- එකපත බෙදා හදාගෙන කෑ කල්ලි දෙක විරසක වී ගහමරාගෙන
- ප්‍රධාන සැකකරු කලකට පෙර රට කැලඹූ 'කිඹුල් කතාවේ' ප්‍රධානියා
- මන්නා පහරින් ප්‍රසාද් චාමරට දිවි අහිමි වෙයි
එක බත් පත බෙදා හදාගෙන කන එකට සිටින හොඳම මිතුරන් අතර ද ආරවුල් ඇතිවීම විරල නැත. මේ ආරවුල් හැම එකකටම පාහේ හේතුව මත් වතුරයි. මත් වතුරෙන් සන්තර්පණය වන ඇතැමුන්ට තමන් කරන කියන දේ මතක නැත. සුළු දේකට පවා ගහමරා ගන්නේ පොලිසි උසාවි ගානේ යන්නේ මත් වතුර පානයෙන් පසු සිහි විකල් වන නිසාය.
මේ කතාව ද එවැන්නකි.
එක පත බෙදා හදාගෙන කෑ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් එක් අයකුට සිය දිවියෙන් සදහටම සමු ගන්නට සිදු වීමත් තවත් පුද්ගලයකුට දෑත් දෙපා අහිමි වී තිදෙනෙකු බරපතළ තුවාල ලැබීමේ මේ සිදුවීම ගැන සිදුකරන විමර්ශන පිළිබඳව පසුගියදා වාර්තා වූයේ පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙනි.
සිද්ධිය වූයේ කැලණිය පෙතියාගොඩ කැලණි ගං ඉවුරේදීය. මතින් සප්පායම් වූ දෙකල්ලියේ ගහ මරා ගැනීම නිසා කැලණි ගං ඉවුර ලෙයින් තෙත් වන්නේ දුරුතු පෝයට පසුදා එනම් 7 වැනිදාය.
කැලණි ගං ඉවුරේ ඉහළ සහ පහළ පදිංචි දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබුණේ කාලයක සිටය.
කලක් අඹ යහළුවන් මෙන් සිටි මේ දෙකල්ලිය ගහමරා ගන්නටත් ඇනකොටා ගන්නටත් පටන්ගෙන දැනට ටික කාලයකි. එක පත බෙදා හදාගෙන කමින් අඩි-පුඩි ගසමින් ජීවත් වූ මේ කල්ලි දෙක විරසක වන්නේ පුංචි පුංචි කරුණු කාරණා නිසාය. සුරාව ද ඊට මුල්වී තිබිණි. මේ දෙකල්ලියේ ගැටුම් නිසා මීට පෙර ද කීපදෙනකුම තුවාල ලබා සිටි අතර ඔවුන් ඒ සඳහා පෞද්ගලිකවම ප්‍රතිකාර ද ලබාගෙන තිබිණි. දෙපිරිස අතර ඇතිවූ සමහර ගැටුම් පොලිසියට ද වාර්තා වී නොතිබීම සුවිශේෂය. මේ කල්ලි කණ්ඩායම් දෙකෙන් එක් කල්ලියක නායකයා යැයි කියන්නේ මීට කලකට පෙර මෙරට ජනමාධ්‍ය මඟින් පුවත් මැවූ පුද්ගලයෙකි. ‘කිඹුල් කතාවක්‘ මුල්කරගෙන එවකට සිටි ඇමැතිවරයකුද සමඟ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ මේ පුද්ගලයාට අන්තිමේදී නීතිය ඉදිරියට යාමට ද සිදුවිය. අනෙක් පුද්ගලයා ද එම මාධ්‍ය සාකච්ඡාවටම සහභාගි වූ අයෙකි.
‘කිඹුල් කතාවේ‘ ප්‍රධානියාගේ පුත්‍රයාට කිසියම් පිරිසක් විසින් සිදුකළ පහර දීම මේ සිද්ධියට මුල් වී තිබිණි.
කිඹුල් කතාවේ ප්‍රධානියා සිය නිවෙසේ ඇසිඩ් සහ අවි ආයුධ කල් තබාම සූදානම් කැරගෙන සිටි බවද පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය.
මත්පැනින් සන්තර්පනය වූ කිඹුල් කතාවේ ප්‍රධානියා කැලණි ගඟේ පෙතියාගොඩ බන්ට් එක පහළ සිට එහි ඉහළ සිටින තමන්ගේ විරුද්ධවාදියා වන ප්‍රසාද් චාමරට අඬ ගසා ඇත්තේ ගහ ගන්නට වරෙල්ලා කියමිනි. ප්‍රසාද් චාමරගේ කණ්ඩායම බන්ට් එකෙන් පහළට එන්නේ කිඹුල් කතා නායකයා ඇතුළු පිරිසට පහර දෙන්නටය. එහෙත් ඒ වන විට රාත්‍රිය එළැඹ තිබුණු නිසා කිඹුල් කල්ලිය සිට ඇත්තේ ඇඳුරේ සැඟවිය. ඒ අවස්ථාවේ ප්‍රදේශයේ විදුලිය කප්පාදු කොට තිබිණි.
ප්‍රසාද් චාමර ඇතුළු පිරිස කළුවරේම කිඹුල් කල්ලිය සොයා යද්දී ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වන්නේ අනපේක්ෂිත සිද්ධියකටය. ඒ අඳුරේ සැඟවී සිටි කිඹුල් කල්ලියේ මන්නා පහරවලට ලක්වීමට සිදුවීමය. කට්ට කරුවලේ කළ මේ පහර දීමෙන් ප්‍රසාද් චාමරගේ කණ්ඩායමට බරපතළ හානි විය. අවසන් ප්‍රතිඵලය වූයේ මන්නා පහරට ලක්වූ ප්‍රසාද් චාමරට සිය ජීවිතයෙන් සමුගැනීමට සිදුවීමය.
තවත් අයකුගේ අත්පා සිරුරෙන් වෙන් වන ලෙස කපා තිබූ අතර තවත් දෙදෙනෙකුට ද බරපතළ තුවාල සිදුවී තිබිණි.
කිඹුල් කල්ලියේ මන්නා පහරින් එලෙස ඝාතනය වූ සේනාධිපති වලාකුළගේ ප්‍රසාද් චාමර 43 හැවිරිදිය. ඔහු කැලණිය, බියගම පාර, පෙතියාගොඩ, අංක 172 ලිපිනයේ පදිංචිකරුවෙකි. මන්නා පහරට ලක්ව ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේ සිද්ධිය වූ ස්ථානයේදීමය.
මදුරාවලගේ දොස් අසංකට ද මන්නා පහරෙන් බරපතළ හානි සිදුවිය. ඔහුගේ දෑත් උරහිස අසලින්ම සිරුරෙන් වෙන් වෙන සේ කපා දමා තිබුණු අතර එක් පාදයක් ද සිරුරෙන් වෙන් වන සේ කපා දමා තිබිණි.
ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලබන්නේ ඉන් අනතුරුවය. කිඹුල් කල්ලියේ ප්‍රධානියාගේ එක් අතක කොටසක් ද කැපී වෙන්වී තිබිණි.
ප්‍රධාන සැකකරු පළමුව රාගම රෝහලට ඇතුළු කළත් පසුව ඔහුට ප්ලාස්ටික් සැත්කමක් කළ යුතු නිසා කොළඹ ජාතික රෝහලට මාරු කෙරිණි. සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කරන්නේ ඉන් අනතුරුවය.
මේ සැකකරුට සහය දුන් තවත් පුද්ගලයකු ද සැකපිට අත්අඩංගුවට ගෙන රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මන්නා පහරවලින් කසුන් ලක්මාල් නමැති අයකුට ද බරපතළ තුවාල සිදුවිය. ඔහුගේ වයස අවුරුදු 42කි. ඔහුගේ එක් අතකට තුවාල සිදුවී ඇත.
මේ සිද්ධිය දුටු කිසිවකු පොලිසියට සාක්ෂි දීම සඳහා ඉදිරිපත් වී නැත. ප්‍රදේශයේ විදුලිය කප්පාදුව සිදුවන අවස්ථාවේදී මේ සිද්ධිය වී තිබීම සුවිශේෂීය. සිද්ධිය වූ ස්ථානයේ පදිංචි පුද්ගලයකු පොලිසියට කියා ඇත්තේ පිරිසක් නැඟූ ළතෝනියක් පමණක් තමන්ට ඇසුණු බවකි. පලාගිය එක් සැකකරුවකු අල්ලා ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ කැලණිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්තගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මහින්ද විල්ලෝරාච්චිගේ අධීක්ෂණයෙන් පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඒ. කළුවිතාරණ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කසුන් සුභාෂණ, උප පරීක්ෂකවරුන් වන ගමගේ, විමුක්ති, සැරයන්වරුන් වන 69411 හේරත්, 73048 සංජීව, 47575 එදිරිමාන්න, 52951 පෙරේරා, 27267 අනුරාධ, කොස්තාපල්වරුන් වන 73198 පියරංජන, 93616 සිල්වා, 35432 රන්දෙණිය කාන්තා පොලිස් කොස්තාපල්වරුන් වන 9608 මධුමාලී, 2417 ශානිකා යන නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇත.
කේ.එස්. හැන්නදි - රාගම සමූහ