තානායමට ආ අයියයි නංගියි තානායම් පල්ලාට හෙළි කළ රහස | Page 5 | සිළුමිණ

තානායමට ආ අයියයි නංගියි තානායම් පල්ලාට හෙළි කළ රහස

 

“ඔබතුමා මේකෙ මැනේජර්?... රායිට් වරදවා වටහාගන්න එපා... මේ මගේ එක් කුසේ උපන් නංගි... අපි ආවෙ මේ තානායමේ කළමනාකාරතුමාගෙන් විශේෂ කාරණාවක් දැනගන්නයි...”මගේ කාර්යාල කාමරයේ රාජකාරි මේසය ඉදිරියේ යුවළක් අසුන් ගත්තා.

“මෙන්න මේකයි...” පසුම්බියේ තිබී හතරට පහට නැමූ කොළ කැබැල්ලක් මවෙත පාමින් ඔහු දිගු කතාවකට මුල පිරුවා.

යාබද අසුනේ ඔහු අසලම අසුන්ගෙන සිටිනා ඔහුගේ නැඟණිය යැයි හඳුන්වා දුන් පියකරු තරුණිය වේදනා බර දෑසින් මගේ මේසයේ වීදුරුව දබරැඟිල්ලෙන් පිරි මදිමින් ඔහේ බලා සිටියා.

“මේ තානායමට 'කපල්ස්'.. ඒ කියන්නෙ 'තරුණ ජෝඩු' ආවාම එයාලගෙ ඩීටේල්ස් ලියාගන්න රෙජිස්ටර් පොතක් තියෙනවා නේද?” තරුණයාගේ දෑසේ රැඳි තියුණු බැල්ම එම පැනයට වඩා මා සිත සලිත කළා. මේ ඇඹරෙන්නේ කුමන මරාලයක්ද?

"ට්‍රීක්.... ට්‍රීක්..." මගේ මේසය මත වූ ස්ථාවර දුරකතනය අපිට බාධා කරමින් උස් හඬින් නද දුන්නා. “ගුඩ් මෝනිං සර්... මේ කතා කරන්නේ මෝටර් කම්පැනි එකෙන්...” තොඳොල් කාන්තා කටහඬක් එහා කෙළවර රැඳුණා.

“සර් අපේ කම්පැනි එකේ 'සීනියර් එක්ස්සෙකටිව්ස්'ලා හතර දෙනෙක් අද දවල් එරවුන්ඩ් වන් තර්ටි වගේ ලන්ච්වලට රෙස්ට් හවුස් එකට එනවා කියලා සර්ට ඉන්ෆෝම් කරන්නයි කිවුවා... ඒ 'බොස්ලා' ලන්ච්වලටයි එන්නේ... ෆ්රයි කරපු තෝර මාළු ස්ලයිසස් එක්ක.. හොඳ රස්නෙට රයිස් ඇන්ඩ් කරි හතරක්... ඩෙෆිනීට්ලි එරවුන්ඩ් වන් තර්ටි වගේ...”

“හරි හරි මිස්... අපි රෙඩී... එන්න කියන්න... තෑන්ක්ස්...” ඇමතුමෙන් මිදුණු මට බිත්ති ඔරලෝසුව දෙස බැලුණා. තවම උදේ නමයයි කාලයි.

එතරම් උදෑසනින් කල් තියා තමාගේ දිවා ආහාරය සැලසුම් කරනා විධායක නිලධාරීන් සිටිනා රටක් කොතරම් දියුණු විය යුතුද?

“ඉතින් බොස් මේකයි.. මෙන්න මේ නම තියෙන එක්කෙනා දැනට මාස හයක් වගේ ඇතුළත ගෑනු කෙනෙක් එක්ක මේ තානායමේ නතර වෙලා තියෙනවද කියලයි මට දැනගන්න ඕනෑ. 'ෆුල් නයිට්' එකක්ම නොවුණත් පැයක් දෙකක් වගේ 'ෂෝට් ටයිම්' ඉන්නවත් ඇවිත් තියෙනවද කියලයි අපිට දැනගන්න ඕනෑ... මෙන්න මෑන්ගෙ නම...” තරුණයා වේගවත් ඉරියව්වෙන් මට කොළ කැබැල්ල දිගු කළා.

මා එම කඩදාසියේ රැලි දිගහැර කියවනා අතරේ තරුණයා මා වෙත සිය ස්මාර්ට් ජංගම දුරකතනය දීප්ත කර මදෙස බලා සිටිනු මට යටැසින් පෙනුණා. “මෙන්න බලාගන්න ලොක්කා අපි හොයන මෑන්ගෙ ෆොටෝ එක... ඔය සෙල්ෆියෙ ඉන්න ගෑනු කෙනා මේ නංගි... තානායමේ විසිටර්ස් රෙජිස්ටරේ චෙක් කරන්නට කලියෙන් හොඳින් බලාගන්න ඩයල් එක... අමුම 'අපතයෙක්'...”

“අනේ.. අයියේ...” මම තිගැස්සී ඒ හඬ අවදි කළ නැඟණිය දෙස බැලුවා.

“මොනවද අනේ මේ කියවන්නේ... ඕකනේ මම අයියා එක්ක මේ ගමන එන්න බෑම කීවේ...“

“අයියත් එක්ක නෙමෙයි බං... ඒ වගේ බල්ලොත් එක්කයි බැරි... අපිට තියෙන 'තේ කෑල්ල' උඹේ නමට නෙමෙයි පවුලෙ කාගෙත් උරුමෙටයි පොදුවෙ තියෙන්නෙ කියලා දැනගත්ත දා ඉඳලා තමයි ටිකින් ටික ප්‍රේම කුරුල්ලා රෝං ගියේ... ඒකයි ඇත්ත...”

“අනේ අයියේ මේ... මෙතැන පිට තැනක්... අපේ පුද්ගලික දේවලුත් ඇදගෙන ඔය විදියට පිස්සෙක් වගේ...”

“හරි හරි... මම පිස්සා... ඒත් තමුසෙගෙ පස් අවුරුදු ප්‍රේමවන්තයා අපූරුවට මේ රෙස්ට් හවුස් එකේ හැසිරෙන්න ඇතිනේ අර 'ලීසිං බඩුවත්' එක්ක...”

“අනේ වඳින්නම් අයියේ... මෙතැන පිට තැනක්... මගේ ආත්ම ගරුත්වය ගැන හිතන්න අයියේ... ඔයා මේ තියන මරණ පරීක්ෂණය කිසිම තේරුමක් නෑ...”

“මොකක්... මරණ පරීක්ෂණේ...”

“යකෝ...”

කෝපාග්නියෙන් වෙව්ලන දකුණත මිට මොළවාගත් තරුණයා විදුලි වේගයෙන් නැඟණිය දෙසට හැරුණා.

“එපා...” මම එසැණින් නැගී සිටියා.

“ආවේගත් එක්ක ප්‍රශ්න විසඳන්න බෑ මහත්මයා... ඔය දෙන්නට සංවාද කරගන්න මම සාධාරණ කාලයක් දුන්නා. නමුත් එන්න එන්නම ඔබතුමා කෝප ගන්නවානම් ආපු කාරණාවට අපිට අවංකව සහයෝගය දෙන්න විදියක් නෑ... අනික ඔබතුමා තමුන්ගෙ නංගිත් එක්ක තානායමේ කාර්යාලයට ඇවිත් මේ හැසිරෙන විදිය පිට කෙනෙක් දැක්කොත් එයාලාට පේන්නෙ අයාලෙ ආපු ජෝඩුවක් මොකක්හරි අවුලක් හදාගෙන මැනේජර් එක්ක වාද කරනවය කියලා... ඒක ඔයාට වඩා ඔයාගෙ නංගිට හොඳ නෑ...” සිද්ධියේ රතු කට්ට සමීපයේ මගේ උස් හඬ කාර්යාල කාමරයේ දෝංකාර දුන්නා.

ඒ හඬ ඇසී තානායමේ පිළිගැනීමේ නිලධාරිනිය මගේ කාර්යාල උළුවස්ස ළඟ සිටගනු පෙනුණා.

“හරි... මෙන්න මං නිව්ටල් වුණා... ඔබතුමා හොඳ මහත්තයා වගේ මේ නංගිගෙ මිනිහා වෙන ගෑනියක් එක්ක මේ රෙස්ට් හවුස් එකේ කාමරයක ඉඳලා තියෙනවාද කියලා රෙජිස්ටරයෙන් බලලා කියන්න...”

“අනේ අයියේ... ඔයා මෙහෙම හැසිරෙනවා කියලා නෙමෙයිනේ තානායමට ආවේ...“

කර වැසුණු රෝසපාට මල් ගවුමේ බෝරිච්චි උරහිස් දෙකට උඩින් තනි කරලට ගෙතූ වරලසින් යුතු ඒ අවිහිංසක මුහුණ භීතියෙන් ඇලළී තිබුණා.

“අනේ සර් දෙන උත්තරයක් දීලා අපිව මෙතනින් පිටත් කරන්න ප්ලීස්...” ඇගේ තෙතමනය රැඳි නිල් දෑස හමුවේ මට මගේ පිළිතුරත් මොහොතකට පමා වුණා.

“හොඳයි... බැරි වෙලාවත් ඒ සොයන අයගේ නම අපේ ලේඛනවල තිබුණා කියමුකෝ. ඒත් කොහොමද මිස් මේ තත්ත්වයේ ඉන්නා ඔයාගේ අයියට ඒ බව කියන්නේ... එයා මෙහෙම ප්‍රචණ්ඩව හැසිරෙද්දි...“ හඬ බාල කරමින් මම ඇගෙන් විමසුවා. “ඒක නේන්නම්... අනේ අපි යමු අයියේ... කීවම අහලා යමු...” ආවේගයෙන් නැගී සිටි අයියා නැගණියගේ කඳුළු පිරි දෑස දෙස මොහොතක් බලා සිටියා.

“හරි... හැබැයි මේ ගේම ඉවර නෑ... බේරුමක් කරගන්න මං ආපහු තානායමට එනවා... යමං...” අයියාත් නංගීත් තව තවත් බහින්බස් වෙමින් පැමිණි වාහනයේ නැගී තානායමෙන් පිටව ගියා. ඔවුන් සමඟ තානායම් ආලින්දය තෙක් ඇවිද ගිය මම නැවත කාර්යාල කාමරය වෙත ආවා.

මෙතෙක් වේලා ඒ නැඟණිය කඳුළු පිසමින් සිටි රෝස පාට ලේන්සු පොඩිය පොඩි වුණු රෝස මලක් මෙන් මගේ මේසය මත තනිවී විදුලි පංකාවේ සුළඟට සෙලවෙමින් තිබුණා. කාලය දින කීපයක් ගෙවී ගියා. එක්තරා සවස් වරුවක පොලිස් ට්‍රැෆික් යතුරුපැදියක් තානායම් මිදුලේ අඹ ගස් සෙවණේ නතර වුණා. මම අසවල් පොලිසියේ කාන්තා කාර්යාංශයේ එස්. අයි. සිල්වා.

“ඔව්...ඉඳගන්න එස්.අයි. මහත්තයා...”

“අපි උසාවි දාපු කේස් එකක්... ද්වේශ සහගත හැර යාම යටතේ ඩිවෝස් එක ඉල්ලලා කරපු පැමිණිල්ලකට..” “ඉතින් ඒ පිරිමි එක්කෙනා නිතර ආව ගිය ලීසිං සමාගමක ගෑනු කෙනෙක් එක්ක හිතවත්කම දුරදිග ගිහින් ඒ අනියම් යුවළ මේ තානායමේ ලැගුම්ගෙන තියෙනවද බලන්නයි මේ ආවේ..” පොලිස් පරීක්ෂකවරයා ආයාසයෙන් වචන ගළපා කීවා.

“මේක නේද ඒ තැනැත්තගෙ නම...?” මම එදා කොළ කෑල්ල ලාච්චුවෙන් අරන් පොලිස් නිලධාරියා අත තැබුවා.

“මොනවා... ඔබතුමා කොහොමද සීන් එක දන්නේ..?” විමතියෙන් දෑස් විශාල කරගත් පොලිස් නිලධාරියාට මම සියල්ල හෙළි කළා. සිද්ධිය අසා සිටි ඔහු සැනසුම් සුසුමක් හෙළුවා.

“මැනේජර් මහත්තයා එදා වැඩ කරපු හැටිනම් පංකාදුයි... ඔබතුමා එහෙම හිතලා මතලා කටයුතු නොකළානම් ජීවිත හානියක් පවා සිදු වෙන්න ඉඩ තිබුණා..”

“මෙන්න... පහුගිය දෙදාස් විසිදෙක අවුරුද්දට ජෝඩුව වාර හයක් අපේ තානායමට ඇවිත් තියෙනවා... මේ තියෙන්නෙ පිරිමි එක්කෙනාගෙ නම... මේ හැඳුනුම්පත් අංකය... මේ ගෑනු කෙනාගෙ නම... අයි.ඩී. අංකය...”

තැංකියු මැනේජර් මහත්තයා...

 

Comments