ළමයින් අපහරණය කිරීම (ශූරතාව කොළඹට අනුශූරතාව යාපනයට) | සිළුමිණ

ළමයින් අපහරණය කිරීම (ශූරතාව කොළඹට අනුශූරතාව යාපනයට)

මයින් අපහරණය කිරීම යන යෙදුම සම්බන්ධයෙන් වඩාත්ම විස්තෘත අර්ථ නිරූපණය දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විය යුතුය. එම සංවිධානයට අනුව ළමයින්ට කරන සියලු ආකාරයේ මානසික හිරිහැර, ලිංගික හිරිහැර, දරුවා නොසලකා හැරීම හෝ ප්‍රමිතිගත නොවන මට්ටමින් දරුවාට සැලකීම, වාණිජ හෝ වෙනත් සියලු ආකාරවල සූරාකෑම යනාදිය ළමයින් අපහරණය වීමට අදාළය. මේ මඟින් දරුවාගේ සෞඛ්‍යය, පැවැත්ම, සංවර්ධනය, ආත්ම ගෞරවය, විශ්වාසය, බලය, වගකීම යන සාධක විනාශයට පත්වේ. සාමාන්‍යයෙන් ජනතාවගේ පිළිගැනීම වන්නේ ළමා අපහරණය යනු ළමයකු ලිංගික අපහරණයකට ලක්කිරීම පමණක් බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට අනුව ඒ සාධකය ළමා අපහරණය තුළ ඇති දරුණුම කාරණා වලින් එකකි.

කළුතර ලැගුම් හලක තුන්වැනි මහලින් බිමට පිනූ හෝ බිමට තල්ලු කළ තැනැත්තිය දහසය හැවිරිදි නව යෞවනියකි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථ නිරූපනයට අනුව අවුරුදු 16 යනු ළමා වයසකි. මේ අනුව පෙරකී දැරිය හෝටල් කාමරයෙන් බිමට පැනීම හෝ තල්ලු කිරීම ළමා අපහරණයක් බවට පත්වෙයි. ළමයින් අපහරණය කරන අයට දෙන දඬුවම් වැඩි කළ යුතුව තිබේ. යුරෝපයේ ඇතැම් රටවල ළමයකුට පහර දෙන අයකුට දෙන දඬුවම වැඩිහිටියකුට පහර දෙන දඬුවමට වඩා බෙහෙවින් වැඩිය. කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇගේ මිතුරිය ද මිතුරියගේ පෙම්වතා ද ඇඟ පුරා පච්ච කොටාගත් වාහන සීසර් ද සමසේ වගකිව යුතුය. පොලිසිය පරීක්ෂණ හොඳටම කරන බව පෙනේ. මේ අපරාධය පිළිබඳ පරීක්ෂණවලට CID ය ද එකතු වීම නිසා ඉක්මන් සහ සාධාරණ ප්‍රතිඵල ලබාගත හැකිය.

පෙම්වතා සහ ඔහුගේ නැන්දා ගේකට කඩා පැන බාලවයස්කාර පෙම්වතියක් පැහැර ගෙන යන ආකාරය අපි පසුගියදා රූපවාහිනියෙන් දුටුවෙමු. එසේම, පියාගේ දෙවන බිරිය විසින් ඔහුගේ පළමු විවාහයේ නව යොවුන් දියණියට අමානුෂික ලෙස පහර දෙන අන්දම අපි රූපවාහිනියෙන්ම දුටුවෙමු. ඊටත් අමතරව විදේශගතව සිටින සිය අනියම් බිරියගෙන් මුදල් ලබා ගැනීම සඳහා තමාට දාව ඇයට උපන් බිලිඳු දරුවාට අමානුෂික වදදී ඒවා වීඩියෝ කර අනියම් බිරියට යවන පියකු ගැන පුවතක් ද රූපවාහිනිය මඟින් ප්‍රදර්ශනය කරන ලදී. වැරදි කරන අයට අසවල් දඬුවම දිය යුතු බවට නිර්දේශ කිරීමේ අයිතියක් අපට නැත. එහෙත් බිලිඳු දරුවාගේ සිද්ධිය දකින අප බලවත් සේ හැඟීම්බර වීම නිසා මේ දරුවාගේ පියාට රජ කාලේ දඬුවම් දිය යුතු බව යෝජනා කරමු.

ළමයින් අපහරණය කිරීම පටන් ගන්නේ පවුලෙනි. හැඳි නොගා හදන හොද්දත් ගුටි නොදී හදන ළමයාත් කිසිදු වැදගැම්මකට නැතැයි කියන ගොන් කතාවක් අපේ ප්‍රස්ථාව පිරුළු අතර තිබේ. මෙයින් කියවෙන්නේ දරුවකු වැරැද්දක් කළ විට ඔහුට හෝ ඇයට පහර දිය යුතු බවය. වැඩිහිටියකු විසින් ළමයකුට පහර දෙනු ලබන්නේ ආපසු හැරී පහරදීමට තරම් ශක්තියක් ළමයකුට නැති බැවිනි. පිරිමි ළමයකුට අවුරුදු 18 පැන්න පසු පහරදීමට බොහෝ මවුපියෝ බිය වෙති. එයට හේතුව “මූ ආපහු හැරිලා කෙලලා ඇරියොත් මොන දෙයියන්ට කියන්නද ” යනුවෙන් වැඩිහිටියන් තුළ හටගන්නා බියපත් මනසයි. දියුණු රටවල් බොහොමයක ළමයින්ට ශාරීරික දඬුවම් කරන්නේ නැත. එහා ගෙදර ළමයාට කිසිවකු පහර දෙනවා නම් මෙහා ගෙදර මනුස්සයා පොලිසියට දුරකතන ඇමතුමක් දී ඒ බව කීම ඒ රටවල සාමාන්‍ය සිරිතය. එවිට පොලිස් රථය පැමිණ දරුවාට පහර දුන් එකා කුදලා ගෙන ගොස් පස්සා පැත්තට පයින් ගසා පොලිස් කූඩුවට දමනු ලැබේ.

ලංකාවේ බාලවයස්කරුවන් අපහරණය කිරීම පිළිබඳ වාර්තා ඉතාම නරකය. ගිය අවුරුද්දේ එම වාර්තාවට අනුව ළමා අපහරණ 79ක් ද අපහරණය නිසා මියගිය දරුවන් 28ක් ද නොසලකා හරින ලද ළමයින් 27ක් ගැන ද ශාරීරික හිංසනයට ලක්වූ දරුවන් 25ක් ගැන ද මත්ද්‍රව්‍යය නිසා අපහරණයට ලක්වූ ළමයින් 9ක් ගැන ද පැහැරගත් ළමයින් 7ක් ගැන ද අතුරුදන් වූ ළමයින් 4ද මිනී මැරීමට තැත් කිරීමට ලක්වූ ළමයින් 3ක් ගැනද පැහැර ගෙන ගොස් විකුණා මානසික අපහරණයට ලක් කෙරුණු දරුවන් දෙ‍ෙදනකු ගැන ද වාර්තා විය. ළමයින් අපහරණය කිරීම කොළඹට හෝ බස්නාහිර පළාතට සීමා වී නැත. එය යාපනය, ගම්පහ, අනුරාධපුරය, ගාල්ල, කළුතර, නුවර, බදුල්ල, මොනරාගල, රත්නපුරය, පුත්තලම, මාතර, හම්බන්තොට, කුරුණෑගල, අම්පාර, මාතලේ, නුවරඑලිය, කෑගල්ල, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, පොලොන්නරුව ආදී සියලු ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත. එහෙත් වැඩි වශයෙන්ම දරුවන් අපහරණය වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළතය. ඒ පිළිබඳ අනුශූරතාව යාපනයට හිමි වේ.

බාලවයස්කරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුමට ශ්‍රී ලංකාව විසින් මීට අවුරුදු 31ට පෙර අත්සන් තබන ලදී. ඕනෑම දෙයකට අත්සන් තැබීමත් එකඟත්වය පළ කිරීමත් කොතරම් ලෙහෙසි ද යන කාරණය එයින් පැහැදිලිය. එසේ අත්සන් කළා කියා ගිවිසුමේ තිබෙන ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එපමණ වැදගැම්මකට නැති දෙයක් බව රට තුළ දෛනිකව සිදුවන ළමා අපහරණ මඟින් පැහැදිලි වේ. පොලිසිය යනු නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති ආයතනයයි. පොලිස් දෙපාර්තමෙන්තුවේ සිටින සම්මානලාභී පොලිස් කාන්තාවකට 2019 දී ළමා අපහරණ චෝදනාවක් නැඟිණි. මෙම පොලිස් කාන්තාව මිනිසුන් විශාල පිරිසක් ඉදිරිපිට කුඩා දැරියකගේ ආත්ම ගෞරවය විනාශ වන ආකාරයෙන් ප්‍රශ්න කර තිබිණ. මේ සිද්ධියෙන් පසු කෙනකුගෙන් ප්‍රශ්න කළ යුතු ආකාරය දැක්වෙන කරුණු 17ක් සහිත ලියවිල්ලක් ද රජය මගින් ප්‍රකාශයට පත්කරන ලදි. ඒ ප්‍රකාශය කවර පෙට්ටගමක ඇත්දැයි සොයා බලන ලෙස අප ඉල්ලමු.

Comments