සුනඛාදී සත්තු සහ කඳු ආදී භූ වස්තු | Page 2 | සිළුමිණ

සුනඛාදී සත්තු සහ කඳු ආදී භූ වස්තු

(පසුගිය දින හයේ සිදුවීම් ගැන වෝහාරික සටහනක්)

ල්ලන් බිරුවද කඳු පහත් නොවෙතියි කියුමක් පවතී. පැරණි සිංහලයට අයත් නැති මේ කියුම 1900 න් පසු අපේ බසට එකතු වූ බුරන බල්ලෝ සපා නොකති වැනි යෙදුමක් හා සමාන මෝඩ ප්‍රස්තාව පිරුළකි. බල්ලන් බුරන්නේ කඳු පහත් කිරීමට නොව කිසියම් දෙයක් සන්නිවේදනය කිරීම උදෙසාය. බුරන බල්ලෝ සපා නොකති ද කති ද යන්න මැන බැලීමට කැමති පඬිවරයකු වෙතොත් අප දන්නා හඳුනන ගෙදරක සුනඛයන් වෙත ඔහු පිටත් කර අත්දැකීමක් ලබා දීමට අපට පුළුවන.

අප මේ ටික ලියුවේ ඇයි? පසුගියදා සමගි ජන බලවේගය එහි ප්‍රතාපවත් නායකයන් ද පිරිවරාගෙන නැටු කලවම් වන්නම බල්ලන් බිරීමක් හා සමාන බවත් කන්දක් වැනි පොදු ජන පෙරමුණ එකී බුරා හැලීමෙන් පහත් නොවුණු බවත් කීම සඳහා එක්තරා ප්‍රගතිශීලී මහත්මයෙක් පෙර කී පිරුළ යොදාගෙන අහිංසක ව්‍යායාමයක නිරත විය. ඒ මහතා කොතරම් අහිංසකයකු වුවද හඩු දේශපාලන කාරණා උදෙසා සුනඛයා වැනි උත්තම සතෙක් යොදා නොගත යුතුය. ඇත්තම කතා කළොත් මිනිසාට වඩා බල්ලා හොඳය. සමගි ජන බලවේගයේ පා ගමන සහ විරෝධතාව දුටු අපට හැඟී ගියේ රනිල් වික්‍රමසිංහ වැනි ප්‍රඥාවන්ත මිනිහෙක් එතැන සිටියේ නම් ප්‍රායෝගික හා අර්ථවත් විරෝධතාවක් විනා රිලා නැටුමක් වැනි හඩු උද්ඝෝෂණයක් ඇති නොවන බවය. මෙම විරෝධතාවට සහභාගී වූ අහිංසක ඡන්ද දායකයන්ගේ වෑයම කිසි ලෙසකින්වත් අවතක්සේරු කිරීමට අපට අවශ්‍ය නැත. මේ රටේ දේශපාලන සංස්කෘතියේ පොදුජන විරෝධතා වැඩි හරියක පදනම ලෙස අරක්කු භාගය + බත් පැකට් එක + රු.1000 = විරෝධතාව නමැති සූත්‍රය යොදාගත හැකිය.

දුප්පත් අහිංසක මිනිස්සු ආර්ථික පීඩනයෙන් තැළෙමින් සිටින මොහොතකදී ඕනෑම ගොබ්බ දේශපාලකයකුගේ බූරු පොරොන්දුවකට බෙල්ල දෙති. අපි ගොස් මුහුදට පනිමුයි කීවද ඊට එකඟ වී දේශපාලනඥයන් පසුපස ගමන් කරන සුළු පිරිසක්ද මේ අතර වෙති. එහෙත් දවස අවසානයේදී විරෝධතාව පැවැත්වූ තැන කසළ පිරිසිදු කරන නගර සභාවේ සේවකයන්ට හිස් අරක්කු බෝතල් සහ බැදපු මාළුත් රෝස් කරපු කුකුළන්ගේ කටුත් හමුවන විට වැඩේ අල වෙයි. සජබ විරෝධතා කසළ ගොඩෙහිද මේ ද්‍රව්‍ය මේ ආකාරයෙන්ම තිබු බව අපි රූපවාහිනියෙන් දුටුවෙමු. සජිත් ප්‍රේමදාස වන්නමක් නැටුවාට ගෝඨාභය රාජපක්ෂ හෝ මේ ආණ්ඩුව මේ වෙලාවේදී ආණ්ඩු බලය අත්හරින්නේ නැත. එසේම යහපාලන ආණ්ඩුව විසින් පටලවන ලද මේ රටේ ආර්ථික නූල් බෝලය ලිහන්නට ගෝඨාභය, මහින්ද සහ බැසිල් රාජපක්ෂයන්ට හැර සජිත්ට හෝ විපක්ෂයේ සිටින සෙසු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට නොහැකිය. හැබැයි ඔවුන්ට උස් වේදිකා වලට නැඟ කොළ බලාගෙන හැකි තරම් කතා කළ හැකිය. සටන් පාඨයක්වත් කට පාඩමින් කීමට බැරි දේශපාලනඥයන් රට කරන්නේ කෙසේද? මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනයා සිය අනාගතය අගක් හෝ මුලක් නැති සිවල් රැළකට බාර දිය යුතුද?

කොවිඩ් 19 වසංගතයෙන් පසු ආර්ථිකය කඩා වැටුණේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. ලෝකයේ ලොකුම ආර්ථිකය වූ ඉන්දියාවට ද එයින් හානි විය. චීන ආර්ථිකය පියවර කිහිපයක් පස්සට ගියේය. ඇමෙරිකන් ආර්ථිකය හූල්ලන්නට පටන් ගත්තේය. ඒ ආර්ථිකයන් අදටත් ගොඩවිත් නැත. පෙර කී රටවල් තුනම නිෂ්පාදන ආර්ථිකයක් මූලික කොටගත් යෝධ බිම් කඩවල් වෙති. එහෙත් මැටි පවා පිටරටින් ගෙන්වන, තණ කොළ පවා ආනයනය කරන, ඔළුගෙඩි ටික පමණක් මේ රටේ ඇති ලංකාව වැනි රාජ්‍යයක් කොවිඩ් 19 න් පසු මේ තරමටවත් ඉතිරිවීම ගැන අප සතුටු විය යුතුය. සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවී කොවිඩ් 19 නොපැමිණියේ නම් ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව Default වීමට පටන් ගන්නේ 2019 දෙසැම්බරයේදීය.

යහ පාලන ආණ්ඩුව වැඩ කරගෙන පැමිණි විදිය අනුව යෝධ විදේශ ණය කන්දරාවක් දේශපාලන දෑවැද්දක් ලෙස ගෝඨාභය රාජපක්ෂයන්ට හිමිවිය. එහෙත් 2020 කොවිඩ් වසංගතය ක්‍රියාශීලී වීම නිසා රට වසා දමන ලද බැවින් ද මුළු ලෝකයම ඒ වනවිට වසා දමා තිබු බැවින්ද පෘතුවි ගෝලයම තිබුණේ Default තත්ත්වයකය. පැවති ව්‍යසනකාරී වාතාවරණය සහ ව්‍යාකූල ආර්ථික තත්ත්වය නිසා කිසිදු රටක් ණය ගැන කතා නොකර කොවිඩ් වසංගතයෙන් පණ බේරා ගන්නා ක්‍රමයක් පිළිබඳව උනන්දු වී අතේ තිබූ සල්ලි සියල්ල ආහාර සහ ඖෂධ වෙනුවෙන් වැය කළේය. එහෙත් කොවිඩ් අනතුර පහවී ලෝකය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟම සියලු රටවලට ණයගැතිභාවය හෝ ණයහිමිභාවය ගැන කල්පනා වීමට පටන් ගත්තේය. නිෂ්පාදන ආර්ථිකය මූලික කරගත් රටවල් ස්වකීය නිෂ්පාදන ක්‍රියාදාමය යළි පටන්ගත් නමුත් කිසිදු නිෂ්පාදන ආර්ථිකයක් නැති සංචාරකයන්ගෙන් එන සල්ලි සහ විදේශ රැකියා කරන්නනන් එන සල්ලිවලින් බඩ පුරවා ගත් ලංකාවට කර කියා ගැනීමට දෙයක් නැති විය.

ඇත්තම කතාව නම් යහපාලන කාලයේදී මේ රට විශාල ලෙස පරාජයට පත්වූ බවය. අපේ හිස නිව්යෝර්ක් හෝ ටෝකියෝ නගරවල තිබූ අතර අපේ උදරය සෝමාලියාවේ හෝ ඉතියෝපියාවේ කුණු කානුවල පාවෙමින් තිබිණි. ආර්ථිකය ගොඩගැනීම සඳහා නිෂ්පාදන මූලික ක්‍රියාවලියක් පටන් ගැනීමට ගෝඨාභය රාජපක්ෂයන්ට තිබූ සැලසුම කොවිඩ් වසංගතය විසින් ප්‍රමාද කරන ලද බව ආත්මයට වංචා නොකරන සියලු ජනයා දනිති. ඒ බව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ද දැන සිටි නමුදු ඔවුන්ගේ ආත්ම වංචනික උප විඤ්ඤාණය විසින් ආණ්ඩුවට මඩ ගැසීම සඳහා ඔවුන් පොලඹවන ලදී. සජිත්, විමල්, උදය ගම්මන්පිල, වාසු යනාදීන් අද මතවාදී වශයෙන් සිටින්නේ සජිත් සමඟ විපක්ෂයේය. ඉන්දියාවට ගිය බැසිල් රාජපක්ෂ ඩොලර් බිලියන එකහමාරක සහන මාලාවක් ගෙන එන විට එය ඉවසීමට ජන සතුරන්ට නොහැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ජාතියේ අමතා කළ කතාවට අනුව ඊළඟ මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නිසි කාලයේදීය. එබැවින් දේශපාලන අනාථයන් සඳහා සුදුසු කඳවුරක් විවෘත කිරීමට ජනතාව පියවර ගත යුතුය.

Comments