- නිදහස් සටන් සාකච්ඡා පැවැත් වූ කාමරයට අපි කිව්වේ ‘දේශපාලන කාමරේ’ කියලා
- සුමිත්‍රා පීරිස් මිය යන්න දවස් තුනකට කලින් රූපා බලන්න ආවා
- ලංකාවේ නිදහස් සටනට පිලිප් උපදෙස් දුන්නේ ඇමෙරිකාවේ ඉඳන්
- බඳිනකොට මට 23යි, රොබට්ට 42යි
අවුරුදු 145ක් පරණ බොරලුගොඩ වලව්ව 1948දී ලංකාවට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීමට කළ නිදහස් සටන් සංවිධාන සාකච්ඡාවලට සෙවණක් දුන් වලව්වක් විය. එහෙත් එය රොබට් ගුණවර්ධන නම් වූ විප්ලවවාදියාට හිමි වීමෙන් පසු ඔහු එය 'බොරලුගොඩ මහගෙදර' බවට පත් කළේය. ලංකා දේශපාලන ඉතිහාසයේ ඩී.ඇස්. සේනානායක පරපුරේ බෝතලේ වලව්ව, මෙන්ම බණ්ඩාරනායක පරපුරේ හොරගොල්ල වලව්ව ද මෙරට නිදහස් අරගලයට උරදුන් වලව් විය. ඒ ඒ වලව්වල අද ඒ පරම්පරාවල මුල් පරම්පරාවේ උදවිය සියල්ලන් මිය පරලොව ගොස් හමාරය. ඒත් බොරලුගොඩ මහගෙදර එසේ නැත. රොබට් ගුණවර්ධනගේ භාර්යාව වූ රූපා ගුණවර්ධන බොරලුගොඩ මහගෙදර තවමත් නීරෝගි සුවයෙන් වෙසෙන්නීය. ලබන පෙබරවාරි 7 වැනිදා ඇය තම ජීවිතයේ සියවස සපුරාලයි.
පසුගියදා බොරලුගොඩ මහගෙදරට ගිය අප ඒ දැවැන්ත මන්දිරයේ ඉස්තෝප්පුවේ සිට බලාපොරොත්තුව සිටියේ වයස අවුරුදු සීයක රෝගීව සිටින කාන්තාවක් රෝද පුටුවක හිඳුවා තල්ලු කරගෙන එන දසුනකි.
ටික වේලාවක් ගිය විට කාන්තාවක් අප සිටින තැනට පැමිණ ‘ආයුබෝවන්’ කීවාය.
“මේ තමයි අපේ අම්මා” රොබට් ගුණවර්ධනගේ වැඩිමල් පුතා රෝහිත් අපට පැවසීය. රෝහිත් කියන්නේ බොරළුගොඩ මහ ගෙදරට කවදාවත් වලව්ව කිව්වේ නැති බවයි. රෝහිත් තම මවගේ සියවැනි උපන්දිනය සමරන්නට ඇමරිකාවේ සිට පැමිණ සිටියේය.
රූපා ගුණවර්ධනගේ විවාහයට පෙර සම්පූර්ණ නම සිලකල්‍යාණ රූපා කෝට්ටේගොඩ ය.
රූපා ඉපදුණේ කළුතර දිස්ත්‍රික්කයේ තෙබුවන ය. රූපාගේ පියා කේ. ඩී. ලියොරිස් අප්පුහාමි කළේ ව්‍යාපාරික කටයුතුය. රූපාගේ පවුලේ හත්දෙනකු වූ අතර, රූපාගේ එක් අයියා කෙනකු වූයේ මහාචාර්ය එස්.ආර්. කෝට්ටේගොඩය. රූපා උගත් පාසල් වූයේ තෙබුවන බෞද්ධ මිශ්‍ර පාසල, සෙන්ට් බ්‍රිජට් කන්‍යාරාමය, ශ්‍රී සුමංගල බාලිකාව හා කොළඹ විශාඛා විද්‍යාලයයි. වයස අවුරුදු 16දී විශාඛාවෙන් පාසල් ගමන හමාර කළත් රූපාට ගෙදරටම පුහුණු ගුරුවරයකු කැඳවා අධ්‍යාපනය දීමට තාත්තා කටයුතු කළේය.
රූපාගේ නිවෙසේ උදවිය ‘කැපුවත් කොළ’ ප්‍රතිපත්තියේ සිටි ඩී.ඇස්. සේනානායකගේ අනුගාමිකයන් විය.
“රොබට් ගුණවර්ධන අඳුර ගන්නේ කොහොමද?” මේ සියවසක මතක ගබඩාවෙන් මා ඇසූ මුල්ම ප්‍රශ්නයයි. ඇයගේ කතාව ඉතා පැහැදිලිය. මතකය නිරවුල්ය.
“පාසල් ගිය අන්තිම කාලය වෙද්දී තාත්තා මිය ගියා. මම දවසක් මගේ නැන්දා කෙනෙකුට කිව්වා මට හොඳ Red Bloded Partner කෙනෙක් හොයලා දෙන්න කියලා. එතකොට මට වයස 24ක් විතර ඇති. මම හිතුවේ මට වඩා වයස, පරිණත වාමාංශිකයෙක් සමඟ විවාහ වෙන්න.”
රූපාගේ නැන්දාගේ පවුලේ අය ඇන්.ඇම්. පෙරේරා ළඟින් ආශ්‍රය කළ උදවියයි. ඇන්.ඇම් ට මේ ගැන කියූ විට රොබට් ගුණවර්ධන මනමාලයා ලෙස යෝජනා කොට ඇත.
“තෙබුවන අපේ ගෙදර ආවේ එන්.එම්. එක්ක රොබට් ගුණවර්ධන. රොබට් මට වඩා අවුරුදු 19 ක් වැඩිමල්. රොබට්ට මම කැමති වුණත් අම්මයි, ලොකු අයියයි කැමති වුණේ නැහැ. බඳිනකොට මට වයස 23යි. රොබට්ට 42යි. මඟුලට අම්මා ආවේවත් නැහැ.”
“රොබට් වගේ විප්ලවවාදියෙක් කේන්දර විශ්වාස කළාද?”
“මං අම්මට හොරෙන් කේන්දරේ රොබට්ට ඇරියා. එයාට ඕන වුණේ පොරොන්දම් බලන්න නෙමෙයි. බඳින්න වෙලාවක් හදාගන්න.”
රොබට් - රූපා විවාහය සිදුවී ඇත්තේ කොළඹ කච්චේරියේය. මනමාල පාර්ශ්වයෙන් ඇන්.ඇම්. පෙරේරා අත්සන් කොට ඇති අතර, මනමාලිය වෙනුවෙන් ඇගේ නැන්දාගේ පුතා වූ එඩ්වින් පෙරේරා අත්සන් කොට ඇත.
“අපේ පැත්තෙන් උත්සවයක් ගත්තේ නැහැ. මාව බොරලුගොඩ වලව්වට කැන්දන් එනකොට වත්ත පිරෙන්න අමුත්තෝ හිටියා.”
“මොන වගේ දේශපාලකයෝ ද එදා උත්සවයට ආවේ?”
“නාවේ කවුද කියල තමයි අහන්න වෙන්නේ. ඩඩ්ලි සේනානායක රොබට්ගෙ හොඳම යාළුවෙක්. බණ්ඩාරනායක, සර් ජෝන්, කන්නන්ගර වගේ ඔක්කොම ආවා.”
“අම්මාගේ ආශිර්වාදයත් නැතුව තනිවම රොබට් එක්ක පවුල් කන්න බොරලුගොඩ වලව්වට ආපු ගමන කොහොමද?”
“බොරලුගෙඩ වලව්ව හදලා තියෙන්නේ රොබට්ලගේ ආතා. දොන් බ්‍රම්පි රූපසිංහ ගුණවර්ධන. එයාගේ පුතා තමයි පිලිප්, රොබට් දෙන්නගෙ තාත්තා. එතුමට මේ පළාතේ අය කිව්වෙ බොරලුගොඩ මහ රාලහාමි කියලයි. නම දොන් ජාකෝලිස් රූපසිංහ ගුණවර්ධන. මහ රාලහාමි සෑහෙන ඉඩකඩම් තිබ්බ ධනවත් කෙනෙක්. පිලිප් ඇමෙරිකාවේ අධ්‍යාපනේට ගියාට පස්සේ එයා වාමාංශික ව්‍යාපාරෙ ගැන හදාරල. රොබට්ට නිතරම ලියල එවල තියනව ලංකාවට ඇවිල්ල වමේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන බව. නමුත් ඒකට තාත්තා (මහ රාලහාමි) කැමති කරව ගන්න එක අවශ්‍යයි. ඒ වැඩේ පැවරුණේ මෙහේ හිටපු රොබට්ට. රොබට් තමන්ගෙ අවබෝධය හැටියට මහ රාලහාමිට කරුණු තෝරල දුන්නම එතුමත් පුතාලගේ වැඩපිළිවෙළ අනුමත කළා. ඊට පස්සේ තමයි මහ රාලහාමිත් සුදු ආණ්ඩුවලට විරුද්ධව වැඩ කළේ. මම මේ කියන්නේ නවසිය තිස් ගණන් ගැන රොබට් කියූ ඉතිහාසය මට තාම මතකයි.”
රූපා කියන්නේ පිලිප් ගුණවර්ධනයන් ඇමරිකාවේ 'පිස්කොංහිං විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ එවන ලද ලිපි ලේඛන නිසා අධිරාජ්‍ය විරෝධී හැඟීමත්, මාක්ස්වාදී දේශපාලන දර්ශනය පිළිබඳවත් ලද අවබෝධය රොබට් තුළ මෙරටේ ද සමාජවාදී සමාජයක් බිහි කිරීමේ අරමුණ ඇති කරන ලද බවය. 1917 සෝවියට් දේශයේ ඇති වූ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණය පැතිර යද්දී පිලිප් විසින් එවන ලද ලිපිවල අඩංගු වූ මාක්ස්වාදී දර්ශනය ගැන වඩාත් උනන්දු වූ රොබට් ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවට නිදහස උදා කර ගැනීමය.
“1935 දෙසැම්බර් 18 වැනිදා සමසමාජ පක්ෂය පටන් ගන්න මුල්වෙච්ච කෙනෙක් රොබට්. ඒකේ මුල්ම අරමුණ වුණේ ලංකාවට නිදහස උදා කර ගැනීමයි. පිලිප් - ඇන්.ඇම්. - කොල්වින් - ලෙස්ලි - වික්‍රමසිංහ - එඩ්මන්ඩ් - වර්නන් එක්ක සමසමාජේ පටන් ගත්තේ රොබට් තමයි. රටේ නිදහසත් ස්වෛරීභාවයත් මුල් කරගෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් රට මුදවා ගැනීමේදී මේ අය ලොකු සටනක් කළා. අධිරාජ්‍ය විරෝධී, ධනපති විරෝධී, රදළ විරෝධී සටන්කාමියකු වූ රොබට් වාමාංශික ව්‍යාපාරය රට පුරා දියත් කිරීමට පෙරමුණ ගත්ත චරිතයක්. විසිපන්දාහක රතු භට හමුදාවක් බිහි කරලා සමස්ත ලංකා සමසමාජ තරුණ සමිති මහා සම්මේලනයේ සභාපතිවරයා විදිහට වසර විසිපහක් මගේ මහත්තයා ශ්‍රමයත්, කාලයත්, ධනයත් කැප කළා. ඔය කියන කාලේ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව පාලනය කරමින් ගෙන ගිය ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව වමේ අය ගෙන ගිය දීපව්‍යාප්ත වැඩපිළිවෙළ ජනතාවගේ සිත්වලට කා වැදුණා. ඒ අරගලය රාජ්‍ය සහ මන්ත්‍රණ සභාව තුළදී පිලිප් - ඇන්.ඇම්. ගෙන ගිය අරගලය එක්ක රොබට්ලා අධිරාජ්‍ය විරෝධී සටන ජනතාව අතරට අරන් ගියා.
අධිරාජ්‍ය විරෝධී සටන එන්ට එන්ටම උණුසුම් වෙද්දී වාමාංශික නායකයන් සිරභාරයට පත්වුණාම පක්ෂය ඉස්සරහට ගෙනියන්න වුණේ රොබට්ට ය. පක්ෂය තහනම් කළත් ඉතා සූක්ෂ්ම ලෙස තම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගිය රොබට්, බෝගම්බර සිරගෙදර සිරකොට සිටි පිලිප් - ඇන්.ඇම්. - කොල්වින් - එඩ්මන්ඩ් නිදහස් කර ගැනීමට කළ වීර වික්‍රමාන්විත ක්‍රියාව ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයේ ද සුවිශේෂ සිද්ධියක් ලෙස ඉතිහාසගතව ඇත. මේ අතර අධිරාජ්‍ය විරෝධී වමේ ව්‍යාපාරය විනාශ කිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් ගෙන ගිය දුර්දාන්ත වැඩපිළිවෙළ ඉතා රහසිගතව ඉදිරියට ගෙන ගිය අතර, සඟවාගන සිටි සිරකරුවන් සිවුදෙනා ඉන්දියාවට රැගෙන යෑමට සැලසුම සැකසුවේ ද රොබට් ය.
රූපා ගුණවර්ධන පවසන පරිදි වාමාංශික නායකයන් අධිරාජ්‍ය විරෝධී සටන නිසා අත්අඩංගුවට ගත්තත් අනෙකුත් වාමාංශිකයන් ඉතා රහසිගත ලෙස අධිරාජ්‍ය විරෝධී සටන මෙහෙයවා ඇත. එදා වාමාංශික ව්‍යාපාරයේ ලේඛකයා ලෙස හැඳින් වූයේ හෙන්රි පීරිස්ය. අධිරාජ්‍ය විරෝධී වාමාංශික මතවාදය පොදු ජනතාව දැනුවත් කොට ඇත්තේ හෙන්රි පීරිස්ගේ කර්තෘත්වයෙන් පළ වූ සමසමාජය පුවත්පතේය. අධිරාජ්‍ය විරෝධී සටන මුවහත් වෙත්දී බ්‍රිතාන්‍ය රහස් පොලිසිය විසින් රොබට් පසුපස හඹා එද්දී ඔහු ද රහසිගතව ඉන්දියාවට පලා ගොස් සෙසු සාමාජිකයන් සමඟ ඉන්දීය නිදහස් සටනට උර දුන්නේය. හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයන් වූ ඉන්දියාව, ලංකාව, බුරුමය ආදී රටවල් නිදහස ඉල්ලා දැවැන්ත ව්‍යාපාරයක නියැළුණු මොවුහු එහිදී ද පුවත්පත් ලිපි ලේඛන රහසිගතව මුද්‍රණය කොට බෙදා හැරියහ. ඒ අනුව ලංකාවේ වාමාංශිකයන් ඉන්දියාව, බුරුමය වැනි රටවලට නිදහස උදා කර දීමට උර දුන් ජාතික වීරයන් සේ ඉතිහාසගත වී හමාරය.
දෙවැනි ලෝක මහා සංග්‍රාමයත් සමඟ සැඟවී සිටි සියලු වාමාංශික නායකයන් නිදහස් වීමෙන් පසු 1947 පැවැති ප්‍රථම මහ මැතිවරණයට තරග කොට කෝට්ටේ ආසනයේ මන්ත්‍රීවරයා බවට පත්වූයේ රූපාගේ ආදර ස්වාමිපුරුෂයා වූ රොබට් ගුණවර්ධනය.
“ඔබත් වරක් ඡන්දෙ ඉල්ලුවා නේද?” මම ඇගෙන් අසා සිටියෙමි.
“ඒ 1960 මාර්තු මැතිවරණය වෙලාවේ කොලොන්නාවට. ඒ දේශපාලනයට එන්න හිතාගෙන කරපු වැඩක් නෙමෙයි. ඒ මැතිවරණයේදී රොබට්, පිලිප් එහෙම හිටපු ලංකා සමසමාජ පක්ෂය බලාපොරොත්තු වුණේ සමසමාජ ආණ්ඩුවක් හදන්න. එහෙම නම් සමසමාජ පක්ෂයෙන් වැඩි පිරිසක් මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබුණා. මම පක්ෂයට බැඳෙන්නේ නැතුවයි මැතිවරණයට ඉදිරිපත් වුණේ.”
“ඔය ඡන්දෙට කවි කියපු සිරි අයියත් ඡන්දේ ඉල්ලුවා නේද?”
“මම තුන්වැනියා වෙලා යන්තම් ඇපය විතරක් බේරා ගත්තා. දින්නේ විප්ලවකාරි සමසමාජ පක්ෂයේ කේ.ඊ. පෙරේරා.”
රූපා පවසන්නේ ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි ආදීන් ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් මුදවා නිදහස ලබා ගැනීමට සාකච්ඡා පවත්වා ඇත්තේ බොරලුගොඩ වලව්වේ කාමරයක බවය.
“රැස්වීම් තියන කාමරේට අපි කිව්වේ 'දේශපාලන කාමරේ' කියලා.” රූපා සිනාසෙමින් පැවසුවාය.
පළමුවැනි ලෝක මහ යුද්දෙන් මිය ගියවුන් සිහි කිරීම සඳහා නොවැම්බර් 11 වැනි දින මොහොතක් නිහඬව සිටීමේ සිරිතක් එකල තිබී ඇත. අධිරාජ්‍ය විරෝධී සිතුම් පැතුම් ඇති රොබට් ගැටවරයා කොළඹ ආනන්දය තුළ මේ සිරිතට එරෙහිව විරෝධය පාමින් හඬක් නඟා ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ද එහි පැවැති අසාධාරණකම්වලට විරෝධය පාමින් පෙරැළි කළේය. කොස්මො පොලිටන් ක්රූ (COSMO POLITAN CRU) නමින් සංවිධානයක් ගොඩනඟා ගත් රොබට් ඒ මඟින් ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සර්ව ජන ඡන්ද බලය ඉල්ලා සිටි බව රූපා පවසයි. කලින් කී යුද සැමරුම් දිනයේදී කොළඹ හතේ තරුණ තරුණියන් වීදි බැස පොපි මල් විකිණීමේ ව්‍යාපාරයක් පැවතුණි. ඒ සේවා මුක්තයන්ගේ යහපත සඳහායි. මේ ව්‍යාපාරයට විරෝධය දැක්වූ ඒලියන් පෙරේරා එය අවඥාවට ලක් කළේ අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කරනවාට වඩා කජු අත්තක එල්ලී දිවි නහ ගැනීම යහපතැයි කියමින් සූරියමල් ව්‍යාපාරය ඇරැඹීය. ඒ ලාංකික සේවා මුක්තයන්ගේ පමණක් යහපත සඳහායි. කෙසේ වෙතත් පෙරේරාගේ සූරියමල් ව්‍යාපාරය ඒ තරම් සාර්ථක නොවීය. එහෙත් 1933 - 34 කාලයේදී මහා විනාශයක් සිදු වූ මැලේරියා වසංගතයේදී ගැමි ජනතාව සමඟ වඩාත් කිට්ටු සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට සූරියමල් ව්‍යාපාරිකයෝ සමත් වූහ. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, ලෙස්ලි ගුණවර්ධන, හොරණ ශ්‍රීපාලි නිර්මාතෘ විල්මට් පෙරේරා, ටෙරන්ස් ඇන්ද සිල්වා, කොල්වින් ආර්. ද සිල්වා, රොබට් ගුණවර්ධන ආදී උගත් තරුණ පිරිස එකට අත්වැල් බැඳගත්හ. ඔවුන් තුළ වූ උද්යෝගිමත් ක්‍රියාශීලිත්වය නිසා ඒ වන විටත් වියැළෙමින් පැවැති සූරියමලට නව පණක් නව ජීවයක් ලැබුණු අතර, එය නිදහස් සටනට වෙස්වළාගත් ආශිර්වාදයක් විය.
යටත් විජිත පාලන යුගයේදී ජනතාව විඳි දුක්ගැහැට තුරන් කිරීමට ඇරඹි සටන් ව්‍යාපාරය තුළින් නිදහස් උද්ඝෝෂණ ව්‍යාපාරයට පන්නරය ලැබුණු බව ඉතිහාසය තුළ අමතක කළ නොහැකි කරුණකි. අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයට රුකුල් දුන් අප රට රදල හා ධනපති කොටස්වලින් තැෙළන පෑගෙන පීඩිත ජනතාව මුදවා ගැනීමේ සටන තුළින් නිදහස් අරගලයක ඇති වැදගත්කම අවබෝධ කර වීමට වාමාංශිකයින් කටයුතු කළ බව රූපාගේ මතයයි.
මෙවර ශ්‍රී ලංකාවාසීන් සමරන්නේ 75 වැනි නිදහස් දිනයයි. රූපාට වයස අවුරුදු සියයක් පිරෙනවා කියන්නේ ලංකාවට නිදහස උදාවන විට ඇය වයස විසිපහක රූමත් තරුණියකි. නිදහස් සටනට උර දී නිදහස් දිනය ගැන වසර 75ක් මතකයේ නිරවුල්ව තබාගෙන ඇති අය අද ලංකාවේ සිටී නම් ඒ කිහිප දෙනකු පමණක් විය යුතුය. රූපා ඉන් එක් අයෙකි. නිදහස් උදාව ගැන ඇගේ මතකය වත්මන් පරම්පරාවට අලුත් අත්දැකීමක් විය හැකි වන්නේ ඇය නිදහස උදාවූ අවස්ථාව ගැන මතකය වසර 75ක් සුරැකිව තම මතකයේ තබාගෙන ඇති නිසාය.
මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් රාජකීයයකු වූ ග්ලෝස්ටර් ආදිපාදතුමා සහ දේවියත්, බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩලයේ යටත් විදේශ භාර ඇමැති ලිස්ටෝවල් සාමිවරයා ඇතුළු සුදු නිලධාරීන් කිහිප දෙනකුත් සිලෝන් රටට නිදහස් පණිවිඩය ගෙන ඒමේ චාරිකාවට සහභාගි වූ පිරිස වී ඇත. තුන්වැනි ජෝර්ජ් රාජ සමයේදී අල්ලාගෙන යටත් කරනු ලැබූ සිලෝන් රටෙන් ඉංග්‍රීසීන් විසින් පැහැරගෙන එංගලන්තයට ගෙන ගොස් තිබූ අපේ රාජකීය සිංහාසනයත්, රජුගේ මඟුල් කඩුවත්, රාජකීය කිරීටයත් ඒ සමඟම ආපසු ගෙනැවිත් අපටම භාර දෙන්නට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත.
වර්ෂ 1948 පෙබරවාරි 2 වැනි දා ලංකාවට ගොඩබට රාජකීයයන් ඇතුළු පිරිස එවකට ලංකාණ්ඩුකාර පදවියේ සිටි ශ්‍රීමත් මන්ක් මේසන් මුවර් ප්‍රමුඛ අපේ ජන නායකයන් විසින් ඉමහත් ගෞරවාදරයෙන් පිළිගන්නා ලද බව රූපාගේ මතකය.
නිදහස් මහෝත්සවය පවත්වන ලද්දේ වර්ෂ 1948 පෙබරවාරි 4 වැනිදා සාදවන ලද සුවිශේෂ මණ්ඩපයකදීය. තාවකාලිකව සාදන ලැබුවද එය ස්ථිර ගොඩනැඟිල්ලක් මෙන් දිස් වී ඇත. රාජකීය අමුත්තන් ඇතුළු සියල්ලන්ම පිළිගනිමින් ප්‍රධාන දේශනය පවත්වා ඇත්තේ එවකට සභානායක, පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි හොරගොල්ල වලව්වේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් බව කියන්නේ බොරලුගොඩ වලව්වේ රූපා ගුණවර්ධනය.
“ඩී.එස්. සේනානායක නිදහස් උලෙළේදී සිංහ කොඩිය ඔසවන කොට වාමාංශිකයකු වූ වැල්ලවත්ත ගල්කිස්ස මන්ත්‍රීවරයා විදිහට හිටපු ආචාර්ය කොලිවින් ආර්. ද සිල්වා ඔලොක්කුවට වගේ කැස්ස කියන්නේ ඇත්තද?” යි මම රූපාගේ මතකය ගැන දැන ගැනීමට විමසුවෙමි.
“මට ඒවා නම් මුකුත් මතක නෑ.” ඇය කීවාය.
“දැන් දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා එහෙම ඔබතුමිය බලන්න එන්නැද්ද?”.
“දිනේෂ් මොන ඇමතිකමේ දිවුරුම් දුන්නත් මුලින්ම බලන්න එන්නේ මාව. අගමැති හැටියට දිවුරුම් දුන්නාම මුලින්ම ආවේත් මාව බලන්න. සුමිත්‍රා පීරිස් මැරෙන්න දවස් තුනකට කලින් අම්මා බලන්න කියලා ආවා. මොකද දැන් බොරලුගොඩ ගුණවර්ධන පරම්පරාවේ ජ්‍යෙෂ්ඨම මාතාව මම තමයි. රූපා ගුණවර්ධනගේ දරුවන් වන්නේ ශ්‍රියානි, යසෝමි දියණියන් සහ පුතුන් වන රෝහිත් හා විජිත් ය.
ලබන හත්වැනිදාට ජීවිතයේ අවුරුදු සියයේ කඩඉම පසු කරන ඇයට සිටින මුනුපුරු මිනිබිරියන් ගණන දහයකි. එමෙන්ම මී මුනුපුරන් ගණනත් දහයකි. පසුගියදා අප බොරලුගොඩ වලව්වේදී ඇගෙන් සමුගනිද්දී ලංකාවේ නිදහස් සටන මෙහෙය වූ නිවහනක් වූ ඒ ප්‍රතාපවත් බොරලුගොඩ වලව්ව අප දෙස නිහඬව බලා සිටියේ මේ සියලු දේශපාලන මතකයන් ස්මරණය කරමින් විය යුතුය.
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න