
අධිකරණ තීන්දු කිහිපයක්ම දුන් ගෙවී-ගිය සතිය දේශපාලන ඉතිහාසයේ තවත් තීරණාත්මක සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තුව රැස් වූයේ එක්දිනක් පමණි. මේ වන තෙක් පාර්ලිමේන්තුවේ සභාවාරයන්ට සහභාගි වීම වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙදිනද පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගි වීමෙන් වැළැකී සිටියේ සිය කලින් ප්‍රතිපත්තියේ පිහිටාමය.
පසුගිය බදාදා පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූයේ විපක්ෂයේ තවත් වැදගත් කටයුත්තක් වෙනුවෙනි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විස්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාවක් සම්මත කිරීමටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර හා රිෂාඩ් බදියුදීන් යන අය විසින් මේ යෝජනාව ගෙන ආ අතර, යෝජනාව ගෙන ඒමේ පාර්ලිමේන්තු කථාව පවත්වන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.
“මෙය මාතෘභූමියේ අඳුරුතම යුගයක්. අද රට අකර්මණ්‍ය වෙලා... රට එකතැන පල් වෙලා... මොන දේ වුණත් මේ මන්ත්‍රීවරුන් සිය ආත්මය පාවා දුන්නේ නැහැ. එදා වොයිස් වෝට්වලින් ඡන්දය එපා කිව්වා. අපි ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පෙන්වුවා... අත උස්සලා පෙන්නුවා... නැගිට පෙන්නුවා... පුළුවන් හැම ආකාරයකටම පෙන්නුවා. පර්ලිමේන්තුව තුළ කවුද වසලයෝ, කවුද බ්‍රහ්මණයෝ කියලා ලෝකයම දැනගත්තා...” පැයකට ආසන්න කාලයක් දිගට මන්ත්‍රී සජිත් සිය කථාව කරගෙන ගියේ ගාථා කිහිපයක්ද උද්ධෘත වශයෙන් යොදාගනිමිනි. මන්ත්‍රී සජිත්ගේ යෝජනා කථාවෙන් පසු යෝජනාව සම්මත කිරීමේ කථාව මන්ත්‍රී මංගල සමරවීර සිදු කළේය.
“26 වැනිදා අපේ රටට ඇති වුණ ආකාරයේ බලවත් අර්බුදයක් කවදාවත් ඇති වුණේ නැහැ. එදා කළු සිකුරාදාවක්. සති හයක් තිස්සේ ආණ්ඩුවක් නැති වීමේ පල-විපාක පේන්න පටන් ගෙන තියෙනවා. එදා ලෝකය ජය ගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. ඒ වෙනකොට ලංකාවට පැමිණියේ ගෝත්‍රික නායකයන් විතරයි. එදා බැරැක් ඔබාමා ලංකාව ගැන කිව්වේ good news country කියලා...”
මන්ත්‍රී මංගල සිය කතාව කරගෙන ගියේ ඉදිරියේ අය-වැයක් ඉදිරිපත් නොවීමෙන් ඇති වන ප්‍රශ්නද පැහැදිලි කරමිනි.
මේ අවස්ථාව වන විට විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රීන් වී සිටියේ ඡන්දයකට යෑමේ සූදානමිනි. මන්ත්‍රී රනිල් අගමැති කරවීමේ පාර්ලිමේන්තුවේ විස්වාසය සොයා බැලීම පිළිබඳ මේ යෝජනාවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට සහායක් දක්වනු මුල සිටම පෙනෙන්නට නොතිබිණි. මීට කලින් සතිවලදී යෝජනා සම්මත කරගැනීම්වලදී හා ඡන්ද විමසීම්වලදී ඔවුහු සහාය දැක්වුවද, මෙවර මන්ත්‍රී රනිල්ට සහාය ප්‍රකාශ කිරීමේ යෝජනාවේදී ඔවුන් එක්තරා ස්ථාවරයක සිටි බව පැහැදිලි විය. එය සාක්ෂාත් වූයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයත් සමඟය.
“අද ජනතාවගේ විස්වාසය භංග වෙලා. ඔක්තෝබර් 26 වැනිදා මේ කුමන්ත්‍රණය වන විට තිබුණු සමාජ පසුබිමත් අපි තේරුම් ගත යුතුයි. මහින්ද හා මෛත්‍රීට එම රඟපෑම කරන්නට ඉඩ දුන් වේදිකාවට හැමෝම දායක වුණා. මේ කුමන්ත්රණයේ ප්‍රධාන දෙදෙනා ඒ දෙන්නා වුණාට ඊට පසුබිම් වුණේ තිබුණු ආණ්ඩුවයි. මේ පුටුවේ මහින්ද වාඩිවුණත් රනිල් වාඩි වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. රනිල් තියා මහින්ද වාඩි වුණත් මේ සන්දර්භය වෙනස් වෙන්නැහැ කියලා අපි දන්නවා...” ජනතා විමුක්ති පෙරමුණු නායකයාගේ කථාව වඩාත් හරවත් වු අතර, එය සහාය බලාපොරොත්තුවෙන් සිටි අයගේ අපේක්ෂා භංගත්වයටද හේතු විය. මේ හේතුවෙන් ඉන් අනතුරුව සභාව ඇමතූ මන්ත්‍රී රවි කරුණානායකගේ ඉල්ලීම වී තිබුණේද රටට අවශ්‍ය යෝජනාවක් සම්මත කරන මෙවැනි අවස්ථාවක සියල්ලන්ගේම සහාය නොඅඩුව දෙන ලෙසයි.
ඡන්ද විමසීමට පෙර කථාව පැවැත්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකය. ඔහුගේ කථාව තරමක් කෙටි වූ අතර, ඔහු විශේෂ අවධානයක් යොමු කළේ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුණ කථනයක් ගෙන-හැර දැක්වීමටය.
“මේ අර්බුදය හමුවේ රනිල් විශිෂ්ට දේශපාලනඥයකු බව පෙන්වුවා. ඒ ගති සිල්ලර කාරණා මත වෙනස් වන්නේ නැහැ. අපි කතා කරන්නේ වැඩපිළිවෙළක් ඇති නායකයෙක් ගැනයි. වාට්ටුවේ ලෙඩ්ඩු කලබල වුණත් දොස්තර කලබල වෙන්නේ නැහැනේ...!” උපහැරණයක්ද ගෙනහැර දක්වමින් ඔහු කතාව කරගෙන ගියේය. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කිරීමට සහාය දැක්වීමේ ඡන්ද විමසීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සිදු වූ අතර, ඡන්ද 117ක් ලබමින් ඒ යෝජනාව සම්මත විය. මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයකු සහභාගි නොවූ අතර, ඔවුහු ඡන්දය ප්‍රකාශ කිරීමෙන්ද වැළැකී සිටියහ.
යෝජනාව සම්මත කිරීමෙන් අනතුරුව සභාවේ කටයුතු අවසන් කිරීමට මත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමැතුවේ තමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අයට ස්තුතිය පළ කරමිනි.
“මේ යෝජනාව සම්මත කළ හැමෝටම ස්තුතියි! මෙය ජනතාව විසින් ඇති කරන රජයක් මිස, ජනාධිපති විසින් ඇති කරන රජයක් නොවෙයි. රජයක් ලෙස අපේ අඩුපාඩු තිබුණා... අමාරු කාල ගෙවන්න සිදු වුණා. අපි අලුත් ව්‍යවස්ථාවක් හදන්න ගන්න පියවරේදී සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ටම පිළිගත හැකි දේශපාලන පසුබිමක් සකසනවා...” යැයිද ඔහු මෙහිදී පැවැසීය. මේ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 18 වැනිදා දක්වා කල් තැබීමට කථානායකවරයා විසින් කටයුතු කරන ලදි.