පොලි­ස්, ඇමති වෙත ය! | Page 2 | සිළුමිණ

පොලි­ස්, ඇමති වෙත ය!

මේ දිනවල වැඩියෙන් ම කතාබහට ලක්වෙන මාතෘකාවක් වන්නේ පොලිසියයි. කොවිඩ් වසංගතය මැඬලීමට දිවා රෑ මෙන් ම නිරෝධායන ඇඳිරිය පවතිද්දී ද සිය උපරිමයෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් ගැන ජනතාවට තිබුණේ ප්‍රසාදයකි. ජනතාව තමන්ට හැකි අයුරෙන් ඔවුන්ට සංග්‍රහාදිය පවා කළේ සිය ජීවන අවදානම නොතකා වසංගතය මැඬ පවත්වන්නට කැපවූ බැවිනි. එහෙත් බහුතරයක් වන මෙකී මානව හිතවාදී නිලධාරීන්ටත් අගෞරවයක් වන පරිද්දෙන් හැසිරෙන ඉතා සුළු නිලධාරීන් පිරිසක් නිසා පොලිසිය අපකීර්තියට පත් වී තිබේ. එහි අලුත් ම තත්ත්වය වාර්තා වූයේ පසුගිය 28 දා ය. ඒ ලිංගික අල්ලස් ගැනීමට ගිය වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට පත් වීමත් සමඟ ය. අදාළ කාන්තාවගේ මුදල් හා ඉඩම් ගැටලු අධිකරණට යෑම වළකාලන්නට පොරොන්දු වෙමින් ඇය සමඟ පුත්තලම නගරයේ හෝටලයක රැඳී සිටියදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරී කණ්ඩායමක් විසින් ඒ නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලදී. තමාට වන ලිංගික අගතියක් වෙනුවෙන් පොලිසියට යෑමට තරම් විශ්වාසයක් මේ වැනි දෑ නිසා සාමාන්‍ය කාන්තාවන්ට අහිමි නොවන්නේ ද?

රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කළ පුද්ගලයකු රථය හරස්කොට නවත්වා ගෙන පහර දුන් බව කියන සබරගමුව පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා තවත් පොලිස් නිලධාරියකු පිළිබඳ ප්‍රවෘත්තිය වාර්තා වූයේ ද මීට දින කිහිපයකට පෙර ය. ඊට පෙර කඩවතදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකු විසින් කළ වෙඩි තැබීමක් ද වාර්තා වී තිබිණි. ඊටත් කලකට පෙර හයිලෙවල් පාරේ අනතුරක් කළ පුද්ගලයකුට බිම දාගෙන පහර දුන් පොලිස් නිලධාරියකු මාධ්‍ය හඳුන්වා දී තිබුණේ රෙස්ලින් රාලහාමි කියා ය. පසුගිය 22 දා සිදු වූ එරාවුර් සිද්ධිය ද මේ ලයිස්තුවට එකතු විය යුතුව තිබේ. නිල ඇඳුමේ හයියෙන් සාමාන්‍ය ජනතාවට පහර දෙන මෙකී සිද්ධි වාර්තා වූයේ මෙකල සමාජ මාධ්‍ය අත්කරගෙන ඇති ක්ෂණික ප්‍රචාරණ විධික්‍රමය නිසා ය.

මිනිසුන් අතින් නීතිය උල්ලංඝනය වෙයි; ඒවාට දඬුවම් දීම හෝ අවවාද කිරීමට පොලිසියට අයිතියක් ඇත. නමුත් පහර දීමට අයිතියක් නැත. අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මේ සිද්ධි සම්බන්ධයෙන් මැදහත් මැදිහත්වීමක් කරමින් සිටියි. එය ඉහළින් ම අගය කළ යුත්තකි.

පොලිස් යනු ඉංග්‍රීසි නමකි. එය බිහිවන්නේ බ්‍රිතාන්‍ය ඇසුරේ ය. ආචාරශීලී, යටහත්, පක්ෂපාතී, බුද්ධිමත්, ධෛර්යවන්ත හා කාර්යශූර යන වදන්හි ඉංග්‍රීසි යෙදුම්හි මුලකුර ආශ්‍රයෙන් පොලිස් යන්න බිහි වී ඇතැයි විචාරක මතයයි. පොලිස් නිලධාරීන් කීයෙන් කී දෙනෙක් මේ කියූ ලක්ෂණවලින් යුතු දැයි යන්න සොයා බැලිය යුතුය. පනහ හැට දශකයන්හි පොලිසිය කෙරේ මේසා කලකිරීමක් ජනතාව අතර නොතිබූ බව පැරැන්නෝ පවසති. ඉතිහාසය ද දෙස් දෙති.

චිකාගෝ පොලිස් අධිකාරී ව සිටි ඕ. ඩබ්. විල්සන් ‘ පොලිස් පරිපාලනය‘ නැමැති පොතේ පොලිස් ආචාර ධර්ම ගැන මෙසේ දක්වා තිබේ.

‘නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියකු වශයෙන් මගේ මූලික යුතුකම මිනිසාට සේවය කිරීම ය. ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම ය. අහිංසකයන් මුළා කිරීමෙන් ද, දුබලයන් හිංසාවලින් සහ කලහකාරී ක්‍රියාවලින් බේරා ගැනීම හා සියලු ම මිනිසුනට හිමි නිදහස, සමානාත්මතාව හා යුක්තිය වැනි අයිතිවාසිකම්වලට ගරු කිරීම වේ‘

මේවා දැන් ක්‍රියාත්මක වෙන්නේ ද යන්න සොයා බැලීම වටී. නොදන්නා නිලධාරීන් මේවැනි කෘති කියවා ගැනීම ද වටී. ස්වකීය රාජකාරිය කොතෙක් බාධා පැමිණය ද නීතියට මෙන්ම මානව හිතවාදීත්වයට ද අනුකූල ව කළ යුතු වේ. සියලු නොපනත්කම්, සියලු නීති විරෝධී ක්‍රියා කරන්නේ මිනිසුන් ය. ඔවුන් ව යහමඟට ගන්නට විවිධ උපක්‍රම තිබේ. ආගම එකකි. අනෙක නීතිය ය. නීතියත් ආගමක් වැනි යැයි කියන්නේ ඒ නිසා ය.

ශ්‍රී ලංකාවේ සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 85,000 ක් පමණ ය. පොලිස් ස්ථාන 560කි. ආසන්න වශයෙන් ගත් කල ජනයාගෙන් 225කට එක් නිලධාරියකු බැගින් සිටියි. ඒ කෙසේවුව ද හැමදාමත් කුමක් හෝ සිද්ධියක් වාර්තා වෙන්නේ ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ එකොළොස්වන වගන්තියේ දැක්වෙන්නේ කිසිවකු හෝ ක්‍රෑර වද බන්ධනයකට ලක් කිරීමට කිසිවකුටත් නොහැකි බව ය. නමුත් ඇතැමුන් පවසන්නේ පොලිස් නිලධාරියාට ද ඉවසීමේ සීමාවක් ඇති බවකි. ඔවුන් ද මනුෂ්‍යයන් බව ය. එසේ නම්, ඔවුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කල්හි හෝ පොලිස් නිලධාරියාට එරෙහිව යමක් පැවසු පමණින් හෝ ක්ෂණිකව දඬුවම් පැමිණවීමේ අභිමතයක් ඔහු සතු නොවේ.

මෑතකදී සාධාරණ නොවන ලෙස මිනිස්සුන්ට මඟතොටේදී පොලිසිය හෝ පොලිස් නිලධාරීන් පහර දෙන සිදුවීම් ඉහළ යන තත්ත්වයක් දකින්නට ලැබේ. මෙය රටක් ලෙස ශිලාචාර නොවන්නකි. පොලිස් නිලධාරින් මඟතොටේදී මෙසේ හැසිරීම දියුණු රටක ලක්ෂණයක් නොවන අතර එය සමීප වන්නේ ගෝත්‍රික සමාජ ක්‍රමයකට ය.

පොලිසියේ ක්‍රියාකාරීත්වය ඍජු ව රටක පැවැත්ම කෙරේ බලපායි. ඩඩ්ලි සේනානායකට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට හර්තාලයේ පොලිස් වෙඩි තැබීම හේතු වූ බව විචාරක මතයයි. පොලිසිය දේශපාලන අතකොලු බවට පත් වූ අවස්ථා ද පාතාලයේ රැකවල්කරුවන් කළ අවස්ථා ද අපට ඉතිහාසයේ අමතක නැත. නීතිය අවනීතිය බවට පත් කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර වැනි පොලිස් නිලධාරීන් තවමත් ඇප නොලබා සිරගතව සිටියි.

මේ සියල්ල අප සටහන් කරන්නේ පොලිසිය ගැන කිසිසේත් අවතක්සේරුවෙන් නොවේ. බහුතරයක් නිලධාරීහු රාජ්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් සද්භාවයෙන් යුතු ව ස්වකීය නිල ඇඳුමේ ගෞරවය ද රකිමින් පේවී සිටිති. එහෙත් කිරි කළයක් දොවා ගොම බින්දුවක් එයට වැටුණොත් කිරි කලයෙන් ම ඇති වැඩක් නැත. පරිස්සම් විය යුත්තේ දෙවූ කිරි කළයට ගොම බින්දුවක් වට්ටවා නොගැනීම ට ය.

වෛරය ක්‍රෝධය වැපිරීම වෙනුවට සාධාරණ සමාජයක මානව හිතවාදී අරුණලු වැටීම වෙනුවෙන් වැඩි ම මෙහෙවරක් කළ හැකි පොලිසිය ගැන ජනතාව බලාපොරොත්තු සහගත ව බලා සිටියි. එහිදී පොලිසිය බාර ඇමති ආචාර්ය සරත් වීරසේකරට ඇත්තේ විසල් වගකීමකි. තිස් වසරක යුද්ධයක් නිම කිරීමේ භාරධූර කර්තව්‍යයේ ප්‍රමුඛයකු වූ ඔහු වැනි සෙන්පතියකුට එය කළ හැකි බව ජනතා විශ්වාසයයි.

Comments