අපි ගෙදර යමු අම්මේ! | සිළුමිණ

අපි ගෙදර යමු අම්මේ!

 

“සංසාර සිහිනයේ... පෙම් අප්සරා නුඹයි...” හැල්මේ ධාවනය වන බස් රථයේ වාදනය වන්නේ වේටර් වීරසිංහ නිතර මුමුණන ප්‍රියතම ගීතයකි. තානායම් සගයන් අතරේ නොම්මර එකේ ගායකයකු ලෙස ප්‍රචලිත වීරසිංහට මේ මොහොතේ එම ගීතයේද මෙලෝ රසයක් නැත. වයස අවුරුදු පහක් පමණ වන එකම පුත්‍රයාද සමඟ තකහනියක් ඔහු මෙසේ බස් රථයක ගමන් ගන්නේ බිරිය සමඟ ඇති කරගත් දරුණු ආරවුලක අවසන් ප්‍රතිඵලය ලෙසය.

අමනාප වූ බිරිය තමාත් දරුවාත් තනිකොට ඇගේ මවගේ නිවසේ නතර වීමට ගොසිනි. වීරසිංහ මේ යන්නේ තම එකම දරු සම්පතද නැන්දම්මාටම බාර දී අත පිසදා ගැනීමේ ඉරණම් ගමනය.

“තාත්තේ වමනෙට එනවා වගේ... හෝ..ක්...ඕ...ක්...” වහා ඉදිරියට පිනූ වීරසිංහ අසල වූ ජනේල් වීදුරුව විදුලි වේගයෙන් විවර කළේය. දරුවාගේ පිට අතගාමින් වීරසිංහ අන්ත අසරණව වටපිට බැලුවේය.

“මෙන්න... ටිෂූස්... බබාගෙ කට පිහදාන්න...” පසුපස අසුනේ ගමන් ගන්නා තොල් පාට කළ යොවුන් තරුණියක් ෆේෂල් ටිෂූස් හත අටක් වීරසිංහ වෙත පෑවාය.

“අනේ තැන්කියු මිස්...” දැන් ඉන්නා තරුණ පරපුර ඇතැමුන් කියනා තරමටම අසංවේදී නැත. ගමනාන්තයට තවත් සැතපුම් අසූවක පමණ දුරක් තිබේ. වීරසිංහට නැවතත් බිරිය සිහි විය. ඒ ඇය නොමැතිව දරුවා සමඟ බසයක දුර ගමනක් යන ප්‍රථම අවස්ථාව මෙය නිසාය. තමාගේ බිරිය කොහේවත් යන සේල්ස් රෙප්කාරයෙක් සමඟ පටළවාගත් අනියම් ප්‍රේමයකින් වැඩිම අලාභය සිදුව ඇත්තේ පුතුට නොවේද?

තානායම වෙත පැමිණෙන සෑම දුවා දරුවකු හටම වේටර් වීරසිංහ ආදර කරුණාවෙන් සත්කාර කළේ එම යහක්‍රියාවේ ප්‍රතිඵල කවදා හෝ තම පුතුගේ දිවිය සාර්ථක වීමට කුසලයක් ලෙස පඩිසන් දෙනු ඇතැයි යහපත් සිතිවිල්ලක පිහිටා නොවේද? වීරසිංහගේ දෑස කඳුළු පටලයකින් වැසෙන්නේ ඔහුටත් නොදැනුවත්වමය. ඔහු සිය දකුණතින් පුතුගේ නළලත පිරිමැද්දේය.

“ඇත්ත කියාපිය... කවුද ඒ ටයි දාපු මෝටර් සයිකල්කාරයා.. මැරුම් නොකා කියාපිය...”තානායම් රාජකාරියේදී හමුවන අනේකවිධ පෙම්වතුන් හට ඉතා ළෙන්ගතු සේවයක් සපයන වේටර්වරයා තම බිරියට මරු විකලෙන් ගුගුළේය. පස් වසරක ප්‍රේමයකින් විවාහ දිවියට පත් කඩවසම් ඔහුට තම බිරියගෙන් එසේ විමසන්නට සිදුවීම සැබෑ ඛේදවාචකයක් නොවේද?

“මොකෝ ඔරවන්නේ.. කියාපිය පාහර බැල්ලී... කවුද ඒ බයික්කාරයා...”

“චටාස්...”

“අම්මෝ... අතඇරපන් මිනිහෝ කොණ්ඩේ...”

“මෙන්න විශේෂ නිවේදනයක්...”

"අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන අනූදෙක පෙට්‍රල් ලීටරයක මිල රුපියල්...” බසයේ ගුවන්විදුලි හඬින් පියවි ලොවට පිවිසි වීරසිංහට “චැහ්...” කියැවුණේය.

“තාත්තේ... තව දුරද...?” පුත්‍රයා විමසන්නේ පිය පුතු දෙදෙනාම පිළිතුර නොදන්නා එකම පැනය නොවේද?

“එතකොට තාත්තේ... අපි හෙට උදේම අම්මත් එක්ක ආපහු ගෙදර එනවා නේද...?”

“අම්මා තරහ වුණේ තාත්තා අම්මාගෙ ෆෝන් එක බලෙන් උදුර ගනිපු නිසා නේද...?”

“කෝ තාත්තේ දැන් ඒ ෆෝන් එක...?” පුත්‍රයාගෙන් ප්‍රශ්න වැලකි. ඔහු උඩ සාක්කුවේ තිබූ බිරියගේ කුඩා දුරකතනය පුත්‍රයාට පෙන්වූයේය.

“ඔන් එකේද තියෙන්නෙ තාත්තේ...”

“නැතිව බෑනේ පුතේ.. අර කාලකණ්ණි හොර මිනිහා අම්මට කෝල් කරනවද බලන්න එපායැ.. හොඳවයින් දෙකක් අමතන්න...”

“දවසක්දා මමත් ඇහුවා කා එක්කද අම්මා ඔය හැටි කතා කරන්නෙ කියලා... එතකොට කීවා තාත්තට වගේ අම්මටත් යාළුවො ඉන්නවය කියලා..." වීරසිංහ දත්මිටි සැපුවේය. එසැණින් බස් රථයේ වේගය බාල විය.

“ඔය තේ බොන අය ටාර් ගාලා විනාඩි පහළවෙන් එන්න...” පළමුව පුත්‍රයා වැසිකිළිය දෙසට රැගෙන ගොස් කරාමයේ ජලයෙන් අතපය පිරිසිදු කළ වීරසිංහට අහම්බෙන් ඇස ගැසුණු කාන්තා වැසිකිළිය දැක ඒ අසල පුරුද්දට මෙන් නතර වූයේය.

එදා මෙදා තුර බිරියත් සමඟ ඇගේ ගමට යද්දී බස් රථය මෙහි නතර කළ සෑම විටෙකම බිරිය පැමිණෙන තුරු ඇගේ අත් බෑගයද අතින් එල්ලාගෙන වීරසිංහ මෙම කාන්තා වැසිකිළිය අසල හිටගෙන සිටි අතීතය සිහි වූ ඔහුගේ පපුව හෝස් ගා ඇවිළී ගියේය.

“ඇයි බලා ඉන්නේ... යමු තාත්තේ...” වීරසිංහ පියවි ලොවට ආවේය. තවත් හැරී බලන්නට දෙයක් නැත. බිරිය එහි නැත.

වීරසිංහ දරුවාට කිරි පැකට්ටුවක් සමඟ බනිස් ගෙඩි දෙකක් අරගෙන දුන්නේය. මෙතැන් පටන් තම පුත්‍රයාට කෑම බීම ලැබෙන්නේ බිරියගේ මහ ගෙදරින් නොවේද?

“රායිට් කොළඹින් අනුරාධපුර... ගුණසේකර නෝමල් එක ආපු අය නඟින්න... රායිට්.. යං.. තේ බොන්නෑ... අනුරාධපුර...” බසය නැවත ගමන් ඇරඹූ මොහොතේම වීරසිංහගේ දුරකතනය නාද වුණේය. බිරියගේත් තමාගේත් දුරකතන දෙකම එකම උඩ සාක්කුවේ රුවාගෙන සිටිනා වීරසිංහ තම දුරකතනයට හලෝ කීවේය. ඇමතුම බිරියගේ මවගෙනි.

“මොකෝ පුතේ ගෙදර නොම්බරේ කතා නැත්තේ... දුවයි මුනුපුරයි ගෙදර නැතෙයි...” වීරසිංහගේ ගත කිලිපොළා ගියේය.

“පිස්සුය..? මෙහේ ආපු දුවෙක් නෑ.. ඉතින් මොකෝ පුතාවත් හාංකවසියක් මට කෝල් නොකළේ කෙල්ල පිටත් වුණාය කියලා... ඔහෙත් මහ පුදුම බෑනා කෙනෙක් නෙව...” වීරසිංහට හීන් දාඩිය දැම්මේය. අම්මාගේ විමසීමට අනුව බිරිය ඇගේ මහ ගෙදරට ගොස් නැත. එසේනම් ඇය කොහි යන්නට ඇත්ද?

“ක්‍රීස් ක්‍රීස්...” එවර මොර දෙන්නේ වීරසිංහගේ කමිස සාක්කුවේ තිබෙනා තම විරසක බිරියගේ ජංගම දුරකතනයය.

“හලෝ... ඔය සජානි කුමාරි හාමිනේ නේද...?” වීරසිංහ අන්දමන්ද විය.

කෝපාවිෂ්ට අවඥා ස්වරයෙන් කුමාරි හාමිනේ යැයි සමච්චල් කරමින් තමාගේ බිරිය විමසනා මෙම කාන්තාව කවුරුන්ද?

“අඩෙ.. එහෙනම්.. මේ අපේ මහත්තයගෙ හොර ගෑනිගෙ හස්බන්ඩ්ද?.. කියලා වැඩක් නෑ... මම ඔහෙත් සොය සොයයි හිටියේ.. එහෙනම් අද ඔටෝම ඒ වැඩෙත් සිද්ධ වුණා...” පවනට බඳු වේගයෙන් ධාවනය වන බස් රථයේ බහුතරයක් මගීහු සුව නින්දේය. “මිස් කවුද?.. මට තේරෙන්නෙ නෑ...”

“හරියට හරි.. ඔහේට තේරෙන්නෙ නැති බව දැන් උතුරුමැද පළාතෙ පොලිසි කීපයක්ම දන්නවා... ඒක ඔහේ තේරුම් කරගන්න ලබන බදාදා උදේ දහයට අහවල් පොලිසියට ඔහේගෙ කුමාරිහාමිත් එක්කම එන්න..."

"මගේ නමයි මේ කතා කරන මගේ නම්බර් එකයි ඒ පොලිසියට දීලා සිද්ධිය ගැන සම්පූර්ණ විස්තරේ දැනගන්න..."

"කොන්ද පණ නැති තමුසෙ වගේ පිරිමි හින්දා තමුන්ගෙ ගෑනි විතරක් නෙමෙයි... අනුන්ගෙ ගෑනුත් අමාරුවෙ වැටෙනවා හලෝ..."

බීප්.. බීප්.. බීප්.. දුරකතනය විසන්ධි වී ගියේය. මගීන් සමඟම බස් රථය කරකැවෙන්නාක් මෙන් හිසට දැනුණු වීරසිංහ පුතු දෙස බැලුවේය. ඇමතුම දෙන්නට ඇත්තේ තම බිරියගේ අනියම් පෙම්වතාගේ බිරිඳය.

දැන් තමා කළ යුත්තේ කුමක්ද? අමනාප වූ තම බිරියද මවගේ නිවසට ගොස් නැත. ඇය කොහි යන්නට ඇත්ද? වීරසිංහ පඹගාලක පැටළුණේය. දුරකතන ඇමතුමෙන් පැවසූ පොලිසිය පිහිටා ඇත්තේ තමා බසයෙන් බහිනා ගමනාන්තයේ සිට තවත් කිලෝමීටර කිහිපයක් ඈතිනි. තමා පළමුව කළ යුත්තේ කුමක්ද? දරුවා නැන්දම්මාට බාර දීමද? නැතිනම් තම බිරියගේ හොර සැමියාගේ බිරියගේ ඇමතුමට අනුව සිද්ධිය විභාග වන පොලිසිය සොයා යාමද? වේටර් වීරසිංහ දෙවැනි අසීරු තීරණය තෝරා ගත්තේය.

තමා තුන් හිතකින්වත් නොසිතූ නොපැතූ ගැටලුවක් කරපින්නාගෙන සිය පුත්‍රයාගේද අතින් අල්ලාගත් වීරසිංහ කිසිදා පය නොතැබූ පොලිසියක ආලින්දයට ගොඩ වුණේය.

“ඔව්.. ඔව්.. අදාළ වසමෙ පොලිසියෙන් ඔහේගෙ ගෙදරට පොලිස් මැසේජ් එක යවලා තිබුණා.. ගෙදර දොර වහලා.. තාත්තයි පුතයි උදේම ගෙදරින් පිටත් වෙලා යනවා දැක්කය කියලා අවට ගෙවල්වල අය කියලා තිබුණා...”

“ඔව්.. පැමිණිල්ල විභාග කරන්නෙ ඔය කෝල් කරපු ගෑනු මනුස්සයා කියපු දිනේට ඒ වෙලාවට තමයි... එතකොට මේ දරු පැටියා ඔහේගෙද?"

"අම්මපා පුදුම ගෑනු නේ...?” පොලිස් නිලධාරියා නළලත රැලි නංවා ගත්තේය. වීරසිංහ කඳුළු සඟවා ගත්තේය. පුතු සමඟ නැන්දණියගේ නිවෙසට ගිය වීරසිංහ නැන්දණියගේ දහසකුත් එකක් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. පුංචි පුතු නින්දට වැටිණි.

එදා රෑ නැන්දණියගේ නිවෙසේ ගත කළ වීරසිංහ පසුවදා පුතු සමඟ පොලිසියට ගියේ පැවැත්වෙන විමර්ශනයට මුහුණ දීම සඳහාය.

පුදුමයකි... වීරසිංහගේ බිරියද අනියම් සැමියා සමඟ පොලිසියට පැමිණ සිටියාය. අනියම් සැමියාගේ බිරියගේ කෝපාවිෂ්ට හැසිරීම නතර කරගත්තේ පොලිස් කාන්තාවක විසිනි.

"මම මහත්තයත් එක්ක යනවා සර්..." බිරියගේ වචන වීරසිංහට ඇසෙන්නේ ගව් ගණනක් දුරින් ඇසෙන ලෙසය.

"අම්මේ... අපි ගෙදර යමු" යැයි කියාගෙන පුතු බිරියගේ ඇඟේ එල්ලෙනු වීරසිංහත් පොලිස් නිලධාරින් සහ සෙසු යුවළ බලා සිටියේ කම්පාවෙනි.

 

Comments