අන්ධකාර කතාවක් | සිළුමිණ

අන්ධකාර කතාවක්

ලෝක පරිසර දිනය ජුනි 05 වැනිදාට යෙදී තිබේ. මෙය වැලන්ටයින් දිනය හෝ මවුවරුන්ගේ පියවරුන්ගේ දවස් හෝ වැඩිහිටි දිනය හෝ ළමා දිනය මෙන් මාර්කට් කළ හැකි දවසක් නොවේ. වැලන්ටයින් දවසේදී රතු රෝස මල් හදවතේ හැඩයට හැදූ චොකලට්, හෝටල්වල පැවැත්වෙන පෙම්වතුන්ගේ සම්භාෂණ අවස්ථා මාර්කට් කළ හැකිය. මවුවරුන්ගේ සහ පියවරුන්ගේ දිනවල ඒ අය වෙනුවෙන් හැදූ විවිධ රසකැවිලි සහ කේක් වර්ග මාර්කට් කළ හැකිය. මවුතුමිය හෝ පියතුමා දරුණු දියවැඩියා කාරයෙක් වේවා, ඉහත සඳහන් තෑගි දීමේදී ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය ගණන් ගනු නොලැබේ. ලෝක පරිසර දිනයේදී බිස්නස් එකක් වශයෙන් විකිණිය හැකි කිසිම මඟුලක් නැත. වැඩිම වුණොත් එදාට පැළ බෙදාදීම සිදු කෙරේ. ගෙවල්වලට ගෙන යන මේ පැළ වලින් 10% ක් වත් පැළ කරනු නොලැබේ. මාකටින් පැත්තෙන් කොතරම් අසාර්ථක දිනයක් වුව ද ජීවිතේ පැත්තෙන් වැදගත්ම දිනය වන්නේ ලෝක පරිසර දිනයයි. ඒ සම්බන්ධයෙන් සටහනක් තැබීම අද අපගේ අරමුණ වේ.

ලංකාවේ පරිසරය පසුගිය පනස් අවුරුද්ද ඇතුළත ඉතාම වේගයෙන් දූෂණය කරන ලදී. තුන්වන ලෝකයේ දුප්පත් රටක් ලෙස දන්නා කාලයේ ඉඳ පැවති ලංකාව 1977 දී හදිසි සහ කඩිනම් සංවර්ධනයකට ගොදුරු විය. ඒ වනවිට ගෝලීයකරණය නමැති සංකල්පය ආරම්භ වුණා පමණි. මේ සංකල්පයට අනුව විශ්වයම එක ගමක් වන අතර ලෝකය යනු එම ගමේ පිහිටි ග්‍රාමසේවා කොට්ඨාසයකි. 1977 දී අපේ ග්‍රාම සේවා කොට්ඨාසයේ ග්‍රාම සේවක ලෙස පත්වීම ලබන්නේ ජේ.ආර්. ජයවර්ධනය. ඔහු මේ රට භාර ගන්නා විට බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් රටට හොඳටම කෙලවා තිබුණු බැවින් සේවා වියුක්තිය 20% ක් විය. ජේ.ආර්. රට භාර ගන්නේම මේ බව දැනගෙනය. විධායක ජනාධිපති බවට පත්වී මේ කියන 20% සේවා වියුක්තිය 2% දක්වා අඩුකිරීමට ජේ.ආර්. ජයවර්ධන කල්පනා කළේය. ඒ සඳහා ඔහු මේ රටේ ආර්ථිකය විවෘත කළේය. එසේ විවෘත කළ ආර්ථිකය හරහා රට තුළට ඩොලර් ද, ස්ත්‍රී දූෂණය ද, පරිසර දූෂණය ද සංවර්ධන මාෆියාව ද වහ වහා ගලා එන්නට පටන් ගත්තේය.

මෙහිදී පරිසර දූෂණයට ප්‍රමුඛ තැනක් දී කතා කිරීම අපගේ අදහස වේ. සංවර්ධන හරහා ලංකාවට කර්මාන්තශාලා සහ ඉදිකිරීම් යෝජනා ක්‍රම සෑහෙන ප්‍රමාණයක් පැමිණියේය. එමතුදු නොව සංචාරක ව්‍යාපාරය ප්‍රසාරණය කිරීම සඳහා හෝටල් තැනීමද ඇරඹිණ. එහෙත් මේවා තිරසර ලෙස පවත්වා ගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය නොවීය. මේ නිසා කර්මාන්ත ශාලාවේ බැර ජලය බැහැර කරන ලද්දේ ගඟටය. හෝටලේ වැසිකිළි බටේ සිට ඉඳුල් බටේ දක්වා වූ සියල්ලම මුහුදට හරවන ලදී. ඇඟලුම් කර්මාන්ත ශාලාවල දූෂිත ජලය කෙළින්ම ගියේ ළඟම ඇති කානුවට හෝ ඇළටය. මේ නිසා ඇළවල්වල තිබූ ජලය නිල් පාට, කොළ පාට හෝ රතු පාට වී ඒවායේ සිටි මත්ස්‍ය ගහනය අභාවප්‍රාප්ත විය. කිසියම් ජල ජීවියකුට ජීවිතය ගැටගසාගෙන ඒ අප ජලයේ සිටින්නට හැකි වී නම් අවුරුදු කීපයක් තුළ ඒ සතාගේ ශරීරයේ අඩංගු ඊයම් සහ රසදිය ප්‍රමාණය බෙහෙවින් ඉහළ ගියේය. මේ මාළුවාගේ සිරුර තුළ පිළිකා තිබුණේ නැත. ඒත් ඒකා අනුභව කළ අපට ගිණිය නොහැකි තරම් පිළිකා හැදිණි.

මීට කලකට පෙර අපේ මුහුදු සීමාවේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නමැති රසායනික නැව මේ රටේ ජලජ ජීවිතවලින් සෑහෙන ප්‍රමාණයක් වනසා දැමීය. මෙය උදාහරණයක් හැටියට ගෙන මේ කතුවැකියේ ඉතුරු කොටසින් කොටසක් සම්පූර්ණ කරනු ලැබේ. එක්ස්ප්‍රස් පර්ල් නැව දින ගණනාවක්ම පිලිස්සුණේය. එයින් නැඟුණු තද කළු පැහැති කාබන් මොනොක්සයිඩ් දුමාරය කළු පාට ගුලියක් ලෙස සෑහෙන දුරක සිට දැකගැනීමට හැකි විය. මේ නිසා සාගරයට අමතරව වාතය ද දූෂණය විය. විවිධ රසායනික ද්‍රව්‍යය සාගර ජලය හා මුසුවීම නිසා මත්ස්‍යයෝ ද, කැස්බෑවෝ ද මිය ගියහ. ගිනි ජාලාවෙහි රස්නය හේතුවෙන් කැස්බෑවන් විශාල පිරිසකගේ පිට කටුව පිලිස්සිණි. ඒ නිසා එම කටුව ඉවත්කර එම සතුන්ගේ පිටට විශේෂ ෆයිබර් වර්ගයකින් තැනූ කෘත්‍රිම පිට කටු බද්ද කිරීමට පරිසරවේදීන්ට සිදු විය. මෙය වැලන්ටයින් රෝස මලට හෝ හදවතේ හැඩය ගත් චොක්ලට් එකට වඩා අර්ථවත් ක්‍රියාවකි. එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිට සමුදුරු රැලි හරහා නයිට්‍රික් ඇසිඩ්, නයිට්‍රික් ඔක්සයිඩ්, තඹ සහ ඊයම් අංශු වෙරළට ගසාගෙන ආවේය. මේවායින් කොපමණ ප්‍රමාණයක් සාගර ජලය හා මිශ්‍ර වූයේදැයි අදටත් ඇස්තමේන්තුවක් නැත.

ලංකාවේ කර්මාන්ත බහුලව පිහිටි බියගම, කොග්ගල සහ කටුනායක යනාදී ප්‍රදේශවල ජල දූෂණය ඉතාම ඉහළ තැනක පවතී. මේ කලාපයේ පිහිටි ඇතැම් ෆැක්ටරිවල අප ජලය පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාර නැත. මේ සම්බන්ධයෙන් හොඳම උදාහරණ දෙක වන්නේ බියගම ප්‍රාදේශීය ලේකම් වසමට යටත්ව ඇති බටහිර මාබිම සහ උතුරු සහ දකුණු පට්ටිවල ග්‍රාමසේවා වසම් දෙකය. මේ ප්‍රදේශ හරහා පට්ටිවල ඇළ නමැති ජල මාර්ගයක් ගලා බසී. ඉහත සඳහන් ප්‍රාදේශීය ලේකම් වසමේ ප්‍රමුඛ ජල සැපයුම්කරුවා වන්නේ මේ කියන ඇළය. එහෙත් සපුගස්කන්දේ තෙල් පිරිපහදුව සහ ගෑස් පිරවුම් යන්ත්‍රාගාරය ස්වකීය අප ජලය කෙළින්ම නිකුත් කරන්නේ මේ ඇළටය. ඒ අප ජලයෙහි පෙට්‍රල්, ඩීසල්, කාර්මික භූමි තෙල්, ගුවන් යානා තෙල් ඇතුළු ඕනෑම තෙල් වර්ගයක් (වාත තෙල් හැරුණු විට) ඇත. මේ නිසා පට්ටිවල ඇළේ මාළු නැති අතර එයින් වතුර බිව්වොත් තමන් කර ඇති පින් පව්වල තරමට දෙව්ලොවට හෝ අපායට යාමට වතුර බොන්නාට සිදුවේ. සපුගස්කන්දේ පිරිපහදුව සතුව වෙනත් වස විස ද ඕනෑ තරම් ඇත. එම යන්ත්‍රාගාරයෙන් ඇළට ගලාගෙන යන බහු චක්‍රීය විවිධ සුවඳැති හයිඩ්‍රොකාබන් වර්ග නිසා ඇළ දෙපස සහ ඇළ පතුලේ ඇති ජලජ පැළෑටිද නන්නත්තාර වී තිබේ. මාළු නැතැයි කීවාට ළඟදී මේ ඇළෙන් මාළු දෙතුන් දෙනෙකු හසුවිය. ඒ සතුන් සියලු දෙනාම අංග විකල භාවයෙන් පෙළුණාහ.

ඉහතින් අප විසින් විග්‍රහ කරන ලද්දේ අපේ පරිසරයෙන් සීයෙන් දාහකටත් අඩු ප්‍රමාණයකි. අප මුහුණදී සිටින ව්‍යසනයේ සැබෑ ඇස්තමේන්තුව මීට වඩා දරුණුය. එබැවින් හෙට යෙදෙන ලෝක පරිසර දිනය වෙනත් අලෙවි කළ හැකි දවස්වලට වඩා කොතරම් වටින්නේ ද යන කාරණය අප සිහිපත් කළ යුතුය.

Comments