ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමි සාමාජිකයකු මෙන්ම එහි හිටපු ප්‍රධාන ලේකම්වරයකුද වූ ආචාර්ය ලයනල් බෝපගේගේ දේශපාලන අත්දැකීම් ඇසුරෙන් රචිත ‘Rebellion, Repression and the Struggle for Justice in Sri Lanka: The Lionel Bopage Story’ කෘතිය උපාලි රත්නායක විසින් ‘ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ’ නමින් සිංහලයට නඟන ලදුව, සැප්තැම්බර් 03 වැනිදා සවස 2.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ. මේ ලිපිය ඒ නිමිති කරගෙන, ශ්‍රී ලාංකේය දේශපාලනයේ ගමන්මඟ විමසමින්, ආචාර්ය ලයනල් බෝපගේ සමඟ ‘සිළුමිණ’ කළ සංවාදයක සටහනකි.
නිදහසින් පසු ලංකාව ආ ගමන් මඟ ඔබ දකින්නේ කොහොමද?
හතළිස් අටේ සිට අවුරුදු හැත්තෑ එකක් පසු කර‘විත් අද සිටින තැන බැලුවොත්: අපි දැන් ඇෆ්ගනිස්ථානයට වඩා එක් පියවරකින් පමණයි ඉදිරියෙන් ඉන්නේ. ඒත් ඒ තත්ත්වයට රට පත් වන්න හේතුව ගැන රටේ ජනතාවට පැහැදිලි අදහසක් නෑ. එනිසා පළමුවම ජනතාව සබුද්ධිකයන් බවට පත් කර, මේ ප්‍රශ්න දෙස විද්‍යාත්මකව බලා ඒවාට විසඳුම් සෙවීමට යොමු කර, එය සිවිල් බලවේගයක් බවට පත් කරවීමේ අවශ්‍යතාව තිබෙනවා. එසේ ගොඩනඟනු ලබන සිවිල් ජන බලයකින් පමණයි මේ රටේ වෙනසක් ඇති කරන්න පුළුවන්.
සිවිල් ජනතාව දේශපාලනයට මැදිහත් වන්නේ ඡන්දයේදී පමණයි කියලා තමයි පෙනෙන්න තිබෙන්නේ...
සිවිල් ජනතාව බොහෝ වෙලාවට කරන්නේ ඡන්දය භාවිත කරලා නිවෙසට වෙලා ඉන්න-එක. දේශපාලනඥයන්ගේ පැත්තෙන් බලතොත්: ඔවුන් ඡන්ද සමයේ ජනතාවට දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ට කරන්නේ නෑ; ටික දවසක් ඒ පොරොන්දු ගැන කතා කරමින් සිට ඒවා ලාච්චුවට දානවා. මිනිසුන්ගේ පැත්තෙන් ඉදිරියටැවිත් පොරොන්දු ඉටු කරන්න කියලා බල කරනවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වනවා. ලෝකයේත් ඒ සඳහා උදාහරණ තිබෙනවා. මෑතකදී සුඩානයේ ජනතාව පෙළපාළි ගිහින් තම ජනාධිපතිවරයා වෙනස් කළා. ඒ සිදුවීම් සීයට සීයක් හරි කියන-එක නෙවෙයි මම කියන්නේ, ජනතාවගේම ආණ්ඩුවක් පත් කරගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ක්‍රමය. එතෙක් සිවිල් ජනතාව සක්‍රිය ලෙස මැදිහත් වෙලා ආණ්ඩුවට බලපෑම් කළ යුතු වෙනවා. ඒ විදිහට තමයි රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන් වන්නේ.
ජනවර්ගවල සාමූහිකත්වය පිළිබඳ හැඟීමක් ජනතාව අතර තවම ඇතිව නැති බව බොහෝ සිදුවීම්වලින් දැනෙන කාරණයක්...
මා එදා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වන්නේත් ඔය ප්‍රශ්නය නිසායි. මේ ප්රශ්නයේදී විදෙස් රටවල ඉන්න මේ රටේ ජනතාවගේ බලපෑම අපේ රටට ගොඩක් තිබෙනවා.
ජනවර්ග අතර සුහදත්වය ගොඩනැංවීම සඳහා මෙරට නායකයන් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද?
ඉන්දියාවට 1947දී නිදහස ලැබෙනවා. අපට 1948 වසරේදී නිදහස ලබනවා. ඉන්දීය ඉතිහාසයේ ගාන්ධි, නේරු, සුභාෂ් චන්ද්‍රබෝෂ් වැනි දේශපාලන නායකයන්ට දැක්මක් තිබුණා. ඔවුන් ඉන්දීය ජාතිකයන් සමස්තයක් ලෙස, එක ජාතියක් ලෙස ගොඩනැංවීම සඳහා කටයුතු කළා. ආගම්, කුල ආදි එකිනෙකට වෙනස්කම් රාශියක් තිබුණු ඉන්දියාවේ ඒවා එකක් වත් මතු කරන්නේ නැතුව, සමස්ත ඉන්දීය ජාතිය ගොඩනඟන්න උත්සාහ කළා. අද වන තුරු ඉන්දීය ජාතිය කියන හැඟීම එරට ජනතාවගේ හිත්වල ගොඩනැඟී තිබෙනවා. පිටරට ඉන්න ඉන්දීය ජාතිකයකුගෙන් ඔබ කවුරුද කියලා ඇහුවොත් ඔහු මුලින්ම කියන්නේ මම ඉන්දීයයෙක් කියලා. එ්ත් නිදහසින් පසු අපේ රටේ පාලක පන්තිය මොන අන්දමටද කටයුතු කළේ කියන ප්‍රශ්නය මතු වනවා.
ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් සෑහීමට පත් වන්න පුළුවන්ද?
ඉන්දියාවේ භාෂා ප්‍රශ්නය ඔවුන් ඉතා හොඳින් විසඳුවා. ඉන්දියාව ඉංග්‍රීසි භාෂා භාවිතය හොඳින් සිදු වනවා. එහේ රාජ්‍ය භාෂාව හින්දී. ඉන්දියාව තමන්ගේ ජනතාවට ප්‍රාන්ත භාෂාවත් එක්ක භාෂා තුනක් භාවිතයට හුරු කළා. එය ඉතා විශාල දක්ෂතාවක්. එහෙත් අපේ රට ඊට සම්පූර්ණයෙන්ම පටහැණි ක්‍රියාමාර්ගයක් තමයි අනුගමනය කළේ. අපේ රටේ බලයට පත් වුණු පාලක පැලැන්තියට තිබුණු එකම වුවමනාව වුණේ ඔවුන්ගේ වරප්‍රදාස ආරක්ෂා කරගැනීමයි. අවුරුදු 71ක ඉතිහාසය දිහා බලන විට බලයට පත්වූ සේනානායක ආණ්ඩුව, බණ්ඩාරනායක ආණ්ඩුව වගේම ඉන් පස්සේ බිහි වුණු ආණ්ඩු ක්‍රියා කළේ රටේ ජනකොටස් බෙදීමට මිසක් එක්සත් කිරීමට නොවෙයි. අපේ රටේ මුලින් කළේ හින්දු, මුස්ලිම්, සිංහල, කතෝලික, බෞද්ධ යනාදි වශයෙන් පාසල් වෙන් කිරීමයි. ඒ ශිෂ්‍යයන් මිශ්‍ර වෙලා අන්‍යොන්‍ය අවබෝධය ඇති කරගැනීමේ අවස්ථාව එයින් අහිමි කළා. පාසල්වලට පමණක් නොවෙයි, හැම ක්ෂේත්රයකටම ඒ තත්ත්වය පොදුයි.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ඔබ දකින්නේ මොන ආකාරයටද?
යටත්විජිත පාලන සමයේ පාලක පන්තියට සේවය කළ පිරිසකගේ හැර සිංහල, දෙමළ, මුස්ලිම් හැම කොටසකම අයිතිවාසිකම් දෙන්නේ නැතුව ඒවා පාගලා දැම්මා. 56දී සිදු වන්නේ පෑගීමට ලක් වූ අය අතුරින් සිංහල ජන කොටසේ භාෂාව පමණක් ඉදිරියට ගැනීමයි. දෙමළ ජනතාව වැඩිපුර ඉන්න ප්‍රදේශවල ඔවුන්ගේ භාෂාවෙන් කටයුතු කරන්න අයිතිය නොදී සිටීම ඒ ජනතාව දකින්නේ සිංහල පීඩනයක් ලෙසයි. පසුකාලීනව දෙමළ බසත් රාජ්‍ය භාෂාවක් බවට පත් කළත්, අදත් දෙමළ වැසියකු දෙමළෙන් ලිපියක් යැව්වොත් පිළිතුර ලැබෙන්නේ සිංහලෙන්! රැස්වීමක් පැවැත්වීමෙන්, දෙමළ ජනතාවගෙන් පිරිසක් කොළඹට ගෙන ඒමෙන්, නැති නම් සිංහල ජනතාවගෙන් ටිකක් උතුරට යැවීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙන් තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්.
මේ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් හෝ දේශපාලන පරිසරයක් ගොඩනැඟී තිබෙනවාද?
ඒක හරි අමාරු ප්‍රශ්නයක්. පසුගිය අප්‍රේල් මාසයේදී මම ශ්‍රී ලංකාවට ඇවිත් ගියා. ඒ අවස්ථාවේත් මේ රටේ පවතින විකල්ප ධාරා එක ප්‍රතිපත්ති වේදිකාවක් හැටියට ගේන්න අප උත්සාහ කළා. රටේ දේශපාලන නායකයන් ප්‍රතිපත්ති සම්පාදනයට මුල් තැන දෙන්නේ නෑ. ඡන්දයකදී මොනව හරි ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කරනවා. ටික දවසකින් ඒවා අමතක කරලා දානවා. එසේ නොවී රටේ ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න විසඳීම සඳහා විද්‍යාත්මකව, දිගුකාලීන විසඳුම් ගැන ජනතාව අතරේ සාකච්ඡාවක් ඇති වන්න ඕනෑ. උදාහරණයක් ලෙස: බලශක්ති අර්බුදයට විසඳුමක් විදියට පුනර්ජනනීය බලශක්තිය යොදාගන්න පුළුවන්. එහෙත් ඒ සඳහා ප්‍රතිපත්තියක් නෑ. ජාතික සැලැස්මක් තිබුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ වෙනුවට වෙන වෙන දේවල් ක්‍රියාත්මක කරන්නේ. ජනතාව ප්‍රතිපත්ති පිළිබඳ සබුද්ධික වනවා නම් මේ ප්‍රශ්නය සෑහෙන දුරට විසඳන්න පුළුවන්.
ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විකල්ප ධාරා ගැන බලාපොරොත්තු තබාගන්න පුළුවන්ද?
විකල්ප ධාරාව නියෝජනය කරන පිරිසත් අපේක්ෂකයකු ගැන කතා කරනවා. එහෙත් විය යුත්ත කුමක්ද කියලා කතා කරන්නේ නෑ. දේශපාලන ව්‍යාපාරයක් දෙස බලන විට 71 අපේ අරගලය, 88-89 සිදුවීම් මෙන්ම අන්තර්ජාතික සිදුවීම් දෙස බලන විට වාමාංශික ව්‍යාපාරවල තිබෙන ලොකුම ප්‍රශ්නයක් වන්නේ විය යුත්ත කුමක්ද කියා සාකච්ඡා නොකරන-එක. ඒ කියන්නේ රාජ්‍ය බලය අල්ලාගැනීමේ අරගලය ඉක්මනින් කරනවා; ඒත් බලය ගත්තාට පසු කරන්නේ මොකද්ද කියලා කතා කරන්නේ නෑ.
අප විකල්ප කණ්ඩායම් සමඟ ප්‍රතිපත්ති වේදිකාවක් ගැන සාකච්ඡා කළා. එහිදී අපේ අදහස වුණේ එකඟ විය හැකි ප්‍රතිපත්ති මාලාවක් මත එක් කණ්ඩායමක් බවට පත් වීම. අද ප්‍රධාන පක්ෂ ගැන විතරයි ජනතාව විශ්වාසය තබාගෙන ඉන්නේ. අනෙකුත් කණ්ඩායම් ජනතාවට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා ජනතාවගෙන් කැමැත්ත විමසුවොත් තමයි ඒ ගැන ජනතාව අතර විශ්වාසයක් ඇති වෙන්නේ.
අප කළ සාකච්ඡා එක්තරා දුරකට සාර්ථකයි කියලා හිතෙනවා. සති කිහිපයකට උඩදී ප්‍රධාන විකල්ප කණ්ඩායම් හතර: ජාතික ජනතා ව්‍යාපාරය, ජාතික ජනතා බලවේගය සහ පුනරුදය කණ්ඩායම් යනුවෙන් වශයෙන් තුනක් බවට පත් වෙලා. ජාතික ජනතා ව්‍යාපාරය, ජාතික ජනතා බලවේගය එකක් බවට පත් විය යුතුයි කියන-එකයි මගේ පෞද්ගලික අදහස. නායකත්වය, අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි, වැඩපිළිවෙළ ගැන ප්රශ්නයකුයි මෙතන තිබෙන්නේ. ඒ විදිහට එකට එකතු වුණොත් විතරයි ජනතාවගෙන් සෑහෙන බලයක් ලැබෙන්නේ.
ජනාධිපතිවරණයක් ගැන කතාවක් රටේ ඇති වී තිබෙන මොහොතක්...
ජනාධිපතිවරණය පැවැත්වෙයිද, ඒක පැවැත්වෙන්නේ කවරදාද කියලා තවම කිසිවකු දන්නේ නෑ. එහෙත් එයට වඩා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් රටට අවශ්‍යව තිබෙනවා. ආර්ථික ප්‍රශ්න විසඳන්න තරමක් හෝ ප්රගතිශීලි මතයක් ඉදිරිපත් කරන්නේ විකල්ප කණ්ඩායම් හැටියටයි මට පෙනෙන්නේ. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වුණත් ඒ අය තමයි ඉදිරියෙන් ඉන්නේ. එහෙම කියන කණ්ඩායම් අතුරින් නව සම සමාජ පක්ෂය මේ ප්‍රශ්නය විසඳන්න ක්‍රමයක් කියනවා. බොහොම හොඳ ප්‍රතිපත්තියක් වන්න පුළුවන්. එහෙත් ඒ අයට සමාජයට කළ හැකි බලපෑම ඉතා අඩුයි. ඒ නිසා එය ප්‍රායෝගික වන්නේ නෑ. ප්‍රායෝගික මට්ටමෙන් ගත්තොත් විශාල කණ්ඩායමක් හැටියට ජාතික ජනතා බලවේගයට කිසි යම් දුරකට ජාතික ප්‍රශ්නය ගැන අදහසක් තිබෙන බව පෙනෙනවා. එහෙත් විසඳුම මොකද්ද කියන-එක පැහැදිලි නෑ. ජාතික ජනතා ව්‍යාපාරයත් ප්‍රශ්නයක් තිබෙන බව පිළිගන්නවා; විසඳුම මොකද්ද කියන-එක පැහැදිලි නෑ.
සේයාරුව - සමන් ශ්‍රී වෙදගේ