![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/01/18/1-8.jpg?itok=Qo6kIg-p)
- තලවාකැලේ පොලිසියේදී බිලිඳියට පොලිස් අම්මලාගේ උණුසුම
- දින 12කට පෙර ඉපදුණු දරුවෙක්
- දරුවාගේ හැඬීම මුලින්ම ඇසුණේ පවිත්‍රතා සේවකයකුට
අලුත විවාහපත් යුවළකගේ පරම අපේක්ෂාව දරු සම්පතය. එවන් යුවළකගේ පවුලකට එකතු වන පළමු දරුවා පමණක් නොව ඉන් අනතුරුව සිදුවන සියලු දරු උපත්වලදී ඉමහත් ආදරයකින් එම දරුවන් හදා වඩා ගන්නේ ඔවුනට ලැබුණු 'සම්පතක්' ලෙසය. මව්පියන් තම දරුවනට දක්වන ආදරය කියා නිම කළ නොහැක්කේ ඒ නිසාය. තත්ත්වය එසේ වුවත් ඉපදුණු හැටියේ දරුවන් බොහෝදෙනෙකු පසුගිය කාලය පුරා විවිධ ස්ථානවල දමා යාමේ සිද්ධි දිගින් දිගටම වාර්තා විය. කසළ බඳුන්වල, බස් නැවතුම්පොළ, කඩ වීදිවල පාළු ස්ථාන ආදි මෙකී නොකී බොහෝ ස්ථානවල මල් කැකුළු වැනි බිලිඳුන් අතහැරදමා ගිය අවස්ථා මාධ්‍යවලින් වාර්තා කර තිබිණ.
එවන් අවස්ථාවලදී සොයා ගත් බොහෝ දරුවන් නිරුපද්‍රිත වූ අතර, අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගිය දරුවන්ද හමුවූ අවස්ථා නැතිවාම නොවේ.
කෙසේ වෙතත් මෙලෙස සොයා ගත් දරුවන්ගේ මාපියන් නීතියෙන් විවාහ නොවීම, අනාරක්ෂත ලිංගික ඇසුරක් නිසා හෝ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් වීම, බාල වයස්කාරියන් සහ ජීවත් කරවීමට නොහැකි නිසා දරුවා දමා පලා ගිය අයකු මේ අතර සිටින බව පොලිස් පරීක්ෂණවලින් පසුව අනාවරණය වී තිබීමද සුවිශේෂීය.
මෙසේ සොයා ගත් දරුවන් බොහෝදෙනෙකුට සිය ජීවිතයේ හුස්ම පොද ශක්තිමක් කර ගැනීමට කිරි මව්වරුන් වූයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ය. එවැනිම සිද්ධියක් ඉකුත් 09 වන දා උදෑසන නුවරඑළිය පොලිස් කොට්ඨාසයට අයත් තලවාකැලේ පොලිස් වසමෙන් වාර්තා විය.
මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට මෙම දිනවල පවතිනුයේ දැඩි ශීත දේශගුණික තත්ත්වයකි. එම ශීත බවද නොතකමින් අලුයම් කාලයේම නගරය පවිත්‍ර කිරීමේ රාජකාරි කටයුතුවල නිරත වීම සඳහා පැමිණි තලවාකැලේ නගර සභාවේ සේවකයෙකුට දැකගත හැකි වූයේ අදහාගත නොහැකි දෙයකි.
එම සේවකයා තලවාකැලේ හින්දු කෝවිල ආසන්නයේ මාර්ගය අතුගාගෙන ඉදිරියට යමින් සිටියදී නවතා තිබු ත්‍රිරෝද රථයකින් දරුවෙක් හඬන හඬක් ඔහුට ඇසිණි.
නොනවත්වාම ඇසෙන හැඬුම් හඬ නිසා ත්‍රිරෝද රථය වෙත එබි බැලීමේදී එහි අසුන මත තබා සිටි බිලිඳිය දිගින් දිගටම හඬමින් සිටිනු සේවකයාට දැක ගත හැකි විය. ඒ සමඟම ඔහුගේ කැඳවීමට අනුව එහි ආ සගයන්ද සමඟ එක්ව පොලිසිය දැනුවත් කිරීමට ඔහු පියවර ගත්තේය.
එදින සඳුදා දිනයකි. ඒ මොහොතේ පෙරදා රාත්‍රියේ සිට තලවාකැලේ පොලිසියේ රාජකාරියේ යෙදී සිටි සැරයන් (30355) ලියනාරච්චි ඇතුළු නිලධාරීන් කීපදෙනෙක් වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී ඔවුන්ට ද දැකගත හැකි වූයේ අලුත උපන් දරුවකු ත්‍රිරෝද රථයේ අසුන මත තබා තිබෙන ආකාරයකි. ඔවුන් හැකි ඉක්මනින්ම දරුවා පොලිස් ස්ථානය වෙත රැගෙන එන ලදී.
එම බිලිඳියට කාන්තා පොලිස් නිලධාරිනියක් විසින් මව්කිරි පොවා කුසගිනි නිවීමෙන් පසු උණුසුම් ඇඳුමක් ද අන්දවා ලිඳුල රජයේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට ද පියවර ගන්නා ලදී. එහිදී බිලිඳිය පරික්ෂා කළ එම රෝහලේ වෛද්‍යවරයා පැවසුවේ එම බිලිඳිය දින දොළහකට පමණ ප්‍රථම උපත ලබා ඇති බවය.
දරුවා එම රෝහලෙන් නුවරඑළිය රජයේ මූලික රෝහල වෙත මාරු කර යැවිණි. නමුත් තවමත් අයිතිකරුවකු ඉදිරිපත් වී නොමැත.
දරුවා තබා ගොස් තිබුණ ත්‍රිරෝද රථය එම ස්ථානයට පහතින් ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගේය. ඔහු රාත්‍රි කාලයේ රථය එම ස්ථානයේ නවතා තබයි. අවට වෙළෙඳ සැල්වල කැමරාවල දර්ශනද පිරික්සමින් පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. එහිදී දැක ගත හැකි වූයේ වාහනයක් එම ස්ථානයේ නවතා නැවත ගමන් කරන අයුරු පමණි.
නමුත් අංක තහඩු කිසිවක් පැහැදිලිව හඳුනාගත නොහැකිය. එනමුත් පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරමින් තිබෙන අතර සියලුම තොරතුරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමට තලවාකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
චන්දන ජයවීර - හැටන්