
තමා ජනාධිපති වූ පසු ජනාධිපති මන්දිරය වැනි සියලු මන්දිර වසා දමා ඒවායේ කම්පියුටර් පන්ති පටන් ගන්නා බව සජිත් ප්‍රේමදාස කී බවක් අපට අසන්නට ලැබී තිබේ. එවිට ජනාධිපතිතුමාට සහ අගමැතිට තම නිල නිවාස පිහිටි භූමියේ කොතැනක හෝ පැලක් අටවාගෙන ජීවත් විය හැකිය. මෙය ඉතා සාධනීය තත්ත්වයක් ලෙස අපි දකිමු.
විදේශීය රාජ්‍ය නායකයන් පැමිණි විට ඔවුන් හමුවීම සඳහා ගෝල්ෆේස් එකේ වෙරළෙහි මඩුවක් ගසා පුටු දෙක තුනක් තබා අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමටද සජිත්ට හැකිය. සජිත් ප්‍රේමදාස ජනාධිපති වීමට තිබුණේ මීට අවුරුදු 20 ට පමණ පෙරය. එදා ඒ දේ වුණා නම් රාජිත සේනාරත්නගේ වැඩිමහල් පුත්‍රයා වූ චතුර සේනාරත්න ජනාධිපති වුණාක් හා සමාන තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබිණ.
මේ කතා පැත්තකින් තබමු. පවතින නීති රීතිවලට අනුව මිස වැඩ වර්ජන වලට අනුව ආණ්ඩුවේ තීරණ වෙනස් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය විවෘත කරමින් කළ කතාවේදීය. මේ කතාවට සංශෝධනයක් එකතු කරන අපි පවතින නීති රීතිවලට අනුව මිස අරගලවලට අනුව ද ආණ්ඩුවේ තීන්දු වෙනස් නොකළ යුතු බව පෙන්වා දෙමු. ශ්‍රී ලංකාව 1977 න් පසු වැඩවර්ජන සහ අරගලකාරී ගුටි කෙළි වෙත ඉතාම නරක විදිහට තල්ලු විය. මේ ඇතැම් අරගල නිර්මාණය කරන ලද්දේ ආණ්ඩුවය. එසේම ඇතැම් අරගල නිර්මාණය කළේ දේශපාලන කුක්කන් ය. සල්ලියක් පරිත්‍යාග කිරීමෙන් පසු වෘත්තීය සමිති නායකයන් අල්ලා ගැනීමේ ප්‍රතිගාමී ක්‍රමවේදයක් මේ රටේ තිබේ. සල්ලි වියදම් කළ තරමට පවතින ආණ්ඩුවට විරුද්ධව මහ පාරට බැස විරෝධතා පැවැත්වීමට සහ වැඩවර්ජනවලට යෑමට මෙකී වෘත්තීය සමිති නායකයන් පොලඹවා ගැනීමට හැකිය. ඇතැම් විට මේ වර්ජන වෘත්තීය සමිතිවල නාමයෙන් සිදු කරනු ලබන්නේ කුලියට ගත් මැරයන් විසිනි.
අරක්කු බෝතලය + බුරියානි පාර්සලය + රුපියල් 2500 = අරගලය හෝ වැඩවර්ජනය යන සමීකරණයක් මෙහිදී පාවිච්චි කරනු ලැබේ. රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීම සඳහා ආරම්භ කරන ලද අරගලය තුළ රටේ වෙනසක් ප්‍රාර්ථනා කළ අවංක මිනිසුන් මෙන්ම කුඩ්ඩෝ ද ගණිකා ජාවාරම සිදුකරන්නෝ ද කුලී මැරයෝ ද සිටියහ. උදාහරණයක් වශයෙන් කොස්ගොඩ තාරක නමැති කුලී මිනී මරුවාගේ මැරයන් කිහිපදෙනෙක් අරගල භූමිය තුළට වැගන් ආර් රථයක් ගෙන විත් එය තුළ තබාගෙන කුඩු විකුණූහ. ඒ අසලම ඉදි කළ කූඩාරමක් තුළ ශ්‍රී කල්‍යාණමලලයන්ගේ අනංග රංගය රඟ දක්වන ලදී. මෙවැනි නීච රාමුවක් තුළ බිහිවන අරගල මඟින් සැබෑ විභවයක් ඇතිවන්නේ නැත. අන්තිමට සිදුවන්නේ සියලු දෙනාටම පොලිසියෙන් ගුටි කා ගෙදර යෑමටය. අරගලයේ ඉහළ පෙළේ නායකයෝ පමණක් අන්තිම මොහොතේදී අතුරුදන් වන අතර, පසුව සුව පහසු හෝටල් කාමරවලින් ඔවුහු සොයා ගැනීමට හැකි වෙති.
වැඩ වර්ජනයක් යනු සේවක අයිතීන් දිනා ගැනීම සඳහා සංවිධානාත්මක සහ අරමුණු සහගත ලෙස කරන ක්‍රියාවකි. ජාත්‍යන්තර පිළිගැනීමට අනුව වැඩවර්ජනයකදී පොදු දේපළ විනාශ කරන්නේ නැත. එහෙත් පසුගිය කාලයේදී මේ රටේ සිදු වූ වැඩවර්ජන රැසකදී පොදු දේපළ කඩා බිඳ දමා ගිනි තබා කුඩුපට්ටම් කරන ලදී. බස් ගිනි තැබීම, කඩසාප්පුවලට පහර දීම යනාදිය ඇතැම් වැඩ වර්ජකයන් සහ අරගලකරුවන් විසින් කරනු ලබන්නේ විනෝදාංශයක් හා සමානවය.
එහෙත් පසුගිය ශතවර්ෂය මුලදී මේ රටේ සිදු වූ වැඩවර්ජන කිසිවකදී එවැනි නීච ක්‍රියා සිදුවී නැත. ලංකාවේ පළමුවැනි සංවිධානාත්මක වැඩවර්ජනය ලෙස හඳුන්වනු ලබන්නේ 1906 අගෝස්තු 11 දා පටන් ගත් කරත්තකරුවන්ගේ වැඩවර්ජනය ය. එකල මේ රටේ භාණ්ඩ ප්‍රවාහනයේ 70% ක කොටසක් හිමි ව තිබුණේ ගොන් කරත්තවලටය. එකල කොළඹ නගරය තුළ පමණක් තනි ගොනා සහ ගොනුන් දෙදෙනා බඳින ලද කරත්ත 5,000 ක් විය. මේ කියන කාලයේදී තිරිසන් සතුන්ගේ අයිතිවාසිකම් ගැන කව්රුත් ගණන් ගත්තේ නැත. කරත්තකාරයා සිය කරත්තයට භාණ්ඩ විශාල තොගයක් පටවා බෝන් ලීයේ ඉඳගෙන කරත්තය දක්කාගෙන ගියේය. මෙහිදී ගවයා වින්දේ අපා දුකකි. ඌට කරත්තයේ බරත්, බඩුවල බරත් පමණක් නොව කරත්තකාරයාගේ කිලෝ 70 ක හෝ 80 ක බරත් ඇදගෙන යෑමට සිදු විය. මේ අනුව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් නීතියක් ප්‍රකාශයට පත් කරන ලදී. එනම් කරත්ත දක්කන අය බෝන් ලීය මත ඉඳ ගන්නේ නැතුව පයින් යා යුතු බවය. කරත්තකරුවන් වැඩවර්ජනය පටන්ගත්තේ මේ තීන්දුවට එරෙහිවය. මෙහිදී ආණ්ඩුවේ නීතිය මානුෂික වූ අතර, කරත්තකරුවන්ගේ වැඩපිළිවෙල ඉතාම අමානුෂික සත්ත්ව හිංසනය පෙරදැරි කරගත් ක්‍රියාවක් විය. කොයි කරත්තකාරයාත් තම කරත්තය අදින ගොනා හඳුන්වනු ලබන්නේ ‘මගේ පුතා’ හෝ ‘මගේ කොල්ලා’ යනුවෙනි. එහෙත් කරත්තය ඇද වියපත්වීමෙන් පසු ‘මගේ පුතා හෝ කොල්ලා’ මස් කඩේට විකුණනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කිරිපට්ටි අයිතිකරුවෝ හරක් මස් නොකති. එහෙත් කිරි වැස්සියන්ගේ කිරි සිඳුණු පසු උන් මස් කඩේට විකුණා දමති. වස්සන් උසට මහතට සරුවට හැදුණු පසු මස් කඩේට විකුණනු ලැබේ. ශ්‍රී ලංකාව බෙහෙවින් රැවටිලිකාර ජනතාවක් සිටින රටකි. කෙසේ වුවද කරත්තකරුවන්ගේ වර්ජනයේදී භාණ්ඩ ප්‍රවාහන අඩාළ වීම නිසා බෝන් ලීය මත ඉඳ ගැනීමට අදාළව ගත් තීන්දුව අවලංගු කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුවට සිදු විය. ඒ අතර දුප්පත් සතා දිගටම දුක් වින්දේය. මේ වර්ජනයේදී පොදු දේපළවලට තඹ සල්ලියක හානියක් වුණේ නැත. එය කොතරම් අමානුෂික වුව ද විනීත වැඩ වර්ජනයකි. ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ පියා වූ පොලිස් නිලධාරී ජෝන් කොතලාවල (ජ්‍යෙෂ්ඨ) මෙම වර්ජනය මඟින් දේශපාලන වාසියක් ගත් බව ද මෙහිදී සඳහන් කළ යුතුය.
එක්දහස් නවසිය පනස් ගණන්වලදී සිංගප්පූරුව යනු සංවර්ධනය වෙමින් පැවති ධීවර ගම්මානයකි. ඒ අතර සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බැලීමට පැමිණියේය. ඒ තම රටේ ද වරායක් ගොඩනැඟීම පිණිසය. ආපසු සිය රට ගිය ඔහු පිට රටින් ණයට සල්ලි ගෙන සිංගප්පූරුවේ පළමුවන වෙළඳ වරාය ඉදි කළේය. ඉන් ස්වල්ප කලකට පසු කොළඹ වරායේ විශාල වැඩ වර්ජනයක් හටගත්තේය. මෙහිදී කොළඹ වරායට එමින් සිටි නැව්වල මවු සමාගම්වලට කතා කළ ලී ක්වාන් යූ කොළඹ වරායට නොයන්නට කිසියම් නැවක් තීරණය කර ඇත්නම් එම නැව් වලට සිංගප්පූරුවට එන ලෙසත් වරායට ඇතුළු වීමේ ගාස්තු හෝ නැංගුරම් ලෑමේ ගාස්තු අය නොකරන බවත් නැවට අවශ්‍ය තෙල් සහ වෙනත් සේවා සහන මිලට සපයන බවත් කීවේය. ඉන් පැය 24 ට පසු සිංගප්පූරු වරාය නැව්වලින් පිරී ගියේය. එතැන් සිට අපේ වරායට කෙළවෙන්නට පටන් ගත්තේය. අද සිංගප්පූරු වරාය ලෝකයේ හොඳම වරාය 25 න් එකකි. අපේ වරාය වැඩිපුර නැව් නොඑන නමුත් ලෝකයේ හොඳම වරාය 50 න් එකකි.
අප මේ කතුවැකිය ලියන්නේ වැඩවර්ජන සහ අරගලවල විභවය පිළිබඳව යම් දැනුමක් ජනතාවට ලබා දීමටය. කිසියම් ශ්‍රමිකයන් පිරිසක් සූරා කැවෙන විට ඔවුන් වැඩවර්ජනයක් කරන්නේ නම් අපි ඔවුන් සමඟ එකට සිට ගනිමු. එහෙත් ආණ්ඩු මාරු කිරීමට හෝ රටට වින කිරීමට කරන කඩාකප්පල්කාරී වැඩවර්ජනවලට සහය දිය යුතු, දැයි සිතිය යුත්තේ බුද්ධිමත්වය.