පුරන් කුඹුරු අස්වැද්දීම | සිළුමිණ

පුරන් කුඹුරු අස්වැද්දීම

1970 ගණන්වලදී කරන ලද පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇත්තේ සහරා කාන්තාරයේ පොළොව යට භූගත ජලය විශාල ප්‍රමාණයක් රැඳී ඇති බවය. මේ පණිවිඩය අප්‍රිකානු රටවලට කෙසේ වුව මැද පෙරදිගට සුබ ආරංචියක් විය. මින් පසු මැද පෙරදිග රටවල් ගණනාවක් භූගත ජලය ගොඩට ගැනීම සඳහා ක්‍රමෝපාය සකස් කළේය. එහිලා ඔවුන් අනුගමනය කළ ක්‍රමවේද දෙකක් තිබිණි. පළමු වන්න නළ ළිං තනා කෘෂිකර්මයෙහි යෙදීමය. දෙවන්න මුහුදු ජලයේ ලවණ ඉවත්කොට එය වගාවන් සඳහා යොදා ගැනීමය. මෙයින් මහඟු ප්‍රයෝජන ලබා ගත් එක් රාජ්‍යයක් වන්නේ ඊශ්‍රායලයයි. දසක කිහිපයක් තුළ දී ඊශ්‍රායලයේ කෘෂිකර්මය දියුණු විය. ඊශ්‍රායලයේ කෘෂිකර්ම විශේෂඥයන් කිහිප වරක්ම ශ්‍රී ලංකාවට පැමිණ කෘෂිකර්මය ගැන උපදේශන ලබා දී ඇත.

අප ලෝක ආහාර අර්බුදයක් ගැන සංවාද පවත්වන්නේ ද දීර්ඝ කාලයක සිටය. වැඩි භූමි ප්‍රමාණයක වගා කිරීම, අස්වැන්න වැඩි කර ගැනීම හා ආහාර සුරක්ෂිතතාව මේ සංවාදවල ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත. කාලය ගෙවී ගොස් අප නැවතත් ආහාර අර්බුදයක් ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. ශ්‍රී ලංකාව ආහාර මිල උද්ධමනය පවතින රටවල් අතර ප්‍රධාන තැනකට පත් වී ඇත. රට තුළ දිනෙන් - දින ආහාර මිල ඉහළ යයි. අද පවතින තත්ත්වයට අනුව දිළිඳු ජන කොටස්වලට ආහාර ආධාර ලබා දීමට සිදු වී ඇත. අපේ ඉතිහාසය සමඟ සසඳන කල මෙය පුදුමයට කාරණයක් බව පෙනී යයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වගාව ලෙස සැලකිය හැකි වී වගාව එදා සාර්ථකව සිදු වූ අතර, ආහාර අතිරික්තයක් ද තිබිණි.

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම පහසුවෙන්ම කළ හැකි බව පිළිගත් මතයකි. ඊට අවශ්‍ය සියලු පහසුකම් අප සතු වේ. භූමිය, ජලය, තාක්ෂණය අප සතුය. සෑම දිස්ත්‍රික්කයකම වී වගාව ව්‍යාප්ත වී තිබේ. එහෙත් සෑම දිස්ත්‍රික්කයකම පුරන් කුඹුරු ඇත. මේ වන විට රට පුරා ඇති පුරන් කුඹුරුවල ප්‍රමාණය අක්කර 47471 ක් බව හෙළිදරව් වී ඇත. මෙය තව වැඩි වන්නට පුළුවන. මේ කුඹුරු සියල්ල යල - මහ දෙකන්නයටම වගා කළ හැකිය. ගොවීන් මේවා විවිධ හේතු දක්වමින් පුරන් වීමට ඉඩහැර ඇත. රජය මැදිහත් වී පුරන් කුඹුරු අස්වැද්දවීමට ක්‍රමවේදයක් සකස් කළ හොත් සහල් පිළිබඳ ගැටලුව මුළුමනින්ම විසඳා ගත හැකිය. මේ බව වටහාගෙන ඇති රජය පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

ලබන වසර තුළ පුරන් කුඹුරු අක්කර 14,000ක් යළි වගා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. මේ අනුව සෑම දිස්ත්‍රික්කයකම පුරන් කුඹුරු යළි අස්වැද්දීමට පියවර ගනු ඇත. කුඹුරුවල අයිතිකරුවන්ට ඒවා වගා කිරීම සඳහා මාස හයක කාලයක් ලබා දෙයි. එම කාලය තුළ වගා කටයුතු සිදු නොවන්නේ නම් කුඹුරු වසර පහක් සඳහා රජයට පවරාගෙන වගා කටයුතු ආරම්භ කරනු ලැබේ. ඊට අවශ්‍ය අණ-පනත් මේ වන විට ද සකස් කර තිබේ. පුරන් කුඹුරු අක්කර 14,000ක් යළි වගා කිරීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන පන්සිය පනහක් වෙන් කර ඇත. මෙය ඉතා වැදගත් - බුද්ධිමත් පියවරක් සේ සැලකිය හැකිය.

පසුගිය කාලය පුරාවට රසායනික පොහොර ගැටලුව නිසා ද දේශපාලන ආරවුල් නිසා ද කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන්වීමට ඉඩ හැර ඇති බව පිළිගත යුතු කාරණයකි. ඇතැම් දේශපාලන ව්‍යාපාර කුඹුරු අත්හැරීමට ගොවීන්ට බලපෑම් සිදු කර ඇති බව ද පැහැදිලිය. මෙහි ප්‍රතිඵලය වූයේ කන්න කිහිපයක් අසාර්ථක වී සහල් මිල ඉහළ යෑමය. එක අතකින් වී ගොවියාට යුක්තිය ඉටුවිය යුතුය. රජය මේ ගැටලු දෙකට මුහුණ දෙන අතර, ඇතැම් විට සහල් පිටරටින් ගෙන්වීමට පෙලඹෙයි. ඒ සඳහා විශාල විදේශ විනිමයක් ද යට කරයි. පුරන් කුඹුරු සියල්ල වගා කළ හොත් සහල් පිළිබඳ සියලු ගැටලුවලට විසඳුම එහි තිබේ.

රජයේ කිසිදු මැදිහත්වීමකින් තොරව අපේ ගොවියා වී වගාව සාර්ථකව කරගෙන ගිය කාලයක් තිබේ. එදා කුඹුරුවලට අවශ්‍ය ජලය, පොහොර,බිත්තර වී, පිළිබඳ කිසිදු ගැටලුවක් පැවැතියේ නැත. පොහොර ස්වාභාවික ක්‍රමවේද ඔස්සේ සකස් කර ගැනිණි. ජලය සඳහා වැව්, අමුණු තිබිණි. කෘමි උවදුරු සඳහා ද ස්වාභාවික ක්‍රමවේද අනුගමනය කැරිණි. රට සහලින් ස්වයංපෝෂිත වී තිබිණි. 1970 ගණන්වල පැවැති ආහාර අර්බුදයට අපේ රට සාර්ථකව මුහුණ දුන්නේය. එකල ක්‍රියාත්මක වූ ‘පස් අවුරුදු වගා සංග්‍රාමය’ ට අනුව පාසල් ශිෂ්‍යයෝ පවා වී වගාවට සහභාගි වූහ. එය රටේ කෘෂිකර්මය වැඩි දියුණු කිරීමට යොදා ගත් සාර්ථක උපාය මාර්ගයක් විය. අප නැවතත් එබඳු ක්‍රම‍වේද කරා යා යුතුව තිබේ.

 

ඉඩම් හා කුඹුරු අහිමි විශාල පිරිසක් ද රට තුළ සිටිති. මේ අය අතර තරුණ - තරුණියන් ද සිටිති. වගාව කෙරෙහි උනන්දුවක් දක්වන එහෙත් කුඹුරු අහිමි තරුණ ප්‍රජාවට වසර පහක් සඳහා පුරන් කුඹුරු ලබා දීමට රජය අපේක්ෂා කරයි. තරුණ පරම්පරාව මෙහිලා කාර්යක්ෂම සේවාවක් ලබා දෙනු ඇතැයි විශ්වාසයක් ඇති කර ගත හැකිය. කොයි අතින් බැලූව ද කුඹුරු පුරන් වීමට ඉඩ හැරීම ජාතික අපරාධයකි. ඊට ඉඩදිය යුතු නැත. කෘෂිකර්ම අමාත්‍යවරයා අපේ වගා කටයුතු දියුණු කිරීම සඳහා බලවත් කැපවීමකින් ක්‍රියා කරන බව පෙනී යයි. ඔහු ද පාරම්පරික ගොවියෙකි. එබැවින් ඔහුට වරදින්නට ඉඩක් නැත.

Comments