ලංකාවේ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් ගැනත් කලකිරීමක් තියෙන්නෙ. ක්‍රිකට් දැන් ක්‍රීඩාවකට වැඩිය ව්‍යාපාරයක් වෙලා
මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස විරුදාවලි ලත් ක්‍රිකට් ගැන දැන් දැන් ඇසෙන්නේ අමුතු කතාය. එහෙත් වාසනාවකට මෙන් ක්‍රිකට් ක්‍රීඩාවටත් ක්‍රීඩකයන්ටත් ඇලුම් කරන ප්‍රේක්ෂකයෝ ලංකාවේ නම් තවමත් බොහෝය. කිරිකොක් රෑනක් සේ ජැන්ඩියට හැඳ පැලඳගෙන විසිතුරු ක්‍රීඩා පිටිවල ශිල්ප දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් විජ්ජා මවන පුද්ගලයන් ලෙස ඇතැම්හු සිතුවත් ඒ පිටුපස විවිධාකාර කතන්දර බොහොමයක් ඇත. ඒ කතන්දර මත ඔවුන්ගේ දුක් සුසුම් සහ සතුටු කඳුළු මෙන්ම දහඩිය මහන්සියත් තැවරී ඇති බව දන්නේ අතලොස්සකි.
ඉකුත් සැප්තැම්බරයේ එළි දුටු ‘අයිස් මෝල හන්දියේ අතුලයගේ කතා සයුර’ කෘතිය ඒ කතන්දර ගැන පාඨකයාගේ මනසේ චිත්ත රූ මවන අපූරු කෘතියක් යැයි කීම නිවැරදිය. කෘතියේ කතා නායකයා හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන අතුල සමරසේකරය. කෘතියේ සංස්කරණය ප්‍රවීණ කවියකු සහ සාහිත්‍ය ෙව්දීයකු වන බුද්ධදාස ගලප්පත්ති විසිනි. කෘතියේ රචක ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර සමඟ කෘතිය පිළිබඳ විවරණයක් කිරීමට අප අදහස් කළේ සැප්තැම්බරයේ එළි දුටු කෘතිය ඔක්තෝබරය වන විට දෙවැනි මුද්‍රණය (සංශෝධිත) දක්වා යෑමට තරම් පාඨක ආකර්ෂණය දිනාගත් කෘතියක් වීම නිසාය.
80-90 දශකයේ ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ක්‍රීඩකයකුගේ ඒ අතීත මතක පොදිය කෙතරම් බර විය හැකිද? මෙවැනි කෘතියක් ලිවීමට සිත්වූ කරුණු ගැන විමසමින් අප අතුල සමරසේකර කතාවට සම්බන්ධ කරගතිමු.
“පාසල් යන කාලේ ඉඳලම මම ලියන්න ආස කළත් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි ඉඩක් දුන්න නිසා ලිවීම මඟහැරුණා. ඒ කාලේ ලියන්න නිදහසක් තිබුණෙත් නැහැ. ක්‍රිකට්වලින් අයින් වෙලා නිදහසේ ඉන්නකොට මුහුණු පොත නිසා තමයි ආයෙමත් ලියන්න පෙලඹුණේ. ඉස්සර ලියන්න මේසයක්, පොතක්, පෑනක්, කල්පනා කරන්න වෙලාවක් ඕනේ වුණාට දැන් ඒ හැමදේම හරිම පහසුයි. ලියන දේ පබ්ලිෂ් කරන්න ඇඟිල්ල තද කරන්න විතරයි ඕනේ. ඒ පහසුව නිසා මම හිතුවා මගේ මතකයන් ගැන ලියන්න ඕනේ කියලා. මුහුණු පොත ඒකට හොඳ මාධ්‍යයක් වුණා. ෆේස්බුක් එකවුන්ට් එකක් ඇරියට පස්සේ අවුරුදු 40-50කට පස්සේ දැන් දසත විසිරිලා ඉන්න පාසල් කාලයේ මිතුරන් පවා ඒ වටා එකතු වෙන්න ගත්තා. එහෙම එකතු වෙන යාළුවෝ මම කළ කී දේවල් ගැන විස්තර අහන්න ගත්තාම මට හිතුණා එක එක්කෙනාට වෙන වෙනම උත්තර ලියනවට වැඩිය ඒවා හැම කෙනෙක් එක්කම බෙදාගන්න ඕනේ කියලා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ “හරි පොරවල්” කියලනේ, අපි එහෙම පොරවල් නෙවෙයි. අපිත් දුක, සැප විඳලා ඒ මාර්ගයේ ආව සාමාන්‍ය මිනිස්සු කියන එකත් මට කියන්න ඕනේ වුණා. මේක මගේ කතාව නෙවෙයි, අපි හැමෝගෙම කතාව. මට ඕන වුණේ ඒ කතාව බෙදාගන්නයි. අපි පොළොවේ පය ගහලා ජීවිතේ ගැට ගහගෙන මේ තැනට ආව අය හැටි කියන්නයි. සමහර විට උඩට එන්න හිතන කෙනෙකුට ඒක යම්කිසි පාඩමක් වෙයි කියලත් මට හිතුණා.”
ඔහු එසේ කීවද මෙහි ලියැවී ඇත්තේ ඔහුගේ අත්දැකීම් වුවද මේ කෘතිය හුදෙක් සම්ප්‍රදායික චරිත කතාවක් නොවේ. කතා කරන බසින් ඉතා සරලව, දකුණේ ළෙන්ගතු බස් වහර ද ජීවමාන කරමින් ලියැවී ඇති ඔහුගේ අත්දැකීම් අපූරු ගලා යෑමේ සහ කියැවීමේ රුචියකින් යුතුය. කෘතිය සංස්කරණය කළ සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති ඒ අපූරු ලිවීමේ ශෛලිය ගැන හැඳින්වීමක් කර ඇත්තේ මෙසේය.
“facebook එකට අමුතු වර්ගයේ පෝස්ට් ලියපු අතුලය, ක්‍රිකට් ගහපු අතුලය වගේම මගේ හිතට ඇල්ලුවෙ අතුලයගේ ලියවිල්ලෙ අරුම පුදුම මැජික් එකක් දැකපු නිසා. ඒ ලියවිලි කියවලා සමහර දවසට මම තනියෙන් හිනා වුණේ කවදහරි දවසක මේ ටික අච්චුගහලා වැඩි දෙනකුට කියවන්න දෙන්න ඇත්නම් කියන හීනෙකුත් එක්ක. හීනේ හැබෑ වෙන්න සෑහෙන දිග කාලයක් ගෙවුණා. සංස්කාරක හැටියට මම කළේ අතුලය ලියපු පෝස්ට්වල අක්ෂර වින්‍යාස දෝෂ හදපු එක. පෝස්ට්වලට හෙඩින්ග්ස් දාපු එක, පිළිවෙළකට පිටු හදපු එක, ගැළපෙන හෙඩින්ග්ස් දමපු එක. මෙදා සැරේ නම් අයිස් මෝල හන්දියේ අතුලය නෙළන නෙළිල්ල කියවලා බලන්න. අතුලයගෙ ක්‍රිකට් මොනවද මේ ලියවිලිනේ වැඩ කියල හිතෙයි.”
අතුල සමරසේකර සිය කෘතිය ගැන පැවසුවේ මෙවැන්නකි. “මම ගොඩක් පොත් කියවන කෙනෙක්. විශේෂයෙන් ක්‍රිකට්වලට සම්බන්ධ අයගේ චරිත කතා ගොඩක් කියවලා තියෙනවා. ඒවා කියවද්දි මට හිතුණු දෙයක් තමයි මේවා මොන කතාද? අපිටනේ කතා තියෙන්නෙ කියලා. ඒ නිසා මට මගේ කතාව ලියන්න හිතුණා. මට ඕනේ වුණේ මට වෙච්ච දේවල් මගේම වචනවලින් සරලව අපේ කතා කරන භාෂාවෙන් දෙන්නයි. මම හිතනවා පොත වැඩි පිරිසක් අතර ජනප්‍රිය වුණේත් ඒ සරලකම සහ අපේකම නිසයි කියලා.”
කෘතියේ පරිච්ඡේද 45ක් තුළ ලියැවුණු කතාන්දර 45ක් ඇතුළේ තව තවත් රහ අතුරු කතාන්දර ද රැසකි.
“1970 අග, 80 දශකයේ සහ 90 දශකයේ මුල් කාලේ අපිට තිබුණු පහසුකම් ඉතාම අඩුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් සල්ලි නැහැ. ඒ කාලේ රූපවාහිනිය තිබුණෙත් නෑ. මට මතකයි 80- 81දී තමයි ඉස්සෙල්ලාම බිග් මැච් එකක් රේඩියෝ එකේ ගියෙත්. ඒක එදා අපිට මහ දෙයක්. ඒ කාලේ අනුග්‍රාහකයොත් නෑනේ. ක්‍රිකට් ආයතනය වෙනම ස්වාධීන මණ්ඩලයක්. මණ්ඩලයටත් මුදල් නැති නම් අපි ගැන කවර කතාද? උදේ නැඟිටලා බත් එකක් බැඳගෙන රස්සාවට යනවා. ඒක කාලා හවසට වැඩ ඇරිලා බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලිලා පුහුණුවීම්වලට යනවා. ඉවර වෙලා ආයෙත් ෆුට්බෝඩ් එකේ එල්ලිලා ගෙදර යනවා. පහුවදා උදේට ආයෙත් බත් ගෙඩියක් බැඳගෙන වැඩට එනවා. ඕක තමයි දවස් පහේම කළේ. ජාත්‍යන්තර තරගවලට සෙල්ලම් කළත් අපි ඒ දවස් තුන හතරම ගෙදර ඉඳන් යන්නේ. අද වගේ නවතින්න හෝටල් කාමර, ට්‍රාන්ස්පෝට්, ටීම් කෝච් ඒ අනම් මනම් මුකුත් නැහැ. තරගයකට වුණත් පාරේ බස් එකේ තමයි ආවෙ ගියේ. එක පාරක් මම තරගයේ වීරයා වෙලත් බස් එකේ ගියා.”
අතුල සමරසේකර සිනාසෙමින් සිහි කළේ ඔහුට සිදුවූ ඇබැද්දියකි. අසූව දශකයේ මැද භාගයේ ජාත්‍යන්තර බී තරගයකදී තරගයේ වීරයා වූ ඔහුට කුසලානය සහ රුපියල් දහසේ චෙක්පතක් ලැබිණ. චෙක්පත මුදල්වලට හරවාගෙන මිතුරන් කිහිප දෙනකු සමඟ සයිවර් කඩයකින් කා බස් එකේ ගෙදර යන්නට මඟට බැස්සද පැය කිහිපයක් යනතුරම යන්නට බස් එකක් නැත.
“හොඳටම මහන්සියි. මටත් හත වැදිලා. ගමනත් දුරයි. බෑග් එකත් බරයි. ඒ අස්සෙ කප් එකකුත්...හෙට උදේට වැඩ....කොරේ පිටට මරේ... දහස් වාරයක් හිතුණා....ඇයි බන් වෙන එකෙකුට මේක දුන්නෙ නැත්තෙ කියලා... මට දාහ විතරක් දීලා කප් එක දෙන්න තිබුණේ කාර් තියෙන එකෙකුට. එතකොට අපි වගේ උන් මේ පරිප්පු කන්න ඕන නැහැනෙ. දැන් මේක නෙවෙයි සොමිම වැඩේ... මම සීය ගහනකොට ලයින් එකෙන් එළියෙ ඉඳන් හුරේ දාගෙන අත්පුඩි ගහපු රසිකයන්..මම උස නැති වේදිකාවට නැඟලා කප් එක ගන්නකොට ඔල්වරසන් දුන් නරඹන්නන්...කතා පවත්වලා මට කප් එක දුන්න අනුග්‍රාහකයන්...තරගය ඉවර වෙලා මම කප් එකත් අරගෙන පාරෙ හත වැදිලා ඇවිදගෙන යනකොට...සිංහයො වගේ ඔළුව එළියට දාගෙන මට අත වනාගෙන කාර්වල යනවා,“වෙල් ප්ලේඩ් අතුල අ අ අ අ”, “ග්රේට් වර්ක්”, “යූ ඩිසව් ඉට් අතුල අ අ අ” කියාගෙන කෑ මොර දීගෙන. එකෙක්වත් ඇහුවෙ නෑ අතුල උඹ ගෙදර යන්නෙ කොහොමද කියල....”
ගාල්ලේ චීන කොරටුවේ අයිස් මෝල හන්දියේ පැරණි සිංහල උළු සෙවිළි කළ කබොක් බිත්ති බඳින ලද ජම්බුගහ ගෙදර සහ ගොඩැල්ලෙ ගෙදර ලෙස හැඳින්වූ නිවෙසේ ජීවත් වූ අතුල නමැති කොලු ගැටයාට ක්‍රිකට් ‘උණ’ වැලඳී තිබුණේ කුඩා වියේ සිටමය.
“අපේ මිදුලෙ තමයි වැඩි හරියක් කට්ටිය රොක් වෙන්නෙ සෙල්ලමට...ගේ ඉස්සරහ වක්වැල්ල පාරෙන් අනෙක් පැත්ත අපේ ඔෆීෂීයල් සෙල්ලම් පිට්ටනිය. පිට්‍ටනිය මැද්දෙ විශාල නුග ගහ. අපේ සෙල්ලම් ඔක්කොම ඔය නුග ගහ යට තමයි. ක්‍රිකට් ගහන්නෙ රබර් බෝලෙන් නැත්තම් ඔට්ටුපාලු බෝලෙන්. චුට්ටල චූටිල ප්‍රියන්තල ජයන්තල අනෙක් කොල්ලො කුරුට්ටො එක්ක ගහන්න ගත්තු ගැහිල්ලම තමයි පහු කාලෙක ලෝඩ්ස් පිටියට යනකන්ම මාව ගෙනිච්චෙ...”
අතුලට වයස අවුරුදු 13දී සිදුවූ පියාගේ වියෝව පවුලේ ආර්ථික අමාරුකම් තවත් ඉහළ නංවද්දී, පාන් සලාකයට අඩුවට පාන් මිලට ගෙන විකුණා ඉතිරි මුදලින් ක්‍රිකට් සපත්තු දෙකක් සහ මේස් කුට්ටමක් මිලදී ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 15ටත් අඩුය. ඒ දවස්වල බූට් සපත්තු දෙකේ මිල රුපියල් තිහක් තිස් පහකි.
අසීරුතා රැසක් මැද ආ ගමනේදී දකුණේ ඉලන්දාරියාට රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට අවස්ථාව උදා විය. කුඩා වියේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට පෙම් බැඳි ඔහු පළමුව පාසල් කණ්ඩායම නියෝජනය කළ අතර 1981දී ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්විය. පාසල් ජීවිතය අවසන් කොට අසූ එකේ අගභාගයේ කොළඹ ආ අතුල ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ ආනයන අපනයන ලිපිකරුවකු ලෙස සේවයට බැඳුණේය. වෙළෙඳ සේවා ක්‍රීඩා තරගවලදී සමාගම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කළ ඔහුට 82/83 වර්ෂවල මුලින්ම පළමු පෙළ තරගවලදී ද්‍රවිඩ සංගම් පිලට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා විය. ඒ වසරේදී ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දින දෙකේ අන්තර් ක්‍රීඩා සමාජ තරග, දින තුනක් ක්‍රීඩා කිරීමට ප්‍රථම වරට අත්හදා බැලීමක් කරන්නට කටයුතු කළේය.
“ඕකම තමයි මට කැරකුණ චාන්ස් එකත්. පළමු වටයේ මුල සිටම ද්‍රවිඩ කණ්ඩායම් පිතිකරු ලැයිස්තුවේ මට ලැබුණේ අට, නවය. මට ඇතිවෙලා තිබුණේ. මහින්දෙට සෙල්ලම් කරනකොට නොම්බර හතර. තරගය දවස් තුනක් නිසා නිත්‍ය ආරම්භක පිතිකරුට (වේන්) පළමු තරගයට රස්සාවෙන් නිවාඩු ගන්න බැරිවුණා. මොනව හරි ප්‍රශ්නයක් නිසා දෙවැනියත් නෑ. සැරසන්ස් කියන්නේ ඒ කාලේ අතමිට සරු ක්‍රීඩා සමාජයක්. ඒකට ගහපු හැම එකාම ප්‍රොෙෆෂනල්... ඉතින් හොඳම ක්‍රීඩකයන් රොත්තක්ම එතැන. මුලින්ම පන්දුවට පහර දුන්නෙ සැරසන්ස්. සිකුරාදයි සෙනසුරාදයි දෙවරුවයි, කඩුළු නමයකට හාරසිය පනහක්. අපේ වාරේ සෙනසුරාදා තේ පානයෙන් පසු. අපේ නිත්‍ය ආරම්භක පිතිකරුවන් දෙන්නම නෑ. ඉලක්කය හාරසිය පනහ විශාල අභියෝගයක්. සැරසන්ස් පන්දු යවන්නන් පළපුරුද්ද අතින් බැලුවත් ඉදිරියෙන්. ඕවල් එකත් ලොකුයි. හැබැයි විකට්ටුව නම් මල් හතයි. ෆීල්ඩ් එකෙන් එළියට එන ගමන් අපේ නායකතුමා ස්කන්ධගේ එකම ප්‍රශ්නෙ, “ළමයිනේ ස්වේච්ඡාවෙන් කවුරුත් ඉන්නවද ඉනිම ආරම්භ කරන්න?” පිතිකරු ලැයිස්තුවේ අට නවය ගහලා ගල් කටස් වෙලා හිටිය මට, උලත් එකයි පිලත් එකයි කියලා ඉස්සුවා අත...අනෙක් අත උපුලගේ. හිතේ බයක් නම් තිබ්බෙ නෑ. පළමු කඩුල්ල හතළිස් ගාණකට. උපුලත් පුරුදු ක්‍රමේට ඕවර පහකට විතර හතර අතට තිස් ගාණක් නෙළලා ඇතුළෙ. මමත් හනුමා දර පළන්න වගේ ගහන එකෙක්. හැබැයි එදා ගේම වෙනස් කළා. මට එකතු වුණා නොම්මර තුන රොහාන් ජයසේකර. දෙවැනි කඩුල්ල තුන්වැනි දවසෙ හවස තුන්සිය ගාණකට. සම්බන්ධතාව ලකුණු දෙසිය පනහක්. තුන්වැනි දින අවසානයේ ලකුණු හාරසිය පනහ එලවල අපි තරගය දිනුම්.. මට එකසිය පනස් හතරක්. එදා ඉඳලා ද්‍රවිඩ කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු අයිස් මෝල හන්දියේ අතුලයා.
එදා නිකමටවත් මම අත පහල දාගෙන හිටිය නම්? ඔතනින් තමයි මගේ මුළු ක්‍රිකට් දිවියම අනෙක් පැත්ත ගැහුවෙ. ඉතින් අවස්ථාවක් ආවම දෙපාරක් හිතන්න එපා. දෝතින්ම ඒ අවස්ථාව භාර ගන්න. මොකද ඒ අවස්ථාවවත් නොලැබෙන උන් අනන්තයි අප්‍රමාණයි.”
ඒ අතීත මතක මත තැවරී ඇත්තේ දිරියෙන් ජීවිතය ජයගත් අයකුගේ අභිමානයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස දස්කම් පාමින් ‘බිග් සෑම්’ ලෙස ප්‍රකටව සිටි අතුල, වසර 12ක් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නියෝජනය කරමින් ටෙස්ට් තරග 4ක් සහ එක් දින තරග 39කට ක්‍රීඩා කර ඇත. ඔහුගේ වාර්තාගත ඉනිම ලෙස සටහන් වන්නේ 1992 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ තරගයේදී ලකුණු 312ක් හඹා ගිය ඉනිමේදී රොෂාන් මහානාම සමඟ පළමුවෙනි කඩුල්ලට එක් කළ ලකුණු 128ක සම්බන්ධතාවයි. එහිදී අතුල පන්දු 61ට ලකුණු 75ක් ලබා ගත්තේ හතරේ පහර 11ක් සහ හයේ පහරකිනි. 1989දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඔස්ට්‍රේලියාවේ පර්ත් හීදී පැවැත්වූ පන්දු වාර 47කට සීමා වූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට මුල් වූ අතුල තරගයේ වීරයා ද විය. ඒ ලකුණු 69ක් ලබා ගනිමිනි.
එවැනි ජයග්‍රාහී මාවතක ආ ඔහු 1994දී විදෙස්ගත වන්නේ මව්බිමට පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද ආයුබෝවන් කියමිනි.
“ඒ කාලේ අපිට මුදල් ලැබුණේ සංචාරයක් ගියොත්, තරගයකට ක්‍රීඩා කළොත් විතරයි. ටෙස්ට් මැච් එකක් ගැහුවොත් ඩොලර් 150-200ක් හම්බෙනවා. අවුරුද්දෙ දවස් 365ම ප්‍රැක්ටිස් ගිහින් එක මැච් එකක් ගැහුවොත් ඩොලර් 200-250ක් ලැබෙනවා. නොගැහුවනම් ඒකත් නැහැ. රස්සාවෙන් තමයි ජීවත් වුණේ. ඔහොම ක්‍රිකට් එක්කම ජීවත් වෙලා වයස අවුරුදු 30 විතර වෙනකොට තමයි අපි අනාගතය සැලසුම් කරන්න පටන් ගන්නෙ. ජීවිතේ හොඳම කාලේ ක්‍රිකට්වලට දුන්නට ආර්ථික වශයෙන් අපිට වැඩිය ලැබුණු දෙයක් නැහැ. හිතේ සතුට, ප්‍රසිද්ධිය සහ රසික කැලගේ ආදරය තමයි ලැබුණේ. මගේ හිච්චි අයියගෙන් ඉල්ල ගත්ත සල්ලි ටික මාරු කරලා ඩොලර් සීයක් අතේ තියාගෙන තමයි මම ඕස්ට්‍රේලියාවට ආවේ. ඊට පස්සේ මෙහේ ක්‍රීඩා සමාජයකට සෙල්ලම් කළා. ඒ ගමන් පොඩි පොඩි රැකියා කිහිපයක්ම කළා. අන්තිමට වැඩ කරපු ආයතනයේ මම අවුරුදු 23ක් වැඩ කළා. පහුගිය අවුරුද්දේ රැකියාවෙන් විශ්‍රාම අරගෙන මම දැන් මගේම පොඩි ව්‍යාපාරයක් කරනවා.”
ඔහු කීවේ සැහැල්ලු ස්වරයෙනි. සිය දරු පවුල සමඟ ප්‍රීතිමත් නිස්කලංක ජීවිතයක් ගත කරමින් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතුල සමරසේකර ගේ දැන් විනෝදාංශ අතර නාට්‍ය බැලීම, ගීත ඇසීම සහ පොත් කියැවීම ද වේ. එදා ඔහුගේ සර්වාංගයම වෙළාගත් 'ක්‍රිකට් උණ' අද කෙසේ දැයි ඇසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ සිනහවකිනි.
“ලංකාවේ ක්‍රිකට් නම් මම ෆලෝ කරන්නේ නැහැ. ඒකට එක හේතුවක් ලංකාවේ තියෙන තරග අපිට බලන්න හරි අමාරුයි වෙලාවේ වෙනස නිසා. ගෙදර ඉන්නකොට ටීවී එක දාද්දි මැච් එකක් ගියොත් බලනවා මිසක් ඉස්සර වගේ නිදි මරාගෙන දැන් මැච් බලන්නෙ නැහැ. ලංකාවේ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් ගැනත් කලකිරීමක් තියෙන්නෙ. ක්‍රිකට් දැන් ක්‍රීඩාවකට වැඩිය ව්‍යාපාරයක් වෙලා. මුදල් මත යැපෙන ක්‍රීඩකයන් සහ නිලධාරින් ඉන්න සමාජයක දැන් ක්‍රිකට් ක්‍රීඩාව එතරම්ම පිරිසුදුයි කියන්න බැහැ.”
එදා සහ අද ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වී ඇති අයුරු අතුල සමරසේකරගේ මේ කෘතිය කියැවීමේදී හරි අපූරුවට පැහැදිලි වේ. ක්‍රිකට් ලෝලීන්ට පමණක් නොව ඕනෑම අයකුට ගත හැකි ජීවන දර්ශනයක් ද මේ කතන්දර තුළ වේ.
සුරේකා නිල්මිණි ඉලංකෝන්