තාත්තාගෙන් පලිගන්න දියණියට කළ අපරාධය | සිළුමිණ

තාත්තාගෙන් පලිගන්න දියණියට කළ අපරාධය

සෝමලතා මුණසිංහ ඝාතනය එදා මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරය

- චූදිත රිචඩ් සහ ජයවර්ධන එල්ලුම්ගස් 
- තිස්මඩ අල්විස් වෙද මහතාගේ දියණිය සෝමලතාගේ සිරුර වන ලැහැබකින් හමුවෙයි
- තුවක්කු ආරවුලේ පලිය ගන්න සෝමලතා මැරූ හැටි සාක්ෂිකරු කියයි

තිස්මඩ මහනුවර දිසාවේ මැණික්දිවෙල ආසන්නයේ පිහිටා ඇති අතිශය සුන්දර ගම්මානයකි. එහෙත් හැත්තෑවේ දශකයේ මුල් භාගය තෙක් තිස්මඩ ගම්මානය අප්‍රකට ගමක් විය. තිස්මඩ ගමේ පවුල් කීපයක් පදිංචිව සිටි අතර එහි විසූ 'අල්විස්' වෙදමහතා ඉතා දක්ෂ පාරම්පරික වෛද්‍යවරයෙක් විය. ඔහු ගමේ ප්‍රභූ පෙළපතට අයිති විය. ඔහුට දරුවන් අට දෙනෙකු සිටි අතර වැඩිමල් දරුවා දියණියකි. ඇය සෝමලතා මුණසිංහය. සෝමලතා මෙන්ම පවුලේ සෙසු දරුවන් ද මූලික අධ්‍යාපනය ලබා ගත්තේ මැණික්දිවෙල මහා විද්‍යාලයෙනි. මෙගම වැසියන් බොහෝ දෙනෙක් ඉතා සාමකාමි පුද්ගලයන් වූ නමුත් දාමරිකකම් කළ කීප දෙනෙකු සිටීම ගම්වැසියන්ට මහත් හිසරදයක් විය. 'රිචඩ්' ද ඔහුගේ බාල සහෝදරයා වන ප්‍රේමදාස ද රිචඩ්ට දුරින් නෑකමක් ඇති ජයවර්ධන ද ගමේ මැරකම් කළ කීප දෙනෙකි.

අල්විස් වෙද මහතා සහ රිචඩ් අතර ඉඩම් ආරවුලක් පැවති අතර මහනුවර දිසා අධිකරණයේ එම නඩුව විභාග කරමින් පැවතුණි. මේ අතර හදිසියේම අල්විස් වෙද මහතාගේ බලපත් ලද තුවක්කුව නැති විය. මේ පිළිබඳව අල්විස් වෙද මහතා කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් කළ අතර සොරකම සම්බන්ධව රිචඩ් සැක කළ හැකි බව වෙද මහතා පොලිසියට දැනුම් දුන්නේය. ඒ අනුව පරීක්ෂණ සිදු කළ පොලිසිය රිචඩ්ගේ සන්තකයේ තිබී තුවක්කුව සොයා ගත්තේය. ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු විය. තමන් නීතියේ රැහැනට කොටු කර දීම පිළිබඳව රිචඩ් බලවත් ලෙස අල්විස් වෙද මහතා සමඟ වෛර බැඳ ගත්තේය.

මේ අතර වෙද මහතාගේ වැඩිමහල් දියණිය වන සෝමලතා මුණසිංහ උසස් පෙළ හැදැරීම සඳහා පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූවාය. උපතින් ම ඉගෙනීමට සහජ දක්ෂතාවක් දැක්වූ සෝමලතා උසස් පෙළ විභාගය ඉහළින් සමත් වී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වී සිය පළමු උපාධිය ලබා ගත්තාය. ඉන් පසුව ඇයට මහනුවර නගරයේ ගැටඹේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පුහුණු වන උපාධිධාරිනියක් ලෙස පත්වීමක් ලැබිණි. ඒ වන විට ඇය සිය ගමේ සිටි ගාමිණී නම් තරුණයා සමඟ පෙම් සබඳතාවක් ඇති කරගෙන සිටියාය. දෙපාර්ශ්වයේ මාපියන්ගේ ආශිර්වාදයෙන් 1971 වසරේ සැප්තැම්බර් මස විවාහ වීමට ඔවුහු බලාපොරොත්තු වූහ. අල්විස් වෙද මහතාට අවශ්‍ය වූයේ තම වැඩිමල් දියණිය සමාජයේ ඉහළම තලයට ගෙන ඒමටය. සෝමලතා රජයේ පරිපාලන සේවා විභාගය සඳහා ඉල්ලුම් කරන්නේ මෙම පසුබිම තුළය. එමෙන්ම තිස්මඩ ගමේ පළමු උපාධිධාරිනිය වීමේ ගෞරවය හිමිකර ගත්තේද සෝමලතාය.

සෝමලතා රැකියාවට ගියේ සිය නිවසේ සිට බස් රථයෙනි. රැකියා ස්ථානයේ සිට යළි නිවසට පැමිණෙන්නේ සවස හය පමණ වන විටය. යම් හෙයකින් අවසන් බසය අල්ලා ගත නොහැකි වුවහොත් ඇතැම් දිනවල ඇය නගරයේ අල්විස් පවුලේ ඥාතියකුගේ නිවසේ නතර වන අතර එසේ නැතිනම් මැණික්දිවෙල බසයේ ගොස් ඉතිරි දුර නිවසට පයින් ගමන් කළාය.

1971 වසරේ ජූනි මස 25 දින ද සුපුරුදු පරිදි සෝමලතා රාජකාරි නිමකර නැවත නිවසට යාමට පැමිණියාය. එහෙත් තිස්මඩ අවසන් බස් රථය ඒ වන විට පිටත් වී තිබිණි. මේ නිසා ඇය මැණික්දිවෙල බස් රථයට ගොඩ වූයේ මැණික්දිවෙල සිට සිය නිවසට පා ගමනින් යාමට සිතාගෙන ය. එහෙත් මෙම ගමන ඇයගේ ඉරණම තීන්දු කරන ගමන බව ඇය නොදැන සිටියාය.

එදින රාත්‍රි වන විටත් සෝමලතා නිවෙසට නොපැමිණීම පිළිබඳව අල්විස් වෙද මහතා සහ පවුලේ සාමාජිකයන් එතරම් කලබලයට පත් නොවූයේ ඇය නුවර සිය ඥාතියාගේ නිවෙසේ නවතින්නට ඇතැයි යන නිගමනය නිසා ය. එහෙත් පසුදා පහන් වී හෝරා කීපයක් ගෙවී ගියත් සෝමලතා නොපැමිණීම නිසා අල්විස් පවුලේ සාමාජිකයන් සහ ඇයගේ පෙම්වතා වන ගාමිණී ද කලබලයට පත් වූහ. අල්විස් වෙද මහතා මහනුවරට ගොස් විපරම් කළත් දියණිය සිය ඥාතියාගේ නිවෙසේ නොවීය. මේ නිසා අල්විස් වෙද මහතා තම දියණියගේ අතුරුදන් වීම පිළිබඳව කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මේ අතර අල්විස් පවුලේ සාමාජිකයන් සහ ගාමිණී සෝමලතා පිළිබඳව සොයා බැලූහ. දින කීපයකට පසු සෝමලතාගේ සොහොයුරකු වන චන්ද්‍රසිරිට සෝමලතාගේ මළ සිරුර මැණික්දිවෙල - තිස්මඩ මාර්ගයට නුදුරින් කැලෑවක තිබී හමු විය.

සෝමලතාගේ සිරුර සොයා ගැනීමෙන් පසු පොලිසිය ඇගේ ඝාතකයා සොයා ගැනීමට බලවත් උත්සාහයක් ගත්තේය. මෙම ඝාතනය නිසා තිස්මඩ වැසියන් බලවත් ලෙස කම්පාවට පත් වූ අතර පොලිසියේ උකුසු ඇස පුද්ගලයන් කීප දෙනෙකු වෙත යොමු විය.

පොලිස් විමර්ශනවලින් පසු ටික දිනකින් තිස්මඩ ජීවත් වූ 'සේනපාල' නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 'සේනපාල'ගෙන් පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ අතර සෝමලතාගේ ඝාතනයේ සුලමුල සොයා ගැනීමට පොලිසියට හැකි වන්නේ එහිදීය.

සෝමලතා ඝාතනයට ලක් වූ දිනයේ සවස කොස් ගෙඩියක් කඩා ගැනීමට තමා කැලයට ගිය බවත් තමා කොස් ගසකට නැඟීමෙන් පසු කිසියම් පුද්ගලයකු පිහියක් අතැතිව බිම වැතිරී සිටින අයෙකුගේ සිරුර මත නැඟ සිටින ආකාරය තමා දුටු බවත් සේනපාල පොලිසියට කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කළේය. තවත් පුද්ගලයකු බිම වැතිරී සිටින පුද්ගලයාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන සිටි බවත් තවත් එක් පුද්ගලයකු එම සිද්ධිය දෙස බලා සිටිය බවද සේනපාල වැඩිදුරටත් පොලිසියට පවසා තිබුණි. ටික වේලාවකට පසු සිරුර මත නැඟ සිටි පුද්ගලයා පිහියක් රැගෙන බිම වැතිර සිටි පුද්ගලයාගේ බෙල්ලට තැබූ බවද සේනපාල ප්‍රකාශ කළේය. එසේ ඝාතනය කර ඇත්තේ අල්විස් වෙද මහතාගේ දියණිය බව සේනපාල පසුව හඳුනා ගෙන තිබිණි. පසුව ඔවුන් තමා දැකීමෙන් පසු තමාට කොස් ගසෙන් බසින ලෙස අණ කළ අතර මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කළහොත් තමා ඝාතනය කරන බවට තර්ජනය කළ නිසා මීට පෙර මෙම තොරතුරු පොලිසියට දැනුම් නොදුන් බව ද සේනපාල වැඩිදුරටත් පොලිසියට පැවසීය. එමෙන්ම සෝමලතාගේ ගෙල කැපුවේ රිචඩ් බවත් ඇගේ කකුල් දෙකෙන් අල්ලාගෙන සිටියේ ජයවර්ධන බවත් සේනපාලගේ කට උත්තරයේ සඳහන් විය. ප්‍රේමදාස එම ස්ථානයේ සිට රිචඩ් සහ ජයවර්ධනගේ ක්‍රියා කලාපය බලාගෙන සිටි බව ද සේනපාල පැවැසීය.

සේනපාල පොලිසියට දුන් එම තොරතුරු මත අත්අඩංගුවට ගත් රිචඩ්, ජයවර්ධන සහ ප්‍රේමදාස යන සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පැවරු අතර සේනපාල සාක්ෂිකරුවකු ලෙස නම් කරන ලදි. මහනුවර මහාධිකරණයේ ඉංග්‍රීසි කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කළ අතර ජූරි සභාවේ ඒකමතික තීරණය වූයේ විත්තිකරුවන් තිදෙනාම වරදකරුවන් බවයි. ඒ අනුව තිදෙනාටම මරණ දඬුවම නියම කැරිණි.

විත්තිකරුවන් මෙම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාවේදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ තීරණය වූයේ රිචඩ් සහ ජයවර්ධන යන විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් බවයි.

ප්‍රේමදාස නමැති විත්තිකරු නිදහස් කැරිණි. මේ තීන්දුවට එරෙහිව විත්තිකරුවන් දෙදෙනා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑල ප්‍රතික්ෂේප කැරිණි.

නීතිඥ එස්.එම්. ජයසූරිය

Comments