- නොදැනුවත්වම අපි පෙම්වතුන් වුණා. කතාබහ කරන විදිහෙන් තමයි තේරුණේ මමත් කැමති වෙලා කියලා.
- අපි දෙන්නම එකම පාසලේ. එයත් පාසලේ ජනප්‍රිය චරිතයක්. හොඳම යාළුවෝ විදිහට ඉඳලා ආදරෙන් බැඳුණු අපේ ආදර කතාවට අවුරුදු නවයක්
- අම්මාවත් තාත්තාවත් මටත් මල්ලිලා දෙන්නටත් කිසිම තෝරා ගැනීමකට බලකරලා නැහැ. කැමැත්ත හා පුළුවන් දේ කරන්න කියලා තමයි කිවුවේ
- එයා මේ තැනට ආවේ කොච්චර ලොකු කට්ටක් කාලද කියලා මම දන්නවා. බස් එකේ ලොකු බෑග් එල්ලගෙන මිනිස්සුන්ගෙන් බැණුම් අහගෙන, පයින් ඇවිදලා ලොකු කට්ටක් කෑවා අද ඉන්න තැනට එන්න
රමේෂ් මෙන්ඩිස් කියන නම මේ දවස්වල සමාජ මාධ්‍යයේ වැඩිපුර කතා කරන නමක් බවට පත් වී තිබෙනවා. ඒ ඔහුගේ විවාහයත් එක්කයි. මේ දිනවල එල්. පී. එල් තරග පැවැත්වෙන නිසාත් ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනකු අතර ඔහු ජනප්‍රිය චරිතයක්. 2021 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වෙමින් ටෙස්ට් වරම් හිමි කරගත් රමේෂ් මේ වෙද්දී පන්දු වාර විස්සයි විස්ස වගේම එක් දින පිටියත් පන්දුවෙන් හා පිතිකරණයෙන් වර්ණවත් කරනවා. ලෝක චැම්පියන් ෂිප් ටෙස්ට් ක්‍රිකට් තරගවල හොඳම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ මුල් ක්‍රීඩකයන් දෙතුන් දෙනා අතරට එක්ව සිටින ඔහුගේ වතගොත මේ විදිහට සටහන් කරන්න හිතුවා.
රමේෂ් ඔබ එල්. පී. එල් තරග අතරතුර විවාහ දිවියට ඇතුළත් වුණා, කොහොමද අලුත් ජීවිතේ..?
දෙසැම්බර් 16 වෙනිදා තමයි අපි විවාහ වුණේ. ඉක්මනින් සැලසුම් කරලා සිදු වුණු විවාහ උත්සවයක් කිවුවොත් හරි. මේ දවස්වල එල්.පී.එල් නිසා ක්‍රිකට් එක්ක තමයි වැඩිපුර කාලය ගත වෙන්නේ. බිරිය එක්ක නෙමෙයි, නමුත් ඉඩ තියෙන හැම මොහොතකම අපි දෙන්නා සතුටින් කාලය ගත කරනවා.
දන්න කියන ප්‍රේමය එක්ක දීග ගිය නිසා ලොකු වෙනසක් දැනෙන්නේ නැතුව ඇති ..?
ඒක තමයි ඇත්තම කතාව. වෙනසකට තියෙන්නේ අපි දෙන්නා එක වහලක් යටට ආව එක තමයි, මගේ බිරිය නුවනි, මම ඇයව දන්නේ පුංචි කාලේ ඉඳලා, අපි දෙන්නම එකම පාසලේ. එයා පාසලේ ජනප්‍රිය චරිතයක්. හොඳම යාළුවෝ විදිහට ඉඳලා පස්සේ ආදරේ කරන්න පටන් ගත්තා. අවුරුදු නමයක ආදර කතාවක් අපිට තියෙනවා. විවාහ වෙන්න ඕන නිසා අවුරුදු හතරකට කලින් මාපියන්ට කියලා එයාලගේ කැමැත්ත ගත්තා. එයා මාව හොඳින්ම දන්න කෙනෙක්. හරි පහසුයි ජීවත් වෙන්න. අනිත් එක මේ බැඳීම ඔළුවට බරක් නෙමෙයි
විවාහයත් එක්ක ඔබ ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා. ඒ ෆේස්බුක් පෝස්ට් එහෙම දැක්කද?
ඔව් දැක්කා. ගොඩක් ක්‍රිකට් ලෝලීන් අපිට සුබ පතලා තිබුණා. ඒ වගේ ජනතාවගේ ආදරේ ලබන්න පුළුවන් වීම ගැන සතුටුයි. වෙන රැකියාවක් කළා නම් ඒ ආදරේ ලැබෙන්නේ නැහැනේ.
ඔබ එක්දින, ටෙස්ට්, T20 තරග ආදී ෆෝමැට් තුනෙන්ම ක්‍රීඩා කරන්න වාසනාව හිමි වූ ක්‍රීඩකයෙක්, එල්.පී.එල් තරගවලදිත් ඔබ හොඳින් ක්‍රීඩා කරනවා..?
අන්තිම ටෙස්ට් මැච් එක ගැහුවේ පකිස්ථානයට එරෙහිවයි. ඒකේදි විකට් පහක් ගත්තා. ක්‍රීඩා සමාජ තරගවලදීත් ලකුණු 800ක් ගත්තා. ෆෝමැට් තුනෙන්ම ක්‍රීඩා කරන්න ලැබුණු එක සතුටකට වඩා වාසනාවක් කියන්න පුළුවන්.
ක්‍රිකට් තෝරා ගත්තේ ඇයි, ආසාවටද, ජනප්‍රිය වෙන්නද එහෙමත් නැත්නම් සල්ලි හොයන්නද..?
මම මුලින්ම බැඩ්මින්ටන් සෙල්ලම් කළේ මගේ බාප්පගේ දුවලා බැඩ්මින්ටන් ගහපු නිසා. ක්‍රීඩාවක් විදිහට ඒක කළාට මම ආසයි ක්‍රිකට් ගහන්න. මැච් බලලා සොෆ්ට් බෝල් සෙල්ලම් කරලා ඒ ආසාව වැඩි වුණා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ දේවානන්දයෙන්. ක්‍රිකට් පටන් ගන්නේ එතැනින්. මගේ බාප්පා මේජර් කෙනෙක්, එයා අම්මයි මාවයි ඉන්දියාවේ එක්කගෙන ගියා මාස තුනක් එහේ හිටියා. එනකොට බාප්පා මට ක්‍රිකට් බඩු ඔක්කොම අරන් දුන්නා. බාප්පා තමයි මාව ක්‍රිකට්වලට යොමු කළේ. 13න් පහළ පාසල් කණ්ඩායමේ නායකයා වුණා. ඊට පස්සේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ගියා. එහෙත් ක්‍රිකට් ක්‍රීඩා කළා, නායකත්වය දැරුවා. විදෙස් තරග නියෝජනය කරලා ලකුණු වගේම විකට් වැඩිපුර අරන් තියෙනවා. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රීඩා කළා. පාසල් හොඳම පන්දු යවන්නා හා හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වුණා. ඒත් එක්කම 19න් පහළ ජාතික කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. අන්තිමට ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. ආසාවට තමයි ක්‍රිකට් ගහන්නේ, දැන් කතාබහට ලක් වෙද්දී සතුටුයි. සල්ලිත් ලැබෙනවා.
ඔබ හොඳ මුහුදු පිහිනුම්කරුවෙක් ..?
මගේ තාත්තා ප්‍රසන්න මෙන්ඩිස්. ඔහු පොලිස් නිලධාරියෙක්. මම පුංචි කාලේ ගමින් ගමට පිහිනුම් පුහුණුවීම් තිබ්බා ගමේ අයට. අපේ ගමේ පුහුණුකරු වුණේ තාත්තා. මම උදේ හවස තාත්තා එක්ක පිහිනන්න යනවා. තාත්තා නම් ජාතික මට්ටමින් වාර්තා තිබ්බ පිහිනුම් ශූරයෙක්. මම තාත්තා එක්ක කිලෝ මීටර දෙකක් මුහුදේ උපරිම පිහිනලා තියෙනවා. තාත්තාට ස්ථාන මාරුවීම් ලැබිලා ගියාට පස්සේ පිහිනන එක නතර වුණා.
තාත්තා වගේ පිහිනුම් පැත්තෙන් ඉදිරියට යන්න කියලා තාත්තා යෝජනා කරලා නැද්ද ?
මගේ අම්මා දුල්මිනි කහඳවල. ඇය ගුරුවරියක්. අම්මාවත් තාත්තාවත් මට වගේම මගේ මල්ලිලා දෙන්නටත් කිසිම තෝරා ගැනීමකට බල කිරීම් කරලා නැහැ. මල්ලිලා දෙන්නත් ක්‍රිකට් ගහන්නේ. කැමැත්ත හා පුළුවන් දේ කරන්න කියලා තමයි අම්මයි තාත්තයි අපිට කිවුවේ. රමේෂ් සමඟ කතාබහෙන් පසුව අපි මේ කතාබහට ඔහුගේ ආදරණීය බිරිය නුවනි නවෝද්යාවත් එකතු කරගත්තා.
සැමියා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙද්දී ඔබ දක්ෂතා දැක්වූයේ මේස පන්දු ක්‍රීඩාවට. ඔබ ජාතික මට්ටමේ මේස පන්දු ක්‍රීඩිකාවක් නේද?
එයා ක්‍රිකට් ගහද්දි මම ඉස්කෝලේ මේස පන්දු ක්‍රීඩා කළා. පංතියේ නෙමෙයි මම වැඩි කාලයක් හිටියේ, තරගවල. විදෙස් සංචාරවලටත් ගියා.ඒ නිසා පාසලේ බොහෝ දෙනෙක් මාව දැනගෙන හිටියා. මම පාසලේ වගේම විශ්වවිද්‍යාලයෙත් මේස පන්දු ක්‍රීඩා කළා. දෙකෙන්ම කලර්ස් ගත්ත කෙනෙක්.
රමේෂ් ආදරේ ප්‍රකාශ කරද්දී ඔයා පාසලේ ප්‍රසිද්ධ චරිතයක් නිසා ආඩම්බර වුණාද?
ආදරේ ප්‍රකාශ කළාට පස්සේ එකපාරටම හා කිවුවේ නම් නැහැ. ඒත් එකපාරටම හා කියන්නත් බැහැනේ. පාසලේ ප්‍රසිද්ධ නිසා එහෙම ගණන් ඉස්සුවේ නැහැ. එකපාරටම කැමැත්ත කියන්න බැරි නිසයි ටික දවසක් හිටියේ.
ඊට පස්සේ කැමැත්ත දුන්නා?
කැමැත්ත දුන්නේ නැහැ, දෙන්නා කතාබහ කළා. පාසලේදි නිතරම දකිනවා. ඒ නිසා ආදරේ ප්‍රකාශ කළාට පස්සේ මගේ කැමැත්ත කියන්න ඉඩක් තිබ්බේ නැහැ, නොදැනුවත්වම අපි පෙම්වතුන් වුණා. කතාබහ කරන විදිහෙන් තමයි තේරුණේ මමත් කැමති වෙලා කියලා. එයාට මගේ පස්සෙන් එන්න වුවමනාවක් තිබ්බේ නැහැ මොකද මම කැමැතියි කියලා එයා දන්නවනේ.
පාසලේ පිරිස දැනගෙන හිටියද..?
ඔව්. එයාගේ වෙනස්කම් මගේ යාළුවන්ට තේරිලා තිබ්බා. යාළුවෝ මට විහිළු කළා. ඒ වුණාට මම පාඩුවේ නොතේරෙනවා වගේ හිටියා. අන්තිමට යාළු වෙනකොට යාළුවෝත් උදවු කළා. අපිට හොරෙන් ආදරේ කරන්න සිදු වුණේ ගෙදරට අහු වුණොත් කියලා බයටයි. මොකද දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. ක්‍රීඩා වැඩවලටත් සම්බන්ධයි. ඔක්කොම බැලන්ස් කර ගන්න ඕන නිසා ගෙදර අයගෙන් පරිස්සම් වුණා. ගෙදරින් කිවුවේ මුලින්ම ඉගෙන ගෙන ඉන්න කියලා. පොඩ්ඩක් අකමැති වුණේ අධ්‍යාපන කටයුතු නිසා තමයි. මොකද අපි ආදරේ කරන්න පටන් ගත්තේ නවය වසර ඉන්නකොට නිසා. අපි අවුරුදු පහක්ම හැංගි හොරා තමයි ආදරේ කළේ.
ඔහු වගේ ක්‍රිකට් ක්රීඩකයකුට ආදරේ කරන්න හිතුවේ ඇයි?
රමේෂ්ව කාලයක ඉඳලා දන්න නිසා අපිට ජීවත් වෙන්න පහසුයි. එයා මාව දන්න දවසේ ඉඳලම මම ගැන හොයලා බැලුවා. මට කතා කරන්න අමතක වුණත් එයා සැරින් සැරේට කෝල් කරලා හොයලා බලනවා. ඒ ගතිගුණවලට මගේ හිත ගියා, එයා ආදරේ ප්‍රකාශ කළාම බැහැ කියලා කියන්න බැරි වුණේ ඒකයි. අනිත් එක එයාගේ මවුපියන් ගැන වගේම මගේ මවුපියන් ගැනත් එයා හොයලා බලනවා. මම ආදරේ කරද්දී එයා දිගටම ක්‍රිකට් ගහයි කියලා හිතුවේ නැහැ.
කොයි මොහොතකවත් හිතිලා නැද්ද රමේෂ් වගේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න?
කොහොමත් නැහැ, මම ආස ටේබල් ටෙනිස්වලට.
රමේෂ් තහනම් තහංචි දැම්ම නිසාද ඉන් ඈත් වුණේ?
නැහැ, කොවිඩ්වලින් පස්සේ ඒක එහෙමම මග ඇරිලා ගියා. එයා නම් කිසි දෙයක් එපා කියන්නේ නැහැ.
රමේෂ් ක්‍රිකට් නිසා යහමින් මුදල් උපයනවා ඇති, ඒ නිසා රැකියාව කරන්න එපා කියන්නේ නැද්ද?
එහෙම කියන්නෙ නෑ, ඉගෙන ගත්තේ කොච්චර මහන්සි වෙලාද කියලා එයා දන්නවා. අනිත් එක එයත් වැඩි කාලයක් ගෙදර නැති නිසා මට ගෙදරට වෙලා ඉන්න කම්මැළියි.
කෙටි කාලයකින් විවාහ වෙන්න විශේෂ හේතුවක් තිබුණද?
නැහැ, මම එම්. බී එක කළාට පස්සේ විවාහ වෙමු කියලා හිතාගෙන හිටියේ. නමුත් ගෙවල්වලින් කිවුවා වයස යන්න කලින් විවාහ වෙලා ඉන්න කියලා. ඊට පස්සේ මාස හතරක් වගේ පොඩි කාලයකින් විවාහයට සූදානම් වුණා. අපේ විවාහයේ සුන්දර ඡායාරූප ගත්තේ ද විනිටි එකෙන්. වෙඩින් එක ප්ලෑන් කරේ ඉවෙන්ට් හවුස් එකේ තිළිණ. සැලෝන් ලියෝ, සැලෝන් බොනිතා, නාමල් බාලචන්ද්‍ර, යූ ආර් බ්‍රයිඩ්ල් ඩ්‍රෙසස් ඇතුළු හා නමින් නොකිවුවට ගොඩක් දෙනෙක් අපිට උදවු කළා. ඒ හැමෝගෙම උදවු ඇතිව තමයි වෙඩින් එක ලස්සනට කළේ.
දැන් උයන්න පිහන්න පුළුවන්ද?
විවාහයෙන් පස්සේ රමේෂ් එල්. පී. එල්වල ඉන්නේ. තවම උයන්න බැරි වුණා, රසද දන්නේ නැහැ , කොහොම හරි ඒ දෙවල් ඉගෙනගෙන කරන්න සිදු වෙනවා බිරියක් හැටියට.
රමේෂ් වගේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිය වීම ගැන සතුටු ඇති?
රමේෂ් වගේ ගොඩක් හොඳ සැමියෙක් ලැබීම ගැන සතුටුයි. ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරියක් කියන එක ගැන මම එච්චර හිතන්නේ නැහැ. එයා මේ තැනට ආවේ කොච්චර ලොකු කට්ටක් කාලද කියලා මම දන්නවා. බස් එකේ ලොකු බෑග් එල්ලාගෙන මිනිස්සුගෙන් බැණුම් අහගෙන, පයින් ඇවිදලා ලොකු කට්ටක් කෑවා අද ඉන්න තැනට් එන්න. ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි මේ කියලා හිතෙද්දි නම් සතුටුයි. අද එයාට කියලා ගෙයක්, වාහනයක් තියෙනවා. එක දෙයක් කියන්න ඕනේ, අපි විවාහ වෙන්න පරක්කු කළෙත් ගෙයක් හදාගන්න ඕනේ නිසයි. ඉතින් අපිටම කියලා ගල්කිස්සෙ ගෙයක් හැදුවා. ජීවත් වෙන්න වහලක් ඕනනේ කියලා තමයි එයා නිතරම කිවුවේ.
ගැහැනු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දි මොකද හිතෙන්නේ?
විශේෂත්වයක් නැහැ. එයාට එන මැසෙජ් මට බලන්න කියනවා එයාට වෙලාවක් නැති නිසා. පුළුවන් වෙලාවට එයා රිප්ලයි කරනවා. නැත්තම් මට රිප්ලයි කරන්න කියනවා.