සනුහරේ අරගලය සහෝ | සිළුමිණ

සනුහරේ අරගලය සහෝ

අධ්‍යක්ෂණය : මහාචාර්ය ආරියරත්න ඇතුගල 
නිෂ්පාදනය : ආචාර්ය බන්දුල ගුණවර්ධන

* ලංකාවේ කලා නිර්මාණ සංස්කෘතිය දුප්පත්. රස වින්දනය ඇතුළු කලා මාධ්‍ය පරිහරණයත් දුප්පත්
* අපි ඉන්නෙ බරපතළ ව්‍යාජයක. යථාර්ථය කියලා අල්ලන් ඉන්නෙත් බරපතළ ව්‍යාජයක්
* සහෝ සඳහා පාදක වෙන්නෙ විශ්වවිද්‍යාල ජීවිතය වුණාට චිත්‍රපටයේ තියෙන්නෙ අපි දන්න කියන ජනප්‍රිය විශ්වවිද්‍යාල ජීවිතය නොවෙයි

හෝ ලියැවෙන හා රූගත කෙරෙන ඉතිහාසයේ අපි ශාක්ෂිකරුවන් වීමු. ඉඳින් අසන්නට සේම මතක් කර ගන්නට ද බොහෝ දෑ තිබිණි. ආරියරත්න ඇතුගල ගුරුතුමාට ද ඇතුගල සේ ම බරක් බිම තියන්නට අවැසි ව තිබිණි. ගුරුවරයා අනුදත් ඉතිහාසය ගැන විමසන්නට මට ද බොහෝ දෑ තිබිණි. ඔහු සිය ජීවිතයෙන් දීර්ඝ කාලයක් ගත කර තිබුණේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ය. ශිෂ්‍ය අවදියෙන් ඉනික්බිති දීර්ඝ ගුරු භූමිකා කාලයක් ගත කල හේ අද විශ්‍රාමික ය. එහෙත් ගුරුවරුන්ට හෝ කලාකරුවන්ට විවේකය, විශ්‍රාමය කියා දෙයක් නැත. මහාචාර්ය ඇතුගල කොහොමත් වෙනස් වීමට ප්‍රිය කරන, වෙනස්කම් ඉල්ලා සිටින මහාචාර්යවරයෙකි. හේ ගුරු අවදියේදී ද සිසුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වෙනුවෙන් හඬ නැඟූවෙකි. විද්‍යාර්ථීන් පන්ති කාමරවල සිටිද්දී මේ විශ්වවිද්‍යාල පරිශ්‍රයක ස්වරූපය දැයි ප්‍රශ්න කෙරූවෙකි. ඒ සඳහා අවැසි අවකාශ සම්පාදනයට මුල් වූවෙකි. 

අත්දැකීම් හි වන අපූර්වත්වය වැඩි වැඩියෙන් දැනෙන්නේ පරිණත වූ විට ය. ඒවා වෙනදා නොපෙනුණු කෝණවලින් පෙනෙන්නේ සහ ඒවාට නියමාර්ථය ලැබෙන්නේ සිය සමාජාවේක්ෂණය තියුණු වන තරමට ය. මහාචාර්ය ඇතුගල ද ස්වකීය බුද්ධි හා නිර්මාණ ප්‍රභාවේ නැණ මහිම අපට ප්‍රධානය කරන්නට යොදා ගන්නා මාධ්‍ය අතර රූප මාධ්‍යයට ද ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන්නේ ය. ඒ අනුව ඔහු අතින් මෑතකදී බිහිවෙන සිනමා කෘතිය වන්නේ ‘සහෝ‘ ය. මුලින් ම බිහිවන්නේ සහෝ චිත්‍රපටය ය. ඒ නිර්මාණයෙන් තවත් නිර්මාණයකට පාර කැපෙමින් සහෝ නවකතාවක් ද වන්නේ ය. මෙහි ඇත්තේ විශ්වීය ගනුදෙනුවකට පාර කපන චරිත නාමකරණයකි. හිරු, සඳු, තරු සහ රතුත් සහෝ නම් ජීවමාන නොවන චරිතයත් මෙහි ජීවත් වෙති. නාමකරණයේ සිට ම අනන්‍යතා ලක්ෂණ සේම පැහැදිලි නිගමනවලට ප්‍රෙක්ෂකයා හා පාඨකයා යොමු නොකරන ස්වභාවයක් මේ නිමැවුමෙහි අන්තර්ගත ය. මේ, එහි අත්දැකීම් වපසරිය පිළිබඳ මහාචාර්ය ඇතුගල දැක්වූ අදහස් හි සංක්ෂිප්තයකි.

“සහෝ නවකතාව සඳහා වන වස්තු බීජය බිහි වෙන්නෙ චිත්‍රපටයට පෙර. ඒ කියන්නෙ ලිඛිත කාර්යයක් විදියට. දීර්ඝකාලීනව මම විශ්වවිද්‍යාල ජීවිතෙන් ලබපු ඉතාම සියුම් ජීවන ස්වභාව හා තාරුණ්‍යයේ තියෙන විවිධ හැලහැප්පීම් සහිත ලක්ෂණ තමයි එහි අන්තර්ගත වෙන්නෙ. ඒ අත්දැකීම් තිර රචනයක් බවට පත්වෙනවා. රූප මාධ්‍යයේදී එයට උරා ගන්නා ඊට ආවේණික ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් සමහර අවස්ථාවල උද්ගත වෙන ඉතා ම සියුම් හැඟීම් දැනීම්, ආදරය, ලිංගිකත්වය වගේ දේවල් ආදිය චිත්‍රපටය විසින් උරා ගන්නා හා දැනවීමට හැකි ප්‍රමාණය සීමිතයි. චිත්‍රපටය හැදුවට පස්සෙ මට කියන්න ඕන දේවල් තව තියෙනවා නේද කියන ප්‍රශ්නය මට එනවා. ඒකට තියෙන හොඳ ම මාර්ගය නවකතාව නේද කියන හැඟීම මට එනවා. මම භාෂා පොරබැදීමකට යන්නෙ ඒ ආකාරයට”.

සහෝ රූපගත වෙන්නේ විශ්වවිද්‍යාල ගැටලු ගැන සවිඥානිකව ය. ඒ ගැටලු කාලයක් තිස්සේ ම විශ්වවිද්‍යාල පද්ධතිය ආක්‍රමණය කර තිබිණි. විශ්වවිද්‍යාල ආදරය ඇතුළු බොහෝ සෞන්දර්යාත්මක දෑ පිළිබඳ විවිධ නිර්මාණ ගොඩනැඟී තිබුණත් එහි අභ්‍යන්තර ගැටලු සම්බන්ධ ගැඹුරු කියැවීම් රූප මාධ්‍යයට මෙතෙක් ආගන්තුක ය. මහාචාර්ය ඇතුගල දකින වපසරිය ඇතුළත වඩාත් තිබුණේ එකී අභ්‍යන්තරික ඝට්ටනයයි.

"ඒ සඳහා පාදක වෙන්නෙ විශ්වවිද්‍යාල ජීවිතය වුණාට ඒ අපි දන්න කියන ජනප්‍රිය විශ්වවිද්‍යාල ජීවිතය නොවෙයි. අරගලය, නවක වදය ආදී දේට යටින් දිවෙන දේවල් ටිකක් තියෙනවා. විශ්වවිද්‍යාල ජීවිතයේ තියෙන දුක්ඛ දෝමනස්සයන්, උභතෝකෝටිකයන් ස්පර්ශ කරමින් හා නොකරමින් තාරුණ්‍ය ගැවසෙන හැටි, මහා සමාජය විශ්වවිද්‍යාල තාරුණ්‍ය දෙස බලන විදිය ආදී තාරුණ්‍යයේ ආධ්‍යාත්මය ගැනයි මෙහි කතා කරන්නේ. මම දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල ජීවිතය ගත කළ කෙනෙක්. මම බොහෝ දේ දැක්කා; වින්දා. මේක දීර්ඝකාලීන නිරීක්ෂණයක්. අරගල කියන කාරණය ගත්තත් ඊට යටින් දිවෙන වෙනම කතා ටිකක් තියෙනවා. වීරසූරිය තරුණයාගේ සිද්ධිය මගේ තරුණ කාලය කම්පිත කළා. මේවාට බලපාන සාධක මොනවද යන කරුණ මගේ සිතේ තිබුණා. මම උත්සාහ ගත්තේ මේ ගැන කතා කරන්න. මේක ඇත්තටම සන්නිවේදන සමුදායක්" 

මහාචාර්ය ඇතුගල නිර්මාණ ජීවිතය ඇතුළත රූප රාමුවලට විසල් වටිනාකමක් එක් කරන්නට වෑයම් කරන නිර්මාණකරුවෙකි. හේ රූප මාධ්‍ය රූප මාධ්‍යයේ ස්වරූපය පිළිබඳ මනා වැටහීමකින් යුතුව යොදවන්නෙකි; නැත්නම් රූප කතා කරවන්නෙකි. මගේ නිරීක්ෂණය ගැන ඔහුගේ අදහස මෙපරිදි ය.

‘රූපයට දෙන බලය ගැන මම ගොඩක් සැලකිලිමත්. සහෝ චිත්‍රපටයෙදි වුණත් ඒක එහෙමයි. මගේ පැත්තෙන් ගත්තම තාරුණ්‍යයේ තියෙන සිතිවිලි වගේම මනෝ විද්‍යාත්මක දැක්මක් මේක හරහා හුයක් වගේ ගමන් කරනවා. මේ තමයි චිත්‍රපටයේ ආඛ්‍යාන රටාව. මට තියෙන්නෙ කෙටි චිත්‍රපට පිළිබඳ අත්දැකීමක්. මේ මගේ පළමු දිගු චිත්‍රපටය. මට තියෙන්නෙ චිත්‍ර කලාව, ටෙලි නාට්‍ය, රූප මාධ්‍ය එක්ක ආව සංචාරයක්. මේක මම හිතන්නෙ සහෝ කියන්නෙ සිනමා රූපය හා ජීවිතය අතර තියෙන ගනුදෙනුව අල්ල ගන්න මම කළ වෑයමක්‘

සහෝ නිර්මාණය කර ඉනික්බිති මහාචාර්යවරයාගේ අත්දැකීම් නිසා පාඨක, ප්‍රේක්ෂක ප්‍රජාව විශ්වවිද්‍යාල පද්ධතිය ගැන වන ගැටලුවලට පිළිතුරු සම්පාදනය කර ගැනීමක් සිදු වෙත් දැයි අපට කුකුසක් මතු වේ. නිර්මාණකරුවා නිර්මාණ කරන්නේ යම් ආකාර නිෂ්ටාවක් උදෙසා ය. එය පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීම් සම්බන්ධයෙන් වුව ද සාධාරණ වෙනු ඇත. එහෙත් සිය ගුරු හා විචාරක භූමිකාවේ දීර්ඝ කාලයක් නිරත ව සිටි මහාචාර්යවරයාට සිනමා පටයකින් මෙකී ගැටලුවලට පිළිතුරු සෙවිය හැකි දැ යි යන්න ගැන විමසන්නට මට සිතුණි. නිර්මාණකරුවාට පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමට අවැසි බලය හා හැකියාව ඇත් ද යන්න එහි සරල ප්‍රවේශයයි.

‘මම එහෙම නොවෙයි හිතන්නෙ. විශ්වවිද්‍යාල පද්ධතිය ගැන සිනමාපට තියෙනවද? සරසවිය කියලා හදා ගත්ත රොමෑන්ටික් කතා ඇරුණම ඇත්තටම විශ්වවිද්‍යාල ජීවිතේ නිරූපණය වෙන කතා තියෙනවාද? ඔවුන්ගේ ගැඹුරු ආධ්‍යාත්මික හා ව්‍යවහාරික සිතිවිලි හසු කරගන්න ගත්ත උත්සාහ කලා මාධ්‍ය ඇතුළෙ ඉතා අඩුයි. ඇත්තම ජීවිත කොහේද තියෙන්නෙ කියලා හොයලා නෑ. එහෙම හොයන්නෙ නැතිව තමයි, විශ්වවිද්‍යාල තාරුණ්‍යයට චෝදනා කරන්නෙ. කලාව ඇතුළෙ හරි මේක මීට වඩා විනිවිඳ දකින්න පුළුවන් මානයක් අපි හොයා ගන්න ඕන. මේක කලා මාධ්‍ය විසින් භාවිත කරමින් කතිකාවට ලක් කිරීම තමයි කළ යුතු වෙන්නෙ. මම කරන්නෙ එවැනි උත්සාහයක්‘

කාලයක් තිස්සේ නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණ ඔස්සේ උත්සාහ දරන්නේ පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමට ය. එහෙත් නිර්මාණකරුවන් කොතෙක් නම් දෑ කළ ද ඒවායෙන් සමාජ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය වපසරිය නිර්මාණය වූවා ද යන්න ගැන ගැටලුවක් පවතී. සහෝ බලාපොරොත්තු වෙන වෙනස සමාජයේ ඇති කිරීමට හැකියාවක් ලැබේවි දැයි නැඟුණු ප්‍රශ්නයට මහාචාර්යවරයා දුන්නේ මෙවන් පිළිතුරකි.

‘ඇත්තටම මට එහෙම ලොකු විශ්වාසයක් නෑ. ලංකාවේ කලා නිර්මාණ සංස්කෘතිය දුප්පත්. රස වින්දනය ඇතුළු කලා මාධ්‍ය පරිහරණයත් දුප්පත්. මේ දෙකේ නෑකම වැඩි වීම ඇතුළෙ තමයි සමාජයේ කතා වීම හෝ ඉතිරි වීම සිදු වෙන්නෙ. ලංකාවේ සිනමාව කියන එක මගේ දැක්ම ඇතුළෙ හොඳ තැනක නැහැ. 

සංවාද හා මතවාද සමඟ ගැටෙන ප්‍රතිශතය ඉතා අඩුයි. අපට තියෙන්නෙ දිළිඳු සිනමාවක්. අපි ඉන්නෙ කෝවක. විචාරයක් නෑ. ප්‍රාග්ධනයක් නෑ. සිනමාකරුවන් කියලා හඳුන්වන ඉතා කිහිප දෙනයි ඉන්නෙ. ඒ පුළුල් කම නැතිවුණාම ඇතිවෙන ගැටලුවට අපි මුහුණ දෙන්න ඕන. විශ්වවිද්‍යාලෙ පැත්තෙන් ගත්තත් මේකට තියෙන්නෙ ඒකාකෘතික දැක්මක්‘

මහාචාර්ය ඇතුගල ගුරු භූමිකාවට අමතරව පර්යේෂකයෙකි; ග්‍රන්ථ රචකයෙකි. ටෙලි නිර්මාණවේදියෙකි; කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකි. සහෝ මහාචාර්ය ඇතුගලගේ පළමු දීර්ඝ සිනමා අත්දැකීමයි. සිනමා ක්ෂේත්‍රය අක්මුල් විහිදා වැඩුණු වනස්පතියකි. එහි සෙවණ ලැබූව ද; අධ්‍යයනය කළ ද ප්‍රායෝගිකව එහි දල්ලක් වීමට මහාචාර්ය ඇතුගලට සහෝ නිමැවෙන තෙක් අවස්ථාව ලැබුණේ නැත. සිය පළමු සිනමා අත්දැකීම ගැන ඔහුගේ අදහස මෙපරිදි ය.

‘ලංකාවේ සිනමාකාරයෙක් වෙන්න ලේසි නෑ. සැඟවුණු ආධිපත්‍යයක් තිබෙනවා. එක පැත්තකින් මූල්‍ය අනුග්‍රාහකත්වය. අනිත් පැත්තෙක් තාක්ෂණික බල කඳවුරු. මම නිසා බේරගත්ත දේවල් තියෙනවා. සමහරවිට ආධුනිකයකුට ඒවා ජයගන්න අමාරුයි. සිනමා කලාවේ ආධිපත්‍යයත් සුළු පිරිසක් අත තියෙන්නේ. ඒ කුඩා වුණත් අතිශය බලවත් කල්ලිවාදයක්. මට සරසවි විද්‍යාර්ථීන්ගෙන් ලොකු සහයක් ලැබුණා. අනෙක පළපුරුදු දක්ෂ වෘත්තිය පිරිසකුත් මා සමඟ වැඩ කළා‘

ඔහු මෙතෙක් සිනමාව නමැති මහා සම්ප්‍රදායට අත නොගසන්නට බලපෑම් කළ තවත් සාධකයක් තිබිණි. ඒ අර්ථපතීත්වය පිළිබඳ තිබූ ගැටලුවයි. ලෝක සිනමා සම්ප්‍රදාය ඇතුළත මහා සිනමා කාව්‍ය බිහිවීමට බලපෑම් කළ සාධක අතර ඒ සඳහා වැය වෙන ප්‍රාග්ධනය ගැන වන නිදහස වැදගත් ම සාධකයකි. නිර්මාණකරුවා ඒ පිළිබඳ දරන නිදහස නිර්මාණ නිදහසට වන තවත් වදනක් වැනිය. වෙනස්කම්, අත්හදාබැලීම් අබියස නිර්මාණකරණය සජීවි ගුණාංගවලින් පෝෂිත වෙන්නේ ඒ නිසා ය. ලංකාවේ මේ තත්ත්වය බෙහෙවින් වෙනස් ය. නිර්මාණකරුවා ස්වකීය නිර්මාණ නිදහසට වඩා සැලකිලිමත් වෙන්නේ සිය නිර්මාණය සඳහා වැයවන වැය පිළිබඳ ගැටලුවටය. සහෝ සිනමා සිත්තම අර්ථපතීත්වය පිළිබඳ ගැටලුව සමනය කරගත් ආකාරය ගැන මහාචාර්ය ඇතුගල කළ කෘතවේදී අදහස මෙසේය.

‘මම විවිධ දේවල් කර කර හිටියට මුදල් ප්‍රශ්නෙ නිසා තමයි චිත්‍රපටයක් නොකළෙ. මම හිතමින් හිටියා. මට විශ්වවිද්‍යාලෙ දේශනවලට ගියාම තේරුණා අපි දේශන ශාලා ඇතුළෙ ඉගැන්වුවාට වැඩක් නෑ, කොහේද මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නෙ කියලා. මම වෙනම කණ්ඩායමක් විශ්වවිද්‍යාලෙන් ගත්තා. ඒත් මේකට මුදල් ඕන. මම මේ ගැන හිතමින් ඉන්නකොට තමයි මගේ මිත්‍රයා කුමාර තිරිමාදුර කිව්වෙ, සිනමාපටය ගැන කතා කරන්න බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා හමු වෙන්න කියලා. මම ගිහින් මේ ගැන ඇමැතිතුමා එක්ක කතා කළා. ඊට පස්සෙ එච්. ඩී. ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ සහ ඇමැතිතුමාගේ වැඩපිළිවෙළක් යටතේ මේකට අනුග්‍රහය දක්වන්න සූදානම් බව මට දැනුම් දුන්නා. මේ චිත්‍රපටය පො‍ළොව මත ස්ථානගත කරන්න නිෂ්පාදකවරයා වශයෙන් මට බන්දුල ඇමැතිතුමා දුන්නු සහාය අමතක කරන්න බැහැ‘

සහෝ සිනමා සිත්තම මේවන විට විදෙස් සම්මාන රාශියකට හිමිකම් කියයි. ඒ හොඳම ආසියානු වෘතාන්ත චිත්‍රපටය, හොඳම වෘතාන්ත චිත්‍රපටය, ගෝල්ඩ් සම්මාන වෘතාන්ත චිත්‍රපටය, හොලිවුඩ් ගෝල්ඩන් සම්මාන, හොඳම ස්වාධීන වෘතාන්ත චිත්‍රපටය, හොඳම ස්වාධීන වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානය ආදිය ඉන් කිහිපයකි. ඊට අමතරව හොඳම නිෂ්පාදකයාට හිමි සම්මානය පැරිස් චිත්‍රපට සම්මාන උලෙළේදීත්, හොඳම වෘතාන්ත චිත්‍රපටය, ARG ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ, හොඳම අධ්‍යක්ෂක, රොබින්සන් චිත්‍රපට සම්මාන ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, FIST TIME වෘතාන්ත චිත්‍රපටය, BIFF ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ, ස්වීඩනය ගෞරවයට පාත්‍ර අධ්‍යක්ෂක, ලන්ඩන් චිත්‍රපට සම්මානය, එක්සත් රාජධානියේ ගෞරවයට පාත්‍ර ස්වාධීන වෘතාන්ත චිත්‍රපටය ඇතුළු බොහෝ සම්මාන ඉසව්වලින් සම්මානිත ය. එය මෙරට ප්‍රේක්ෂකයා වෙත තිළිණ වෙන්නට පෙර ම විදෙස් ඇගයුමට ලක් වීම ප්‍රශංසනීය ය. එමෙන්ම සිනමා කර්මාන්තයේ අනාගතය ගැන සුබ සිහින සම්පාදනය කරන්නකි.

මහාචාර්ය ඇතුගලගේ නිර්මාණ භාවිතය යම් තරමක වෙනස් කියැවීමක් සහිත වූවකි. රූප මාධ්‍යයක ශ්‍රව්‍ය මාධ්‍යයක් සේ වැඩ කරමින් සිටි පිරිසක් අතරට මහාචාර්ය ඇතුගල නව සම්ප්‍රදානයක් හඳුන්වා දීමේ ලා උපස්ථම්භක විය. කැමරා කෝණ හා රූප අතර ප්‍රබල කියැවීමක් ඇතුළත් ඔහුගේ රූප සම්ප්‍රදානය සහෝ සිනමා භාවිතය ඇතුළත සජීවි කරගත්තේ කෙසේදැයි මා විමසූවේ එබැවිනි. ඒ සඳහා ඔහුට තිබුණේ වෙනස් පිළිතුරකි. එය මේ කර්මාන්තය පිළිබඳ ව ඇස් ඇරවන්නකි; ප්‍රශ්න කිරීමකි. සිනමාකරුවාගේ මානසික ඒකාග්‍රතාව ගැන කියැවෙන ඒ පිළිතුර සමස්ත සිනමා කර්මාන්තය පිළිබඳ ව ම චිත්‍රයකි.

‘ මම දර්ශන තලයට යන්නෙ හරිම දාර්ශනික විදියට. හැබැයි ගියාට පස්සෙ එතන වෙනස්. මොකද එයාලට එහෙම ඉස්පාසුවක්, ඉවසීමක් නෑ. බජට් එකත් එක්ක, ඊළඟ වැඩේට දුවන්න බලන් එන්නෙ. ඔවුන්ට මේ චිත්‍රපටයත් එක්ක භාවනාවක් නෑ. එහෙම නැත්නම් මගේ වැඩේ එක්ක ඒකාත්මික වෙන්න බෑ. ඒ වගේම වෙලාවකුත් නෑ; දැක්මකුත් නෑ. මම පළවැනි දවසෙ ම බරපතළ ගැටලුවකට මුහුණ දුන්නා. සිනමාව වගේ මාධ්‍යයකට ඒ භාවනාව අත්‍යවශ්‍යයයි. අපේ සිනමාව වෙනස් වෙන්න නම් රූපය සෞන්දර්යාත්මකව විතරක් නෙවෙයි, දාර්ශනිකවත් පෝෂණය වෙන්න ඕන. දෘෂ්ටිවාදීව රූපය ගමන් කළ ඉතිහාසයක්

ලෝක සිනමාව ඇතුළෙ තියෙනවා. මෙතනට යන්න තියෙන පාර අපි වහගෙන ඉන්නෙ. ඒකට හේතු තියෙනවා. එහෙම තැනක කොහොමද හොඳ සිනමාවක් එන්නෙ. මම මුහුණ දෙන්නෙ ඒ ගැටලුවට‘

නිර්මාණකරුවන් ජීවත් වෙන්නේ සදාකාලික වේදනාවක් සිතේ දරා ගනිමිනි. ඔවුහු සාමාන්‍ය පුද්ගලයන්ට වඩා සියුම් කල්පනා ඇත්තෝ වෙති. ඒවායේ සියුම් දෑ ගැන නිරන්තර සිතන්නෝ වෙති. එකී වේදනාව බොහෝදුරට මුදා හැරෙන්නේ නිර්මාණ ඔස්සේ ය. ඒ නිර්මාණ ඔබේ මගේ ජීවන කියවා ගැනීම් වෙන්නේ ඒ නිසා ය. සිය ජීවිතය විසින් කියවා ගත් බොහෝ දෑ නිර්මාණයක් ඔස්සේ පාඨක, ප්‍රේක්ෂකයනට මුදා හැරි පසු බොහෝවිට ඔවුන්ට නිදහසක් දැනෙන්නේ ඒ නිසාය. සිතේ තෙරපුණු මහා බරක් බිමින් තැබි විට දැනෙන නිදහස නිර්මාණකරුවාට ද දැනෙන්නේ ය. සිතේ බරෙන් නිදහස් වීම ගතේ බරෙන් නිදහස් වීමට වඩා බර බව ඔබ දනී. දීර්ඝ කාලීන විශ්වවිද්‍යාල ජීවිතයේ තිබුණු ප්‍රශ්න හා වේදනාවලින් චිත්‍රපටය කිරීමත් සමඟ නිදහස් වුණා වැනි හැඟීමක් සිතට දැනෙන්නේ ද යන්නට ඔහු පැවසුවේ මෙවැන්නකි.

“ඇත්තටම මම විශාල තෘප්තියක් හා නිදහස් වීමක් ලබනවා. ඒක ගුරුවරයෙක් විදියට මට දැනෙනවා. මොකද න්‍යායාත්මක දේ විතරක් ඉගෙන ගත් බොහෝ විද්‍යාර්ථීන් මාත් එක්ක ප්‍රායෝගිකව වැඩ කළා. ඔවුන්ට මාවත් විවර වුණා. මට ඒක හරි සතුටුයි. කලා කෘතියක් විදියට මට මේකට විදෙස් සම්මාන කිහිපයක් ම ලැබුණා. හොඳම චිත්‍රපටය හා හොඳම නිෂ්පාදනයට විතරක් සම්මාන 8ක් ජාත්‍යන්තරව ලැබුණා. මට සහෝ ගැන තක්සේරුවක් තියෙනවා.

අනිත් දේ තමයි විශ්වවිද්‍යාල පද්ධතිය ගැන මගේ තිබුණු විවේචනය මම මේකෙන් මුදා හරිනවා. අපි ඉන්නෙ බරපතළ ව්‍යාජයක. යථාර්ථය කියලා අල්ලන් ඉන්නෙත් බරපතළ ව්‍යාජයක්. විශේෂයෙන් සරසවි ඇතුළෙ හොල්මන් කරන අබුද්ධික බරපතළ තත්ත්ව තියෙනවා. මම සම්මත ගුරු භූමිකාවෙන් වෙනස් වෙච්ච, කලා මාධ්‍ය වෙනස් ආකාරයකින් භාවිත කළ පුරවැසියෙක් විදියට විඳින තෘප්තිය ඉහළයි. ඔබ කිව්වා හරි, මට දැනෙනවා නිදහස් බවක්‘

අපි ජීවත්වන කුඩා කාලයේදී බොහෝ අත්දැකීම් එකතු කරන්නෙමු. විටෙක ඒ එකතු කරගන්නා දේ මිහිරිය; තවත් විටෙක ඒවා ජීවිතයේ වේදනාව උල්පතක් කරන දෑ ය. මහත් ලෝභයෙන් අප ඉතිරි කරගන්නා බොහෝ දෑ නික්ම යන්නේ මහත් වේදනාවක් ජනිත කරමිනි. එහෙත් කාලය ඉක්ම යෑමත් සමඟ අප එකතු කරගත් බොහෝ දෑ ඉතිරි වුව ද;නික්ම ගිය ද; ජීවන තක්සලාව මත අත්දැකීම නමැති දැනුම ඉතිරි කරයි. මේ නිර්මාණකරුවන් ඔබට තිළිණ කරන්නේ තමන්ගේ අත්දැකීම්හි වන බර බව මහාචාර්ය ආරියරත්න ඇතුගල ද සපථ කරන්නේ ඒ නිසා ය.

Comments