
අප දුප්පතකුව ඉපැදීම අපගේ වරදක් නොවේ. එහෙත් අප මිය යන්නේ දුප්පතකු ලෙස නම් එය අපගේ වරදකි යැයි ප්‍රකට කියමනක් තිබේ. මෙතෙක් පත්වූ බොහෝ ආණ්ඩු සහ ඒ ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය විග්‍රහ කිරීමට සහ විනිශ්චය කිරීමට සිටින බොහෝ මාධ්‍ය ක්‍රියා කළේ දුප්පතා සැමදා දුප්පතකු කිරීමට මාර්ගය සෑදීම විනා අන් යමක් නොවේ. වෙනත් වචන වලින් කියන්නේ නම් කන්නට මාළුවා දුන්නා මිස මාළු අල්ලන්නට බිලී පිත්තක් දුන්නේ නැත. දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ගණනාවක් නිදහසින් පසුව ක්‍රියාත්මක වී ඇත. මූලික වශයෙන් ගත් කල ඒවා දේශපාලනික වැඩසටහන්ය. දිළිඳුකම පිටුදැකීමේ මූලධර්ම එම වැඩසටහන්හි නොපැවැතිණි. දිළිඳුකම පිටුදැකීමේ පළමු උපාය මාර්ගය වන්නේ දිළින්දන් සෘජු ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට හවුල් කර ගැනීම හා ඔවුනට මුදල් හා වටිනාකම් ලැබෙන ක්‍රමවේද සැකසීමය. එහෙත් සිදු වී ඇත්තේ දිළිඳුකම පිටුදැකීම සඳහා ආධාර බෙදා දීමය. ආධාර කේන්ද්‍රගත වන්නේ පරිභෝජනය දෙසටය; අවශ්‍ය වන්නේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමය. රැකියාවක් යනු ආයෝජනයකි. එයින් මුළු ජීවිතයේම හැඩය වෙනස් කර ගත හැකිය; ඉන් නොනැවතී පවුලේ හැඩය ද වෙනස් කර ගත හැකිය. මෙතෙක් ඉතිහාසයේ වැඩිම පිරිසක් එනම් 161,000 ක් මෙවර රාජ්‍ය සේවයට එක් කර ගන්නේ මෙකී ආයෝජනයේ ඵල බලාපොරොත්තුවෙනි.
රැකියාලාභීන් වෙත ද බරපතළ වගකීමක් ඇති බව සිහිපත් කළ යුතුය. අප මුලින් සඳහන් කළ කාර්යබහුල වෙළෙඳපොළ හෝ වැඩ බිම හෝ නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලැබිය යුතුය. දියුණු රටවල වෘත්තිකයා පළමුව අවධානය යොමු කරන්නේ ස්වකීය රට ගැනය. දෙවනුව අවධානය යොමු කරන්නේ තමන්ගේ ආයතනය ගැනය; තමන් ගැන හැරී බලන්නේ තෙවනුවටය. අප හුරු වී ඇත්තේ පළමුව අප ගැන සිතන්නටය. ඒ ක්‍රමය වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ.
ජනමාධ්‍ය යනු දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් යැයි කියමනක් තිබේ. එහි වැදගත් ම අදහස වන්නේ ජනමාධ්‍ය පරෙස්සමෙන් භාවිත කළ යුතු බව ය. ජනමාධ්‍යයේ භූමිකාව ගුරුවරයකුගේ භූමිකාවට සමාන යැයි තවත් කියමනක් තිබේ. ජනමාධ්‍ය මුරකරුවකු හෙවත් ආරක්ෂක සුනඛයකුගේ භූමිකාව රඟ දැක්විය යුතු යැයි තවත් අදහසක් තිබේ. එහි අර්ථය වන්නේ ජනමාධ්‍ය නිරන්තර අවදියකින් සිටිය යුතු බව ය. මේවා තරමක් පරණ නිර්වචන වන්නේ වුව ඒවායෙහි අර්ථ හා ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය අතර යම් ගැළපීමක් තිබේ.
ජනමාධ්‍යයේ වගකීම ගැන ඔබ සැම දන්නා උදාහරණයක් මෙහි උදෘත කර දක්වන්නට සිතුවෙමු.
1954 සුර්යග්‍රහණය අවස්ථාවේ වද කහ ශරීරගත කිරීමෙන් රූපත් වන බවට එක්තරා පුවත්පතක් ප්‍රචාරය කළේය. ඒ බෙහෙත් වට්ටෝරුව අප්‍රකට පුද්ගලයකු ගෙන් ලබාගත් එකකි. මේ නිසා ලස්සන වීමට වදකහ පානය කළ විශාල පිරිසක් රෝහල් ගත කෙරිණ. සත්‍ය වශයෙන්ම මේ ප්‍රවෘත්තියෙන් අපේක්‍ෂා කළේ පුවත්පතේ අලෙවිය වැඩි කර ගැනීමය. එහෙත් එයින් වූයේ බලාපොරොත්තු වූ දෙය නොවේ; ඉස්පිරිතාල වදකහ සුදිය බී අසනීප වූවන්ගෙන් පිරී යෑමය. එනිසා මාධ්‍ය සතු ප්රචාරණයේ වගකීම ගැන දැනුම්වත් වීම අත්‍යවශ්‍යය ය. අපේ රටේ ජනයා දරිද්‍රතාවේ තබන ප්‍රධාන සාධක දෙකක් තිබේ. ඒ, අන්ධ භක්තිය හා මිථ්‍යා විශ්වාසයි. මාධ්‍ය කෙරෙහි පවතින අන්ධ භක්තියත් මිථ්‍යා විශ්වාසත් විසින් තවදුරටත් මාධ්‍ය සංස්කෘතියේ බලපෑමට අප වැනි රටවල් යටත් කරනු ඇත.
අපට ජීවත්වීමට සිදු වී ඇති ලෝකය මෙයයි; දිනෙන් දින අර්බුද මතුවන ව්‍යසනකාරි ලෝකයකි. ගිය වසරේ පාස්කු ප්‍රහාරය සිදු වූයේය; මේ වසරේ කොරෝනා බැට දුන්නේය. ඒවා සෘජුව මූණ ගැසෙන ගැටලුය. එහෙත් අවධානය යොමු නොකරන අර්බුද සිය ගණනක අප පැටලී ඇත. දිනකට පිළිකා රෝගීන් 64 ක් අලුතින් හඳුනා ගැනීම අඩුවෙන් තක්සේරු කළ නොහැකිය. දිනෙන් දින පාරිසරික අර්බුදයේ අප ගිලීයමින් සිටිමු. වෙෙළඳපොළ ධනවාදය අපට උරුම කළ ලෝකය මේ බව තේරුම් ගන්නට අපි පමා වී යුතු නැත. “ක්‍රමයේ වෙනසක් - නැතිනම් මරණය” එය පරම සත්‍ය ලෙස පිළිගන්නට සිදුවී තිබේ.
නව වෙනස්කම් කරද්දී ඇතමුන් හඬ නැඟීම දැන් සාමාන්‍ය තත්ත්වයකි. එය ඉතිහාසය පුරාම සිදු වූවකි. රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්නට හදන හැම විටකම බොහෝ දෙනා විවිධ බිල්ලන් මැවූහ. ඒත් රාජ්‍ය යාන්ත්‍රණයේ ශක්තිය හා උපයෝගීතාව තේරෙන්නට කොරෝනාව පමණක් වූව ද ප්‍රමාණවත් ය. මේ කරන්නට යන බොහෝ දේට බොහෝ බාධා පැමිණීම සාමාන්‍ය ය. එය මේ රටේ පමණක් නොව ලෝකයේ ම හැටි ය. වෙනස්කම, නව්‍යතාව ඉදිරියේ බිය වන්නාට ඉදිරි පැවැත්මක් නැත. අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනඟි... කුමාරතුංගයන් කියූ වදන සිහිපත් වෙන්නේ මේ වැනි අවස්ථාවල ය. රජය මේ තනන්නේ නව මඟක නව චින්තනයක් දල්වා ඉදිරිය පැහැබර කරන්නට ය. මාධ්‍ය ඇතුළු සියල්ලේ වගකීම වන්නේ ඒ පැහැබර ඉදිරියට අවහිර නොකර ආශීර්වාද කරන්නට ය; සිරස්තලයක් අල්ලාගෙන කෑගසනවා වෙනුවට වැඩ වෙනුවෙන් පෙළ ගැසෙන්නට ය.
කොළඹ සීත කළ කාමරවල සිට අහස අල්ලන්නට සැලසුම් ගසනවා වෙනුවට ගමේ මිනිසුන්ගේ දහඩිය කඳුළු විඳ ඒ මතින් සංවර්ධන ඉලක්ක වෙත යෑමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වේ. නෙළුව, ලංකාගම නිරීක්ෂණ චාරිකා සඳහා ජනපතිවරයා ම සහභාගී වන්නේ මේ අරමුණ පෙරදැරිව ය. අගමැතිවරයාගේ වදනින්ම කියන්නේ නම් එතුමා ගමේ මිනිසෙකි. ඒ ආඩම්බරකාර එළැඹුමකි. ජනපතිවරයාට මෙන්ම රටට ද ඕනෑ වන්නේ වැඩ කරන මහජන නියෝජිතයන් ය; වැඩ කරන රාජ්‍ය සේවයකයන් ය. උපාධිධාරීහු පනස් එක් දහස් හැත්තෑ හතක් රාජ්‍ය සේවයට පසුගියදා බඳවා ගැනිණි. ඉතිහාසයේ වැඩි ම පිරිසක් එකවර බඳවා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි. තමන් ලබන වැටුපට සාධාරණයක් ඉෂ්ට කරන්නැයි ජනාධිපතිතුමා මේ පත්වීම් ප්රදානය කරමින් මේ උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුහු මේ අනුව සේවයට එක සිතින් කැපවිය යුතු වෙති.
මේ ඒ සියල්ලට පුරවැසි සහභාගීත්වය හා ආශීර්වාදය අවැසි යුගයකි.