විතැන් වූ කම්කරු ව්‍යාපාරය | සිළුමිණ

විතැන් වූ කම්කරු ව්‍යාපාරය

ශිෂ්ටාචාරය පටන්ගන්නේ කම්කරුවාගෙනි. මෙහිදී කම්කරුවා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එදිනෙදා ජීවත්වීම සඳහා කෑම සොයා ගැනීමට දඩයම් සහ ගොවිතැන්වල නිරත වූ ආදී මානවයාය. කිසිම වන සතෙක් තුන පහ මල්ලකුත් රැගෙන ආදිවාසියකුගේ ගෙදරට විත් මා මරාගෙන කන්නැයි කීවේ නැත. ඒ සතා උයා ගැනීමට නම් විශාල අවදානමක් ගෙන වනාන්තරය මැදින් ඒ සතා පසුපස දිව ගොස් දැඩි පරිශ්‍රමයක් දරා මරාගෙන කෑම කළ යුතුය. එසේම පල දැරූ කිසිදු ගොයම් ගසක් හෝ පල දැරූ තිරිඟු පැළයක් ඇට වලින් පිරුණු කරල් කරේ තබාගෙන අප උයාගෙන කන්නැයි කීවේ නැත.

ඒ වෙනුවට කළ යුතු වූයේ එවැනි ධාන්‍ය වර්ග මහන්සියෙන් වගා කර අනුභව කිරීමය. මෙසේ කල්ගත වන විට ආහාර පිණිස පමණක්ම වනාන්තරය පුරා දුවමින් සිටි ආදි මානවයා තමන් වෙනුවෙන් පෙනී සිටීමට නායකයෙක් සොයා ගත්තේය. ගෝත්‍රික ලෝකය පහළ වන්නේ මෙතැනිනි. හැබැයි මේ නායකයා හැමදාමත් වැඩේ කෑවේය. ඔහු කම්කරුවන් එකතු කර ඔවුන්ගෙන් සල්ලි ද එකතු කර එම මුදල් ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා යොදන බව පෙන්වා තමන්ගේ දරුවන් රට යවා උගැන්වීමට යෙදවීය. මේ වැඩේ ඉතිහාසයේ පටන්ම සිදුවී තිබේ. එය අදත් එසේම සිදුවන අතර හෙටත් එසේම සිදුවන්නේය.

ලෝක කම්කරු ව්‍යාපාරය කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය 1990න් පසු ක්‍රමයෙන් පරිහානියට පත්වී මුට්ටි කාසි ව්‍යාපාරයක් බවට පත්විය. වතුකරයේ නායකයන් අද ස්වකීය ජනතාව සූරා කන්නේ සිය මුට්ටි කාසි ව්‍යාපාරය හරහාය. මුට්ටි කාසි යනු කම්කරු ව්‍යාපාරය යනුවෙන් එම ව්‍යාපාරයේ සාමාජිකයන් වෙනුවෙන් දන් දෙන මුදලයි. ඒ දානය වෘත්තීය සමිතියට දෙන නමුදු එය අනුමෝදන් වන්නේ වෘත්තීය සමිතියේ නායකයන්ටය. 1970 දී බලයට පත් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව යටතේ පවත්වන ලද මැයි දින පෙළපාළි කිහිපය අපේ රටේ සශ්‍රීකම අවසන් මැයි දින කිහිපය බවට පත්වන්නේය. 1977 දී එවකට 20%ක විරැකියාවක් පැවති ශ්‍රී ලංකාවට කර ගැසූ ජේ.ආර්. ජයවර්ධන මැයි දින පෙළපාළි පැත්තකට දමා මැයි 1 දා ගෝල්ෆේස් පිට්ටනියේදී සංගීත සංදර්ශනයක් පැවැත්වීය. මෙයට හින්දි නළු නිළියෝ ද හින්දි ගායක ගායිකාවෝ ද සහභාගි වූහ. එකල මේ සංගීත සංදර්ශනයට සහභාගී වීම සඳහා දුර ගම්වල සිට කොළඹ ආ අයට ප්‍රවාහන පහසුකම් සමඟ රුපියල් 10ක් ද බත් පාර්සලයක් ද අරක්කු භාගයක් ද දෙන ලදී. මෙය රුපියල් 25ක් පමණ වූ බජට් එකකි. අද වන විට බජට් නැති නිසා මැයි දින පෙළපාළි ද සංගීත සංදර්ශන ද පවත්වනු නොලැබේ. අනෙක අද කාලයේ කොළඹ මැයි දිනය බැලීමට පිට පළාතකින් එන එකාට අඩු ගණනේ අරක්කු බෝතලයකුත් බුරියානි පර්සලයකුත් රුපියල් 1000ත් දීමට දේශපාලඥයන්ට සිදු වේ. ඒ නිසා මැයි දිනය යන සංකල්පය ක්‍රමයෙන් දියාරුවී වාෂ්ප වී යෑම දේශපාලනඥයන්ට ඉතාම හොඳය.

සිද්ධාන්තයක් වශයෙන් ගත් කල කම්කරු ව්‍යාපාරය යන යෙදුම කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එයින් පළමුවැන්න වන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. දෙවැන්න දේශපාලන කම්කරු ව්‍යාපාරයයි. කම්කරුවා යන සංකල්පය ආදී මානවයාගේ සිට පැමිණිය ද එය බලපෑම් සහගත ව්‍යාපාරයක් ලෙස තහවුරු වෙන්නේ 18 වෙනි සියවසේදී යුරෝපයේ පටන් ගත් පළමුවන කාර්මික විප්ලවයේදීය. මේ සමඟම කෘෂිකර්ම සහ ගෘහාශ්‍රිත වෙනත් කටයුතුවල රැකියා ඇබෑර්තු ඇති විය. ප්‍රාග්ධනය සහිත අර්ථපතියා ගොවිපළක් හෝ කම්හලක් පටන්ගත් විට ඒ සඳහා මුදල් ගෙවා කම්කරුවන් ගැනීමට පටන් ගත්තේය. එකල කම්කරුවා යනු කිසිදු නිරුක්තියක් නොතිබූ චංචල දේපළකි. අවුරුදු 4ක ළමයකුට වැඩ කළ හැකි නම් ඔහුව කම්කරුවකු ලෙස සලකා ගොවිපළකට යවන ලදී. 80 අවුරුද්ද ඉක්ම වූ අයකුට වැඩ කළ හැකි නම් ඔහු ද කම්කරුවෙකි. එකල වහල් ව්‍යාපාරය ද සරුවටම තිබිණි.

කම්කරුවාගේ හෝ වහලාගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මෙකල සිටි කවුරුත් කතා කළේ නැත. අන්තිමට ප්‍රාග්ධනය හිමි කම්හල් හිමියා හෝ ගොවිපල අයිතිකරුවා කම්කරුවන් සහ වහලුන් මතට දැඩි පීඩනයක් යොදන්නට පටන් ගත් කල්හි ජනතාව සංවිධානය වී වෘත්තීය සමිති පටන් ගත්හ. ටික දිනකින්ම දේශපාලනඥයන් පැමිණ මේ වෘත්තීය සමිති අත්පත් කරගන්නා ලදී. එය ගඳ ගහන කතාවකි. ඉනික්බිති දේශපාලඥයා ඉතා ක්‍රමානුකූල ලෙස කම්කරුවන්ගේ පාලනය අතට ගෙන වෘත්තීය සමිති ව්‍යාපාරය සුපර් මාර්කට් චේන් එකක් බවට පරිවර්තනය කළේය. තැලෙන පෑගෙන මිනිහා සාමාන්‍යයෙන් අවංක කෙනෙකි. එහෙත් දිගින් දිගටම තැළී පෑගීමෙන් පසු එම පුද්ගලයා තැළෙන්නට හා පෑගෙන්නට ආශා කරන්නට පටන් ගනී. දිගටම යදමින් බැඳී සිටින වහලා අවසානයේදී එම යදම්වලට ප්‍රේම කරන අතර වෙනදා මෙන්ම තමන්ට යදම් යොදන්නැයි හාමු පුතාගෙන් ඉල්ලයි. මෙය එක්තරා මානසික මට්ටමකි.

අද වන විට ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියක් තිබේද? ඔබ කම්කරුවා ලෙස අර්ථ නිරූපණය කරන්නේ කුණු ගඳ ගහන අපිරිසිදු නූගත් නාවර පෙරාගත් කසිප්පුකාරයෙක් නම් එවැනි කම්කරු පන්තියක් අද අපේ රටේ නැත. ඒ වෙනුවට අවම වශයෙන් මෝටර් සයිකලයක්වත් ඇති ගෙයක් දොරක් තිබෙන කම්කරු පන්තියක් අද පහළ වී ඇත. කම්කරු පන්තියේ බාහිර ස්වරූපය පෙරකී ආකාරයෙන් විතැන් වූ පරිදිම ඔවුන්ගේ චින්තනය ද විතැන්වී ඇත. අද මහ පාරේ මහන්සි වන නාට්ටාමි උපාධියකුත් තියාගෙන ක්ලාක් වැඩ කරන මධ්‍යම පාන්තිකයකු මෙන් තුන් ගුණයක පමණ දෛනික ආදායමක් ලබයි. කිසිම ක්ලාක් කෙනකුට දවසකට රුපියල් 2500ක් පඩි ලැබෙන්නේ නැත. එහෙත් ගෙවත්තක් උදලු ගාන කම්කරුවකුට දිනකට රුපියල් 2500ක්වත් ගෙවිය යුතුය. උදේ 9ට පමණ වැඩ පටන් ගන්නා වත්ත උදලු ගාන මිනිහා උදේ 10ට වැඩ නවත්වා තේ බීමට ගොස් පැයකින් ආපසු පැමිණ 12ට වැඩ නවත්වා දිවා ආහාරය ගැනීමට යයි. යළි හවස 3ට තේ බීමට වැඩ නවත්වයි. ඔවුන් කිසි විටකත් හවස 5 ඉක්මවන තෙක් වැඩ කරන්නේ නැත. කුලීකරුවන් ලෙස හැඳින්වෙන මේ කම්කරුවා ස්වකීය ශ්‍රමයට වටිනාකමක් ලබාදී එම ශ්‍රමයට මිලක් ගෙවන අර්ථපතියා කළමනාකරණය කරගන්නේ මේ ආකාරයෙනි. අද වතුකරයේ කම්කරු ව්‍යාපාරය තුළ හැර සෙසු වෘත්තීය සමිති ව්‍යාපාරවල මුට්ටි කාසි එකතු කිරීම කළ නොහැකිය. ඒ නිසා වෘත්තීය සමිතියට මුදල් යෙදවීම සඳහා රාජ්‍යය නොවන සංවිධාන පැමිණිය යුතුමය.

එම සංවිධානවල න්‍යාය පත්‍රයට වැඩ කිරීමට කම්කරුවාට සිදු වෙයි. මෙරට නූතන කම්කරු ව්‍යාපාරය වූ කලී වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් විසින් හසුරුවනු ලබන අවුල් ජාලයකි. මෙකී අවුල්කාරී ව්‍යුහය නිසා ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය විතැන්වී ඇත. තවත් ටික දවසකින් මේ රටේ කම්කරු ව්‍යාපාරය සදහටම අතුරුදන් වීමට ඉඩ ඇති අතර එතැන් සිට ඉතුරු වන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා කරන පිරිසක් පමණි.

Comments