‘ලණු’ කැරැලි | Page 2 | සිළුමිණ

‘ලණු’ කැරැලි

1971 අප්‍රේල් කැරැල්ලට තව දින දෙකකින් අවුරුදු 51 ක් සපිරෙයි. ලංකා ඉතිහාසයේ ඇතිවූ රාජ්‍ය විරෝධී කැරලිවලින් වැඩියෙන් මතක හිටින කැරැල්ල 1818 කැරැල්ලය. ඊටත් වැඩියෙන් මතක හිටින කැරැල්ල 71 තරුණ නැගිටීම බවට අපි ඔබට යෝජනා කළොත් ඔබ ස්ථිර වශයෙන්ම එයට එකඟ වෙනවා ඇත.

1986 සිට 1990 යන අවුරුදුවලදීද ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය විරෝධී කැරැල්ලක් මෙහෙයවන ලද නමුදු එය 1818 කැරැල්ල හෝ 1971 කැරැල්ල මෙන් හමුදාව සමඟ මුහුණට මුහුණ සිටගෙන කරගත් සටනක් නොවේ. එම කැරැල්ල බොහෝ දුරට සමකළ හැක්කේ වියට්නාම් යුද්ධයේදී වියට්කොං ගරිල්ලන් විසින් ඇමරිකානුවන්ට පහර දී පලාගොස් අතුරුදන් වීමේ ක්‍රමෝපායයට ය. එහෙත් 1986 - 1990 කැරැල්ලේදී සතුරාගෙන් පණ බේරා ගැනීම පිණිස සිය කැමත්තෙන් අතුරුදන් වූ අයට වැඩි පිරිසක් යුද හමුදාවෙන් හා පොලිසියෙන් හා ප්‍රා සංවිධානයෙන් අතුරුදන් කරන ලදී.

1971 කැරැල්ල සහ 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ල යන දෙකම ඒවායේ සටන්කාමී කාඩරය පැත්තෙන් පරමාදර්ශී වූ ද අවංක වූ ද පරිත්‍යාගශීලී වූ ද උත්සාහයන් වෙයි. එහෙත් නායකත්වය පැත්තෙන් ගත් කළ එම කැරලි දෙකම නායකයන් විසින්ම තුච්ඡ ලෙසත් නින්දනීය ලෙසත් පාවා දෙනු ලැබූ සටන් ලෙස ඉතිහාසයට එක්ව තිබේ. 1971 කැරැල්ල මෙන්ම 1986 - 1990 යන අවුරුදුවල පැවති ජවිපෙ 2වැනි කැරැල්ල යන දෙකටම න්‍යායාත්මක නායකත්වය සැපයු රෝහණ විජේවීර ඉතිහාසය විසින් පහළ කරන ලද ඉතාම දක්ෂ දේශපාලන න්‍යායාචාර්යවරයෙකි. වමේ දේශපාලනය සහ මාක්ස්වාදය පිළිබඳව ඔහු විසින් එකතු කරගන්නා ලද ඇතැම් අත්දැකීම් සමාන වන්නේ ආජන්ටිනාවේ චේ ගෙවාරා ට පමණය. අඩු වැඩි වශයෙන් ගත්කල විජේවීර යනු චේ ගෙවාරාට වඩා සංස්කෘතික මිනිසෙකි. චේ අසංස්කෘතික මිනිසෙක් වූ නමුදු ලතින් ඇමරිකාව තුළ එකී අසංස්කෘතිය ද කිසියම් ආකාරයක සංස්කෘතියක් වූ බැවින් එයට එරෙහි වීමේ අයිතියක් අපට නැත.

සුප්‍රකට ජැමෙයිකානු ගායකයකු වූ බොබ් මාලේ ගංජා කාරයෙකි. එහෙත් ජැමෙයිකානු සංස්කෘතිය තුළ ගංජාවලට ප්‍රමුඛ තැනක් ලැබෙන බැවින් ලංකාවේ පොලිසිය ගංජාකාරයන් පිටුපස දුවන්නාක් මෙන් ජැමෙයිකානු පොලිසිය බොබ් මාලේ පසුපස දිව්වේ නැත. ඔහු මලේ පාදයේ හටගත් තුවාලයකට බෙහෙත් කිරීමෙන් වැළකී සිටී නිසාය. මෙරට සංස්කෘතියට අනුව තුවාල වලට බෙහෙත් නොදමන එකා පිස්සෙකි, ගොනෙකි, බූරුවෙකි, නොඑසේ නම් මෙලොව තවමත් පහළ වී නැති ආකාරයේ නමක් ඇති සතෙකි. තුවාලවලට බෙහෙත් නොදැමීමේ පුරුද්ද ජැමෙයිකානුවන් සලකන්නේ ස්වභාව ධර්මයට අවනත වී ජීවත් වීමක් ලෙසය. එබැවින් තුවාලවලට බෙහෙත් නොදමා පිට ගැස්ම හැදී මියයාම ඔවුන්ට සැපයකි.

කෙසේ වුවද මිතුරු මිතුරියනි, ලංකාවේ හටගත් දේශපාලන සන්නද්ධ අරගල වැඩි හරියක නායකයෝ පල් හොරුය. මෙහිදී විජේවීර පල් හොරකු බව අපි නොකියමු. 1971 කැරැල්ල ඇරඹෙන විටත් ඔහු හිටියේ යාපනයේ හිරගෙදරය. එබැවින් අපායේ තිබෙන ප්‍රාණගාත අකුසල එකවුන්ට් එකේ විජේවීර නම සඳහන් වීමට ඉඩ නැත. 1986 - 1990 වසරවල පැවති 2වැනි කැරැල්ලේදී දහස් ගණන් තරුණ තරුණියන් ගෙල සිඳ මරා දැමෙන විටත්, ඔවුන්ගේ ගුද මාර්ගයට කටු කම්බි වැල් ඇතුළුකර වේගයෙන් ආපසු එළියට අදින විටත්, බෝල් පොයින්ට් පෑන කනට දමා එහා පැත්තෙන් මතුවන ලෙස තුවක්කු බඳෙන් පහරදෙන විටත් විජේවීර උලපනේ බංගලාවක වැවිලිකරුවකු සේ වෙස්වළාගෙන ධාර්මික ජීවිතයක් ගත කළේය. සන්නද්ධ අරගලයකදී නායකයා ආරක්ෂා විය යුතුය යනුවෙන් මතභේදාත්මක අදහසක් පවතී. මේ අදහසට අනුව යුද පෙරමුණකදී කොල්ලන් මැරෙන අතර ජයග්‍රහණයේදී නායකයා රජ වෙයි. කෙසේ හෝ වේවා ඉහත සඳහන් කිසිදු ජන අරගලයක් අප විසින් අඩු තක්සේරුවකට ලක්කරනු නොලැබේ. මේ හැම සටනකම කිසියම් විභවයක් තිබිණ. පනුවන් කෑ දතක හටගන්නා විශිෂ්ට ගුරුත්වය හා සමාන ගුරුත්වයක්ද තිබිණ.

ගෑස් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය ඇතුළු ජීවන වියදම් ප්‍රශ්නය මුල් කරගෙන මේ දිනවල මේ රටේ උද්ඝෝෂණ මාලාවක් පවතී. සාමාන්‍ය අත්දැකීමට අනුව කිසියම් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දීර්ඝකාලීනව පවතින විට එක්කෝ දියවී යයි. නැත්නම් රාජ්‍ය විරෝධී කලබැගෑනියක් බවට පත්වෙයි.

මීට මාස දෙකකට පමණ පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාබනික පොහොර ව්‍යාපෘතියට එරෙහිව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් පාරට බස්සවන ලද ජනතාවගේ උද්ඝෝෂණ ව්‍යාපාරය ගොයම් කපන කාලය එනවිට ක්‍රමයෙන් දුර්වල වී අතුරුදන් විය. එයින් පසු ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගය විසින් මාරුවෙන් මාරුවට පවත්වන උද්ඝෝෂණ රැල්ලක් මේ දිනවල දැකිය හැකිය. මේ උද්ඝෝෂණ දෙකෙන් දාර්ශනික උද්ඝෝෂණය ජේවීපී ය පවත්වයි. විකට උද්ඝෝෂණය සමගි ජන බලවේගය පවත්වයි.

ජේවීපී උද්ඝෝෂණයට එන්නේ ඔරිජිනල්ම ජේවීපීකාරයෝය. බත් පාර්සලය, අරක්කු බෝතලය, රුපියල් 1,000 සහ ට්‍රාන්ස්පෝර්ට් යන පැකේජය නැතිව සිය වියදමින් ඔවුහු උද්ඝෝෂණයට සහභාගී වී කුණුහරුප නොකියා, නාඩගම් නොනටා පිටව යති. එහෙත් සමගි ජන බලවේගයේ උද්ඝෝෂණ ස්වරූපය වෙනස්ය. ජේ ආර් ජයවර්ධන ගේ පාලන සමයේදී මැයි පළමුවැනිදාට ගෝල්ෆේස් පිට්ටනියේ පැවැත්වෙන සංගීත සංදර්ශනය හා සමාන ලක්ෂණ සජබ උද්ඝෝෂණයේ තිබෙයි. මෙහි ප්‍රධාන ගායකයාත් අවසන් ගායකයාත් යන දෙදෙනාම සජිත් ප්‍රේමදාසය. සත්‍ය වශයෙන්ම ඔහු ගීත ගායනයෙහිත්, ගිටාර් සහ ඩ්‍රම් වාදනයෙහිත් දක්ෂයෙකි. මේ උද්ඝෝෂණ දෙකටම නායකයන් එන්නේ සනීපදායක වාහනවලිනි. රැලිය අවසන් වූවාට පසු එම වාහන වලටම ගොඩවන ඔවුහු ආපසු පිටව යති. සමගි ජනබලවේගයේ රැස්වීම්වලට සෙනග මදි නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රජා සත්කාරයක් ලෙස එම පෙරමුණේ සාමාජිකයන් සහභාගී කරවන බවට කට කතාවක් තිබුණත් අප එය විශ්වාස නොකරන්නේ අනුර දිසානායකට මෙන්ම සජිත්ටද එය හොඳ නැති බැවිනි.

සමගි ජනබලවේගයේ රැලියෙන් පසු හිස් අරක්කු බෝතල්, බත් කොළ, පැටිස් කෑලි, සිගරට් කොට යනාදිය එතනම දමන උද්ඝෝෂකයෝ වැනි වැනී ගෙදර යති. ජවිපෙ උද්ඝෝෂණය කසළ උද්ඝෝෂණයක් නොවන බැවින් එතරම් අවුලක් නොහටගනී. මේ උද්ඝෝෂණ දෙකම ඒ මට්ටමෙන්ම නැවතී ඊළඟ සතියට continue වෙයි. මේවා විභවයක් ඇති පීඩක බලවේග බවට පත් නොවන්නේ ලණු කැරැල්ලක් මිස කැරැල්ලක් හට ගැනීමට අවශ්‍ය කිසිදු තත්ත්වයක් මේ මොහොතේදී මේ රටේ නැති නිසාය. 1971 න් පසු මේ රටේ හටගත් සියලු කැරලි ලණු කැරලි බවට පත්වූ අතර එම ලණු ඇඹරීම සඳහා කොහු සපයන ලද්දේ කැරලි නායකයන් විසිනි. එම ලණු අඹරා ගැනීමට අවශ්‍ය පොල් ලෙලි ලබාගත හැකි පොල් ගස් ඔවුන්ට පෙන්වන ලද්දේ ඒ ඒ කාලයේ තිබුණු ආණ්ඩු විසිනි. අද සිදුවන්නේත් එයමය.

Comments