නව මඟක පුර­වැසි වග­කීම | Page 2 | සිළුමිණ

නව මඟක පුර­වැසි වග­කීම

ප දුප්ප­ත­කුව ඉපැ­දීම අපගේ වර­දක් නොවේ. එහෙත් අප මිය යන්නේ දුප්ප­තකු ලෙස නම් එය අපගේ වර­දකි යැයි ප්‍රකට කිය­ම­නක් තිබේ. මෙතෙක් පත්වූ බොහෝ ආණ්ඩු සහ ඒ ආණ්ඩු­වල ක්‍රියා­කා­රී­ත්වය විග්‍රහ කිරී­මට සහ විනි­ශ්චය කිරී­මට සිටින බොහෝ මාධ්‍ය ක්‍රියා කළේ දුප්පතා සැමදා දුප්ප­තකු කිරී­මට මාර්ගය සෑදීම විනා අන් යමක් නොවේ. වෙනත් වචන වලින් කියන්නේ නම් කන්නට මාළුවා දුන්නා මිස මාළු අල්ල­න්නට බිලී පිත්තක් දුන්නේ නැත. දිළි­ඳු­කම පිටු­දැ­කීමේ වැඩ­ස­ට­හන් ගණ­නා­වක් නිද­හ­සින් පසුව ක්‍රියා­ත්මක වී ඇත. මූලික වශ­යෙන් ගත් කල ඒවා දේශ­පා­ල­නික වැඩ­ස­ට­හන්ය. දිළි­ඳු­කම පිටු­දැ­කීමේ මූල­ධර්ම එම වැඩ­ස­ට­හන්හි නොපැ­වැ­තිණි. දිළි­ඳු­කම පිටු­දැ­කීමේ පළමු උපාය මාර්ගය වන්නේ දිළි­න්දන් සෘජු ලෙස නිෂ්පා­දන ක්‍රියා­ව­ලි­යට හවුල් කර ගැනීම හා ඔවු­නට මුදල් හා වටි­නා­කම් ලැබෙන ක්‍රම­වේද සැක­සී­මය. එහෙත් සිදු වී ඇත්තේ දිළි­ඳු­කම පිටු­දැ­කීම සඳහා ආධාර බෙදා දීමය. ආධාර කේන්ද්‍ර­ගත වන්නේ පරි­භෝ­ජ­නය දෙස­ටය; අවශ්‍ය වන්නේ ආයෝ­ජන ප්‍රව­ර්ධ­නය කිරී­මය. රැකි­යා­වක් යනු ආයෝ­ජ­න­යකි. එයින් මුළු ජීවි­ත­යේම හැඩය වෙනස් කර ගත හැකිය; ඉන් නොනැ­වතී පවුලේ හැඩය ද වෙනස් කර ගත හැකිය. මෙතෙක් ඉති­හා­සයේ වැඩිම පිරි­සක් එනම් 161,000 ක් මෙවර රාජ්‍ය සේව­යට එක් කර ගන්නේ මෙකී ආයෝ­ජ­නයේ ඵල බලා­පො­රො­ත්තු­වෙනි.

රැකි­යා­ලා­භීන් වෙත ද බර­ප­තළ වග­කී­මක් ඇති බව සිහි­පත් කළ යුතුය. අප මුලින් සඳ­හන් කළ කාර්ය­බ­හුල වෙළෙ­ඳ­පොළ හෝ වැඩ බිම හෝ නිර්මා­ණය කිරීම සඳහා ඔවුන්ගේ සක්‍රීය දාය­ක­ත්වය ලැබිය යුතුය. දියුණු රට­වල වෘත්ති­කයා පළ­මුව අව­ධා­නය ‍යොමු කරන්නේ ස්වකීය රට ගැනය. දෙව­නුව අව­ධා­නය යොමු කරන්නේ තමන්ගේ ආය­ත­නය ගැනය; තමන් ගැන හැරී බලන්නේ තෙව­නු­ව­ටය. අප හුරු වී ඇත්තේ පළ­මුව අප ගැන සිත­න්න­ටය. ඒ ක්‍රමය වෙනස් කිරී­මට කාලය පැමිණ තිබේ.

ජන­මාධ්‍ය යනු දෙපැත්ත කැපෙන තියුණු ආයු­ධ­යක් යැයි කිය­ම­නක් තිබේ. එහි වැද­ගත් ම අද­හස වන්නේ ජන­මාධ්‍ය පරෙ­ස්ස­මෙන් භාවිත කළ ­යුතු බව ය. ජන­මා­ධ්‍යයේ භූමි­කාව ගුරු­ව­ර­ය­කුගේ භූමි­කා­වට සමාන යැයි තවත් කිය­ම­නක් තිබේ. ජන­මාධ්‍ය මුර­ක­රු­වකු හෙවත් ආර­ක්ෂක සුන­ඛ­ය­කුගේ භූමි­කාව රඟ දැක්විය යුතු යැයි තවත් අද­හ­සක් තිබේ. එහි අර්ථය වන්නේ ජන­මාධ්‍ය නිර­න්තර අව­දි­ය­කින් සිටිය යුතු බව ය. මේවා තර­මක් පරණ නිර්ව­චන වන්නේ වුව ඒවා­යෙහි අර්ථ හා ජන­මාධ්‍ය ක්‍රියා­කා­රි­ත්වය අතර යම් ගැළ­පී­මක් තිබේ.

ජන­මා­ධ්‍යයේ වග­කීම ගැන ඔබ සැම දන්නා උදා­හ­ර­ණ­යක් මෙහි උදෘත කර දක්ව­න්නට සිතු­වෙමු.

1954 සුර්යග්‍රහ­ණය අව­ස්ථාවේ වද කහ ශරී­ර­ගත කිරී­මෙන් රූපත් වන බවට එක්තරා පුවත්පතක් ප්‍රචා­රය කළේය. ඒ බෙහෙත් වට්ටෝ­රුව අප්‍ර­කට පුද්ග­ල­යකු ගෙන් ලබා­ගත් එකකි. මේ නිසා ලස්සන වීමට වද­කහ පානය කළ විශාල පිරි­සක් රෝහල් ගත කෙරිණ. සත්‍ය වශ­යෙන්ම මේ ප්‍රවෘ­ත්ති­යෙන් අපේක්‍ෂා කළේ පුවත්පතේ අලෙ­විය වැඩි කර ගැනී­මය. එහෙත් එයින් වූයේ බලා­පො­රොත්තු වූ දෙය නොවේ; ඉස්පි­රි­තාල වද­කහ සුදිය බී අස­නීප වූව­න්ගෙන් පිරී යෑමය. එනිසා මාධ්‍ය සතු ප්‍රචා­ර­ණයේ වග­කීම ගැන දැනු­ම්වත් වීම අත්‍ය­ව­ශ්‍යය ය. අපේ රටේ ජනයා දරි­ද්‍ර­තාවේ තබන ප්‍රධාන සාධක දෙකක් තිබේ. ඒ, අන්ධ භක්තිය හා මිථ්‍යා විශ්වා­සයි. මාධ්‍ය කෙරෙහි පව­තින අන්ධ භක්ති­යත් මිථ්‍යා විශ්වා­සත් විසින් තව­දු­ර­ටත් මාධ්‍ය සංස්කෘ­තියේ බල­පෑ­මට අප වැනි රට­වල් යටත් කරනු ඇත.

අපට ජීව­ත්වී­මට සිදු වී ඇති ලෝකය මෙයයි; දිනෙන් දින අර්බුද මතු­වන ව්‍යස­න­කාරි ලෝක­යකි. ගිය වසරේ පාස්කු ප්‍රහා­රය සිදු වූයේය; මේ වසරේ කොරෝනා බැට දුන්නේය. ඒවා සෘජුව මූණ ගැසෙන ගැට­ලුය. එහෙත් අව­ධා­නය යොමු නොක­රන අර්බුද සිය ගණ­නක අප පැටලී ඇත. දින­කට පිළිකා රෝගීන් 64 ක් අලු­තින් හඳුනා ගැනීම අඩු­වෙන් තක්සේරු කළ නොහැ­කිය. දිනෙන් දින පාරි­ස­රික අර්බු­දයේ අප ගිලී­ය­මින් සිටිමු. වෙ‍ෙළ­ඳ­පොළ ධන­වා­දය අපට උරුම කළ ලෝකය මේ බව තේරුම් ගන්නට අපි පමා වී යුතු නැත. “ක්‍රමයේ වෙන­සක් - නැති­නම් මර­ණය” එය පරම සත්‍ය ලෙස පිළි­ග­න්නට සිදුවී තිබේ.

නව වෙන­ස්කම් කරද්දී ඇත­මුන් හඬ නැඟීම දැන් සාමාන්‍ය තත්ත්ව­යකි. එය ඉති­හා­සය පුරාම සිදු වූවකි. රාජ්‍ය යාන්ත්‍ර­ණය ශක්ති­මත් කර­න්නට හදන හැම විට­කම බොහෝ දෙනා විවිධ බිල්ලන් මැවූහ. ඒත් රාජ්‍ය යාන්ත්‍ර­ණයේ ශක්තිය හා උප­යෝ­ගී­තාව තේරෙ­න්නට කොරෝ­නාව පම­ණක් වූව ද ප්‍රමා­ණ­වත් ය. මේ කර­න්නට යන බොහෝ දේට බොහෝ බාධා පැමි­ණීම සාමා­න්‍ය ය. එය මේ රටේ පම­ණක් නොව ලෝකයේ ම හැටි ය. වෙන­ස්කම, නව්‍යතාව ඉදි­රියේ බිය වන්නාට ඉදිරි පැවැ­ත්මක් නැත. අලුත් අලුත් දෑ නොත­කන ජාතිය ලොව නොනඟි... කුමා­ර­තුං­ග­යන් කියූ වදන සිහි­පත් වෙන්නේ මේ වැනි අව­ස්ථා­වල ය. රජය මේ තනන්නේ නව මඟක නව චින්ත­න­යක් දල්වා ඉදි­රිය පැහැ­බර කර­න්නට ය. මාධ්‍ය ඇතුළු සියල්ලේ වග­කීම වන්නේ ඒ පැහැ­බර ඉදි­රි­යට අව­හිර නොකර ආශී­ර්වාද කර­න්නට ය; සිර­ස්ත­ල­යක් අල්ලා­ගෙන කෑග­ස­නවා වෙනු­වට වැඩ වෙනු­වෙන් පෙළ ගැසෙ­න්නට ය.

කොළඹ සීත කළ කාමරවල සිට අහස අල්ල­න්නට සැල­සුම් ගස­නවා වෙනු­වට ගමේ මිනි­සුන්ගේ දහ­ඩිය කඳුළු විඳ ඒ මතින් සංව­ර්ධන ඉලක්ක වෙත යෑමේ වැඩ­පි­ළි­වෙ­ළක් දැන් ක්‍රියා­ත්මක වේ. නෙළුව, ලංකා­ගම නිරී­ක්ෂණ චාරිකා සඳහා ජන­ප­ති­ව­රයා ම සහ­භාගී වන්නේ මේ අර­මුණ පෙර­දැ­රිව ය. අග­මැ­ති­ව­ර­යාගේ වද­නින්ම කියන්නේ නම් එතුමා ගමේ මිනි­සෙකි. ඒ ආඩ­ම්බ­ර­කාර එළැ­ඹු­මකි. ජන­ප­ති­ව­ර­යාට මෙන්ම රටට ද ඕනෑ වන්නේ වැඩ කරන මහ­ජන නියෝ­ජි­ත­යන් ය; වැඩ කරන රාජ්‍ය සේව­ය­ක­යන් ය. උපා­ධි­ධා­රීහු පනස් එක් දහස් හැත්තෑ හතක් රාජ්‍ය සේව­යට පසු­ගි­යදා බඳවා ගැනිණි. ඉති­හා­සයේ වැඩි ම පිරි­සක් එක­වර බඳවා ගත් ප්‍රථම අව­ස්ථාව මෙයයි. තමන් ලබන වැටු­පට සාධා­ර­ණ­යක් ඉෂ්ට කර­න්නැයි ජනා­ධි­ප­ති­තුමා මේ පත්වීම් ප්‍රදා­නය කර­මින් මේ උපා­ධි­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­යේය. ඔවුහු මේ අනුව සේව­යට එක සිතින් කැප­විය යුතු වෙති.

මේ ඒ සිය­ල්ලට පුරවැසි සහ­භා­ගී­ත්වය හා ආශී­ර්වා­දය අවැසි යුග­යකි.

Comments