
මෙයට අවුරුදු 55 ට පමණ පෙර මේ රට වැඩි කලබලයක් නැති සිංහල බෞද්ධ ගැමි රාජ්‍යයක්ව පැවති කාලයේදී හිස නැති මළ කඳක් දැදුරු ඔයෙන් හමුවිය. මළ කඳ තරුණ කාන්තාවකගේ බව මරණ පරීක්ෂණයේදී හඳුනාගන්නා ලදී. ඇගේ හිස යළි කවදාවත් හමුවුණේ ද නැත. මේ කියන කාලයේදී ලංකාවේ නාගරික නොවන ප්‍රදේශ වැඩි හරියක් කැලෑබද ගම්මාන විය. එබැවින් එම ප්‍රදේශවල විසු ජනයා හැකි ඉක්මනින් ස්වකීය දෛනික වැඩපළ නිමකර ගෙවල්වලට යාමේ පුරුද්දක් පැවතිණි. දැදුරු ඔයේ හිස නැති මළ කඳ හමුවූ අවදියේදී මේ රටේ ටී වී තිබුණේ නැත. එෆ් එම් ගුවන්විදුලි සේවා තිබුණේ ද නැත. මේ තරම් ප්‍රමාණයක් පුවත්පත් ද නොවීය. එමතුද නොව ෆේස්බුක්, යූ ටියුබ්, ඉන්ටර්නෙට් යනාදිය ගැන ලංකාව තබා දියුණු ලෝකයේ රටවල් පවා අසාවත් තිබුණේ නැත. මෙකල ලංකාවේ තිබුණේ ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත් තුනකුත් ආණ්ඩුවේ ගුවන්විදුලි සංස්ථාවත් පමණි.
ගුවන්විදුලිය ආණ්ඩුවේ වූ බැවින් ආණ්ඩුවේ ඝෝෂාව නැඟීම හැර අන් යමක් කිරීමට එයට ශක්තියක් නොවීය. පුද්ගලික අංශය සතුවූ ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත් පමණක් Crime, Sex, Violence යන ප්‍රවෘත්ති ජනතාවට දීමෙහි නියුක්තව සිටියහ. මේ අනුව දැදුරු ඔයේ හිස නැති මළ කඳ පිළිබඳ සියලු ප්‍රවෘත්ති ප්‍රචාරය කළේ එම පුවත්පත් මඟිනි. දැදුරු ඔයේ සිද්ධිය ත්‍රාසයෙන් සහ භීතියෙන් කියැවූ මහජනතාව නිතර දෙවේලේ ඒ ගැන කතා කළ අතර අතුරුදන් වූ හිස කවදා මතුවිය හැකි දැයි නිතර කල්පනාවෙන් සිටියහ. එසේම දැදුරු ඔය දෙපස ගම්මානවල ජීවත්වූ අය ඉතා ඉක්මනින් දවසේ වැඩ කටයුතු නිමකර ගෙවල්වලට වැදී අඳුර වැටීමට පෙර ජනෙල් දොරවල් වසාගෙන සිටින්නට පුරුදු වූහ. එය මවාගත් ත්‍රාසයකි. ත්‍රාස රසය යනු මනුෂ්‍ය වර්ගයා විසින් ඉතා ආසාවෙන් භුක්ති විඳින රසයකි. කෙසේ වුවද දැදුරු ඔයේ හිස නැති මළ කඳට අයත් හිස කවදාවත් හමුවුණේ නැත.
ඉහත සඳහන් ප්‍රවෘත්තිය අවුරුදු පනස් ගණනකට පසු නැවත වතාවක් අපේ හිතට නැඟෙන්නේ අකුරැස්සේ තිබ්බටුවාවේ සිදුවූ ත්‍රාසජනක මිනී මැරුමක් නිසාය. මෙහිදී මරණ ලද්දේ කපුවෙකි. වැඩිහිටි මිනිසකු විසින් කපුවාගේ දෙ අත් වැරයේ අල්ලාගෙන සිටි අතර එම වැඩිහිටියාගේ පුතා කපුවාගේ ගෙල කපා හිස කඳින් වෙන්කොට ගෙන නිල්වලා ගඟට ගෙන ගොස් දැමීය. අප දැන සිටි ආකාරයට මිනිසකුගේ හිස කඳින් වෙන් කිරීමේ සාපරාධි ආත්ම ශක්තිය බහුල වශයෙන්ම තිබුණේ අයි එස් අයි එස් ත්‍රස්තවාදී සංවිධානයට පමණි. මෙකී ත්‍රස්තවාදීහු යුරෝපීයයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ හිස අමු අමුවේම පිහියකින් කපා කඳින් වෙන් කරන හැටි වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැරීමට පුරුදුව සිටියහ. ඒ අතර මීට ස්වල්ප කලකට පෙර මේ රටේ පොලිස් නිලධාරියෙක් සිය පෙම්වතියගේ හිස කඳින් වෙන්කර පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර සිය ගේ පිටුපස වන ලැහැබේ දී දිවි නසා ගත්තේය. සේවය මේ ආකාරයෙන් නිමාවට පත්කරන පොලිස් නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ගෙවනු නොලැබේ. ඒ නිසා ඒ දරු පවුලට හිමිවන්නේ මහමඟය. ඉහත සඳහන් සිද්ධියට අදාළ තරුණියගේ හිස අදටත් හමුවී නැත. පොලිස් නිලධාරියා සිය දිවි නසාගත්තේ එම රහස හෙළි කිරීමෙන් තොරවය.
ශ්‍රී ලංකාව නැවත වතාවක් පාතාල රාජ්‍යයක් බවට පත්වෙමින් පවතී. අලුත් ආණ්ඩුව දිවුරුම් දීමෙන් පසු ගතවූ මාසයක පමණ කාලය තුළ පාතාල ගැටුම් හා වෙනත් හේතු නිසා 30 ට කිට්ටු පිරිසක් මිය ගොස් තිබේ. මෙයට අවුරුදු 50 ට පෙර මිනිසකු විසින් තව මිනිසකු මැරීම යනු ඉතා දරුණු සිද්ධියකි. මිනීමරුවකුට සමාජය තුළ කිසිදු තැනක් තිබුණේ නැත. මිනීමැරුමකට වරදකරුවකු වූ කල්හි එම තැනැත්තා එල්ලා මරණ ලදී. යම් හෙයකින් ඔහු නිදහස් වූයේ නම් සමාජය ඔහු සමඟ හෝ ඔහුගේ දරු පවුල සමඟ ගනුදෙනු කිරීමට පවා අකමැති විය. එහෙත් 1971 අප්‍රේල් කැරලි සමයේදී ජවිපෙ ක්‍රියාකාරික තරුණයන් සිය ගණනින් අත්අඩංගුවට ගෙන හිසට වෙඩි තබා ගඟේ පාකර යැවීමත් සමඟම මේ රටේ මුල් වතාවට මිනී මැරුම් යම් ප්‍රමාණයකට සමාජගත විය. එක්දහස් නවසිය අසූ ගණන් වන විට උතුරේ හටගත් යුද්ධයේදී ප්‍රභාකරන් සහ ඔහුගේ ප්‍රචණ්ඩ ත්‍රස්තවාදීන් විසින් කරන ලද මහා පරිමාණ මනුෂ්‍ය සංහාර හේතුවෙන් මිනී මැරුම නමැති ක්‍රියාව හොඳටම සමාජගත විය.
එකල බෝම්බයක් පිපිරුණු විට මරණ ගණන වැඩිවූ තරමට එම ප්‍රවෘත්තියට වටිනාකමක් ලැබිණ. 1988, 89 කාලයේදී හටගත් භීෂණ සමය නිසා මිනිසකු මැරීම සහ මදුරුවකු මැරීම අතර කිසි වෙනසක් නැති විය.
යුද්ධය නිම වීමෙන් පසු ලංකාවේ පාතාලය වහ වහා හිස ඔසවන්නට පටන් ගත්තේය. කුඩු විකිණූ දාමරිකයෝ ද කුලියට මිනී මැරූ මිනී මරුවෝද ගණිකා වෘත්තීය උදෙසා කාන්තාවන් අලෙවි කළ අතරමැදියෝද ගිනි අවි වෙළඳාම් කළ පාතාල මැරයෝද කල්ලිවලට බෙදී එක ගොඩේ මිනී මරාගන්නට පටන් ගත්හ. මෙය කොතරම් නීච තත්ත්වයකට පත් වූයේද යත් ඇතැම් ඝාතන වීඩියෝ දුරකථන ඇමතුම් මඟින් ඒ වෙලාවේම අනෙක් පාර්ශ්වයට පෙන්වීමට සලස්වන ලදී. බොහෝවිට මේ අනෙක් පාර්ශ්වය යනු මිනී මැරුමට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ තැනැත්තාය. ඒ තැනැත්තා බොහෝවිට සිටියේ පිටරටය. අදාළ මිනී මැරුම කරවූයේ ලංකාවේ සිටින ස්වකීය සගයන් ලවාය.
ශ්‍රී ලංකාව සාපරාධි රාජ්‍යයක් බවට ද තහවුරු වුවහොත් රටේ ප්‍රතිරූපය අන්තිමටම නරක් වීමට ඉඩ තිබේ. යුද ජයග්‍රහණයෙන් පසු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ පාතාලය සම්පූර්ණයෙන්ම බිමට සමතලා කළේය. එසේ සමතලා වූ පාතාලය දැන් නැවතත් නැඟී සිටින අතර එමඟින් සිදුවිය හැකි සමාජ අනර්ථය රට බංකොලොත් වීමේ සමාජ අනර්ථයට වඩා දරුණු විය හැකිය.