කටයුතු කළ බව ද ඔවුහු පැවසූහ.
‘‘පුතා එදා රෑ 9.00ට විතර මට කතා කරල කිව්වා පාන්දරම එන්න මම මල් ගේන්න යනව කියලා. පරිස්සමෙන් ගිහින් එන්න කියල කිව්ව මට අන්තිමට බලන්න වුණේ කතා නොකරන පුතාව. එයා පින් දහම් කරපු කෙනෙක්. එයා හොඳ තැනකට යන්න ඇති‘‘ මව පැවසුවේ දැඩි ශෝකයෙනි. විමුක්ති මෙලොව හැර ගොසිනි. එහෙත් ගැටලුව එය නොවේ. හෙට මේ ඉරණමට ගොදුරු වන්නේ ඔබ හෝ මා විය හැකි වීමය. වාහන අනතුරකදී රියැදුරා ආරක්ෂා කිරීමට ඇති වායු බැලූනය මඟින් ජීවිතය අහිමි වන තත්ත්වයක් ඇත්නම්.... වායු බැලූනය ක්‍රියාත්මක වීමේදී ඒ තුළ ඇති යකඩ විල්ලක් වැනි කැබැල්ලක් (metal cartridge) වෙඩි උණ්ඩය සේ පැමිණ රියැදුරාගේ පපුව හා ගෙල ප්‍රදේශයට වැදී මාරාන්තික විය හැකිය.
ඇමෙරිකා එක්සත් ජනපදයේදී මෙම මාරක දෝෂය තිබෙන බවට හඳුනාගත් වාහන ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන වාහන රැසක් ද ඇතුළත්ය.
මෙම අනතුර ගැන ලොව පුරාම වාර්තා වී ඇත. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Acura සහ Honda වාහන 8,200ක් ධාවනය කිරීම අනතුරුදායක බවයි. විශේෂයෙන්ම 2001-2003 වසරවල Honda Accord, Civic CR-V සහ Odyssey, Pilot සහ Acura 3.2CL සහ 3.2 TL වාහන මෙසේ දක්වා තිබුණි. විශේෂයෙන්ම අප පෙර සඳහන් කළ ටකාටා වායුබැලුන අනතුරුදායක බව වාර්තා වී ඇති අතර මිලියන 100කට අධික වාහන වරින්වර ආපසු කැඳවා තිබේ.
සේයාරූ - ගයාන් පුෂ්පික,
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්,
ඉංගිරිය සමූහ ප්‍රියදර්ශනී කහවල