ජනතාව ගසාකන වතුර බෝතල් මාෆියාව | සිළුමිණ

ජනතාව ගසාකන වතුර බෝතල් මාෆියාව

- පිටකොටුවේ ටැප්වලින් වතුර පුරෝලා විකුණන ජාවාරම්කරුවන් කෝටිපතියො වෙලා
- රුපියල් 100ට විකුණන වතුර බෝතල් තොග මිල රුපියල් 35යි
- ප්ලාස්ටික් බෝතල් මිල අඩු වීම පාරිභෝගිකයන්ට නොලැබුණු බව කියන ප්ලාස්ටික් නිෂ්පාදකයෝ
- වතුර බෝතලයකින් සිල්ලර කඩයකට 100% කටත් වැඩි ලාභයක්
- මෙවර විදුලි බිල ගණනයෙන් පසු පාලන මිලක් පනවන බව පාරිභෝගික අධිකාරිය කියයි

පිටකොටුව බෝගහ හන්දියයි. දුර බැහැර සිට එන බස්රථ මෙන්ම දුර බැහැර සිට කොළඹට එන දුම්රියේ එන මගියෝ ද බොහෝ විට මුලින්ම එන්නේ බෝගහ හන්දියටය. බෝගහ හන්දියේ ඇති හෝටලයට බෙල්ල දැමූ ගැමියකු යැයි සිතිය හැකි පුද්ගලයකු කැෂියර් එකෙන් වතුර බෝතලයක් ඉල්ලා සිටියේය. 

“පොඩිම බෝතලේ රුපියල් 120යි. 100ට තිබ්බ එක ඉවරයි. මූඩියේ සීල් එක කඩල එහෙම තියන්න එපා ගාණ වැඩියි කියලා. ගාන කලින්ම කිවුවේ ඒකයි.”

“බුදු අප්පච්චියේ මේ පොඩි වතුර බෝතලයක් රුපියල් 120ක් ? අනේ පුතේ මං ටැප් එකෙන් වතුර ටිකක් බොන්නද?”

“ඕක ඉතින් අහන්න දෙයක්ද?”

වතුර බෝතලය මිල අසා අන්දුන් කුන්දුන් වූ පුද්ගලයා හෝටලයේ සින්ක් එක ඇති ටැප් එක ළඟට ගොස්

ටැප් එක ඇර අත් දෙක එක්කොට වතුර පුරවාගෙන තුන් වරක් වතුර බී, දෙඅත්ලේ වූ වතුර බිඳුවලින්

මුහුණ තෙමා ගත්තේ “අනේ අපොයි” කියමිනි.

ගෝඨාභය ආණ්ඩුව අවසන් වරට ගැසට් එකක් ගැහුවේ වතුර බෝතල් පාලන මිල ඉවත් කරන්නටය. එදා මෙදාතුර මෙරට ජනතාවට වතුර බිඳක් බීමට තිබූ අයිතිය මෙන්ම හැකියාව ද මේ මිල පාලනය ඉවත් කිරීමත් සමඟ දියේ ගිල්වා දැමිණ. සියලුම නීතිමය බලය රජය සතු වුවත් තවමත් හිතු හිතු ගාණට වෙළෙඳපොළේ වතුර බෝතල් අලෙවි වේ. පානීය වතුර බෝතල් පාලන මිල ගැන මුලින්ම අප විමසා සිටියේ පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියකුගෙනි.

“පාලන මිල අඩු කළේ නිෂ්පාදකයෝම කියලා. විදේශිකයන්ට පොඩි වතුර බෝතලයක් ඩොලර් එකකට දෙන්න පුළුවන් කිවුවා. දැන් පාලන මිලක් නැති නිසා මුද්‍රිත මිල තමයි උපරිම සිල්ලර මිල වෙන්නේ. අනික් අයගේ වතුර බෝතල් විකුණන්න බෑ කියලා කොන්දේසි දාන්න බෑ. ඒක කොන්දේසි මත වෙළෙඳාම මේ ගැන වෙළෙන්දෝ පැමිණිල්ලක් කළොත් උපාය දූතයෙක් මඟින් පරීක්ෂණයක් කරලා නීතිමය පියවර ගන්න පුළුවන්. කොහොමත් තම විදුලි වැය වීමත් සමඟ ඊළඟ ලයිට් බිල ගණනය කිරීමෙන් පසු ජල බෝතල් සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු සූදානම් කරගෙන යනවා”.

ඩොලර් හිඟ වීමත් සමඟ අමුද්‍රව්‍ය නොමැතිකමින් හිස් වතුර බෝතලය මිල ඉහළට නැග්ගේ හිටු කියාය. මිලි ලීටර් 500ක හිස් බෝතලය රුපියල් 8 සිට රුපියල් 30 දක්වාත්, ලීටරයේ හිස් වතුර බෝතලය රුපියල් 13 සිට රුපියල් 48 දක්වාත්, ලීටර් 1.5 හිස් වතුර බෝතලය රුපියල් 18 සිට රුපියල් 60 දක්වාත්, ලීටර් 5 හිස් වතුර බෝතලය රුපියල් 65 සිට රුපියල් 200 දක්වාත් වැඩි වීමෙන් රටේ ජල බෝතල් කර්මාන්තය අර්බුදයෙන් අර්බුදයට පත් විය. මීට වසර කිහිපයකට පෙර මිලි ලීටර් 500 වතුර බෝතලයේ මිල රුපියල් 50ක් විය. එහෙත් අද එම කුඩා බෝතලයේ මිල රුපියල් 120කි. රුපියල් 70ක් වූ ලීටර් එකහමාර අද රුපියල් 200කි. රුපියල් 150ට තිබූ ලීටර් 5 කෑන් එක අද රුපියල් 415කි.

වතුර බෝතල් මිල ගැන අප ඊළඟට අදහස් විමසා සිටියේ පානීය ජල විශේෂඥයකු වන මහාචාර්ය අතුල සේනාරත්නගෙනි.

“මේ පානීය ජල බෝතලයේ මිල වැඩි වීම පිළිගන්න බෑ. රුපියල් 35ට තිබ්බ බෝතලේ රුපියල් 120ක් වෙන්නේ කොහොමද ? අසුරන පානීය ජල බෝතලේක ජලයේ අගයට වඩා ප්ලාස්ටික් බෝතලේ වටිනාකම වැඩියි. මේ ජල බෝතල් නිසා මිනිස්සු පිරිසුදු පානීය ජලයට පුරුදු වුණා. දුර බැහැර ගමනක් ගියාම මලකඩ - අසූචි මිශ්‍ර ජලය වෙනුවට ජනතාව පානීය ජලය බෝතලයක් ගන්න පුරුදු වුණා. මේ වතුර බෝතලයක මිල තීරණය කරන්න රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. නැත්නම් පාසල් ළමයකුටවත් පිරිසුදු වතුර ටිකක් බොන්න බැරි වෙනවා.”

අප කළ ගවේෂණයේදී පෙනී ගියේ වතුර බෝතල් තොග මිල ශීඝ්‍රයෙන් අඩු වී ඇති බවයි. මෙහිදී සිදුවී

ඇත්තේ සිල්ලර වෙළෙන්දා තම කොමිස් කුට්ටිය ගැන සිතමින් වතුර බෝතලේ මිල අඩු කිරීමට ඉඩ

නොදීමයි. වතුර පුරවන ප්ලාස්ටික් බෝතලේ මිල ගණන් අඩු වීම ගැන අප අසා සිටියේ මෙරට දැවැන්ත

ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනාගාරයක් වන පෙට්ෆෝම් ආයතනයේ අධ්‍යක්ෂ පී. මද්දරන්ගෙනි.

“දැන් ප්ලාස්ටික් බෝතල් මිල පුදුම විදියට අඩුවෙලා තියෙන්නේ මිලි ලීටර් 500 හිස් බෝතලේ රුපියල් 19යි, ලීටරය රුපියල් 29යි. ලීටර් එකහමාර රුපියල් 39යි. දැන් තියෙන වියදම් අඩු වීම එක්ක මිලි ලීටර් 500 බෝතලේ රුපියල් 70ට අඩුවෙන් දෙන්න පුළුවන්. ඒත් මේ ලාභය කස්ටර්මර්ට යන්නේ නෑ. සිල්ලර කඩ කාරයෝ ලාභයත් අරගෙන වතුර බෝතලේ මිල අඩු කරන්න දෙන්නෙත් නෑ. ආණ්ඩුව මේක මිල අඩු කළා නම් බිස්නස් එක වැඩිවෙනවා."

දැන් වතුර බෝතලයක් මිල වැඩි කිරීමට තවත් විශේෂණ පදයක් වී ඇත්තේ 'ආයතනීය අලෙවියට' පමණි (Institutional sales only) යන වැකියයි. වතුර බෝතලේ මිල ළඟින් මේ පාඨය මුද්‍රණය කොට මිලි ලීටර් 500 බෝතලය රුපියල් 150 - 180 දක්වා වැඩි මිලට සුපිරි ආපනශාලා, කැෆේ මෙන්ම සුපිරි හෝටල්වල ද ජනතාව වතුරෙන් සුරා කමින් සිටි.

පාලන මිල ඉවත් කිරීමෙන් පසු අද වතුර බෝතලයට අත් වූ ඉරණම කුමක්ද? කඩේ වෙළෙඳසැල් හිමියා ඉල්ලා සිටින ඕනෑම මිලක් වතුර බෝතලයේ කරේ මුද්‍රණය කොට දීමය. 2014 වසර ආරම්භයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය එතෙක් කල් ලේබලයේ සඳහන් ජල බෝතලය කල් ඉකුත්වන දිනය, නිෂ්පාදිත දිනය, කාණ්ඩ අංකය හා මිල ආදී විස්තර බෝතලයේ මුද්‍රණය කිරීමට ජල බෝතල් නිෂ්පාදකයන්ට නියෝග කළේය. පානය කොට විසි කළ වතුර බෝතල් නැවත එකතු කොට පිටකොටුවේ ටැප් එකකින් වතුර පුරවා මූඩිය සීල් කොට නැවත වෙළෙඳපොළට එවීමේ කූට ජාවාරමක් හෙළි වීම නිසා මෙම පියවර ගනු ලැබිණ. 

ඒත් දැන් පිටකොටුවේ සිදු වී ඇත්තේ කුමක්ද? ඉවතලන වතුර බෝතල් සෝදා නැවත පිටකොටුව බස් නැවතුම අසල සැඟවුණු ටැප් එකක් අසල සිට නැවත පුරවා වෙළෙඳපොළට දැමීම මහා ජාවාරමක් වී ඇත. බෝතලයේ මුද්‍රිත නිෂ්පාදිත දිනය, අවසන් වන දිනය, මකන්නට අල්ලන්නට එක හයිප්‍රෙෂර් ගන් වතුර පාරකි. නැත්නම් දැව ආරක්ෂක පෙඟවූ පාන්කඩයකින් එම දත්ත මනාව ඉවත් කළ හැකිය. ප්‍රසිද්ධ සමාගමක ලේබලයට සමාන ලේබල් ඇලවීම, මූඩිය සීල් තැබීම සහ එය සෙලෝපේන් ආවරණය බෝතලයට ඇලවෙන ලෙස සංකෝචනය කරන්නේ හෙයා ඩ්‍රයර් නොහොත් කොණ්ඩය වේළන උපකරණයකිනි. ඔය ඔක්කොම කරගත් වතුර ජාවාරම්කරුට බෝතලේ කඳේ නිෂ්පාදිත දිනය, අවසන් වන දිනය ආදිය පරිගණකයකින් මුද්‍රණය සුටුස් ගා කර ගත හැකිය. එම මැෂිමක මිල රුපියල් 24,000කි. පිටකොටුවේ දැවැන්තම වතුර බෝතල් සැපයුම්කරු වන බැස්ටියන් මාවතේ ව්‍යාපාරික ගුණදාසගෙන් අප මේ ගැන විමසුවෙමු.

“මම වතුර බෝතල් බිස්නස් පටන් ගත්තේ 1991දී. එතකන් සුපර්මාකට්වල විතරයි වතුර බෝතල් වික්කේ. මම තමයි සාමාන්‍ය ජනතාවට බස් එකේ ගමනක් යන විට වතුර බෝතලයක් ගෙන යන්න පුරුදු කළේ. සමහර බස්වල වතුර බෝතල් විකුණන වෙළෙන්දෝ හොඳ බෝතල් අස්සේ හොර බෝතල් ගහගෙන ඉන්නවා. අහුවුණොත් කියනවා බොන්න තියා ගත්තා කියලා. මිල වැඩි වෙන්න කලින් පිටකොටුවේ වතුර බෝතල් තිස් දහසක් විතර වික්කා. දැන් තුන් දාහක් විකුණා ගන්නෙත් අමාරුවෙන්.”

බෝතල් කළ පානීය ජලය ප්‍රමිතියෙන් තොර බව මුලින්ම අනාවරණය වූයේ 2013දීය. අපිරිසුදු ජලය පානය කිරීම වනාහි අපිරිසුදු ආහාර ගැනීමටත් වඩා බරපතළ තත්ත්වයකි. මේ අපිරිසිදු තත්ත්වයේ බාල වතුර පරිභෝජනයෙන් මරණීය ප්‍රතිඵල ඇති කළ හැකි බව මේ කූට වෙළෙන්දෝ පවා දැන සිටියා දැයි සැක සහිතය. වරක් වෛද්‍ය ආනන්ද ජයලාල් පවසා ඇත්තේ ජලයේ රෝග කාරක බැක්ටීරියා පිළිබඳ සොයා බැලීමේදී ජලයේ ඊ කෝලි (Ecoli) බැක්ටියාව නොතිබිය යුතු බවය.

පානීය ප්ලාස්ටික් ජල බෝතල් හඳුන්වන්නේ Pet බෝතලය යනුවෙනි. මෙම බෝතල් වරක් පාවිච්චි කොට ඉවත දැමිය යුතුය. ඒවා නිපදවා ඇත්තේ පොලිඑතිලින් ටෙරේ කැලේට් නම් ප්ලාස්ටික් වර්ගයකිනි. වරක් භාවිත කොට ඉවතලිය යුතු Pet බෝතලය නැවත නැවත භාවිතයෙන් සිදුවන්නේ බෝතලය ඇතුළතින් සීරි ඔයිඑතිල් හයිඩොක්සිල් නම් රසායන ද්‍රව්‍ය ඉවතට පැමිණීමය. එය මුළුමනින්ම පිළිකා කාරකයකි. වතුර Pet බෝතල් අධික අව්වේ දින ගණන් තබා පානය කිරීම හා වාහනයේ දින ගණනක් රස්නයට තැම්බෙමින් පසු පානයෙන් ද මෙම පිළිකා අවදානමට ලක් විය හැකිය.

මෙරට ජනගහනය ලක්ෂ 72ක් අසූචිවලින් දූෂණය වූ ජලය පානය කිරීමේ අවදානමකට ලක් වී ඇති බව නවතම දත්ත අනුව වාර්තා වේ. මේ ජලය මිනිස් හා සත්ත්ව මලවලින් දූෂිතය. මේ අනාරක්ෂිත ජලය ජනගහනයෙන් 36% පරිභෝජනය කරනු ලබන බවට වාර්තා වී ඇති බැව් සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය කර ඇති සමීක්ෂණයකිනි. එය සඳහන් වන්නේ Nutrition and food security survey වාර්තාවේය.

දැන් මෙරට දේශීය ජල බෝතල් නිෂ්පාදකයන්ට උදා වී ඇත්තේ අභාග්‍යසම්පන්න කාලයකි. ඊට හේතුව දැවැන්ත බහුජාතික බීම සමාගම් 3ක් වතුර බෝතල් නිෂ්පාදනයට පිවිසීමය. ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ බහුජාතික සමාගම් බෝතල් සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය තීරුබදු රහිතව ගෙන්වීම නිසා බහුජාතික සමාගම්වල වතුර බෝතලයේ මිල අඩුය. මේ බහුජාතික බීම සමාගම් තම බීම කේස් 10ක් මිලදී ගත් විට ලීටරයේ වතුර බෝතල් කේස් එකක් නොමිලේ ලබා දීම නිසා දේශීය පානීය ජල නිෂ්පාදකයන් දැන් පත්ව ඇත්තේ දැඩි අර්බුදයකය. වතුර බෝතලයක් විකිණීම නිසා කඩ හිමියා ලබන ලාභය 100% කි. ඒ කියන්නේ රුපියල් 150ට විකුණන වතුර බෝතලයකින් කඩ හිමියා ලබන ලාභය රුපියල් 75කි. දැන් බොහෝ කඩ හිමියන් දේශීය පානීය ජලය සමාගම්වලට ගෙවීම් පැහැර හැර 'පොල්ල තියන්නේ' තවත් බහුජාතික බෝතල් නිෂ්පාදකයකු සොයා ගත හැකි නිසාය. එහෙත් බහුජාතික බීම සමාගම්වල ජල බෝතල්වලට මේ කඩ හිමියන් නූලට ගණන් බේරනු ලැබේ. ඒ ජල බෝතල්වලට ගෙවීම් නොකොළොත් බහුජාතික සමාගම තම පැණි බීම ලබා දීම ප්‍රතික්ෂේප කරන නිසාය. 

මේ අතර බහුජාතික වතුර බෝතල් සමාගම් තම වෙළෙඳ ඒකාධිකාරය ව්‍යාප්ත කර ගැනීමට අලුතින්ම ගෙන ඇති පියවර වන්නේ පානීය ජල බෝතල් අලෙවියේ නියුතු ආයතන සමඟ ගිවිසුම්ගත වීමය. මෙම ගිවිසුමේදී වතුර බෝතල් අලෙවියේ නියුතු ආයතනයකට රුපියල් ලක්ෂ දෙකේ සිට පහ දක්වා තැන්පතුවක් එවලේම ලබා ගත හැකිය. බහු ජාතික සමාගමේ කොන්දේසිය වන්නේ තම නිෂ්පාදිත වතුර බෝතල් හැර වෙනත් කිසිදු දේශීය හෝ ආනයනික වතුර බොතල් අලෙවිය සපුරා තහනම් වීමය.

එහෙත් ශ්‍රී ලංකා පානීය බෝතල් ජල සංගමයේ සභාපති උපුල් සේනාරත්න පවසන්නේ ඊට වෙනස් කතාවකි.

“පානීය ජලය මූලික අවශ්‍යතාවක්. බෝතල් කළ ජලය ලක්ෂරි ප්‍රඩක්ට් එකක් නිසා ඒකට අගයක් දීලා තියෙන්නෙ. වතුර පාලන මිල තියෙනකොට ඩොලරය රුපියල් 280 යි. දැන් රුපියල් 370යි. වතුර බෝතල් කරේ සීල් එක, ලේබල් එක, බෝතලේ ඔක්කෝම පිටරටින් ගේන්නේ. වතුර විතරයි මෙහෙන් ගන්නේ. දැන් අපේ ඕසෝන් වතුර ෆැක්ටරිය හාලිඇළ තියෙන්නේ. ඩොලරය වැඩිවෙන්න කලින් කොළඹට ලොරියක් එන්න රුපියල් 18,000ක් ගන්නවා. ඒත් දැන් එය රුපියල් 75,000ක් දක්වා වැඩිවෙලා. පවතින මිල එක්ක ප්‍රමිතිගත ජල බෝතලයක් අඩු මිලට දෙන්න අමාරුයි. දැන් නිෂ්පාදන වියදම් අනුව මිලි ලීටර් 500 බෝතලේ රුපියල් 70ට දෙන්න පුළුවන්. ඒ බෝතලේම රුපියල් 100- 120ට මිල ගහනවා කියන්නේ කරන්න බැරි වැඩක්."

මේ අතර වතුර බෝතල් මිල ඉහළ යෑම ගැන ශ්‍රී ලංකා ප්‍රමිතිගත පානීය ජල බෝතල් සංගමයේ ලේකම් අතපත්තු පවසන්නේ ජල බෝතල් මිල අඩු කරන්නට තම සංගමය තීරණය කොට ඇති බවය. රජය මැදිහත් වී මිල පාලනයක් සිදු නොකළහොත් තම සංගමය මෙම තීරණය ගෙන ඇති බව අතපත්තු වැඩි දුරටත් පැවසීය. මේ වන විට දේශීය පානීය ජල නිෂ්පාදන ආයතන 60% ක් වැසී ගොස් තිබේ. මේ දේශීය කර්මාන්තශාලා නිසා දහස් ගණනක් ගමේ අය වැඩට ගියේ තම නිවෙසේ සිට පයිනි. ගැමියන් මේ ආයතනවල සේවය කොට ලත් වැටුපෙන් තම පවුල පෝෂණය කළේය. අද ඒ සියලු දේ සුනු විසුනු වී ගොස් හමාරය. බහුජාතික සමාගමේ වතුර බෝතලය රුපියල් 20කින් පමණ මිල අඩු වීම නිසා දේශීය පානීය ජල නිෂ්පාදකයන්ට මේ කර්මාන්තය කරගෙන යෑම අමාරු කටයුත්තක් වී තිබේ. දේශීය ජල බෝතල් හිමියන් බැංකු ණය ගෙවාගත නොහැකිව සහනයක් ඉල්ලා සිටි අතර, මහ බැංකුවේ විසඳුම වූයේ වාරික නොගෙවූ මාස 12 හිඟ මුදල ද ණයට එක්කොට එය ගෙවාගෙන යෑමට නිර්දේශ කිරීමය. අන්තිමට වුයේ දේශීය ජල බෝතල් නිෂ්පාදනය වළපල්ලට යෑමත් බැංකු නියමිත පොලිය අය කර ගනිමින් ගොඩයෑමත්ය.

දේශීය වතුර බෝතල් හිමියා කරන්නේ ජල බෝතල් නිෂ්පාදනය පමණක් නිසා ඔවුන් තම වියදමෙන් වතුර බෝතල් ප්‍රවාහනය කළ යුතුය. බහුජාතික බීම නිෂ්පාදකයන් වතුර බෝතල් බෙදා හරින්නේ තම බීම බෙදාහරින අතරතුර නිසා ඔවුන්ට වතුර බෝතල් බෙදන්නට අලුතෙන් වියදමක් දැරිය යුතු නොවේ. ඒ නිසා දේශීය වතුර බෝතල් නිෂ්පාදකයාට වඩා අඩු මිලකට ඔවුන්ට තම වතුර බෝතලය මාකට් එකට දැමීමට හැකිවී තිබීමෙන් අසරණ වී අත්තේ ද දේශීය පානීය ජලය කර්මාන්තයේ රැකියා ලක්ෂ විස්සකට අධික පවුල් කුටුම්බයන්ය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමැති යුගයේ ලංකාවේ පානීය ජලය සමඟ අරාබියේ බොරතෙල් හුවමාරු කරගන්නා ගිවිසුමක් පිළිබඳ දේශීය වතුර බෝතල් හිමියන් යෝජනාවක් කළේය. එහෙත් ඒ කිසිවක් සිදු වූයේ නැත. දේශීය වතුර බෝතල් හිමියන් පාලන මිලක් නියම කරන ලෙස ඉල්ලා සිටියද එය ගඟට ඉනි කැපුවා මෙන් විය.

Comments