අකාලික සාමයක පණිවිඩය ගෙනෙන නත්තල | Page 2 | සිළුමිණ

අකාලික සාමයක පණිවිඩය ගෙනෙන නත්තල

සිරිමත් නත්තල උදා වී හරියටම ගෙවුණේ දවසකි. වසර දෙකක් තිස්සේ නත්තල සැමරීමට නොහැකි වූ ජනතාව මීටරය ගැන සවිඥානික ව මේ වසරේ නත්තල සමරන්නට එක් වීම සහෘදය සිත් ආනන්දයට පත් කළ බව නොරහසකි. පාස්කු ප්‍රහාරයෙන් අහිමි වූ ස්වකීයයන් ගැන මතකය සිතේ කොනක සදාකාලික ව නොමැකෙන සේ තැන්පත් වුව ද සාමයේ පණිවිඩය ගැන ජනතාව අන් කවරදාටත් වඩා මෙවර සැලකිලිමත් වූයේ යැයි කීම යුක්ති යුක්ත ය. මුව ආවරණයෙන් වැසුණු මුවෙන් යුතු ව නිවෙසට ම කොටු වී ගෙවුණු පසුගිය නත්තල වුව ද වසංගතයේ පීඩාවෙන් ඔද්දල් වූ සිතට චමත්කාරයක් ගෙන ආවේ නැත. එනයින් බලන කල නත්තලක සුව චමත්කාරය විඳින්නේ කතෝලික ජනතාව වසර කිහිපයකට පසුව ය. සැහැල්ලුවෙන්, අත්තනෝමතික ව සැමරීමට වඩා නත්තල තවමත් වසංගත අවධානම පිළිබඳ අවදානයෙන් යුතුව සැමරිය යුතු වූවක් බව අමතක නොකළ යුතු ව ඇත. වසංගත අවදානමේ බර තවමත් සැහැල්ලු කරන්නට තරම් මානසික කායික නිදහසක් උදා වී නැත.

නත්තල යනු සැණකෙළියක් දැයි කෙනකුට ප්‍රශ්නයක් ඇති විය හැකි ය. කතෝලික දහම ඇතුළත ද ඇත්තේ අසරණයන්ට පිහිට වෙමින් බෙදා හදා ගන්නා නත්තලක් පිළිබඳ ව ය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙන් ම එතුමා අනුයන සියලු කතෝලික ආගමික ශාස්තෘෘන් වහන්සේලා ඒ පිළිබඳ දැනුම්වත් ය. ජනතාව ද දැනුම්වත් කරන්නෝ ය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අහස උසට නැඟ ජීවන තත්ත්වය පරිහානියට පත් කලෙක පිරිසක් සමරන, තවත් පිරිසක් විඳවන දෙයක් බවට නත්තල පත් නොවිය යුතු බව සැමගේ අදහසයි. ජේසු බිලිදාගේ උපත සිහිපත් කරමින් සමරන නත්තල භක්තිය උතුරා යන, නැති බැරි අයට ඇති හැකි අය විසින් උදව් උපකාර කෙරෙන අවස්ථාවකි. එය අමතක නොකරන ජනතාවක් අවැසි ව තිබේ.

සාමය පිළිබඳ ව අර්ථ නිරූපණයෙහි යෙදෙන බයිබලය, සාමය සිරස්‌ අතට හා තිරස්‌ අතට විහිද යන්නක්‌ බව පැහැදිලි කරයි. සිරස්‌ අතට විහිදෙන සාමයෙන් අදහස්‌ වන්නේ මිනිසා සහ දෙවියන් අතර ඇතිවන සාම සබඳතාවයි. එය ඉහළ සිට පහළ සම්බන්ධ කරන්නා වූ සාමය ලෙස ද හැඳින්වීමට හැකිය. තිරස්‌ අතට විහිදෙන සාමය යනු මිනිසා තමා අතරත්, මිනිසා සහ මිනිසා අතරත් ඇතිකර ගන්නා ආධ්‍යාත්මික හා සහනශීලතා සම්බන්ධතා ය. එනම් සාමය සෑම අස්සක් මුල්ලක් නෑර ම ස්පර්ශ කරන බැව් මේ අර්ථ නිරූපණයෙන් පැහැදිලි වෙන අතර ම නත්තල අර්ථවත් කරන්නේ සාමය ම බැව් ද සපථ වේ.

නූතන සමාජය වෛරයෙන් ඔද්දල් ව ප්‍රේමයෙන් දුරස්ථ ව ගිය බවක් පෙන්නුම් කෙරෙන්නේ නම් එය සාමයික, සද්ජන සමාජයක් නොවේ. සමාජයේ පහළ ම ස්ථරයේ සිට ඉහළ ම ස්ථරය දක්වා ගැටුම විසින් සමාජය ගිලන් කර තිබේ. ලෝක මට්ටමෙන් ගත්ත ද බරපතළ යුද ගැටුම් නිසා ආගමික වෛරය මතු වී ඇත. කොරෝනා වයිරසය විසින් මොහොතකින් ජීවිතය තණ අග පිනි බිඳු සේ වියැකී යා හැකි බව ආදර්ශයෙන් ම පෙන්වා දුන්නත් තවමත් එය ආගන්තුක සේ වීම අරුමයෙකි. මේ සියල්ල පසුපස ඇත්තේ අසීමිත වෛරයයි. එය කිසිදින නිමා වෙන්නක් නොවේ. වැපිරිය යුත්තේ සාමයයි. සාමය වැපිරීමට අවැසි වන්නේ ලයාන්විත හදවතක් පමණී. එකී හදවතක් සතු වෙන්නේ අනෙකා වෙනුවෙන් කැප වෙන, වද වෙන සොඳුරු ඉවසන සිතක් ඇත්නම් පමණී.

පාස්කු ප්‍රහාරයෙන් පසු බෞද්ධ භික්ෂූන් වහන්සේ ද එහි ශෝකය බෙදා ගැනීමට ඉදිරිපත් වූහ. ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහිපත් කරන අවස්ථාවලට එක් වූ ‍බෞද්ධ භික්ෂුන් වහන්සේ පහන් දැල් වූහ. ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථාන යළි නඟා සිටුවීමට බෞද්ධයන් විශාල අනුග්‍රහයක් දක්වා ඇත. ඒ සියල්ල සාමයේ, සමඟියේ සාමදානයේ සලකුණු ය. එපමණක් නොවේ පාකිස්ථානයේදී අන්තවාදීන් විසින් ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර සිද්ධිය වුව මෙරට ජනතාව දරා ගත්තේ සන්සුන් ව හා ආගමික සහජීවනයෙන් යුතු ව ය. ඒ සියල්ල නත්තල දා සිහිපත් කරන්නේ කිතුනු දහම යනු සාමයේ පණිවිඩය රැගෙන එන ආගමක් නිසා ය. ලොව ඇත්තේ සැරසිලිවලට එහා ගිය අධ්‍යාත්මික ගමනක් බව කොවිඩ් 19 ලොව සැමට ම කියා දුන් සත්‍යයයි.

ආගමික පරමාර්ථය මිනිසා ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කර පාපයෙන් ගැලවීම ය. මර්සිලීනු ජයකොඩි පියතුමා කියන්නේ එතුමාගේ නත්තල පව පල්ලි යන දා බව ය. නත්තලේ සැබෑ අර්ථය ඇත්තේ සැරසිලිවල නොවේ. විශාල උත්සවවල ද නොවේ. ජේසුතුමන් විසින් දේශිත කන්ද උඩ දේශනාවේ එන පහත වැකිය කියවන්න. නත්තලේ සැබෑ අරුත ඔබට එහිදී හමු වෙනු ඇත.

"මෘදු සිත් ඇත්තෝ ආශිර්වාද ලද්දෝ ය. මක්‌නිසාද යත් ඔවුහු පෘථිවියේ උරුමක්‌කාරයෝ වන්නා හ"

භෞතික හා බුද්ධිමය සියලු සම්පත් කොල්ලකා ගැනීමේ නිරන්තර සටනක යෙදී සිටින වත්මන් මිනිසාට අධ්‍යාත්මික සුවය ගැන අවබෝධයක් නැත. ඔවුහු එකිනෙකා ඇන කොටා ගනිමින් විනාශ වෙති. මේ වැනි අවදියෙක කලකෝලාහලවලින් බැහැර වී සිටින්නේ මෘදු සිත් සතන් ඇති කරුණාවන්ත, දයාවන්ත වූවෝ පමණක් වෙති. ඉතිරි වන වෙනත් අයිතිකරුවන් නැති නිසා පෘථිවියේ අයිතිකරුවන් වීමේ උරුමය ලබන්නේත්, අලුත් සභ්‍යත්වයක ආරම්භකයන් වන්නේත් මේ ටික දෙනා ය. මේ බව සිහිපත් කරදෙන නත්තල අප දකින්නේ අරුණෝදයේ එළැඹුමක් ලෙස ය.

නත්තලෙහි අභිමතාර්ථය වන්නේ ඡේසු සමිදාණන් විසින් දේශනා කරනු ලැබූ කරුණාව, දයාව හා සාමය අනෙකා සමඟ බෙදා හදා ගැනීම ය. ඡේසුතුමන් "සාමයේ කුමරා" ලෙසින් හැඳින්වෙන්නේ මේ නිසා ය. නත්තල නිමිතිකොට සාමය පතුරුවන්නේ තමන්ට ඇති සම්පත් අසරණ අය සමඟ බෙදා හදා ගැනීමෙනි. මෙය ඈත අතීතයේ සිට ම පැවත ආ කිතුනු සාරධර්මයකි. දුප්පත් පොහොසත් පරතරය ලොව සෑම දෙයකින් ම විවිධ ප්‍රතිශතයන්ගෙන් විද්‍යාමාන වේ. මේ පිළිබඳ සුන්දර ම කව ලියා ඇත්තේ පන්සලේ පියතුමා ලෙසින් විරුදාවලී ලැබූ මර්සලීන් ජයකොඩි පියතුමාණෝ ය.

මගේ නත්තල දුගියා බත් කන දාය 
මගේ නත්තල වැරහැලි නැතිවන දාය 
මගේ නත්තල ඔබෙ දුක සැනසෙන දාය 
මගේ නත්තල පව පල්ලිය යන දාය

වසංගත මැද වර්ජන රැලි, ගෑස් පිපිරීම් හා තවත් බොහෝ දෑ මැද එළැඹි නත්තල සැමගේම නත්තලක් වෙන්නට නම් තවමත් පහව නොගිය වසංගතය ගැන සවිඥානික විය යුතු බව මේ නත්තල දා ආවර්ජනය කළ යුතු ය.

Comments