මාධ්‍ය නිදහසයි පුරවැසි යුතුකමයි! | Page 2 | සිළුමිණ

මාධ්‍ය නිදහසයි පුරවැසි යුතුකමයි!

 

මාධ්‍ය නිදහස ගැන කතාබහ නැවත කරළියට පැමිණ තිබේ. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවෙසට එල්ල වූ ගල් මුල් හා අසූචි ප්‍රහාරයට දින හයක් වැනි කාලයක් මේ වනවිට ගත ව ඇතත් තවමත් කරළියේ වැඩියෙන් ම ඇහෙන්නේ ඒ පිළිබඳ එකිනෙකාගේ මතවාද ය; ඒවා ඔස්සේ දෙන විවිධ අර්ථකථන ය. කුමක් වුව ද මතවාදී ම ය ඝට්ටනයකින් තොර ව මේ වැනි බාල ගණයේ සැඟවී පහර දීම් මෙකලට නොව ගල් යුගයටවත් යුක්ති යුක්ත වන්නේ යැයි කිව නොහැකි ය. මේ වැනි ක්‍රියාවලින් හෙළි වන්නේ එකී ක්‍රියාවේ නිරත වන්නට පසුබිම සැකසූ හෝ ඒ සඳහා යොමු කළවුන්ගේ කුණු වූ ආධ්‍යාත්මයේ ගන්ධය මිස ගැසූ අසූචිවල ගන්ධය නොවේ.

රටක ජනතාව විඳින නිදහස් මත ප්‍රකාශනයේ පරිමාව එරට පවත්නා මානව නිදහස සැබෑ ලෙස අර්ථ ගැන්වෙන්නක් බැව් මධ්‍යස්ථ මතධාරීන්ගේ මතයයි. මාධ්‍ය නිදහස යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ජනතාව වෙත තොරතුරු, ප්‍රවෘත්ති හා දැනුම සම්ප්‍රේෂණය කිරීමේ ලා ජනමාධ්‍යකරුවාගේ අයිතිය සේම, එකී තොරතුරු නිවැරදි ව ග්‍රහණය කරගැනීමේ ග්‍රාහකයා සතු අයිතියේ සම්මිශ්‍රණයක් යැයි කියැවේ. චමුදිත ජනප්‍රිය මාධ්‍යකරුවෙකි. මත සම්පාදනයේ ලා කලක් තිස්සේ ආන්දෝලනාත්මක ව නිරත වූවෙකි. එකිනෙකාගේ මාධ්‍ය භාවිතය ඒ ඒ අයට අනන්‍යය ය. නිදහසේ සිය අදහස් ප්‍රකාශ කිරීමේ චමුදිත සතු අයිතිය සෑම ජනමාධ්‍යකරුවකු ම නිදහසේ බුක්ති විඳින්නකි. භාවිතයේ වන විවිධ නිරූපණම ය හැකියාව ඒ ඒ අයගේ ශක්‍යතාව මත තීරණය වේ. ඒ අනුව චමුදිත හෝ ඕනෑ ම මාධ්‍යවේදියකුට තමන් දරන මතය තමන්ගේ විලාසිතාවකට අනුව ඉදිරිපත් කිරීමේ නිදහස ඇත.

එයට කැමැති වන්නන් හෝ අකැමැති වන්නන් සිටිය හැකිය. අකැමැති නම් එය නොබලා සිටීමටත් ඒ වෙනුවට තෝරා ගැනීමට තවත් බොහෝ මාධ්‍ය තිබෙන බවත් සාමාන්‍ය කරුණකි. එබැවින් චමුදිත ට අකැමැති වන්නන්ට බලන්නට අහන්නට තවත් ඕනෑ තරම් මාධ්‍ය තිබේ.

එඩ්මන්ඩ් බර්ග් මාධ්‍ය හඳුන්වා දෙනු ලැබූවේ සිවුවන ආණ්ඩුව ලෙසිනි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ත්‍රිත්වයට පසුව ඒවායෙහි නිසි ක්‍රියාකාරීත්වයක් සිදු නොවේ නම් ඊට එරෙහි වීමේ සමාජ වගකීමක් මාධ්‍යය වෙත පැවරේ.

ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ට තර්ජන ගර්ජන එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. මෙරට මාධ්‍යවේදීන්ට මේවැනි දෑට මුහුණ දීමේ ආරම්භය 1981 දක්වා දිවෙන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පසුගියදා මාධ්‍යයට අදහස් දක්වා තිබිණි. එදා රජය මඟින් ආරම්භ කිරීමට සැලසුම් කරන ලද සංවර්ධන සභා සම්බන්ධ ව සහ යාපනයේ පුස්තකාලයට ගිනි තැබීම සම්බන්ධ සිද්ධියට අදාළ ක්‍රියාවලියකදී ඉල්ලනාඩු පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ව්‍යසනයට ලක් විණි. මෙරට 1981 සිට 2012 දක්වා මාධ්‍යවේදීන් 120 ක් පමණ වධ හිංසනයට, ඝාතනයට හා පහරදීම්වලට ලක්වී ඇති බවත් මේ නිසා ම බොහෝ මාධ්‍යවේදීන් සිය ජීවිත ආරක්ෂාව පතා රට හැර ගොස් ඇති බවත් මහාචාර්යවරයා වගකීමෙන් යුතුව සඳහන් කර තිබිණි.

මාධ්‍ය මර්දන විධික්‍රම අතර ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම්, පැහැර ගෙන ගොස් හිංසා කිරීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම්, දාමරික කණ්ඩායම් යොදවා තර්ජනය කිරීම් මෙන් ම මේ වැනි සැඟවී පහරදීම් ද තිබේ. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි සිද්ධි ද මේ අතර අළු යට ගිනි පුපුරු සේ තිබේ. කෙනඩි ඝාතනයේ සිට දේශපාලන ඝාතන කිසිවකට මෙතෙක් වගඋත්තරකරුවන් නැත. ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන හා පහරදීම් සම්බන්ධයෙන් ද මෙය ඒ ආකාර ම වේ. එහෙත් මේ රටේ සිවිල් පුද්ගලයකු ඝාතනයට ලක් වූයේ නම් හෝ වෙනයම් ගැටුමකට මැදි වූයේ නම් ඒවායේ ඇත්ත යුත්ත කල්ගත වී හෝ හෙළි වී ඇත. සත්‍යය එයයි.

කෙසේවෙතත් මේ සිද්ධිය පිළිබඳ විවිධාකාර කෝණවලින් බැලිය යුතු ව තිබේ. ජනප්‍රිය මාධ්‍යකරණයක නිරත මාධ්‍යවේදියකුට පෞද්ගලික තරහකරුවන් සිටිය හැකි ය. ඔහුගේ මාධ්‍ය කලාවට අකමැති හා ඒ නිසා ස්වකීය මාධ්‍යකරණය පසුබැසීමෙන් ඇතිවන මානසික පීඩනය ද මේ වැනි දෑ සඳහා බලපෑම් කරනු ලබයි.

අනතුරුව තීරණාත්මක ලෙස හා බොහෝ පහසු ආකාරයෙන් ඇගිල්ල දිගු වෙන්නේ පවතින ආණ්ඩුව වෙත ය. තවත් ලෙසකින් ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නට වෙනත් විකල්ප බලවේගයකින් මෙය කළා යැයි සැක කළ හැකිය. ප්‍රශ්නය අනුන්ගේ නම් කොහොමත් ඕනෑතරම් දාර්ශනික මතවාද තිබෙන්නට හැකිය. එසේ බලන විට මේ සිද්ධිය බෙහෙවින් සංකීර්ණ ය.

රටක් වශයෙන් බලන විට මේ මොහොත ලංකාවට බෙහෙවින් තීරණාත්මක ය. මේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය වෙමින් පවතින අවස්ථාවකි. එබැවින් මාධ්‍යවේදියකුට හිරිහැර වීම ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත් විට මේ මොහොතේ අවාසි සහගත ය.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ මූලික කටයුතු ආරම්භ වී තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම සතියක් වැනි කාලයකදී පැවැත්වීමට ද නියමිත ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මානව හිමිකම් පිළිබඳ වාර්තාව දින කිහිපයක් ඇතුළත බාර දිය යුතු ව තිබේ. එහිදී මානව හිමිකම් සුරක්ෂිත බව පිළිබඳ වගවීම් වාර්තාවක් ද කොමිසමට බාර දිය යුතු ව තිබේ. බොහෝ පාර්ශ්ව රජයට ඇගිල්ල දිගු කිරීමට දත කට පොපියමින් බලා සිටින වෙලාවක මේ වැනි දෙයක් සිදු වීම අපකීර්තියකි.

එසේ හෙයින් මේ සියලු කරුණු පෙළ ගැසී ඇත්තේ කුමක් හෝ එක් පෞද්ගලික කරුණක් වටා විය යුතු ය යන උපකල්පනයට එළැඹීමට තිබෙන ඉඩ වැඩි ය. කෙසේ වෙතත් මෙකී පහර දීම අතිශය බියගුලු ක්‍රියාවක් බැව් අපි අවධාරණය කරමු. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු ව ඇත. ඒ චමුදිත සම්බන්ධයෙන් පමණක් ම නොවේ. සියලු මාධ්‍යවේදීන් ද, සිවිල් පුරවැසියන් ද ඇතුළු සියලු ජනතාව වෙනුවෙනි. මේ බියගුලු ප්‍රහාරය නිසා වින්දිතයන් සේම ආණ්ඩුව ද බලවත් අසීරුතාවකට ලක් වී තිබේ.

මේ වැනි අවස්ථා කිහිපයක් නොව බොහොමයක් අපි පසු කර ඇත්තෙමු. මේ වැනි සේම මීට වඩා බෙහෙවින් බරපතළ සිද්ධි ද ඒ අතර තිබේ. එහෙත් ඒ කිසිවකට කිසිවකුත් දඬුවම් ලබා ඇති බවක් ඉතිහාසයෙන් අපට හමු නොවේ. මේ අපකීර්තිමත් ඉතිහාසය නැවත නැවතත් ඒ ආකාරයෙන් ම සිදු වීම වළක්වා ගත යුතු ව තිබේ. මාධ්‍ය නිදහස සුරැකීමට පුරවැසියන් අත්වැල් බැඳගත යුත්තේ එබැවිනි.

Comments