කරාටේ චීවරධාරීත්වය සහ සසුනේ අනාගතය | සිළුමිණ

කරාටේ චීවරධාරීත්වය සහ සසුනේ අනාගතය

මීට හත් අට මාසයකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව නමැති දිරාපත් වූ ආර්ථික වැල් පාලමට පය තබන විට විපක්ෂයේ ප්‍රාර්ථනය වුණේ පාලමත් කඩාගෙන ඔහු හෙල තුළට ඇද වැටීමය. ඒත් පළපුරුදු දේශපාලඥයකු මෙන්ම ජාත්‍යන්තරවාදියකු ද වූ රනිල් වික්‍රමසිංහ එවැනි ඛේදවාචකයකට මුහුණ දුන්නේ නැත. එයට හේතුව වූයේ තබන හැම අඩියක් පාසාම වැල් පාලමේ දිරා ගිය තැන් අලුත්වැඩියා කර ගනිමින් ඉදිරියට යෑමට ඔහු පරෙස්සම් වීමය.

ශ්‍රී ලංකාව යනු ඉතාම අරුම පුදුම ඉරණමක් සහිත රටකි. මේ රටට ගහන්නට පටන් ගත් විට හතරවටින්ම වදී. මුලින්ම අපට ණය දීම ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රතික්ෂේප කළේය. දෙවනුව ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණිගත සමාගම් කිහිපයක් අපේ ආර්ථික මට්ටම පහත හෙළමින් වාර්තා නිකුත් කරන්නට පටන් ගත්තේය. මෙහිදී ශ්‍රී ලංකාවට දරුණු ලෙස පහර දුන් ආයතනයක් වූයේ Fitch Rating සමාගමය. යුරෝපයේ ආර්ථිකය පාලනය කිරීමට තරම් බලසම්පන්න මේ සමාගම ලංකාවේ ආර්ථිකය හෙළා දකිමින් දිගින් දිගටම පහර දුන්නේ සංසාරය පුරා අප පසුපසින් එන වෛරක්කාරයකු මෙනි. මේ පුරෝකතන ඇසු විදේශිකයන් හැම මොහොතකම කල්පනා කළේ ඊළඟ මොහොතේදී ලංකාව තුළ ආහාර පිණිස කැරලි වූ කෝලාහල (Food Riots) හටගෙන එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වී රටම නන්නත්තාර වනු ඇති බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ නමැති ප්‍රඥාවන්ත මිනිසාගේ පාලනයට එවැනි විපතක් සිදු වුණේ නැත.

ගෝඨාභයගේ පාලන සමයේදී ගිනියම්ව තිබූ රට රනිල් වික්‍රමසිංහයන්ගේ පාලනයත් සමඟම යථා තත්ත්වයට පත් වීමට පටන් ගත්තේය. එම සිසිලන ක්‍රියාවලියේ පළමු අවස්ථාව තෙල් පෝලිම් නැති වීමය. දෙවනුව ගෑස් පෝලිම් අතුරුදන් විය. තෙවනුව සුපර් මාර්කට්වලින් අතුරුදන්ව තිබූ පාරිභෝගික භාණ්ඩ නැවත එම රාක්කවල තැන්පත් වීමට පටන් ගත්තේය. ඒ අතර උච්ඡාවචනය වෙමින් පැවති රුපියලේ අගය ටිකෙන් ටික ස්ථාවර වීමට පටන් ගත්තේය. විදේශීය ප්‍රේෂණ ඉහළ ගියේය.

රට තුළ සැලකිය යුතු වර්ධනයක් හට ගනිමින් පවත්නා බව හෙළි වූ සැණින් සංත්‍රාසයට පත් වූ අනුර දිසානායක ' සහෝදරයාගේ' ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), ආණ්ඩුව ශක්තිමත් වුණොත් තමන්ට කෙළවෙනු ඇත්තේ මේ ප්‍රමාණයෙන් යැයි ගණන් බලා මිනිසුන් කුපිත කිරීම පිණිස පළාත් පාලන ඡන්දය ඉල්ලමින් ද, ජනතාව පාරට බස්සන බව කියමින් ද නටන්නට පටන් ගත්තේය. ජවිපෙ විශාල බියක් දැනුණු වහාම මේ ආකාරයෙන් අර්ධ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට පටන් ගනී. අවස්ථා ගණනාවකදීම කොළඹට ජන ගංගා කැඳවා ආණ්ඩුවට විරෝධය පළ කිරීමට ජවිපෙ උත්සහ කළ නමුදු මිනිසුන් පාරට බැස්සේ ඉතා ස්වල්ප වශයෙනි. මේ නිසා ජන ගංගාව සිහින් දොළ පාරක් හා සමාන විය.

මේ සියලු කරුණු අතර ශ්‍රී ලංකාවේ උද්ධමනය ක්‍රමයෙන් අඩුවන බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ ගේ අලුත්ම උද්ධමන දර්ශකයේ සඳහන් වේ. පසුගිය අවුරුද්දේ ජූනි මාසයේදී ලංකාවේ රුපියල ලෝකයේ දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබිණ. එහෙත් අද වන විට අපේ රුපියල් පියවර 13 ක් ඉදිරියට ගොස් තිබේ. මෙය ඉතාම සුබ ආරංචියකි. මෙවැනි ආරංචියක් සුබාරංචියක් ලෙස සලකන ජවිපෙ කාරයකු ඇතොත් ඒ කේ. ඩී. ලාල් කාන්ත වැනි නූතනවාදියකු පමණි. නූතනවාදයට ජවිපෙ තුළ ඉඩක් ඇත්දැයි අපි නොදනිමු. නූතනවාදය ඇති කරනු තබා තම වෙබ් සයිට් එක යාවත්කාලීන කරගැනීමටවත් ඔවුන්ට සිහියක් නැත.

මේ අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී ප්‍රචණ්ඩ තත්ත්වක් ඇති කිරීම සම්බන්ධයෙන් ද යමක් කිව යුතුය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යනු කහකඩයන්ට නොව සැබෑ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ ගිහි ශිෂ්‍යයන්ට උගන්වන තැනකි. පසුගිය මාස කිහිපය පුරාම මේ විශ්වවිද්‍යාලය රටටම වාතයක් බවට පත් විය.

මීට දෙතුන් දිනකට පෙර මේ විශ්වවිද්‍යාලයට කඩා පැනීමේදී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය චීවරධාරීන් හැසිරුණේ කරාටේ චිත්‍රපටවල කරාටේ ගහන භික්ෂුන් වහන්සේලා ලෙස අන්දවන ලද නළුවන් මෙනි. මේ පිරිස අධ්‍යාපන අමාත්‍යංශයට කඩා පනින්නේ දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රචණ්ඩ ත්‍රස්තයන් බඳු ශිෂ්‍යයන් කිහිපදෙනෙක් නිදහස් කරන ලෙසත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරන ලෙසත් ඉල්ලමිනි. සිවුරු ඇඳගෙන තාප්ප උඩින් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට කඩා වැදුණු ඇතැම් චීවරධාරියෝ පොලිසිය එන විට සිවුර පැත්තකට වීසි කොට අඳන කඩ පිටින් දුවන්නට පටන් ගත්හ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දැනට වසා දමා ඇති අතර එය විවෘත කිරීමට තරම් තත්ත්වයක් තවමත් හටගෙන නැත. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය බේබදු ශිෂ්‍යයන්ගෙන් සහ මෝල් කලන්ත චීවරධාරීන්ගෙන් පිරී තිබූ බව හෙළිව තිබේ. මෙවැනි චීවරධාරීන් වැඩි වන තරමට ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පරිහානියට පත් වනවා ඇත. මෙවැනි තත්ත්වයක් පළවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගේ යුගයේදී ඇති විය. ඔහු පීතෘ ඝාතකයෙකි. සිය පියාට කළ අපරාධය තමාට පල දෙනු ඇතැයි කල්පනා කළ රාජසිංහ බෞද්ධ භික්ෂුන් කැඳවා තම පීතෘ ඝාතක පාපය සමා කර දෙන ලෙස නියෝග කළේය. එහෙත් එවැනි සර්කස් පෙන්වීමට නොහැකි බව එහි භික්ෂුහු වදාළහ. ඉන් කෝපයට පත් පළවෙනි රාජසිංහ (1581-1592) මිත්‍යාදෘෂ්ටික ආගමකට බැඳී ශ්‍රී පාද ස්ථානය පවා සිය මිත්‍යාදෘෂ්ටිකයන්ට පවරා දී භික්ෂු සංහාරයක් පටන් ගත්තේය. ඉන්පසු ක්‍රමයෙන් බුදු දහම මෙරටින් අතුරුදන් වීමට පටන් ගත්තේය. උපසම්පදාව නැතිව ගිය අතර සාමණේරවරුන් පමණක් ඉතිරි විය. කහ රෙද්දක් ඇඳගෙන අතේ කහ නූලක් බැඳගත් මිනිස්සු කුලියට පාංශුකූල පවත්වමින් නාමික බෞද්ධ ක්‍රියාවලියක් පවත්වා ගෙන ගියහ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇතැම් චීවරධාරීන් මෙන් මේ පිරිස ද මත්පැන් පානය කළහ. ඔවුන්ට දරු පවුල් ද විය. මේ නිසා සියමට වැඩම කළ වැලිවිට ශ්‍රී සරණංකර සාමණේරයන් වහන්සේ එරටින් උපසම්පදාව රැගෙන අවුත් නැවත වතාවක් බුදු දහම පිහිට වූහ. ඒ අනුව එකදහස් අටසිය අනු ගණන්වල මෙරටින් අතුරුදහන් වූ පිවිතුරු බුදු දහම නැවත අපට ලැබෙන්නේ ශත වර්ෂ දෙකකට පමණ පසුය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ චීවරධාරී දාමරිකයන් පිරිස විවෘත සමාජයට ගියොත් නැවත වතාවක් මේ රටේ බුදු දහම අතුරුදන් වීමට ඉඩ තිබේ. ඒ නිසා ආණ්ඩුවට පක්ෂපාත මෙන්ම ආණ්ඩුවට විරුද්ධ කොටස් ද ඉතා ප්‍රවේශමෙන් කල්පනා කර මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගත යුතුමය.

Comments