
බොහෝ ආසියාතික රටවල ගුරුවරු හඳුන්වන්නේ දිසාපාමොක් පරපුර කියා ය. තමන්ගේ දරුවාට මෙන්ම තවත් දරුවකුට ආදරය කළ හැකි යමෙක් වේ නම් ඒ ගුරුවරයකු ම යැයි පිළිගත් සම්මතයයි. කොවිඩ් වසංගතය විසින් දරුවන් හා ගුරුවරුන් ඈත් කර තබා මේ වන විට මාස 17කි. ඒ කාලය ඇතුළත දරුවෝ පාසල් නොආහ. පුංචි වයිරසයක් මුළු මානව පැවැත්ම ම උඩියටිකුරු කළ මොහොතක පසුගිය මාස දහහතරක පහළොවක කාලය දරුවන් ගත කළේ පරිගණක තිරය දෙස බලාගෙන මාර්ගගත අධ්‍යාපනය හදාරමිනි. පාසල් යෑමට නොහැකි නම් කාලය ගත වීම වළක්වාලිය නොහැකි නිසා අධ්‍යාපනය කරගෙන යෑමේ නව ක්‍රමයක් සිතිය යුතු වීම ප්‍රායෝගික කරුණකි. දරුවන් සේම ගුරුවරුනුත් මුළු දවස පුරා පරිගණකය ඉදිරියේ වාඩිවී කරන මේ මෙහෙය ගැන අපි කිසිසේත් අවතක්සේරු නොකරන්නෙමු. එහෙත් වයිරසයක් සියල්ල අඩපණ කළ මොහොතක එසේ අසීරුවෙන් මාර්ගගත අධ්‍යාපනය ලැබූ දරුවන් බිල්ලට තබා ගුරුවරුන් වර්ජනයකට යොමු වීම නම් අනුමත කළ හැකි කාරණයක් යැයි කීමට නොහැකිය. මේ කරුණෙන් කිසිසේත්ම ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැන අපි අවතක්සේරු නොකරන්නෙමු. එහෙත් ඕනෑ ම දෙයක් දිනා ගැනීමේ ක්‍රමවේදයක් හා වෙලාවක් තිබේ. මේ ඒ සඳහා වෙලාව නොවන බව පමණකි. දැඩි ආර්ථික අවපාතයකට හා ගැටලු රාශියකට මුහුණ දී ඇති මේ වැනි අවස්ථාවක මීට මාස දෙකකට පෙර ලංකාවේ සමස්ත ගුරුවරු හා විදුහල්පතිවරු ඔන්ලයින් ඉගැන්වීම් ඇතුළු සමස්ත අධ්‍යාපන ක්‍රියාවලින්ගෙන් බැහැර වූයේ සිය වෘත්තීය වැටුප් විෂමතා සාධනය කරගනු වස් ය.
කෙසේනමුදු රජය ඒ සම්බන්ධයෙන් නම්‍යශීලී පියවරක් අනුගමනය කරමින් මේ ප්‍රශ්නය කැඳත් රැවුලත් දෙක ම බේරාගෙන විසඳන මාර්ගයට පසුගියදා පිළිපන්නේ ය.
වූ කොවිඩ් එන්නතට මෙන්ම සෞඛ්‍යයට අති විශාල මුදල් සම්භාරයක් වැය කරද්දී ය. බොහෝ මධ්‍යස්ථ මතධාරීහු කොතෙක් සාධාරණ ඉල්ලීමක් වුවද මේ මොහොත ඊට නුසුදුසු බව අවධාරණය කරති. එසේම රුපියල් බිලියන 70 ක අති විශාල මුදලක් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් මෙවන් අවස්ථාවක වෙන් කරන්න සිදුවීම කෙබඳු රජයකට වුවද දරා ගැනීමට නොහැකි ය. එහෙත් ඒ සියල්ල තිබියදීත් මේ වැනි සාධාරණ තීරණයකට එළැඹීම සම්බන්ධයෙන් අප රජයට කෘතඥ වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම කිසිසේත්ම රටේ අනාගතයට හොඳ ලකුණක් නොවන නිසා ය.
වෘත්තීය අරගල ලොව කිසිදු රටකට ආගන්තුක නොවේ. ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස එය ප්‍රචලිත ය. ශ්‍රී ලංකාවේ වෘත්තීය සටන් ව්‍යාපාරයට ඇත්තේ දිගු ඉතිහාසයකි. වාමවාදී දේශපාලනික ව්‍යාපාර ඇතුළත පෝෂණය වූ වෘත්තීය සමිති සහ ඔවුන් විසින් මෙහෙයවන ලද වෘත්තීය සටන්හි යම් යම් ගුණාංග තිබිණි. එකල වෘත්තීය සමිති නායකයෝ එය විද්‍යාවක් ලෙස හැදෑරූහ; යම් විද්‍යාත්මක පසුබිමක සිට සමාජීය ප්‍රශ්න කෙරෙහි සංවේදිතාවක් ඇතිව සටන්වල නියැළුණහ. එහෙත් මේ වන විට මේ වෘත්තීය සමිතිවල ගෞරවනීයභාවය වර්තමාන වෘත්තීය සමිති නායකයන් විසින් විනාශ කර අකාමකා දමමින් පවතී. අද වෘත්තීය සමිති නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් මෙහෙයවන දේශපාලන අතකොලු පිනවමින් ඔවුන්ට අවැසි බලය ලබා දෙමින්, තමන්ගේ වෘත්තීය ජීවිතයේ විවිධ හිණිමං තරණය කිරීම ය.
වෘත්තීය සමිති ඉතිහාසයේ පෙරමුණේ ම සිටින්නේ ද ගුරු වෘත්තිකයන් ය. ලංකා ගුරු සංගමයේ නායකත්වයෙන් ගුරු සම්මේලනයේ ද සහාය ඇතිව 1975 දී රුපියල් 355 ක නව ගුරු වැටුප් සටන ඇතුළු ගුරු ඉල්ලීම් රැසක් දිනා ගැනීමට ද ගුරුවරුන් සමත් වෙන්නේ මේ අනුව ය. එවන් කීර්තිමත් ඉතිහාසයක් එච්. එන්. ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ලංකා ගුරු සංගමයට එකල හිමිව තිබිණි. 70 දශකයේදී පාලකයන්ගේ උදහසට හා අක්‍රමිකතාවලට යට වී සිටි ගුරු පරපුර ඉන් මුදාගෙන ගුරු අයිතීන් රැකදීමේ ක්‍රියාවලියේ මූලිකත්වය ගත්තේ ලංකා ගුරු සංගමයයි. නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් ද ඔවුහු පෙනී සිටියහ.
ගුරුවරයා වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම අසාධාරණ නැත. එහෙත් ඒ හා සමගාමීව වන අනිකුත් ක්‍රියා ගැන ද ඔවුන් සවිඥානික විය යුතු ය.
මේ පවතින තත්ත්වය ගැන කිසිවක් ම නොසිතා වසංගතයෙන් පීඩා විඳින දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම මේ වැනි මොහොතක ගුරුවරුන්ට කිසිසේත් උචිත නැත. අයිතීන් වුව ද ඉල්ලිය යුතු වෙලාවක් තිබේ. මේ ඊට කිසිසේත්ම ඔබින මොහොතක් නොවේ. පෞද්ගලික අරමුණු වෙනුවෙන් දරුවන් පාවිච්චි කිරීම ගුරු වෘත්තිය වැනි වන්දනීය වෘත්තියකට තරම් නොවේ. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකිව ළත වෙන දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ද නතර කර දමන්නට තරම් ගුරුවරුන් ආත්මාර්ථකාමී වීම කනගාටුදායකය. අනෙක් කාරණය වෙන්නේ අමතර පුද්ගලික පන්තිවලට මේ බාධක බල නොපෑම ය. ඒවා වෙනදා සේම ක්‍රියාත්මක ය. එසේනම් මේ වර්ජන ගර්ජන සියල්ල ඇති හැකි අයට නොව නැතිබැරි අයට ය. එනිසා පූජ්‍ය පක්ෂයේ සහ රජයේ නම්‍යශීලී ආරාධනය නිසා දැන්වත් ගුරුවරු මාර්ගගත අධ්‍යාපනයට පිිළිපන්නේ නම් එයට කෘතඥතාව හිමි වනු ඇත.
බළලුන් ලවා කොස් ඇට බාවන විපක්ෂය තමන් ආණ්ඩු කරන සමයේ කළ කී දෑ අනෙක් අයට අමතක වන්නට ඉඩ නැත. ආණ්ඩුව දරුවන් වෙනුවෙන් අනාගතයක් සැලසුම් කරමින් සිටින මේ වැනි අසීරු මොහොතක අනාගත පරපුරට අධ්‍යාපනය ලබාදීමේ වගකීමට උරදෙන ගුරුවරු, සිය ශිෂ්‍ය පරම්පරාව ගැන මීට වඩා සවිඥානික විය යුතුව තිබේ. ඔවුන්ගේ ගැටලු පිළිබඳ ආණ්ඩුව ක්‍රියා කරමින් සිටිද්දී වෘත්තීය අරගල කිරීම අනුචිත ය. දිසාපාමොක්ලා ම විය නොහැකි වුවත් ඒ ගැන සවිඥානික වීම හෝ වටින්නේය.