වහා වළ දැමිය යුතු තෙල් සංස්ථා මළ මිනිය | සිළුමිණ

වහා වළ දැමිය යුතු තෙල් සංස්ථා මළ මිනිය

නිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය වළක්වනු පිණිස යැයි කියමින් එම සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කළ ආකාරය ඉතිහාසයේ ලියවෙනවා ඇත. ආණ්ඩුව ඇඹරී, නැමී, දිගහැරී මේ වර්ජනයට ඉඩ දුන්නේ නම් ශ්‍රී ලංකාවේ අවසානය එතැනින් පටන් ගැනීමට බොහෝ දුරට ඉඩ තිබිණ. ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලියන ලද්දේ පනික්කාර් නමැති විද්වතෙකි. වල්ලභායි පටෙල් නමැති ජාතික නායකයා සහ ශ්‍රී නේරු යන දෙදෙනා මේ කාරණයේදී ඔහුට උදව් කළහ. මෙහිදී වල්ලභායි පටෙල් ඉතා වැදගත් අදහසක් ශ්‍රී නේරුට ඉදිරිපත් කළේය. එනම්, ඉන්දියාවේ ප්‍රාන්ත සියල්ල දුර්වල නූලකින් එකිනෙකට බැඳී ඇති බවය. එබැවින් එක ප්‍රාන්තයක් මධ්‍යම ආණ්ඩුවෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වුණොත් සතියක් තුළ සෙසු සියලුම ප්‍රාන්ත මධ්‍යම ආණ්ඩුවෙන් කැඩී වෙනම රාජ්‍යය බවට පත්වන බවය.

ඛනිජ තෙල් සේවකයන්ගේ වර්ජනය කිසියම් ආකාරයකින් සාර්ථක වුණේ නම් තවත් වර්ජන මාලාවක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් තිබිණ. ඒ වර්ජන මාලාව ක්‍රියාත්මක වූයේ නම් මේ රට සම්පූර්ණයෙන්ම අඩපණ වීමට ඉඩ තිබිණ. ඛනිජ තෙල් වර්ජනය පටන් ගත් අවස්ථාවේදීම ශූන්‍ය කර දැමීමෙන් ආණ්ඩුව විශාල ජාතික මෙහෙවරක් කර තිබේ.

සේවක අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කරන කවර හෝ අරගලයකට මේ පුවත්පත පක්ෂය. එහිදී කම්කරු පන්තියට මඩ ගැසීමක් හෝ එයට එරෙහිවීමක් අප විසින් කරනු නොලැබේ. එහෙත් මේ රටේ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරකම් කෙරෙහි අප තුළ විශාල පිළිකුලක් පවතී.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය අද වන විට තනිකරම බිස්නස් එකක් බවට පත්ව තිබේ. මේ බිස්නස් එකේ ලාභය වෘත්තීය සමිති නායකයන්ටත් පාඩුව අදාළ ආයතනය සහ සේවකයන් අතරත් බෙදී යයි. මේ රටේ රාජ්‍ය ආයතන බොහොමයක වෘත්තීය සමිති නායකයන් සේවයෙන් නිදහස් කරනු ලැබ තිබේ. අදාළ ආයතන පරිශ්‍රය තුළ වෘත්තීය සමිති කාර්යාල තිබේ. වෘත්තීය සමිති නායකයන්ට ආයතනයේ වියදමින් වාහන පහසුකම් සහ ඉන්ධන ලබාදී ඇත. ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය ආයතනයක වෘත්තීය සමිති 25ක් පමණ ඇත. එම වෘත්තීය සමිතිවල නායකයන් කිහිපදෙනකුටම කාර්යාල පරිශ්‍ර ලබාදීමත් වාහන පහසුකම් ලබාදීමත් එවැනි අවස්ථාවලදී සිදු කෙරෙනවා ඇත. මේ වෘත්තීය සමිති නායකයන් ආයතනය වෙනුවෙන් කිසිදු ශ්‍රම දායකත්වයක් ලබා දෙන්නේ නැත. ආණ්ඩුවේ වාහන යොදාගෙන පුද්ගලික ගමන් යාමත්, මැති ඇම­ැතිවරුන් හමුවී දරුවන් ජාතික පාසල්වලට දමා ගැනීමත්, බිරියගේ ඥාතීන්ට රස්සා ලබාදීමත්, ඔවුන්ගේ ප්‍රමුඛ ක්‍රියාන්විතයට අයත් වෙනවා ඇත. එසේම මුදල් වැය කර මෙම වෘත්තීය සමිති නායකයන් මිලදී ගැනීම ඕනෑම දේශපාලන බලවේගයකට කළ හැකිය. මේ සියලු කුණු වැඩ කිරීමෙන් පසු මාසය අවසානයේදී ඔවුහු ආණ්ඩුවෙන් පඩි ගනිති.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය මුල් වරට පටන් ගන්නේ 1893 දීය. 1935 දී වෘත්තීය සමිති පනත සකස් කරන ලදී. ඒ වෘත්තීය සමිති ව්‍යාපාරය නිත්‍යනුකූල කටයුත්තක් සේ සලකා වෘත්තීය සමිති ලියාපදිංචි කරගැනීම පිණිසය. මේ වනවිට ලියාපදිංචි කරන ලද වෘත්තීය සමිති 2,074ක් ලංකාවේ තිබේ. එයින් 54.5%ක්ම ආණ්ඩුවේ ආයතනවල වෘත්තීය සමිති වන අතර 27.5%ක් පෞද්ගලික ආයතන සහ සංස්ථාවලට අයත් වෘත්තීය සමිති වෙති. සාමාන්‍ය දැන ගැනීමට අනුව මේ රටේ වැඩකරන ජනතාවගෙන් 7.5%ක වූ පිරිසක් වෘත්තීය සමිතිවලට බැඳී සිටිති.

වෘත්තීය සමිතියක් යනු කම්කරු ව්‍යාපාරය නියෝජනය කරන සංකල්පයක් ලෙස හඳුනාගනු ලැබුවද මේ රටේ සැබෑ කම්කරුවාට වෘත්තීය සමිතිවලට බැඳෙන්නට අවසර නැත. සපත්තු මහන මිනිහා වෘත්තීය සමිතිවලට බඳවාගනු නොලැබේ. කුඩා හදන මිනිහා සහ කුලියට පොල් කඩන මිනිහා වෘත්තීය සමිතිවලට බඳවා ගනු නොලැබේ. එසේම වත්ත උදලු ගාන මිනිසුන්, ගරාජ්වල පොඩි පොඩි වැඩ කරන මිනිසුන්, මේසන් බාස්ලා සහ ඔවුන්ට අත් උදව් දෙන අය, කුලී වැඩ කරන අය, කඩවල බඩු කිරණ අය යනාදීන්ට වෘත්තීය සමිතිවලට බැඳීමේ ක්‍රමවේදයක් නැත. 2022 සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ සේවා නියුක්තිය 81,77,045 කි. මෙයින් 7.5%ක් යනු ලක්ෂ හයහමාරක්වත් නොඉක්මවන පිරිසකි. අසූ දෙලක්ෂයක සේවා නියුක්තියක් තුළ වෘත්තීය සමිතිවලට බැඳී සිටින්නේ ලක්ෂ හයහමාරක් නම් මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය කොතරම් දුරට බංකොළොත් වී තිබේද යන්න පැහැදිලිය. මේ රටේ එවැනි තත්ත්වයක් පවතින්නේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියුතු නායකයන් වැඩිදෙනා හොරුන් වන නිසාය. අපට තිබෙන දැනුමට අනුව කාර් එකක් නොව කාර් එකක යතුරක් දීමෙන් පවා අවනත කරගත හැකි වෘත්තීය සමිති නායකයෝ මේ ව්‍යාපාරය තුළ සිටිති.

අපි නැවතත් ඛනිජ තෙල් සංස්ථාව දෙසට හැරෙමු. අවුරුදු ගණනාවක් තිස්සේ බිලියන පිට බිලියන පාඩු ලබා බිලියන පිට බිලියන ණයවී සිටින ඛනිජ තෙල් සේවකයෝ කිසි ලැජ්ජාවක් නැතිව බෝනස් ගනිති. ඛනිජ තෙල් සංස්ථාව මේ මොහොතේ තිබෙන්නේ මිනී පෙට්ටියකය. එයට කොතරම් කෙළ වී ඇත් ද යත් මිනිය එම්බාම් කරගැනීමට පවා සල්ලියක් ඉතිරිවී නැති අතර පෙට්ටිය වසා වහාම වල නොදැම්මොත් මිනිය කුණු වීමට පටන් ගන්නවා ඇත. දැනට ඇති ලොකුම ප්‍රශ්නය නම් මේ මිනිය වළ දැමීම සඳහා පෙට්ටිය වසා ඇණ ගැසීම පිණිස ඇණ මිලට ගැනීමටවත් වත්කමක් ආණ්ඩුවට නොමැති වීමයි. කිසියම් කෙනෙක් මේ මිනිය කොම්පෝස්ට් පොහොර තැනීම සඳහා මිලදී ගැනීමට කැමති නම් අප කළ යුත්තේ වහාම ඒ ගැනුම්කරු අල්ලා ගෙන මේ මළ මිනිය ඔහුගේ ඇඟේ ගැසීමය. ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලිකකරණය කරන්නට යන බව ඇසූ අපි පුදුමයට පත්වීමු. මෙවැනි පාඩු ලබන ආයතනයක් මිලදී ගන්නේ කවුද? එසේ තිබියදීත් විදේශික සමාගම් හතරක් මේ මිනියට කරගැසීමට ඉදිරිපත්ව සිටිති. එබැවින් ආණ්ඩුව කළ යුත්තේ හැකි ඉක්මනින් මේ මළ ගෙදරින් නිදහස්වී හිත හදා ගැනීමය. තවත් වැදගත් යමක් කියමු. ඛනිජ තෙල් සංස්ථාව කොතරම් විනාශයට පත්ව ඇත්ද යත් ඒ වෙනුවෙන් හත් දවසේ දානය දීමටවත් කා අතේවත් සතයක් නැත.

Comments