වෙද මහත්තයෙක් බවට පත්වූ විදුලි සන්දේශ ඉංජිනේරුවා | Page 3 | සිළුමිණ

වෙද මහත්තයෙක් බවට පත්වූ විදුලි සන්දේශ ඉංජිනේරුවා

වෛද්‍යා­චාර්ය අරුණ ගාමිණී

වෛද්‍යාචාර්ය අරුණ ගාමිණී ආයුර්වේද වෛද්‍යවරයා ගැන ගම්පහ නගරයේ බොහෝ දෙනෙක් දන්නේය. ඔහු ආයුදී ආයුර්වේද රෝහල පුද්ගලික සමාගමේ නිර්මාතෘ ය. ඔහු එහි අධ්‍යක්ෂ මණඩලය නියෝජනය කරමින් ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙසත් සේවය කරන්නේය.

වෙදකමට එන්නට කලින් ඔහු විදුලි සන්දේශ ඉංජිනේරුවරයෙකි. ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ තුන් අවුරුදු පාඨමාලාවක් හදාරා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ කාර්මික ශිල්පියෙක් ලෙස 1970 දශකයේ සේවයට එක්වන ඔහු වර්ෂ 2018 දී විශ්‍රාම යන්නේ ටෙලිකොම් ඉංජිනේරුවරයෙක් ලෙසය.

රජයේ පිළිගත් විධායක නිලධාරියෙක් ලෙස විශ්‍රාමික දිවියට පිළිපන් අරුණ ගාමිණී විදුලි සන්දේශ ඉංජිනේරුවරයා; ආයුර්වේද වෛද්‍යවරයෙක් වන්නේ වෙදකම පිළිබඳ ඇති අසීමිත ආශාව නිසා ය. කලක් තිස්සේ දේශීය වෛද්‍ය විද්‍යා විෂය හදාරන ඔහු දැන් ඔහුගේම පුද්ගලික ආයුර්වේද රෝහලක අධ්‍යක්ෂවරයෙකි; වෛද්‍යවරයෙකි. ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි රට පිළිගත් දේශීය වෛද්‍යවරුන් 07කගේ සේවයෙන් ඔහු රෝහල පවත්වාගෙන යන්නේය. ඔහු සිය අත්දැකීම අපට හෙළි කළේ මෙසේය. “ මා විෂයයක් විදිහට ආයුර්වේදය හරිම ප්‍රිය කළ කෙනෙක්. විදුලි සන්දේශ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන වකවානුවෙදිම යක්කල මාරසිංහ ආයුර්වේද පරම්පරාවෙ කවිරාජ් මාරසිංහ ආයුර්වේද වෛද්‍ය­ාචාර්යවරයා යටතේ තමයි මම ආයුර්වේ වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ. වර්ෂ 2014 සිට මා මේ විෂය හදාරන්න පටන් ගත්තා. හැමදාම සවස් වරුව අධ්‍යයන කටයුතුවලට යොමු කළා. මේ රෝහල හැදුවෙ විශ්‍රාම ගියාට පස්සේ. ඒ කියන්නෙ මීට අවුරුදු එක හමාරකට කලින්. “

අරුණ ගාමිණී වෙදමහතා වෛද්‍ය කර්මය හැදෑරීමට අවස්ථාව සැලසූ ඔහුගේ ගුරුවරයා වන දේශීය වෛද්‍ය, කවිරාජ් මාරසිංහ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ය.

අරුණ ගාමිණී දේශීය වෛද්‍යවරයා කියන්නේ මේ රෝහල හැදීමේ පරමාර්ථය සමාජ සත්කාරයක් කිරීම බවය. සිය මවුපියන්ට පින් පිණිස මේ සත්කාරය කරන බව ද ඔහු කියන්නේය.

“මේ රෝහල පටන් ගැනීමේ අරමුණ නේවාසිකව රෝගීන්ට ප්‍රතිකාර කිරීමයි.

මුදලට වඩා සමාජ සත්කාරයක් ලෙසයි පටන් ගත්තේ. මිනිස්සුන්ගේ කොඳු ආශ්‍රිත ආබාධ, ස්නායු අමාරු, අංශභාගය, අර්ශස්, පාදවල නහර ගැටගැසීම් සඳහා බහුල ලෙස ප්‍රතිකාර ගන්න අපේ රෝහලට එනවා. මේ රෝහලේ ප්‍රතිකාර ගන්න රෝගියකුගෙන් බෙහෙත් කෑම බීම, හෙදකම කරන අතරම කාමරයක් ලබා දී සියලුම පිරිවැය සඳහා අපි අය කරන්නෙ රුපියල් 3500ක් පමණයි.“ අරුණ ගාමිණී වෙදමහතා කියන්නෙ එසේය.

ආයුදී රෝහලේ විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් වන කොලෙස්ට්‍රෝල් පාලනය සම්බන්ධව ප්‍රතිකාර ක්‍රම ගැන ඔහු මෙසේ පවසයි. 

“ තෙල් ගාලා බොඩි මසාජ් එකකින් පස්සේ ස්ටීම් බාත් එකක් කරන ක්‍රමවේදයක් අප හඳුනාගෙන තිබෙනවා කොලෙස්ට්‍රෝල් සඳහා. ඒ ප්‍රතිකාරය ඉතාම යහපත් ප්‍රතිඵල ගෙනෙනවා.

මේ ප්‍රතිකාරය පැය දෙකක් පුරා යන එකක්“. වෙදමහත්මයා තවදුරටත් විස්තර කර කියා දුන්නේය.

රෝගියාගේ රෝග නිධානය පිළිබඳ නිවැරදි තොරතුරු ලැබෙනවා නම් අසීරු ස්නායු ආබාධ සුව කළ හැකි බව මෙම වෛද්‍යවරයා කියන්නේ විශ්වාසයෙනි.

බටහිර ඖෂධවලටත් වඩා දේශීය ඖෂධ මිල ගණන් ඉහළ යන වටපිටාවක අඩු මිලට කෙරෙන මේ සත්කාර සේවාව ආරම්භ කර පවත්වා ගන්නේ අසීමිත තෘප්තියෙන් බව කියන තමන් රෝගීන් විශාල සංඛ්‍යාවකට නොමිලයේම ප්‍රතිකාර කරන බවය.

ආයුදී වෙද මැදුරේ විශේෂිත නිෂ්පාදන තිබෙනව ද?. අවසාන වශයෙන් ඇසුවෙමි.

“කෙස් ඉදෙන එක මම තෙලක් හදලා තියනවා. ඒ තෙල දිගටම පාවිච්ච කරන්න ඕන. එතකොට කෙස් කළු වෙනවා.

ඒ සඳහා වැය වන අධික වියදම නිසා ඖෂධය වෙළෙඳපලට යොමු කරන්න උත්සාහ කළේ නෑ. වෙළෙඳපලට යොමු කළොත් ඒ තෙල් කාලක් රුපියල් 2500ක්වත් වේවි. නමුත් ඒ තෙල් ගැන අහගෙන ඒ තෙල් සොයාගෙන අපි ළඟට එන අයට අපි ලබා දෙනවා.“

“ඒ වගේම අපි ළඟට එන අංශභාග රෝගීන් උපරිම මට්ටටමින් සුව කරන්න අපි ප්‍රතිකාර විධි හදලා තියනවා. නැගිටගන්න බැරි රෝගියෙක් තමන්ගෙ වැඩපල කරගන්න හැකි තත්ත්වයට පත් කරලයි අපි රෝහලෙන් පිටත් කරන්නෙ. ගම්පහ සහ උඩගම්පල රෝහල් ශාඛා දෙකෙන්ම අපි මේ ප්‍රතිකාර විධි පවත්වාගෙන යනවා...“ “ ආයුර්වේද වෛද්‍ය අරුණ ගාමිණී කියන්නේ විශ්වාසයෙනි.

Comments