පුපුරන ප්‍රජාතන්ත්‍රවාදය සහ පළාත් පාලන ඡන්ද මාන්දම | සිළුමිණ

පුපුරන ප්‍රජාතන්ත්‍රවාදය සහ පළාත් පාලන ඡන්ද මාන්දම

ළාත් පාලන ඡන්දය ගැන බලවත් උනන්දුවක් විපක්ෂය තුළ තිබෙන බව පෙනේ. ශ්‍රී ලංකාව තනිකරම ඡන්ද පොළකි. විවිධ නිලවරණ, මැතිවරණ, ජනපතිවරණ සහ ජනමත විචාරණ යනාදී ක්‍රියාවලි රාශියක් නිතර නිතර ශ්‍රී ලංකාව තුළ දැකිය හැකිය. මේ වනවිට මේ රටේ පවතින මැතිවරණ කෙසේ වෙතත් අඩුම ලංසුවේ නිලවරණය පවා දේශපාලනිකය. සමූපකාර ඡන්දයක සම්පූර්ණ පදනම දේශපාලන පක්ෂ අනුව සැකසී තිබේ. එසේම මරණාධාර සමිතියක නිලවරණය පවා දේශපාලන පක්ෂ සහ ඒවාට ආවේණික පාට අනුව බෙදී පවතී. විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් දේශපාලන පක්ෂ විසින් බෙදා ගනු ලැබ තිබේ. දැනට දේශපාලනය පදනම් කර නොගෙන පැවැත්වෙන එකම නිලවරණය විය හැක්කේ පාසලේ සාහිත්‍ය සංගමයේ නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ ක්‍රියාවලිය පමණි.

ළඟදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට දේශපාලනිකව හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ නොවන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිගේ ස්ථාවරය නිවැරදි බව අපගේ වැටහීමය. ජනතාවට කන්න නැතුව වැලේ වැල් නැතුව සිටියත් පළාත් පාලන ඡන්ද අත්‍යවශ්‍ය බවට ජනප්‍රිය ව්‍යාපාරයක් පසුගිය මාස කිහිපය තුළදී ගොඩනැඟිණි. මේ මොහොතේදී මේ රටට ඡන්ද පැවැත්වීමට නොහැකිය. ඡන්ද තැබීමට තබා පාන් ගැනීමටවත් අපට මුදල් නැත. අප සතුව කිසියම් ධනයක් වීද පසුගිය කාලය තුළදී දේශපාලන සහ නිලධාරී හිපාටුවන් විසින් එම ධනය කා දමන ලදී. අද අප සිටින්නේ ජාත්‍යන්තර බ්ලැක් ලිස්ට්වලය. පිටරටවලින් ගත් ණය සහ පොලී ගෙවා ගැනීමට නොහැකි වූ බැවින් අපේ රටට විරුද්ධව නඩු පවා වැටී තිබේ. මේ රටේ සාමාන්‍ය මට්ටමේ මැතිවරණයක් වුව පැවැත්වීම සඳහා රුපියල් බිලියන කිහිපයක් වියදම් වේ. මේ මොහොතේදී මේ රටේ පාසල් ළමයින්ට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය විෂය බද්ධ ග්‍රන්ථ මුද්‍රණය කර ගැනීමටවත් ආණ්ඩුවට මුදල් නැත. ඉස්පිරිතාලවල බෙහෙත් නැත. එසේ තිබියදී විපක්ෂය ඡන්දයක් ඉල්ලන්නේ මොන දෙයකට දැයි අපට නම් නොතේරේ.

මේ රටේ පළාත් පාලන ආයතනවල සැබෑ අවශ්‍යතාවක් තිබේද යන ප්‍රශ්නය මතුව තිබේ. උදාහරණයක් වශයෙන් මෙරට සියලුම පළාත් සභාවල නිල කාලය මේ වන විට අහෝසි වී ඇත. එසේ කියා රටේ කටයුතු සිදු නොවන්නේද? නගර සභාවක් විසුරුවා හැරුණු විට විශේෂ කොමසාරිස්වරයකු ලවා නගර සභාව මගින් සිදුවිය යුතු කටයුතු සහ පරිපාලන ක්‍රියාදාමය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යා හැකිය. ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම තැන තිබෙන රටකි. මෙය කොතරම් ඉහළ තැනක තිබේද යන්න දන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය බිහි කිරීමට පක්ෂව කතා කළ ග්‍රීක දර්ශනවාදීන් සිය දිවි නසා ගන්නවා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවාදයේ දේශපාලනික ස්වරූපය වේ. සමාජවාදය යනු ඒකාධිපතිවාදයේ එක්තරා ස්වරූපයකි. මේ දේශපාලන මොඩලවලින් ගැලවී වෙනත් මොඩලයකට යෑමට කාටවත් නොහැකිය. එබැවින් අප හැමදෙනාටම සිදුව ඇත්තේ ඡන්ද පවත්වමින්, ඒවා දිනමින් හෝ පරදිමින් කිසියම් ගේමක් ගසාගෙන අතට මුදලක් සොයා ගැනීමටය.

මේ අවුරුද්ද තුළ රාජ්‍යයන් 76 ක පමණ කවර හෝ ආකාරයක ඡන්ද පැවැත්වෙන බව ජාත්‍යන්තර ඡන්ද දර්ශකය දෙස බැලූ විට පෙනී යයි. කිසිවකු විසින්වත් අසා නැති වර්ග සැතපුම් 3.9 ක විශාලත්වයකින් යුතු 1499 ක ජනගහනයක් වෙසෙන Tokelu නමැති නවසීලන්ත ප්‍රාන්ත රාජ්‍යයේ සිට සියලු දෙනාම දන්නා තුර්කිය, බංග්ලාදේශය සහ කියුබාව වැනි රටවල මේ අවුරුද්ද තුළ ඡන්ද පැවැත්විය යුතුය. හැබැයි මේ රටවල් තොගයෙන් රාජ්‍යයන් 38 කටම ඡන්ද පැවැත්වීම සඳහා දින ප්‍රකාශ කිරීමට නොහැකිය. ඒ සල්ලි නැති වීම හේතුවෙනි. එබැවින් පෙරකී රාජ්‍යයන් 38 මැතිවරණ කැලැන්ඩරය ක්‍රමයෙන් කොළ ගැලවී ගොස් ලබන අවුරුද්දෙන් යළි පටන් ගන්නවා ඇත. මෙතැනදී හැම රටකම ආණ්ඩු කල්පනා කරන්නේ ඡන්ද පැවැත්වීමට වැය කරන බිලියනවලින් වෙනත් දෙයක් කළ හැකි බවය. සමාජවාදය තුළදී හෝ පැසිස්ට්වාදය තුළදී මෙවැනි දේ කල්පනා කිරීමට අවශ්‍ය නොවේ. මේ දේශපාලන මොඩල දෙක තුළම ක්‍රියාත්මක වෙන්නේ එකම ක්‍රමයෙකි. එනම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන්නේ රටේ පාලකයාගේ නම පමණි. ඔහු එපා ද ඕනෑ ද යන්න පමණක් සටහන් කළ හැකි කුඩා කොටුවක් ඡන්ද පත්‍රිකාවෙහි තිබේ. එම කොටුව තුළ කතිරයක් ඇඳීම හෝ කිසිවක් නොඇඳ සිටීමේ බලය පමණක් ඡන්ද දායකයාට ඇත. මෙහිදී ප්‍රජාත්නත්‍රවාදය යම් ප්‍රමාණයකින් ඉදිරියට එයි.

අපේ රටේ මැතිවරණයකට වැඩි දෙනකුට ඉදිරිපත් විය හැකිය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය නිසාය. අපේ රටේ දේශපාලනය හොරුන්ගෙන් පිරී තිබේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය නිසාය. කෙසේ වුවද අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදය පැරදී හොරු ජය ගනිති. මේ වෙලාවේදී මේ රටට ඡන්දයක් පැවැත්විය හැකිද යන ප්‍රශ්නය මේ රටේ දේශපාලඥයන් ඔවුන්ගේ හෘදය සාක්ෂිය වෙතින් විමසා බැලිය යුතුය. එවිට හෘදය සාක්ෂිය දෙන උත්තරය ඡන්ද පැවැත්වීමට නොහැකිය යන්නය. හැබැයි ඒ උත්තරය දේශපාලඥයන්ට අවාසි සහගතය. දේශපාලඥයා බලන්නේ ඡන්දයෙන් ඡන්දයට ඉදිරිපත් වී කීයක් හරි හොයා ගැනීමටයි. මෙය කිසියම් ආකාරයක චක්‍රයකි. කොමියුනිස්ට්වාදය සහ සමාජවාදය ලෝකයට හඳුන්වා දෙන ලද අවස්ථාවේදී එකල සිටි ඇතැම් දේශපාලඥයන්ගේ මතය වූයේ කිසියම් අවස්ථාවකදී එකී දේශපාලන දර්ශන පුපුරා යන බවය. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් එය ඔප්පු විය.

ඕනෑවට වඩා පිස්සු කෙළින විපක්ෂයක් සහ පාක්ෂිකයන් සිටින රටක ප්‍රජතන්ත්‍රවාදය ද කිසියම් අවස්ථාවකදී පුපුරා යනු ඇත. පසුගියදා පැවති අරගලයේදී ගඳ ගහන ලෙස පුපුරන ලද්දේ එකී ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ වෙලාවේදී ආදර්ශා කරඳන ලෙසිනුත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ලෙසිනුත් මීතේන් සහ ඇමෝනියා උපදවන ඇතැම් දේශපාලන කුණු ගොඩවල්වලිනුත් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ජරාජීර්ණවී කුණු ගඳ විහිදුවමින් පුපුරණ දිනය අත ළඟ බවය.

Comments