බොළඳ ගුණ්ඩු දේශ­පා­ල­නය | සිළුමිණ

බොළඳ ගුණ්ඩු දේශ­පා­ල­නය

නාධිපති රනිල් වික්‍රමසිංහයන් ගේ රාජාසන කතාව 8 වැනිදා දහවල් වරුවේ පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී. මේ රාජාසන කතාවෙන් ස්වල්ප වේලාවකට පසු ආදායම් බද්දට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන ලදී. මේ මාසය මුලදී මේ රටේ පුද්ගල බදු වැඩි විය. වක්‍ර බදුවලට සහ ආදායම් බදු මඟ හැරීමට පුරුදුව සිටි මෙරට ජනයා පුද්ගල බදු වැඩි කිරීමේදී මහත් කලබලයට පත්වූහ. එවිට මේ රටේ සිටින ළාමක විපක්ෂය එකී කලබලය ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී ක්‍රියාවක් දක්වා ගෙන යෑමට උත්සාහ කළ නමුත් විපක්ෂයේ සෙසු සියලු වැඩ මෙන් ඒ වැඩේ ද අල විය.

දැන් විපක්ෂය අතට ගෙන ඇති බැටන් එක වන්නේ ආණ්ඩුව විසින් පළාත් පාලන ඡන්දය කල් දමන්නේද නැද්ද යන කාරණයයි. විපක්ෂයට පළාත් පාලන ඡන්දයක් වුවමනා නමුත් සාමාන්‍ය ජනතාවට පළාත් පාලන ඡන්දයක් වුවමනා නැත. පළාත් පාලන ඡන්දයකින් බඩු මිල අඩු කිරීමට නොහැකිය. පාර්ලිමේන්තුව වෙනස් කිරීමට ද නොහැකිය. රටේ නායකයා මාරු කිරීමටද නොහැකිය. එවැනි ඡන්දයකින් කළ හැක්කේ ඡන්ද වියදම් වශයෙන් රුපියල් බිලියන 10 ක් පමණ කා දමා විපක්ෂයට ආතල් එකක් දීම පමණි. ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් මෙරටට හඳුන්වා දෙන ලද ඡන්ද ක්‍රමයට අනුව පළාත් පාලන ඡන්දය යනු සමූපකාර ඡන්දයක් හා සමාන ඉතා පුංචි නිලවරණයකි. සාමාන්‍යයෙන් මෙවැනි ඡන්දයකින් ජන මනස හඳුනා ගෙන ඉදිරි ඡන්ද සඳහා ක්‍රමෝපායීය සූදානමක් ඇතිකර ගැනීමට ආණ්ඩුවකට හැකිය. එහෙත් මේ වෙලාවේදී මේ රටේ පවත්නා ජන මනස හඳුනා ගැනීමට රුපියල් බිලියන 10 ක් වැය වන සමීක්ෂණයක් අවශ්‍ය වන්නේ නැත. කොරෝනාවෙන් පසු රට බංකොලොත් භාවයට පත්වීම නිසා මහජනතාව නන්නත්තාරවී ඇති අතර, මේ රටේ ආණ්ඩුව ගැන පමණක් නොව වෙනත් රටවල ආණ්ඩු ගැන ද මහත් කලකිරීමකින් පසු වෙති. පොඩි ළමයා පවා දන්නා මේ තත්ත්වය තහවුරු කර ගැනීම පිණිස බිලියන 10 ක් වියදම් කළ යුතුද?

කෙසේ වුවද රාජාසන කතාවෙන් ස්වල්ප වේලාවකට පසු නිකුත්වී තිබුණු පුද්ගල බදු සංශෝධනය පිළිබඳ නිවේදනය සුබාරංචියක් හා සමාන විය. ආණ්ඩුව මෙවර බදු වැඩි කිරීමේදී සේවකයන්ගේ වැටුපට අමතරව ලබන දීමනාවලට ද බදු පනවන්නට පටන් ගත්තේය. ඒ අනුව ප්‍රවාහන වියදම් දුරකතන වියදම් යනාදිය ද බද්දට යටත් විය. එහෙත් දැන් එම බද්ද ඉවත් කර ඇති අතර වැටුපට පමණක් බදු අය කරනු ලැබේ. කලින් තිබූ ආකාරයේ බදු නිසා කිසියම් දොස්තර මහතකුගේ රුපියල් ලක්ෂ 49 ක මාසික චැනල් ආදායමෙන් රුපියල් ලක්ෂ 8 ක්ම කැපී ගිය බව පසුගියදාක දැන ගතිමු. අධික ලෙස ආර්ථික ආතතියකට පත් දොස්තර මහතා තමන් වැනිම වූ පීඩිත දොස්තර පන්තිය වෙනුවෙන් දොස්තර වර්ජනයකට එකතු විය. ආණ්ඩුවේ අලුත් ක්‍රියාමාර්ගය නිසා මින් පසු පෙරකී දොස්තරට රුපියල් ලක්ෂ 49 මාසික චැනල් ආදායම ඒ ආකාරයෙන්ම ලැබෙනවා ද යන්න අපි නොදනිමු. එහෙත් එම මුදල කිසියම් දීමනාවක් සේ පෙනෙන ලෙස ජල්තරයක් ගසා ගාණක් ඉතුරු කර ගන්නට දොස්තරට හැකිවේවා යැයි අපි ප්‍රර්ථනා කරමු.

ජනාධිපතිතුමාගේ රාජාසන කතාව කෙරෙහි අප තුළ ගෞරවයක් තිබේ. තාමාට ජනප්‍රිය නායකයකු වීමට අවශ්‍ය නැති බවත් ස්වකීය අවශ්‍යතාව වන්නේ රට හැදීම පමණක් බවත් ඔහු සිය රාජාසන කතාවේදී සඳහන් කළේය. සාමාන්‍යයෙන් බලයට ළැදි, බලයෙන් ජීවන්වන සෑම දේශපාලන නායකයෙක්ම ජනප්‍රියත්වය සොයයි. ජනප්‍රියත්වය නැතුව ඊළඟ ඡන්දයට ඉදිරිපත් වීමට ඔහුට නොහැකිය. සාමාන්‍යයෙන් පෘතග්ජනයා ඡන්දය පාවිච්චි කරන්නේ ප්‍රතිපත්ති පූජාවට නොව ආමිස පූජාව වෙනුවෙනි. මෙතැනදී ජනප්‍රිය නොවන පුද්ගලයා අර්බුදයට ලක්වෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදී අවධානමකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබියව මේ අවධානම භාරගෙන ඇති බව පෙනේ.

ජනාධිපතිතුමාගේ තක්සේරුවට අනුව තව මාස හයක හෝ නවයක කාලයක් තුළදී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගොඩ එනවා ඇත. එසේ රට ගොඩනැඟූ නායකයා ගැන මිනිසුන් සත්භාවයෙන් හිතන්නට පටන් ගන්නේ ඊට පසුවය. මීට මාස හතකට පෙර රනිල් වික්‍රමසිංහ රට භාරගන්නා විට මේ රටේ ජාතික සංකේතය වූයේ පෝලිමය. හඳට යනවිට චීන මහා ප්‍රාකාරය රේඛාවක් ලෙස දර්ශනය වේ යැයි කියමනක් පවතී. එපරිද්දෙන් මීට මාස හයකට පෙර ලංකාව උඩින් යන අභ්‍යවකාශ යානයක සිට බිම බලන්නකුට පෙනුණේ පෙට්‍රල් ෂෙඩ් වලට සම්බන්ධ වී ඇති සරල රේඛා සමූහයක්ය. රට පුරාම මෙවැනි සරල රේඛා වර්ග දෙකක් විය. ඉන් පළමුවැන්න පෙට්‍රල් පෝලිම්ය. දෙවැන්න ගෑස් පෝලිම්ය. මෙවැනි පෝලිම් යුගයක් මීට පෙර 1970, 77 කාලයේදී තිබිණි. ඒ සමගි පෙරමුණු රජය කාලයේ තිබූ පාන් පෝලිම් සහ සමූපකාර පෝලිම්ය. 1977 දී ජේ,ආර්. ජයවර්ධන බලයට පත්වූ අතර පෝලිම් සියල්ල අතුරුදන් විය. මීට මාස හතකට පෙර හටගත් පෝලිම් නැති කිරීමට රනිල් වික්‍රමසිංහයන්ට ගත වුණේ දවස් 7 ටත් අඩු කාලයකි. ඔහුගේ ලිබරල් ආර්ථික දැක්ම නූතන යුගයට ගැළපෙන ආර්ථික ආයුධයකි.

ශ්‍රී ලංකාව නවීන කෘෂිකාර්මික රාජ්‍යයක් බවට පත්කිරීමේ සැලසුම ද එම ආර්ථික දැක්ම තුළ ඇත. වියට්නාමය සතුව ඇත්තේ ද මෙවැනිම ආර්ථික දැක්මකි. 1977 න් පසු ශ්‍රී ලංකාව තවදුරටත් කෘෂිකාර්මික රාජ්‍යයක් බවට පත් නොකර විවෘත ආර්ථික වෙළඳපොළක් බවට පත්කිරීම සිදු විය. මෙවැනි විවෘත ආර්ථිකයක ලොකු අවදානමක් තිබේ. ලෝක යුද්ධයක් හටගතහොත් මෙවැනි ආර්ථිකයක සිටින ජනයාට සිදුවන්නේ බඩගින්නේම මිය යෑමටය. එහෙත් ජනාධිපතිවරයා මේ රටට හඳුන්වා දී ඇති නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියට අනුව ඉදිරියේදී අපට ආහාර පිණිස වෙනත් රටවල් වෙත කට ඇරගෙන සිටීමට සිදුවන්නේ නැත. මේ ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමේ වගකීමක් මේ රටේ ජනයා සතුව තිබේ. මේ රටේ ජනයා ළාබාල සහ බොළඳ දේශපාලන පක්ෂවල ගුණ්ඩු දේශපාලනයට තවදුරටත් හසු නොවන බව අපගේ විශ්වාසය වේ.

 

Comments