
සැකකරු කතුන් දෙදෙනෙක් සමඟ දිවි ගෙවලා
කටුනායක ඇවරිවත්තේදී සැකපිට අත්අඩංගුවට
එස්. දීයගහගේ - දකුණු පළාත් සංචාරක
ගාල්ල දඩල්ලේ සම්භාහන මධ්‍යස්ථානයක කළමනාකරුවකු ලෙස රැකියාවට පැමිණි පුද්ගලයකු ඊට පසු දිනම එහි අයිතිකරුගේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් අබරණ සහ මුදල් සොරකම් කර පලා ගොස් සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී. මේ කතාව පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේය.
බළංගොඩ, පින්නවල පදිංචිකරුවෙකු වූ 'මිගාර' අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසුව උසස් පෙළ අධ්‍යාපනය නොලබා පාසල් දිවියෙන් සමු ගත්තේ පවුලේ අගහිඟකම් නිසාය. හය දෙනකුගෙන් යුත් පවුලේ මිගාර බාලම ළමයා විය.
මිගාරගේ පියා පෙදරේරුවෙකු වු අතර ඔහු උපයන ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීය. එම නිසා කුමන හෝ රැකියාවක් කිරීමට මිගාර තීරණය කළේය. ඒ අනුව කටුනායක වෙළෙඳ කලාපයේ වැඩ බිමක කම්කරු රැකියාවක් සොයා ගැනීමට මිගාරට හැකි විය. රැකියාවට පැමිණීම සඳහා මිගාර වැඩ බිම ආසන්නයෙන් නවාතැනක්ද සොයා ගත්තේය.
ඔහු එහි ටික දිනක් රැකියාව කරමින් සිටින විට වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක රැකියාව කරන තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේය. මාස කීපයක් එම තරුණිය ඇසුරු කළ මිගාර පසුව ඇය සමඟ විවාහ විය. මිගාර විවාහ වන විට ඔහුගේ වයස අවුරුදු 19 ක් වු අතර බිරියගේ වයස අවුරුදු 29 ක් විය.
විවාහයෙන් පසුව මිගාර නිෙවසක් කුලියට ගෙන බිරිය සමඟ එහි පදිංචි වුයේය. කාලය මෙසේ ගෙවී යන විට විවාහයෙන් වසරකට පමණ පසුව මිගාරගේ බිරිය පළමු දරුවා ප්‍රසුත කළාය. මේ අතර මිගාර බිරියට මෙසේ කීය.
“දරුවා ලැබුණට පස්සෙ ඔයා දරුවා එක්ක මහ ගෙදර නවතින්න. මම විතරක් රස්සාව කරන්නම්. මගේ පඩියෙන් අපට ජීවන්වෙන්න පුළුවන්.“ මිගාරගේ මේ යෝජනාවට බිරිය විරුද්ධ වූයේ නැත. ඒ අනුව දරුවා ප්‍රසුත කිරීමට ගමේ ගිය මිගාරගේ බිරිය දරුවා ප්‍රසුත කළ පසු මහ ගෙදරම නතර වුවාය. මසකට වරක් මිගාර ගමේ ගොස් බිරිය සහ දරුවාගේ දුක සැප බලා ආපසු රැකියාවට පැමිණියේය.
මේ අතර මිගාරගේ බිරිය දෙවන දරුවාද ප්‍රසුත කළාය. පුරුදු පරිදි මිගාර මසකට වරක් ගමේ ගොස් බිරිය සහ දරුවන් දෙදෙනා බලා නැවත රැකියාවට ගියේය. කාලය මෙසේ ගෙවී යන විට බිරියගේ වයස පිළිබඳ මිගාරට කලකිරීමක් ඇති විය. “මට වඩා මේ ගෑනි අවුරුදු දහයකින් වැඩිමල්... ඒ නිසා මම මේ ගෑනි අතහරිනවා“ මිගාර නිතරම එලෙස සිතුවේය.
නිතරම බිරියගේ වයස පිළිබඳ කල්පනා කළ මිගාර පසුව බිරිය සහ දරු දෙදෙනා අතහැර දැමීය. මේ අතර පන්නිපිටියේ සම්භාහන මධ්‍යස්ථානයක රැකියාවට යන තරුණියක් සමඟ මිගාර ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේය.
මාස කීපයක් එම තරුණිය ඇසුරු කළ මිගාර පසුව ඇය තම අනියම් බිරිය කර ගත්තේය. ඉන් අනතුරුව නිෙවසක් කුලියට ගත් ඔහු අනියම් බිරිය සමඟ එහි නතර විය. මේ අතර තමා නීත්‍යනුකූලව විවාහ කරගන්නා ලෙස ඉල්ලා අනියම් බිරිය නිතරම මිගාරට කරදර කළාය.
එහෙත් පළමු විවාහයෙන් නීත්‍යනුකූලව වෙන් නොවී තවත් විවාහයක් කර ගත නොහැකි නිසා මිගාර ඇයට කුමන හෝ බොරුවක් කියා මග හැරියේය.
මේ අතර ගාල්ල දඩල්ලේ සම්භාහන මධ්‍යස්ථානයකට කළමනාකරුවෙකු අවශ්‍ය බවට පසුගිය සැප්තැම්බර් මාසයේ මුල් සතියේ ඉරිදා පුවත් පතක දැන්වීමක් පළවී තිබුණි. මෙම දැන්වීම දුටු මිගාර එම තනතුරට ඉල්ලුම් කළේය. පසුව මිගාර ගාල්ල දඩල්ලට පැමිණි සම්භාහන මධ්‍යස්ථානයේ අයිතිකරු හමුවූ විට මිගාර එහි කළමනාකරු ලෙස බඳවා ගැනීමට අයිතිකරු තීරණය කළේය.
මේ සම්භාහන මධ්‍යස්ථානයේ එක් කොටසක සම්භාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන යන අතර එහි අනිත් කොටසේ සම්භාහන මධ්‍යස්ථානයේ අයිතිකරු ඔහුගේ බිරිය සහ දරු දෙදෙනා පදිංචිව සිටියහ.
මේ අතර මිගාර මේ මධ්‍යස්ථානයේ කළමනාකරු ලෙස පත් වූ දිනට පසු දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවේ නේවාසික රෝගීන්ට උදේ ආහාරය පිරිනැමීම මෙම සම්භාහන මධ්‍යස්ථානයේ අයිතිකරුට පැවරී තිබුණි. ඒ අනුව මිගාර රැකියාවට පැමිණි දිනට පසු දින උදේ සම්භාහන මධ්‍යස්ථානයේ අයිතිකරු සහ පවුලේ සාමාජිකයන් ඇතුළු තවත් කීප දෙනෙක් පිළිකා රෝගීන්ට උදේ ආහාර පිරිනැමීමට පිටත්ව යෑමට සුදානම් වූහ. සම්භාහන මධ්‍යස්ථානයේ අයිතිකරු ඇතුළු පිරිස පිටව ගිය පසු මිගාරගේ සිතට කිසියම් අදහසක් පහළ විය.
ඔහු අයිතිකරු පදිංචිව සිටින කොටසට ඇතුළුවී එහි එක් කාමරයකට ගියේය. එහි තිබූ අල්මාරිය අවුස්සද්දී රන් වළලු රාශියක් රන් මුද්දක් සහ මුදල් තොගයක්ද මිගාරට දැක ගන්නට ලැබුණි. මිගාර සියලුම රන් අබරණ සහ මුදල් තොගයද කලිසමේ සාක්කුවල දමා ගෙන වහාම කාමරයෙන් පිටතට පැමිණ සම්භාහන මධ්‍යස්ථානය වෙත ගියේය. මොහොතක් හෝ පමා නොවු මිගාර වහාම සම්භාහන මධ්‍යස්ථානයෙන් පිටව ගියේය. අනතුරුව ඔහු අධිවේගී මාර්ගයේ ඔස්සේ කටුනායකට පැමිණියේය. පසුව කටුනායකට ගොස් අැවරියවත්තේ පිහිටි නවාතැනට ළඟා විය. මේ අතර කරාපිටිය රෝහලට ගිය සම්භාහන මධ්‍යස්ථානයේ අයිතිකරු ඇතුළු පිරිස උදේ දහයට පමණ ආපසු පැමිණියේය. මිගාර පෙනෙන්නට නොවීය.
“කෝ මිගාර මහත්තයා...“ හිමිකරු සේවිකාවන්ගෙන් විමසීය.
මිගාර පිළිබඳ තවදුරටත් සොයා බැලු සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකරු පසුව ඔවුන්ගේ නිෙවස දෙසට ගියේය. එවිට ඔවුන්ගේ කාමරය විවෘත කර දමා ඇති අයුරු ඔහු දුරදීම දුටුවේය. වහාම අයිතිකරු කාමරයට ඇතුළුවී බලන විට අල්මාරියක් විවෘත කර ඇති බව දැක ගන්නට ලැබුණි. සිදුවී ඇති දෙය ඔහුට තේරුම් ගියේය. දේපළ සොරකම් කරගෙන මිගාර පලා ගොස් ඇති බව ඔහුට අවබෝධ විය.
ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එස්. එල්. නාරංගොඩගේ මෙහෙයවීම මත සැරයන් අමිල (38877) කොස්තාපල්වරුන් වන ජීවන් (71351), අරුණ (73009) සහ ගීතප්‍රිය (78828) යන නිලධාරින් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළහ. ඒ අනුව පොලිස් කණ්ඩායම කටුනායක ප්‍රදේශය බලා ගොස් දින පහක් එම ප්‍රදේශයේ විමර්ශන සිදුකොට කටුනායක ඇවරියවත්තේදී මිගාර අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වූ තොරතුරු අනුව ඇවරියවත්තේ රන් අබරණ වෙළෙඳ සැලකට උකස් කර තිබූ රන් අබරණද සොයා ගැනීමට පොලිසියට හැකි විය. අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
මිගාර යන නම පමණක් මනංකල්පිතයි