
- ඉස්සර දවසකට ලක්ෂ 10 - 15 ආදායමක් ලැබුවත් අද රු. 20,000 - 30,000 ට අඩු වෙලා
- මිල වැඩි වුණත් අවශ්‍යතාව තියෙන කෙනා කොහොම හරි ගන්නවා
- ගෝල්ඩ් සෙන්ටර් එකට දැන් පාරිභෝගිකයෝ එනවා අඩුයි
- ප්‍රමිතියක් ඇති ආයතනයකින් රන් භාණ්ඩ මිලදී ගැනීම පාරිභෝගිකයාගේ වගකීමක්
මුදල් වෙනුවට ඕනෑම ස්ථානයකදී මාරු කළ හැකි ලොව ඕනෑම තැනක, ඕනෑම පුද්ගලයකුට එකම මට්ටමේ වටිනාකමක් දෙන වටිනාම ඝන වස්තුව රත්තරන් ය. ජීවිතය හා අවියෝජනීය බැඳීමක් හා අවිනිශ්චිත මිලක් ඇති රන් පවුමක (කැරට් 22) වෙළෙඳපොළ මිල ලෙස වසර 1960 දී සටහන් වූයේ රුපියල් 80 කි. නොයෙකුත් හේතූන් නිසා රන් මිල උච්චාවචනය වන අතර, රුසියාව හා යුක්රේනය අතර සති කීපයක සිට පවතින යුද්ධය නිසා ලෝක වෙළෙඳපොළේ, රත්‍රන් මිල ඉහළ යෑමට සාපේක්ෂව, මෙරට රන් මිල ද වර්තමානයේ ඉහළම මට්ටමකට පැමිණ ඇත.
මීට සති හතරකට පෙර ශ්‍රී ලංකා රත්‍රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් රු. 1,12500 ට හා කැරට් 24, රන් පවුමක් රු. 1,21,000 පමණ විය. ගතවූ සතියේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 1,50,000ක් වූ අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂය ඉක්මවා තිබුණද මේ ලිපිය සකසන ඉකුත් 5 වැනිදා වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 168,000 දක්වා පහත වැටී තිබුණි. එහෙත් මේ මිල ගණන් ස්ථාවර නොවන අතර වෙනස්වනසුලු බව ද මතක් කළ යුතුය.
මාල, වළලු, මුදු, කරාබු, රන්තැලි, බ්‍රේස්ලට් ආදී නෙක ස්වර්ණාභරණ වෙළෙඳපොළේ අලෙවි කළත් නිමි භාණ්ඩ සෑදීමට පිටරටින් රන් ගෙන්වන්නේ රන් බිස්කට් වශයෙනි. විදේශ වෙළෙඳපොළින් ශ්‍රී ලංකාවට, රන් ආනයනය කරන රජයේ හා පෞද්ගලික ආයතන 15 - 20 අතර ප්‍රමාණයක් ඇති අතර රන් භාණ්ඩ අලෙවිකරුවෝ දහස් ගණනකි. රන් භාණ්ඩ අලෙවි සැල් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ අගනුවර හෙට්ටිවීදියේ හා පිටකොටුව Gold Center තුළයි. රන් මිල වැඩිවීම හා රන් භාණ්ඩ අලෙවිය පිළිබඳ විමසනු සඳහා සිළුමිණ වෙනුවෙන් එහි සංචාරයක යෙදුනෙමි.
කලින් කොළඹ මාළු වෙළෙඳපොළ පැවැති ගොඩනැඟිල්ල පරිශ්‍රයේ Colombo Gold Center පිහිටුවනු ලැබුවේ මීට වසර ගණනාවකට පෙරය. එහි පහළ මාලයේ රන් භාණ්ඩ අලෙවි සැල් හා මැණික් භාණ්ඩ අලෙවිසැල් 90ක් පමණ ඇති අතර පළමු මහල මැණික් භාණ්ඩ සඳහා වෙන්වී ඇත. එහෙත් මේ වකවානුවේ විවෘතව පවතින්නේ අලෙවි හල් 10කටත් වඩා අඩු ප්‍රමාණයකි. අනිත් සියල්ල වසා ඉබියතුරු දමා ඇත. ගෝල්ඩ් සෙන්ටර්හි ස්වර්ණාභරණ අලෙවි කුටිවල එහි හිමිකරුවන් හා කළමනාකරුවන් නොසිටි අතර අලෙවිකරුවන් පමණක් වූහ. එහි එක් රන් බඩු සාප්පුවක අලෙවි නිලධාරියකු ‘සිළුමිණ’ ට කීවේ මෙවැනි කතාවකි.
“මීට අවුරුදු පහළොවක විතර කලින් ගෝල්ඩ් සෙන්ටර් එක ඇරඹුවත් මුල් සති දෙක තුනින් පසු බොහෝ අය ඒවා වහලා දාලා ගියා. ඊට හේතුව රන් භාණ්ඩ අලෙවිය අඩු වීම නිසා ජල, විදුලි බිල්, කඩ කුලිය ගෙවාගෙන මෙහි සිටීම පාඩුනිසා... මුල් කාලෙ බිස්නස් ටිකක් තිබුණා. දැන් දවසකට ගෝල්ඩ් සෙන්ටර් එකට සිය දෙනෙක්වත් එන්නේ නෑ. එන සේරම බඩු ගන්නෙත් නෑ. මේ ගොඩනැඟිල්ලේ තියෙන බැංකු කීපයකට එන අය තමයි මෙතෙන්ටත් එන්නේ. එයිනුත් වැඩි පිරිස පුරුදු ගැණුම්කරුවන්. බිස්නස් හරි සවුත්තුයි. ගොඩක් අය රත්රන් බඩු ගන්න යන්නෙ හෙට්ටිවීදියට”
ඒ කතාවේ ඇත්ත නැත්ත විමසීමට මම අගනුවර රන් පාරාදීසය ලෙස සැලකෙන හෙට්ටිවීදිය දෙසට ගියෙමි. හෙට්ටිවීදිය දෙපස රන් සාප්පු කහ පැහැයෙන් දිදුලයි. කහ රත්තරන්වලට වඩා සුදු රත්තරන් මිලෙන් අධික වුවද ශ්‍රී ලංකාවේ අතිබහුතරය වැඩි මනාපයක් දක්වන්නේ කහ රත්තරන්වලටය. අම්බාල්ස් ජුවලරි විකුණුම්කරු ආර්. මනෝජ් පැවසුවේ 2022 වසරේදී පවුම රුපියල් 30,000කින් වැඩිවූ බවයි.
“බිස්නස් හරිම අඩුයි... දවසකට තියෙන්නේ පොඩි අලෙවියයි. රත්තරන් ගණන් වැඩි වුණාම මිනිස්සු මුල් තැන දෙන්නේ අත්‍යවශ්‍ය දේට පමණයි.“
අලෙවි කළමනාකරු ඒ. මුහුන්දන් පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යෑමට සාපේක්ෂව ලංකාවේ ද රන් බඩුවල මිල ඉහළ ගිය නිසා වෙළෙඳාම පහළ ගොස් ඇති බවයි.
කාලිදාසන් විජයකුමාර් (25) පැවසුයේ 2018 රු. 55000 වූ රන් පවුම, 2019, රු. 60,000 ක්. 2020 රු. 90,000 ක් හා 2021 රු. 100,000 වූ බවයි.
නිව් සුරියා ජුවලර්ස් අලෙවිකරු පොන්නුසාමි රාජු (49) ‘සිළුමිණ‘ ට කියා සිටියේ රන් පවුමේ මිල ඉහළ ගිය නිසා මේ දිනවල බිස්නස් අඩු බවයි.
“කොරෝනාවෙන් පස්සේ බිස්නස් ටිකක් අඩු වුණා. ඩොලර් සිද්ධියෙන් පස්සේ හුඟාක්ම අඩුයි. කොරෝනාවට කලින් දවසකට ලක්ෂ 10 - 15 උපයන්න හැකි වුණත් දැන් දවසට රු. 20,000 - 30,000 වගේ ආදායමක් ලැබෙන්නෙ. රුසියන් යුක්රේන් යුද්ධයට වඩා මෙහිදී බලපාන්නේ ඩොලර් සැඟවීමයි. ස්වර්ණාභරණ අලෙවියේදී ගැණුම් මිල හා විකුණුම් මිල වෙනස්. නිමි භාණ්ඩයක් පාරිභෝගිකයාට අලෙවි කරද්දී තිබෙන මිලට වඩා ඒ භාණ්ඩයම ආපසු ගනිද්දි වුණත් අඩු වෙනවා. එහිදී වැඩ කුලිය හා වැඩ පාඩු ඉවත් වෙනවා. රත්තරන් මිලට පමණයි ගන්නේ.”
හෙට්ටිවීදියේ නිව් කලා ජුවලර්ස් අධිපති සෙල්ලයියා මයිල්වාගනම් (72) පැවසුවේ ද ස්වර්ණාභරණ අලෙවිය පහත වැටී ඇති බවයි.
“මිනිස්සු ගණන් අහලා යනවා විතරයි, බඩු ගන්නෙ නැහැ. උදේ 10.00ට තිබූ රන් පවුමේ මිල සවස තව රුපියල් දෙතුන්දාහකින් වැඩි වන අවස්ථා තිබෙනවා. 2017 දී රු. 95,000 වුණු රන් පවුම 2022 දී රු. 140,000යි.”
ලේඛා ජුවලර්හි සේවය කරන කේ. මුතුකුමාර් ඔහුගේ දිගුකාලීන අත්දැකීම් ඇසුරින් රන් මිල ඉහළ පහළ යන ආකාරය ගැන මෙසේ කීවේය.
“මම රැකියාවට ආවේ 1992දී. ඒ කාලේ රන් පවුමක මිල රු. 4,400යි. ඒ කාලේ ඩොලරයක් රුපියල් 46 යි. දවසකට රුපියල් 50ක් විතර අඩු වැඩි වෙනවා. දැන් බැංකුව ඩොලරය රුපියල් 225 ට දෙද්දී, නිත්‍යානුකූල නොවන මාර්ගවලින් ඩොලරය 265ට විතර (කළු කඩෙන්) ගන්නවා. පවුමට ගෙවන විකුණුම් මිල වැඩිවෙද්දී අලෙවිය වැඩියි. දැන් දැන් තරගය වැඩියි. වෙළෙඳපළේ රන් බඩු මිල ඉහළ යන්න යන්න ලාභය අඩුයි.
පහුගිය දිනක පවුමක් රු. 135,000.00 තියෙද්දි කෙනෙක් කරමාලයක් මිලදී ගන්න බලලා ගියා. දින 3ට පසුව එද්දී ඒකම රුපියල් 21000කින් වැඩිවෙලා නිසා ගන්නෙ නැතුව හැරිලා ගියා. සාමාන්‍යයෙන් රන් භාණ්ඩ අලෙවි සල් සතියේ දින හතේම උදේ 9.00 සිට රාත්‍රි 7.00 දක්වා විවෘතව තබනවා. පවුමක් යොදාගෙන රන් භාණ්ඩයක් නිර්මාණය කරද්දී මංචාඩි ගාණක් අපතේ යාම් (Wastage) ලෙස ඉවත් වෙනවා. එය පාරිභෝගිකයාට තමයි බලපාන්නේ.”
වෙළෙඳපළේ රන් පවුමක මිල ඉහළ ගොස් තිබියදී හොඳ අලෙවියක් සිදුවන බව පැවසුවේ ස්වර්ණමහල් ජුවලරි ආයතනයේ අලෙවි නිලධාරිනී ඉන්දිකා පෙරේරා (40)ය.
“රන් භාණ්ඩවල අවශ්‍යතාව තියන කෙනා කොහොම හරි ගන්නවා. වෙනදට පවුමක් ගන්න කෙනා දැන් පවුම් 1/2 ගන්නවා. බර අඩු කරලා හරි රත්තරන් බඩු මිලට ගන්නවා. එක් එක් මෝස්තරය අනුව වැඩ කුලිය වෙනස් වෙනවා. බරත් ඊට බලපානවා. මීට අවුරුදු 10 - 15 එහාට ගියත් මේ හා සමාන මූල්‍යමය වටිනාකමක් තමයි තියෙන්නේ. ඒ කාලේ බර වැඩියි. අද බර අඩුයි. පවුම වැඩිවීමත් සමඟ හොර බොරු වංචා කරනවා වැඩියි. කැරට් 21 භාණ්ඩ 22 කියා විකුණනවා. ඒ නිසා ප්‍රමිතියක් තිබෙන ආයතනයකින් රන් භාණ්ඩ මිලදී ගත යුතුයි. ඒකට හේතුව නීති විරෝධී රන් ජාවාරමක් සිදු වෙනවනේ.”
ආෂා ජුවලර්ස් හි කේ. පාර්හිබන් (59) රන් භාණ්ඩ අලෙවිය ගැන මෙසේ කීය.
“දැන් රන් බඩු අලෙවිය අඩුයි. ඉස්සර දවසකට පවුම් 10 විතර විකිණුවා. දැන් පවුම් 5 ක් විකුණන්න බෑ. පුරුදු අය වගේම අලුත් අයත් එනවා. යුද්ධයෙන් ලොකු බලපෑමක් නැහැ. ඩොලර් අඩුවීම නිසා තමයි මිල ඉහළ ගිහින් තියෙන්නේ. මගේ සේවා කාලය අවුරුදු 30ක්. 1979 දී පවුමක් රුපියල් 500, 1994 දී රුපියල් 4,800ක් වුණා. 2008 දී රු. 12,800ක්. 2015 වෙද්දී රුපියල් 25,000ක්. කොරෝනා වසංගතය එන්න කලින් 2020 දී පවුමක මිල තිබුණේ රුපියල් 75,000 ටයි. ඊටපස්සේ රුපියල් 95,000 වුණා. දැන් රු. 135,000ක්.”
රන් මිල වෙනස් වීම ගැන එසේ දීර්ඝ විස්තරයක් කළ ඔහු පාරිභෝගික ඉල්ලුම වෙනස් වීමට බලපාන සෙසු කරුණු ගැන ද පැවසුවේය.
“ඉස්සර හෑන්ඩ් කට් තිබුණේ. දැන් සේරම මැෂින් කට්. ඒ නිසා අලුත් මෝස්තර ඕනෑ තරම් තියෙනවා. ඉස්සර එකම තැනකින් රන් භාණ්ඩ ගන්න පුරුදු වෙලා හිටියත් දැන් කීප තැනකට ගිහින් තෝරා බලා ගාන අඩුම තැනින් තමයි ගන්නේ.”
රත්තරන්වල ප්‍රමිතිය හා වටිනාකම මනින්නේ කැරට් නම් ඒකකයෙනි. රත්තරන් ආනයනය කරන්නේ රන් බාර්, රන් බිස්කට් වශයෙනි. ඒවා කැරට් 24 වුවත් රන් භාණ්ඩ නිෂ්පාදනයේදී වෙනත් ලෝහ කලවම් කර කැරට් 22 වන ලෙස සකසයි. රන් වෙළෙඳපොළේ අලෙවි වන රන් භාණ්ඩ කැරට් 22 යැයි පවසමින් කැරට් 21 හා කැරට් 18 අලෙවි වන අවස්ථා නැතුවා නොවේ. තමන් මිලදී ගන්නා රන් භාණ්ඩ නියමිත කැරට් ප්‍රමාණයෙන් තිබෙනවාද යන්න දැනගැනීමට අවශ්‍ය පාරිභෝගිකයන්ට ඒ පිළිබඳ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරීමේ අංශයෙන් විමසා දැනගත හැකිය.
සටහන හා සේයාරූ - නිශානී හේරත් බන්නැහැක