නවගමුවෙන් ඇල්ලූ ගාමන්ට් හොරා සොරකම් සියයක් කරලා | සිළුමිණ

නවගමුවෙන් ඇල්ලූ ගාමන්ට් හොරා සොරකම් සියයක් කරලා

පොලිසිය අත්අඩංගුවට ගත් දේපළ පරික්ෂා කරන අයුරු

- නවගමුවේ ඇඟලුම්හල් දෙකක් බිඳලා
- ඇඟලුම් කම්හල්වලට ඇතුළු වන්නේ සේවකයෙක් වගේ

“මං ගිය ගාමන්ට්වල සේප්පුවෙ යතුර ලාච්චුවෙ දාලයි තිබුණෙ. ලාච්චුව කවදාවත් ලොක් කරල නෑ. ඒක හින්ද මට ලේසියෙන් සේප්පුව ඇරගන්න පුළුවන් වුණා. ඒක මට උදව්වක්නෙ. ඒ හින්ද ඔයාල තමයි හොඳටම කළේ කියල මං කොළේක ලිව්වා. මං ආපහු එනකොට සිකුරිටිල හොඳටම නිදි. මං අතින් තට්ටුවක් දාල එයාලව කුද්දනකොට හා හා මහත්තය පරිස්සමෙන් ගිහින් එන්න කියල ආපහු නිදා ගන්නවා. ඉතින් මට කරදරයක් නැතුව එළියට පැනගන්න පුළුවන් වුණා. ඒ හින්ද මං අරයත් එහෙමම කරනවා කියලත් ලියල තියල ආවා. මං ගේම දෙන්නෙ ගාමන්ට්වලට විතරයි. ගෙවල්වලටවත් කඩවලටවත් බහින්න කවදාවත් හිතන්නෙ නෑ. මොකද ඒ මිනිස්සු දුප්පත්. ගාමන්ට් එහෙම නෙමෙයි. ඒව සුද්දන්ගෙ. සුද්දන්ට සල්ලි තියෙනවා. ඒව කැඩුවට ලංකාවට පාඩුවක් නෑ. මං හිරේ ගිහින් ආවට පස්සෙත් කරන්නෙ ගාමන්ට් කඩන එකම තමයි. මට මේ සමාජෙන් සමාවක් දෙන්නෙ නෑ. මං ලංකාවෙ කොහේ ගියත් මුණ ගැහෙන්නෙ හිරේදි මුණ ගැහුණ යාළුවොම තමයි. දැං මාව හොරෙක් කියල හංවඩු ගහල ඉවරයිනෙ. ඉතිං මං දිගටම හොරකං කරනවා...“

නවගමුව පොලිස් බල ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබුණු මෙම කතාව අමුතුම තාලේ හොරෙකු පිළිබඳවය. මොහුගේ ගම වලස්මුල්ල වුවත් ජීවිතය ගෙවෙන්නේ තැන තැන බෝඩිං කාමරවලය. පියා නොමැති පවුලේ හයදෙනෙකුගෙන් යුතු සාමාජිකයන්ගෙන් හතරවැනියා ලෙස මිට වසර විසි අටකට පෙර උපත ලද මෙම පුද්ගලයා කුඩා කාලයේ සිටම නිල් චිත්‍රපට බැලීමට දැක්වුයේ දැඩි කැමැත්තක් බැවින් 11 ශ්‍රේණියෙන් පසුව පාසලෙන් එළියට විසි වී ගියේ විදුහල්පතිවරයාට එය හසු වීම නිසාය. 

ඉන් පසුව කොළඹට පැමිණෙන මොහු කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවක් සොයා ගත් අතර අයිස් මත්ද්‍රව්‍ය පානයටද යොමු වූයේ මිතුරන් ඇසුර නිසාය. මේ නිසා වැඩිපුර මුදල් සෙවීමට පෙලඹෙන මොහු එම කර්මාන්ත ශාලාවේ කාර්යාල කාමරය බිඳ ලැප්ටොප් පරිගණකය මුදල් සොරා ගන්නේ සොරකම් පිළිබඳව හාපුරා කියා අත් පොත් තබමින්ය.

ඉන් පසුව රැකියාව අහිමි කරන්නා මේ තරුණයා දිගටම කරන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ඇතුළු වී කාර්යාලයේ ඇති මුදල් සහ ලැප්ටොප් පරිගණක සොරකම් කිරීමය. මේ සඳහාද ඔහු අනුගමනය කරන්නේ අපූරු ක්‍රමයකි. ඒ උදෑසන සේවකයෙකු රැකියාවට එන ලෙස පැමිණීමය. ඉන්පසු ඇතුළේ සෑම තැනම ඇවිද කාර්යාලය සහ පහසුවෙන් ඒවාට ඇතුළු විය හැකි ස්ථාන මෙන්ම පලා යාමට සුදුසු ආකාරය පිළිබඳවද අවබෝධයක් ලබා ගන්නේ කිසිවෙකුටත් සැක නොසිතෙන ලෙස හැසිරෙමිනි. රෙදි ගොඩක් අතරට රිංගා සැඟවී නිදා ගන්නා මොහු අවදි වෙන්නේ සියල්ලන් වැඩ නිමවා පිටත්ව ගිය පසුවය. කාර්යාලයේ ප්‍රධානියාගේ පුටුවේ වාඩි වී සුව පහසුව සිටිමින් ඔයාල තමයි හොඳටම කළේ යනුවෙන් කොළ කැබැල්ලක ලියා තබන්නේ හොරකම සිදු කළ පසුව සතුට වැඩිකමටය. අරයත් එහෙමම කරනවා වැනි ඔහු ලියා තබන සටහන් නිසා කාර්යාලය තුළ නොයෙක් මතභේද මෙන්ම හිත් අමනාපකම්ද ඇති වීම නොවැළැක්විය හැකි වූයේ මෙය සිදු කරන්නේ කවුරුන්දැයි සිතා ගත නොහැකිව ඔවුන් එකිනෙකා දෙස මෙම කතාව මුල්කරගෙන වපර ඇසින් බැලීමට පුරුදු වූ නිසාය.

අවසානයේ නවගමුව ප්‍රදේශයට මොහු එන්නේ රටපුරා කරක් ගැසීමෙන් අනතුරුවය. මව විදේශගතව සිටින බවත් ඔහු සතු ටැබ්, ජංගම දුරකතන හා ලැප්ටොප් පරිගණක මව විසින් එවන ඒවා බවත් බෝඩිම් හිමිකාරියට පවසන මෙම තරුණයා ඊළඟට හැරෙන්නේ බෝඩිමේ සිට මිටර් 200 ක් පමණ දුරින් ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාව දෙසටය.

කල් යල් බලා සුදානම් වු මොහු සවස 4.45 ට පමණ කර්මාන්ත ශාලාවේ පිටුපස තාප්පයෙන් ඇතුළට පැන ඉදිරිපස ප්‍රධාන දොරෙන් කෙළින්ම ඇතුළට යන්නේ ජංගම දුරකතනය කනේ ගසාගෙන හුරුපුරුදු සේවකයෙකු පරිද්දෙනි. අටසියයක පමණ පිරිසක් සේවය කරන මෙම කර්මාන්ත ශාලාවේ පිරිස හවස 6 .00 ට සේවය නිම කර පිටව යන අතර හය හත් දෙනෙකු සේවය කරන්නේ රෑ 10 .00 වන තුරුය. මොහු කරන්නේ නිදහසේ ඇතුළේ ඇවිදිමින් තොරතුරු සොයා ගැනීමය. මේ අතර ගංජා හා දුම්වැටි ඉරීමද සිදු කරන මෙම පුද්ගලයා රෑ වෙන තුරු රෙදි ගොඩක් අස්සේ නිදා ගන්නේ කුරුමානමට වෙලාව එළඹෙනතුරුය. රාත්‍රි 12.00 ට පමණ ගොඩනැගිල්ලේ එක් කෙළවරකට වෙන්නට ඇති කාර්යාල කාමරයට මොහු ඇතුළු වෙන්නේ සිවිලිම කඩාගෙන ඇතුළට බැසීමෙනි. ලොක් කර තිබු සේප්පුවත් ඊට පහළ තිබු මුදල් සහිත ලාච්චුවත් විවර කර ගැනීමට යතුර තබා තිබුණේ ඊට පහළ ඇති ලාච්චුව තුළය. එහි තිබු 7 ලක්ෂ 70 දාහක මුදලත් රන් මාලයත් සතු කරගන්නා මොහු ලැප්ටොප් පරිගණකයද ගෙන කර්මාන්ත ශාලාවේ තිබු බෑගයකට දමාගෙන බෝඩිමට යන්නේ අලුයම හතරට පමණය.

නවගමුව පොලිස් වසමේ වඳුරමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් බිඳ ඇති බවට පැමිණිලි ලැබුණේ ද මේ අතරය. නවගමුව පොලිස් ස්ථානාධිපති රුවින් ලක්ෂ්මන්ද සිල්වා මෙම පැමිණිල්ල ගැන සොයා බැලීමට පැවරුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වසන්ත අලහකෝන් වෙතය.

සැරයන් 33409 අලහකෝන්, කොස්තාපල්වරුන් වන 85242 බණ්ඩාර, 93827 බණ්ඩාර, 31612 ආරියරත්න, 97108 වික්‍රමසිංහ, 87554 සෝලංගආරච්චි යන නිලධාරින් සමඟ උප පොලිස් පරික්ෂකවරයා විමර්ශන ආරම්භ කළේ සැකකරු කොටු කර ගැනීමේ මෙහෙයුම දියත් කිරීම සඳහාය.

සී.සී.ටි.වී. පරීක්ෂා කිරීමේදී මෙම සොරකම සිදු කරන ආකාරය දර්ශනය කර ගැනීමට හැකි වූ අතර ඔහු සිටින බෝඩිං කාමර පේළියට පොලිසිය යන්නේ ඒ අනුවය. එම අවස්ථාවේ ඔහු එහි නොසිටි අතර කර්මාන්ත ශාලාවට අයත් පරිගණකය බහාලු කවරය මෙන්ම ඔහු එම අවස්ථාවේ පැලඳ සිටි පාවහන් යුවළද කාමරයේ තිබුණේ ඒ ඔහුම බවට සනාථ කරමිනි.

මේ අතර නවගමුව පොලිසිය ආසන්නයේ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක කාමර පහක් බිඳ ලැප්ටොප් පරිගණකයක් සහ ටැබ් එකක් සොරකම් කරගෙන පනින්නේ ද පෙර පරිදිමය. පොලිසියට තොරතුරක් ලැබෙන්නේ හංවැල්ල- කඩුවෙල බස් රථයට මොහු රනාල ප්‍රදේශයෙන් ගොඩ වූ බවය. ඔහු ඒ වන විට සිට ඇත්තේ රනාල ප්‍රදේශයේ බෝඩිං කාමරයකය. පොලිසිය බස් රථය නතර කර මොහු අත්අඩංගුවට ගත්තේ තවත් කර්මාන්ත ශාලාවක් බිඳිමට යන අතරතුරය. එසේ අත්අඩංගුවට පත් වන මොහොතේ ඔහු සන්තකයේ තිබුණේ රුපියල් අසූවක් පමණය.

රටපුරා මෙවැනි සොරකම් සීයක් පමණ සිදු කර ඇති මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස අපරාධ ලේඛනාගාරයේ ලේඛනගතව ඇත්තේ කොල්ලුපිටියේ ආයතනයක සේප්පුවක් බිඳ රුපියල් ලක්ෂ තිස් පහක් සොරා ගැනීමත් සමඟය. පොලිසිය පවසන්නේ ඔහු දිනකට අයිස් ග්රෑම් හතරක් හෝ පහක් පානය කරන බවත් ඒ සඳහා රුපියල් පනස් දාහක් පමණ වන මුදල සෙවීමට මෙලෙස සොරකම් සිදු කරන බවය. සොරකමට ගොස් සිටියදි කර්මාන්ත ශාලාව තුළම තැන තැන සුළු දිය පහ කරන මොහු පවසන්නේ ඒ සඳහා වැසිකිළි සොයමින් යාම අපහසු නිසා එලෙස කරන බවය.

කඩුවෙල, කඩවත සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයන්ට විකුණා තිබියදී ටැබ් තුනක් ලැප්ටොප් දහයක් සහ ජංගම දුරකතනයක් සොයා ගැනීමට හැකි වූ අතර රන් ගුලියක්ද සොයා ගැනීමට හැකි වී තිබුණේ ඔහුගේ ප්‍රකාශ මතය.

Comments