සේරුකැලේ වතු හිමියාගේ දේපළ විකුණා වව්නියාවට පැන්න මුරකරු කිව් ආර් කේතයෙන් අල්ලයි | සිළුමිණ

සේරුකැලේ වතු හිමියාගේ දේපළ විකුණා වව්නියාවට පැන්න මුරකරු කිව් ආර් කේතයෙන් අල්ලයි

සොරකම් කරන ලද භාණ්ඩ සහ ට්‍රැක්ටරය

- වව්නියාවේදී ඉන්ධන ලබාගනිද්දී සැකකරු අත්අඩංගුවට
- ට්‍රැක්ටරය, නගුල් සහ කෘෂි ආම්පන්න රු. ලක්ෂ 21කට විකුණලා
- ඉඩම් හිමියා කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක්

පුත්තලම දිසාවේ පල්ලම පොලිස් වසමට අයත් 'සේරුකැලේ' ප්‍රදේශයේ පොල් ඉඩමක් බලා ගැනීමට එහි රඳවා සිටි මුරකරුවෙකු ඉඩමේ වගා කටයුතු සඳහා යොදා ගන්නා ට්‍රැක්ටරය, සීසෑම සඳහා උපයෝගී කරගන්නා නගුල් කීපයක් ඇතුළු භාණ්ඩ රැසක් සොරා ගෙන වව්නියාව ප්‍රදේශයට පලා ගොස් සිටියදී පල්ලම පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ මීට දින කීපයකට පෙරය.

ට්‍රැක්ටරයත්, සී සෑම සඳහා උපයෝගී කරගන්නා නගුල් 4 ක්, තණකොළ කපන යන්ත්‍රයක්, වතුර මෝටරයක්, ගෑස් සිලින්ඩරයක් සහ ඇඳන් 2 ක් සැකකරු මෙලෙස සොරකම් කර තිබිණි. සොරකම් කළ භාණ්ඩවල වටිනාකම රුපියල් විසිහත් ලක්ෂයක් බව පොලිසිය සිදුකරන ලද විමර්ශනවලදී හෙළි විය. 

පල්ලම පොලිස් වසමට අයත් සේරුකැලේ ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම අක්කර 25කින් සමන්විතය. ඉඩමේ අයිතිකරුගේ බංගලාව, මුරකරු නිවසක්ද එහි පිහිටා ඇති අතර පොල් වගාවට අමතරව එහි යටි වගාවන් ද සිදුකර තිබේ. මෙහි අයිතිකරු විදේශීය රටක සංචාරක නැවක සේවය කරන කපිතාන්වරයෙකි. ඔහු බිරිය දරුවන් සමඟ මීට වසර ගණනාවකට පෙර කැනඩාවේ පදිංචියට ගියේය. ඒ අතරතුර වරින්වර මුරකරුවන් සහ වතු පාලකවරුන් කීප දෙනෙක් මේ ඉඩමේ සේවය කර තිබේ. කපිතාන්වරයා අවසන් වරට සේවය කරන මුරකරු පුවත්පත් දැන්වීමක් පළ කර සේවයට ගත් අයෙකි. ගම්පහ ප්‍රදේශයේ පදිංචි ඔහු සිය බිරිය සහ දරුවන් දෙදෙනා සමඟ එම ඉඩමේ සේවයට එන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ත්‍රිරෝද රථයක් ද ඔහු සතුව තිබිණි. දරුවන් එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට ඔහු කටයුතු කෙළේය. ඉඩමේ වැඩ කටයුතු පවත්වා ගැනීමට වතු පාලකවරයෙකු ද ඔහු සේවයට ගෙන තිබේ. එම පුද්ගලයා පල්ලම පොලිස් වසමට අයත් පොත්තුක්කුලම ප්‍රදේශයේ පදිංචි අයෙකි. කපිතාන්වරයා නිවාඩු ලැබූ අවස්ථාවල දින කීපයක් ලංකාවට පැමිණ එම ඉඩමේ රැඳී සිටිමින් අඩුපාඩු සොයා බලා නැවත කැනඩාවට සේවයට යාමට කටයුතු කළේය. ඔහු අවසන් වරට මෙම සිද්ධිය වීමට මාස දෙකකට පමණ පෙර මෙරටට පැමිණ දින කීපයක් ඉඩමේ රැඳී සිට නැවත ඔහු සේවය කරන නැවට ගොස් ඇත. වතු පාලකවරයාද සතියට දින කීපයක් වත්තට පැමිණ එහි වගා කටයුතු සහ අනෙකුත් දේ ගැන සොයා බැලීමට කටයුතු කෙළේය.

මේ අතර මේ සිද්ධිය වීමට සතියකට පමණ පෙර වතු පාලකයා ඉඩමට පැමිණෙන විට මුරකරු බිරිය සහ දරුවන් එහි නොමැති බව දැන ගැනීමෙන් පසු ඉඩමේ තිබූ භාණ්ඩ ගැන විපරම් කිරීමට කටයුතු කළේය. එහිදී හෙළි වූයේ ට්‍රැක්ටරය, නගුල් ඇතුළු උපකරණ රැසක් අස්ථානගතව ඇති බවයි. අනතුරුව මේ ගැන කපිතාන්වරයාව දැනුම්වත් කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් මත පල්ලම පොලිසියට ගොස් පැමිණිල්ලක් කිරීමට කටයුතු කළේය.

අනතුරුව පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධන සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු කිරීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.පී නාලක බණ්ඩාරට බාර කෙළේය. එහිදී වත්තේ මුරකරු සතුව තිබූ ත්‍රිරෝද රථයෙන් මෙම පිරිස පලා ගොස් ඇති බවත් ට්‍රැක්ටරය ඇතුළු භාණ්ඩ වරින්වර විකුණා ඇති බවට තහවුරු විය.

සැකකාර මුරකරු ආශ්‍රය කළ පුද්ගලයන් ඔහු ආ ගිය තැන් සහ දුරකතන විශ්ලේෂණ වාර්තා පොලිසිය ඒ වන විට ලබාගෙන තිබිණි. මෙහිදී දැඩි අවධානයක් යොමු කළේ වත්තේ හිමිකාර කපිතාන්වරයා විසින් මුරකරුට ලබා දී තිබූ ජංගම දුරකතනය සම්බන්ධවය. කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පසු මුරකරු ජංගම දුරකතනය විසන්ධි කර තිබුණි. පසුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නාලක අදාළ දුරකතනයේ සිම්පත් අංකය එය හිමි දුරකතන ආයතනයට දන්වා දුරකතන සිම්පතේ කිව්ආර් කේතය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කළේය. ඒ අතරතුර දී මුරකරු විසින් භාවිත කරන ත්‍රිරෝද රථයට කිව්ආර් කේතයට ඉන්ධන ලබා ගැනීමට වව්නියාව ප්‍රදේශයේ ඉන්ධන හලකට නිතර පැමිණෙන බව තහවුරු විය. පසුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව වවුනියාව බෝගස්වැව නාමල්ගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඔහු එම ප්‍රදේශයේ අක්කරයක ඉඩමක් මිලදී ගෙන නිවසක් තනා බිරිය සහ දරුවන් දෙදෙනා සමඟ ජීවත් වී ඇති බව තහවුරු විය.

පුත්තලම කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති වයි.එම්. සෙනෙවිරත්නගේ සහ පුත්තලම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් හේසිරිගේ උපදෙස් මත ආණමඩුව සහකාර පොලිස් අධිකාරී එච්.එම්.පී හේරත්ගේ අධීක්ෂණය යටතේ පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධනගේ මෙහෙයවිමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.පී නාලක බණ්ඩාර, සැරයන් 1088 චාමර, පොලිස් කොස්තාපල් 79660 අබේසේකර යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කළහ.

මිහිර විජේසේකර - මාරවිල සමූහ

Comments