
මේ දක්වාම නොනැසී පවත්නා ලොව පැරණිම ආගමික දර්ශනය බුදු දහම විය යුතුය. හින්දු ආගම මීට වඩා පැරණි වුව ද එය දෙවි කෙනකු මත පදනම් වූ ආගමක් මිස ආගමික වක්තෘවරයකු මත පදනම් වූ ආගමක් නොවේ.
බුදුන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙන කාලයේදීත් හින්දු නොවන වෙනත් ආගම් රැසක් ඉන්දියාවේ තිබිණ. එයින් වඩාත්ම වැදගත් වූවෝ නිගණ්ඨයෝය. ඔවුන් අතර ප්‍රායෝගික මිනිස්සු ද වූහ. උදාහරණයක් ලෙස අජිත කේසකම්බලි ගනිමු. සෙසු නිගණ්ඨයන් නිරුවතින් සිටිද්දී අජිත කේසකම්බලි කම්බිලියකින් මුළු ඇඟම වසාගෙන හොර පූජකයන්ට පහර දුන්නේය. එකල ඉන්දියාවේ යාග හෝමවලට ලොකු තැනක් ලැබුණි. යාගයකදී පණ පිටින් මිනිසුන් සහ සතුන් ගින්නට බිලි කළ විට ඔවුන් කෙළින්ම දෙව්ලොවට යන බව එකල සිටි වංචනික පූජකයෝ පැවසූහ. ඔවුන් මේ මතය ගොඩනැඟුවේ තරහකාරයන්ගෙන් පළිගැනීම පිණිසය. සිය අභිමතයට විරුද්ධ වෙන අයකු ගිනි දෙවියන්ට පූජා කළ යුතු බව කිසියම් පූජකයකු රජුට කී විට ඒ මෝඩ රජු ඊට අනුමැතිය දුන්නේය. මෙය බොහෝදුරට සිදු වුණේ කාන්තාවන් සම්බන්ධයෙනි. කිසියම් කාන්තාවක කෙරෙහි රාගයෙන් වෙළුණු පූජකයා ඇය සිය අභිමතයට එකඟ නොවූ කල්හි කෙළින්ම දර සෑයට යැවුවේය. අජිත කේසකම්බලි මෙයට තරයේ විරුද්ධ විය. ඔහුගේ ප්‍රශ්නය වූයේ දෙව්ලොව යෑම සඳහා එපමණ පහසු මාර්ගයක් ඇත්නම් පූජකයන් ගිනි ගොඩට නොපැන, දෙව්ලොව නොගොස් මහ පොළවෙහිම පසුවන්නේ ඇයි ද යන්නය. අඩුම ගණනේ පූජකයා සිය මව හා පියා ගිනි ගොඩ හරහා දෙව්ලොව යැවිය යුතු බව අජිත කේසකම්බලි කීවේය.
සිද්ධාර්ථ කුමාරයා භාග්‍යවත් ගෞතම බුදුන් බවට පත්වූ පසු මෙයට වඩා රැඩිකල් මත දහස් ගණනින් ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. මේ කාලය ලෝකයේ නවීන මතවාද හටගත් විශේෂ සමයකි. බුදුන් වහන්සේට අවුරුදු 200කට පමණ පසු ජීවත් වූ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ බුදු දහමෙහි එන ගන්ධබ්බ කාලය හා සමාන මතයක් දැරුවේය. ඔහු විසින් ක්‍රි. පූ. 370දී ලියන ලද Phaedrus නමැති අධ්‍යයන අත් පොතෙහි එන පරිදි බුදු සමයෙහි එන ගන්ධබ්බ කාලය සැබෑවකි. මියයන පුද්ගලයකුගේ ආත්මය තමන්ට ගැළපෙන ආත්මයක් ලබාගන්නා තෙක් චක්‍රාකාරීව සැරිසරයි. පයිතගරස් ද මේ හා සමාන විඤ්ඥානවාදී මත දැරූවෙකි. බුදුන් වහන්සේ සහ ප්ලේටෝ අතර පරතරය අවුරුදු 200ට වැඩිය. එහෙත් බුදු දහමේ මූලික පිළිගැනීම් ග්‍රීසියේ සිටි පඬිවරුන්ගේ මතය ද වීම පුදුම සහගත දෙයකි. මේ වන විටත් බුදු දහම පැවතියේ ඉන්දියාවට සහ තදාසන්න ප්‍රදේශවලට පමණක් සීමා වෙමිනි. එය සේද මාවත දිගේ අපේ පළාත්වලට එන්නේත් අරාබිය පැත්තනේ ග්‍රීසියට යන්නේත් පසු කාලයේදීය.
වෙසක් උලෙළ වෙනුවෙන් අප අද ලියන මේ කතුවැකියේ ප්‍රමුඛ තේමාව ඉහත සඳහන් ඡේදය නොව මේ රටේ පුරාවස්තු කොල්ලයයි. හොරකම යනු ලෝකයේ පැරණිම බඩගෝස්තරවාදී රස්සාවලින් එකකි. පුරා වස්තු කොල්ලය එම බඩ රස්සාවේ එක් ස්වරූපයකි. නිධන් වස්තු සහ පුරා වස්තු කොල්ලය එක සමානය. පුරාණ කාලයේ විසු රජවරු මහත් වූ තණ්හාවෙන් පෙළුණු ජීවීන් පිරිසක් වූ අතර මිය යන්නට කලින් තමන් සතු රන් රිදී හා මුතු මැණික් පොළවේ වලවල් හාරා සැඟවූහ. එහෙත් මේ රජවරුන්ගේ තෘෂ්ණාව සැඟවීම සඳහා පසුකාලීන පඬිවරු මෙවන් මතයක් ඉදිරිපත් කළහ. ඒ රජවරු අනාගතේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තමන් සතු වටිනා දේවල් නිධන් කරන බවය. නිධන් හොරු ද මේ මතයට මහත් සේ ගරු කරති. එහෙත් මෙය පල් බොරුවකි. තෘෂ්ණාධික රජුගේ හොඳ නම නමැති රෙද්ද ගැලවීම වළක්වාලනු වස් ඉහත සඳහන් මතය ප්‍රසිද්ධ කරන ලදී. මෙහි තවත් පැත්තක් තිබේ. ඇතැම් රජවරු බුදු පිළිම සහ දාගැබ් තුළ මැණික් රන් රිදී යනාදිය තැන්පත් කළහ. එය තෘෂ්ණාව නිසා කළ දෙයක් නොව බුද්ධාලම්භන ප්‍රීතිය නිසා කරන ලද්දකි.
පුරා වස්තු කොල්ලය සහ පුරාවිද්‍යාත්මක ස්මාරක වැඩි වශයෙන්ම විනාශ කරනු ලබන්නේ අනුරාධපුර රාජධානිය ඇතුළතය. පසුගිය අවුරුදු 20 තුළදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සහ ආරම්භක රාජධානියක් වූ අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්ථාන සහ ස්මාරක 178ක් නිධන් හොරුන් හෝ පජාති ආගම්වාදීන් විසින් වනසනු ලැබ ඇත. (පජාති යනු අසම්මත ගණයේ වචනයක් නොවේ. ජාතියෙන් පහත් යන්න හැඳින්වීම සඳහා මේ පද යොදනු ලැබේ. අප ජාතියෙන් පහත් යැයි කියන්නේ වැඩවලින් පහත් මිනිසුන්ටය) එසේම කුරුණෑගල බෞද්ධ පුරාවිද්‍යා ස්මාරක 75ක් ද, මොනරාගල 58ක් ද, බදුල්ලේ 41ක් ද, නුවර 36ක් ද, මාතලේ 28ක් ද, පොලොන්නරුවේ 28ක් ද, හම්බන්තොට 26ක් ද, ගම්පහ 23ක් ද, රත්නපුරේ 23ක් ද, නිධන් හොරුන් විසින් විනාශ කරනු ලැබ තිබේ. මීට අමතරව යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ද පුරා විද්‍යාත්මක ස්ථාන 63ක් වනසනු ලැබ ඇත. සාමාන්‍යයෙන් මේ තොරතුරු වැඩිමනත් ප්‍රසිද්ධියට පත්කරනු නොලැබේ. එයට හේතුව මේවා හෙළිදරව් වුවහොත් ජාතිවාදී සහ වර්ගවාදී කොටස් එකමුතුවී කඩු පොලු අතට ගෙන නිගණ්ඨයන් සේ ක්‍රියා කරමින් බිලි පූජා පැවැත්වීමය.
ලංකාවේ බෞද්ධපුරාවස්තු වේවා, කතෝලික පුරා වස්තු වේවා, හින්දුපුරාවස්තු වේවා, ඉස්ලාමීය පුරා වස්තු වේවා ඒ සියලුම දේට නිරුපද්‍රිතව මහ පොළව මත රැඳී සිටීමට අයිතියක් තිබේ. මේ අයිතිය සුරැකීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ගන්නා උත්සාහය අපගේ ගෞරවයට පාත්‍ර වේ. එහෙත් අප දන්නා පරිදි මේ කොල්ලය අඩක් හෝ මැඬපැවැත්වීම සඳහා අවශ්‍ය පිරිස් බලය සහ නිලධාරී බලය ඔහුට නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක හිඟය කොතරම් ද යත් නිධන් හොරු ගැන ඔත්තුවක් ලැබුණ විට පොල්ලකුත් කරේ තබාගෙන ඒ පළාතට යෑමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ටත් සිදුවිය හැකිය. ආණ්ඩුවක් ආර්ථිකය ගොඩගැනීම සඳහා හෝ වෙනත් කාර්යයක් සඳහා හෝ සිය සම්පූර්ණ ශක්තිය මුදාහරින විට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන නිධන් හොරු වැඩ පටන් ගනිති. මේ තත්ත්වය ගැන සැලකිලිමත් වීම වැදගත් බැව් අපි ආණ්ඩුවට සිහිපත් කරන්නෙමු.