අධිකරණයේ සැබෑ වෙනසක්... | Page 2 | සිළුමිණ

අධිකරණයේ සැබෑ වෙනසක්...

තංගල්ල පූර්වගාමි මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද පසුගිය නොවැම්බර් 11 දා අධිකරණ සම්ප්‍රදාය නොතකා හරිමින් කළ ක්‍රියාවක් ගැන මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි. ඒ අනුව විනිසුරුවරයා සාම්ප්‍රදායික මරණීය දණ්ඩන තීන්දු ක්‍රියාවලියකදී නොකරන අන්දමින් සාමාන්‍ය නඩු තීන්දුවක් දෙන ආකාරයට එකී මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කළේ ය. මේ ක්‍රියාව නිසා හෙළි වූයේ අන් යමක් නොව අධිකරණ නීති පද්ධතියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පොදු හා වෘත්තීය මට්ටමෙන් ඇති නොපැහැදීමයි. මේ පිළිබඳ කතාවට නැඟෙන්නේ සුද්දගෙ කාලෙ නීති තවමත් ක්‍රියාත්මක කිරීමේ උපයෝගීතාව කුමක්ද යන්නයි.

බොහෝ නීති යාවත්කාලීන විය යුතු බවට ඇසෙන චෝදනාව සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ ඇමති අලි සබ්රිගේ අවධානය යොමු වීම අගය කටයුතු ය. මාතර නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට ඉකුත් දා පත් කළ අවස්ථාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කළේ ය. ඒ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය ප්‍රථම වතාවට දැනගත්තේ ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව බව ය. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් පාන ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ යල් පැන ගිය නීති සංශෝධනය කිරීම සඳහා සෑම කැබිනට් රැස්වීමකදීම නීති කෙටුම්පත් ඉදිරිපත් කරන ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ ආකාරයට ඉතා වේගයෙන් නීති ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එහිදී තවදුරටත් සඳහන් කළේ ය.

අලි සබ්රි අමාත්‍යවරයාගේ වේගවත් ගමනට මාතර ජනතාව වෙනුවෙන් සිය ගෞරවය පිරිනමමින් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා මෙතෙක් හුඹස් පෙට්ටියේ පුස් කෑ නීති සංශෝධනයට මුල පිරීම ගැන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රසිද්ධියේ ප්‍රශංසාවට හා ඇගයීමට ලක් කළේය.

ඒ මාස 14 ක් වැනි කෙටි කාලයක් ඇතුළත නව නීති සම්පාදනයේ හා නීති ප්‍රතිසංස්කරණවලදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අත්කරගෙන ඇති ප්‍රගතිය නිසා ය.

යුක්තිය ඉටු වීම ප්‍රමාණවත් නැත. යුක්තිය ඉටු වූ බව පැහැදිලි ව පෙනෙන්නට තිබිය යුතුය කියා කියන්නේ ශ්‍රීමත් හෙන්රි මේන් නම් ප්‍රකට ඉංග්‍රීසි නීතිවේදියා ය. සාමාන්‍ය පොදු ජනතාව අධිකරණය වෙත එන්නේ යුක්තිය ඉටු වනු දැකීමේ අභිලාෂයෙනි. අධිකරණය සිය එකම ගැලවුම්කරුවා ලෙස බොහෝ දෙනකුගේ විශ්වාසයයි. යුක්තිය ඉටු වීම පිළිබඳ ඒ විශ්වාසය කඩිනමින් නොව නිසි කලට වේලාවට හෝ සිදු නොවන්නේ නම් සාමාන්‍ය මිනිසුන්ට විශ්වාස කිරීමට අන් යමක් නැත. කසකාරයට කලින් පෙරහර ගිහින් වැඩක් නැත. එනයින් බලන කල වසර ගණන් නොව දශක ගණන් ගිහින් විසඳෙන සමහර නඩු තීන්දු ලබා ගන්නට එන්නේ ඒ නඩුව ගැන කිසිත් නොදන්නා පරම්පරාවක අයෙකි. තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති තැනැත්තා ය. තුවාලය ඇති තැනැත්තාට පිළියම් නොකර එය අවශ්‍ය නැති පසු පරම්පරාවකට ඒ තීන්දු ලබා දීම වැඩක් නැත. අධිකරණ පද්ධතියේ ඇති මෙකී දෝෂ ගැන අධිකරණ ඇමැතිවරයාගේ සවිඥානිකත්වය වටින්නේ මේ නිසා ය.

දරුවන් සම්බන්ධ නීති ද යාවත්කාලීන කිරීම කෙරෙහි අවධානය යොමු වීම වැදගත් ය. අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ප්‍රධාන අංශ පහක තිබෙන ඇතැම් නීති සැකසීමට, යාවත්කාලීන කිරීමට සහ සංශෝධනයට කෙටුම්පත් සකස් වෙමින් පවතී. මේවා අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අරුණාලෝකය විහිදුවන දෑ ය.

මේ රටේ නීති ක්ෂේත්‍රයේ පවතින ප්‍රශ්නවලින් වැඩි ප්‍රමාණයක් හට ගෙන ඇත්තේ නීති පද්ධතියේ ඇති දෝෂ නිසා ය. ඒ දෝෂ නිවැරදි කිරීමට ව්‍යවස්ථාදායකට හැකි ය. ඒ මඟින් වසර, දශක ගණන් ඇදෙනා මේ අධිකරණ ප්‍රශ්නය විසඳීමේ මාර්ගය පෑදේ. උසාවිවල නඩු ලක්ෂ 8 ක් මේ වන විට ගොඩගැහී ඇති බව වාර්තා වේ. නඩු කටයුතු පමා වීම්, දික්කසාද නඩුවලට බලපවත්නා වෛවාහක වරද, ඇප දීමේ දී ඇතිවන ගැටලු ආදී වශයෙන් මේවා විවිධ වර්ග යටතේ ගොනු කළ හැකි ය. ගෙවල් කුලී පනත, දික්කසාද පනත, විවාහ විය යුතු වයස් සීමාව වගේ දේවල් වෙනස් විය යුතු දෑ ලෙස හඳුනා ගෙන තිබේ. මේ සියල්ල ම යාවත්කාලීන විය යුතු ව ඇත. ඒ සඳහා නොබිය ව පෙරට ආ අධිකරණ අමාත්‍ය අලි සබ්රි ට ජනතාව මල් මිටක් ප්‍රධානය කරන්නේ මේවා කිසිසේත්ම ලෙහෙසි පහසු කාරණා නොවන නිසා ය.

මේ අතර අධිකරණ ආමාත්‍යවරයාගේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා අනු කමිටු 5 ක් පත් කර ඇත. ඒ යටිතල පහසුකම් අනුකමිටුව, සිවිල් නීතිය ප්‍රතිසංස්කරණ කිරීමේ අනු කමිටුව, අපරාධ නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ අනු කමිටුව, වාණිජ නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ අනු කමිටුව සහ ස්වයංක්‍රීය අධිකරණ පද්ධති අනු කමිටුව වශයෙනි. ඒ අනු කමිටුවලට විෂය ප්‍රාමාණික විද්වතුන්, නීතිඥවරුන් පත් කර ඇත. ඔවුහු අදාළ විෂය ගැන අධ්‍යයනය කර වෙනස් විය යුතු තැන්, අලුත් විය යුතු තැන්, අලුතින් ම සකස් කළ යුතු තැන් ගැන ඇමැතිතුමාට නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත ය. අධිකරණ පද්ධතිය පුළුල් කිරීම, විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීම ආදිය ද මේ වන විට ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් හැදෙමින් පවතී.

මාස 14 ක කෙටි කාලයක් ඇතුළත නීති ප්‍රතිසංස්කරණ සහ නීති සම්පාදන 96 ක් ඉදිරිපත් කර ඇති බව පසුගියදා ප්‍රකාශ කළේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ ය. රාජ්‍ය සේවයේ දක්ෂතම නිලධාරියෙක් වන ඔහු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වීම සැමගේ වාසනාවකි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාව සිටියදී රට පුරා අල ගොවීන් ඇතුළු ගොවීන්ගේ ප්‍රශ්න කාර්යක්ෂම ව විසඳුවේ ඔහුගේ මැදිහත් වීමෙනි.

මීට අමතරව මාස 14 ක කාලයක් ඇතුළත ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා නීති සංශෝධන සඳහා කෙටුම්පත් 96 ක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතිහාසයේ කිසිදු අධිකරණ ඇමැතිවරයෙක් කටයුතු නොකළ ආකාරයට වේගවත් ආකාරයෙනි. එක රටක් එක නීතියක් යටතට ගෙන අධිකරණය යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියට පිළිපන් අධිකරණ ඇමැතිවරයා ජනමාධ්‍ය ඇමතිවරයාගේ පමණක් නොව සියල්ලන්ගේ ම ප්‍රශංසාවට ලක් විය යුතු බැව් අප පවසන්නේ ඒ නිසා ය. වෙනස් වීම සේ ම වෙනස් කිරීම ද පහසු නැත. අධිකරණය සම්බන්ධ දෑ වෙනස් කිරීම අනෙක් දේ ට වඩා බෙහෙවින් අපහසු ය. එනයින් බලන කල අධිකරණ ඇමතිවරයා මේ කරන්නේ මීට පෙර සක්කරයාටවත් බැරි යැයි කියූ දෙයක් වෙනස් කිරීමකි. එය කිසිසේත්ම පහසු සරල කටයුත්තක් නොවේ. කවුරුන් හෝ කළ යුතු වුවත් මෙතෙක් ඒ පිළිබඳ ව කතා කිරීමටවත් අකැමැති වූ මේ කාර්යයට සක්‍රිය ව හා ශක්තිමත් ව පෙරට ඒම ගැන අධිකරණ ආමාත්‍ය අලි සබ්රිට ජනතා ශුභාශිංසන නිතැතින් හිමි විය යුතු ම ය.

Comments