ටීචර්ගේ මාලේ බේරූ අයි පී රෝහලේ | සිළුමිණ

ටීචර්ගේ මාලේ බේරූ අයි පී රෝහලේ

- ගුරුවරියගේ රන් මාලය කඩාගෙන යද්දී කොල්ලකරුවන් සමඟ තනිව සටන් කළ ගම්පොළ පොලිස් පරීක්ෂක
- ගම්පොළ, තෙල්දෙණිය දිගන, කටුගස්තොට ප්‍රදේශවල කොල්ලකෑම් සිදු කරලා
- කොල්ල කල්ලියේ හෙල්මට් පහරින් අයි.පී. රිස්විට තුවාලයි රන් මාල
- පහක් සහ හෙරොයින් සැකකරුවන් සතුව තිබී සොයා ගනී

නීතිය සහ සාමය සුරකිමින් මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම පොලිස් නිලධාරීන්ගේ මූලික වගකීමයි. ඉන් පරිබාහිරව මහජනතාව තළන පෙළන දූෂිත ක්‍රියාවල නිරත වන ඇතැම් පොලිස් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවටද අවමානයක් මෙන්ම ඉමහත් කැළලකි. එසේම එවැනි නිලධාරින් නිසා ඔවුනගේ අඹු දරුවන්ටද පාරට බැසීමට නොහැකි තත්ත්වයක් ඇති වීම ඛේදනීයය. ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා පොලිස් දෙපාර්තමේන්තුවට කළු පැල්ලම් ඇති වූ අව්ථා කිහිපයක්ද පසුගිය දිනවල මාධ්‍ය මඟින් අසන්නට දකින්නට ලැබිණි. 

පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින අතළොස්සක් දූෂිත නිලධාරීන් මෙන්ම තම රාජකාරිය අකුරටම සහ ඇතැම් අවස්ථාවල දිවි පරදුවට තබා ඉටු කරන අවංක එඩිතර නිලධාරීන්ද රැසක් සිටීම සතුටට කාරණයකි. එවැනි නිලධාරීන් තම ජීවිත පවා පරදුවට තබා නීතිය සාමය ආරක්ෂා කර ගැනීම මෙන්ම මහජන ආරක්ෂාව සඳහා සිදු කරන ලද ක්‍රියා ගණනාවක්ද පසුගිය කාලයේ වාර්තා විය.

මේ කතාවද එවැන්නකි. වාර්තා වූයේ ගම්පොළ ප්‍රදේශයෙනි.

ගම්පොළ, මරියවත්ත, තුන්වන පටුමගේ ගුරුවරියක ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා යතුරුපැදියකින් පලා යමින් සිටි දෙදෙනකු පසුපස පැන්නු ගම්පොළ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට එම සැකකරුවන්ගෙන් හෙල්මට් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු තුවාල ලැබූ පොලිස් නිලධාරියා ගම්පොළ ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීම එම සිද්ධියයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ ගම්පොළ දුෂණ මර්දන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. රිස්විය.

පාසල නිම වී නි‍ෙවස බලා යමින් සිටි ගුරුවරිය මරියවත්ත තුන්වන පටුමග මාර්ගයේදී මෙම යතුරුපැදිකරුවන්ට කොටු වී ඇති අතර ඇය ගෙල බැඳි රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් මාලය ඔවුන් කඩාගෙන පලා ගොස් ඇත්තේ ගුරුවරිය විලාප දෙද්දීය.

මේ අවස්ථාවේදී හෙරොයින් වැටලීමකට ගොස් සිටි පොලිස් පරීක්ෂක රිස්වි සිද්ධිය දැන ගැනීමෙන් පසු ගම්පොළ - මහනුවර මාර්ගය ඔස්සේ කොල්ලකරුවන් පලා යමින් සිටි යතුරුපැදිය පසුපස ඔහුගේ ත්‍රිරෝද රථයෙන් පන්නා ඇත්තේ බලා සිටි අයවලුන්ට ත්‍රාසජනක චිත්‍රපටයක දසුනක් සිහි ගන්වමිනි.

පසුව බෝතලාපිටිය දක්වා ගමන් කිරීමෙන් පසු ත්‍රිරෝද රථය යතුරුපැදියේ හප්පා එය පෙරළා දැමීමට පොලිස් පරීක්ෂකවරයාට හැකි විය. එහිදී සැකකරුවන් දෙදෙනා අල්ලා ඔවුන්ට මාංචු දැමීමට පොලිස් පරීක්ෂකවරයා උත්සාහ කිරීමේදී ඔවුන් සමඟ පොර බදා ඇති අතර පොලිස් පරීක්ෂක රිස්වි අවට සිටි අයගෙන් උදවු ඉල්ලා සිටියද ඔවුන් කිසිවකු ඉදිරිපත් වී නොමැත.

ඒ අතරතුර එම සැකකරුවන් පොලිස් පරීක්ෂක රිස්විට 'හෙල්මට්' ප්‍රහාරයක් එල්ල කර ඇත. ප්‍රහාරයෙන් හෙල්මටය ද කුඩු වී ඇති අතර එම පහරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයාගෙන් මිදී සැකකරුවන් පලා ගියද ඔවුන්ගේ යතුරුපැදිය ඒ මහතා රැගෙන යාමට ඉඩ දී නොමැත. 

පසුව ගම්පොළ පොලිස් නිලධාරීන් එතැනට පැමිණ පැය තුනක් තිස්සේ සිදු කළ මෙහෙයුමකදී ගම්පොළ දුම්රිය මාර්ගයේ ලඳු කැලෑවක සැඟවී සිටි එක් සැකකරුවකු අල්ලාගෙන ඇත.

පොලිස් භාරයට ගත් යතුරුපැදිය මොවුන් කැලණිය ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවද හෙළි වී ඇත.

එම යතුරුපැදිය පොළොන්නරුව ප්‍රදේශයේ අයකුට අයත් අතර ඔහු කැලණිය විහාරය වැඳීමට පැමිණ සිටියදී මෙම සැකකරුවන් එය සොරාගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

අල්ලාගත් සැකකරු දිගන කෙන්ගල්ල ප්‍රදේශයේ අයෙකු වන අතර මොවුන් යතුරුපැදි උපයෝගි කර ගනිමින් මෙරට විවිධ ප්‍රදේශවලට ගොස් මාල කඩන බවද හෙළි වී ඇත.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ, ගම්පොළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාරගේ උපදෙස් මත පොලිස් පරීක්ෂකවරුන් වන රිස්වි කුමාරසිංහ, ජයන්ත, උපපොලිස් පරීක්ෂක දසනායක, සැරයන්වරුන් වන 6928 තිස්ස, 21580 අමිත, 45203 දුනුකාර, 28956 රෝහිත යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වුහ.

Comments