
- තුවක්කු දෙකකින් තැබු වෙඩි පහරවලින් සිදු වූ තුවාල අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී නිරීක්ෂණයට
- ගිනි බින්දේ ටී 56න් යැයි කීවත් මිය යන්නේ ගල්කටස් උණ්ඩවලින්
- හෘදය වස්තුවට දැඩි හානි සිදු වෙලා
සෝමේ විසිඅට හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි. ඔහු එතරම් හොඳ දිවි පෙවතක් ගත කළ අයෙකු ද නොවේ. හෙතෙම දකුණේ එක්තරා පාතාල කල්ලියක සමාජිකයෙකු වී සිටියේය. මේ නිසාම සෝමේට අපරාධ සහ මිනීමැරුම් සම්බන්ධ බොහෝ චෝදනා එල්ලවී තිබුණි. සෝමේ සමඟ ඔහුට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියේ සාමාජිකයින් සිටියේ දැඩි වෛරයකිනි. සෝමේ මෙලොවින් තුරන් කිරීමට අවස්ථාවක් එනතුරු ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියේ සමාජිකයෝ බලා සිටියේ නොඉවසිල්ලෙනි.
කාලය කෙමෙන් යමින් තිබිණි. දිනක් සෝමේ මාර්ගයේ ගමන් කරමින් සිටියදී ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියේ සමාජිකයෙකු විසින් තැබු වෙඩිල්ලකින් ඔහු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියේය. ටී56 තුවක්කුවකින් සෝමේට වෙඩි තබා ඇති බව පොලිසියද තහවුරු කළේය. වෙඩි තැබීමට යොදාගත් තුවක්කුව සමඟ වෙඩි තැබූ පුද්ගලයා පොලිසියට භාර විය.
ඝාතනයට ලක් වූ සෝමේගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ කරාපිටිය අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර විසිනි. වෙඩි වැදුණු අයකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර එක්ස්රේ පරීක්ෂණයක් සිදු කරනු ලබයි. ඒ අනුව සෝමේගේ සිරුර එක්ස්රේ පරීක්ෂණයකට ලක් කැරිණි. අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර සෝමේගේ එක්ස්රේ වාර්තාව ඉතා සියුම් ලෙස පරීක්ෂා කරනු ලැබීය. ටී56 ගිනිඅවියෙන් පිට වූ උණ්ඩවලට අමතරව ගල්කටස් වර්ගයේ අවියකින් ද වෙඩි තැබීම නිසා වූ තුවාල ද එහි සටහන් වී තිබුණි.
සෝමේගේ පපුව ඇතුළේ ද මුනිස්සම් දක්නට ලැබිණි. ටී56 ගිනිඅවියකින් වෙඩි තැබූ විට ඇති විය හැක්කේ වෙඩි උණ්ඩයෙන් ඇතිවන තුවාලයක් පමණි. නමුත් සෝමේට ගිනිඅවි දෙකකින් වෙඩි තබා ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර තහවුරු කර ගත්තේය. අධිකරණ වෛද්‍යවරයාට තහවුරු කර ගැනීමට අවශ්‍ය වූයේ සෝමේ මියගියේ ටී56 ගිනිඅවියෙන් වෙඩි තැබීමෙන් වූ තුවාල නිසාද නොඑසේනම් ගල්කටස් වර්ගයේ ගිනිඅවියෙන් වූ වෙඩි තැබීමෙන් වූ තුවාලවලින් ද කියාය. මක්නිසාද යත් අධිකරණ කටයුතුවලදී එය අධිකරණ වෛද්‍යවරයාට ඉතා වැදගත් බැවිනි. වෙඩි වැදීමෙන් ඇතිවන තුවාලවල ලක්ෂණ අනුව ආසන්න වශයෙන් වෙඩි තැබුවේ කුමන දුරක සිට ද කුමන දිශානතියක සිට ද කියා අධිකරණ වෛද්‍යවරයාට තීරණය කළ හැකිය.
ටී56 ගිනිඅවියෙන් තැබු වෙඩිල්ල දකුණු අතින් ඇතුළු වී බාහුවෙන් ඇතුළට ගොස් තිබුණ ද ඉලඇටවලට කිඳා බැස තිබුණේ නැත. පපු කුහරය ආසන්නයෙන් ගැවී ගොස් තිබු අතර තුවාල වී තිබුණේ පපු කුහරයේ සමටය. එය මරණීය තුවාලයක් නොවන බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය. නමුත් ගල්කටස් වර්ගයේ ගිනිඅවියෙන් තැබු වෙඩිල්ල සොමේගේ පපු කුහරය පසාරු කරගෙන ගොස් තිබු අතර හෘදය වස්තුවට දැඩි ලෙස හානිවී තිබුණි. සෝමේගේ මරණය වී ඇත්තේ ගල්කටස් වර්ගයේ ගිනිඅවියෙන් වෙඩි තැබීමෙන් වූ තුවාල නිසා බවට අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළේය.
එහෙත් ටී56 ගිනිඅවියෙන් වෙඩි තැබු පුද්ගලයා පොලිසියට කට උත්තරයක් ලබා දෙමින් ප්‍රකාශ කළේ තමන් සෝමේට වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවය. තුවාලවල ලක්ෂණ අනුව ටී56 ගිනිඅවියෙන් වෙඩි තැබු පසු තවත් පුද්ගලයකු මොහු සිටි ආසන්නයට පැමිණ ගල්කටස් වර්ගයේ ගිනිඅවියෙන් සෝමේට වෙඩි තබා ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය කර ගනු ලැබීය.
සෝමේට ගිනිඅවි දෙකකින් වෙඩි තබා ඇති බවත් මොහු මියගියේ ටී56 ගිනිඅවියෙන් තැබු වෙඩි උණ්ඩවලින් නොවන බවත් අධිකරණ වෛද්‍ය නිලධාරියා පොලිසියට කීවේය. ඒ නිසා මේ ගැන නැවත පරීක්ෂණයක් කරන ලෙස පොලිසියට දැනුම් දුන්නේය. පසුව සිද්ධිය අනාවරණය වන්නේ මේ අයුරිනි.
සෝමේ පාපැදියෙන් ගමන් කරමින් සිටියේය. ටී56 තුවක්කුව තබාගෙන සිටි තුවක්කුකරු මාර්ගයේ එක් පසෙකට වී සැඟවී සිටියේය. ගල්කටස් වර්ගයේ ගිනිඅවිය අතැතිව සිටි පුද්ගලයා මාර්ගයේ අනික් පසට වී සිටියේය. සෝමේ පාපැදියෙන් එන විටදී ටී56 ගිනිඅවියෙන් වෙඩි තැබූ අතර ඔහුගේ දකුණු අත පසාරු කරගෙන එම වෙඩි උණ්ඩය ගොස් තිබුණි. මෙම වෙඩි තැබීමත් සමඟ සෝමේ බිම ඇද වැටෙන අතර ඒ සමඟ ඔහු අසලට පැමිණි අනික් පුද්ගලයා ගල්කටස් වර්ගයේ අවියෙන් සෝමේගේ පපුවට වෙඩි තැබුවේය. සෝමේගේ මරණය ටී56 ගිනිඅවියකින් වූ වෙඩි තැබීමකින් බවට මුලදී ප්‍රකාශ වුණද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ගිනිඅවි දෙකකින් වෙඩි තබා ඇති බවට අනාවරණය විය.