නිහඬ යුද්ධය | Page 2 | සිළුමිණ

නිහඬ යුද්ධය

“පිරිමින් නිසා ගැහැනු ද, දෙගුරුන් නිසා දරුවන් ද, බලවතුන් නිසා දුබලයෝ ද, ඉසුරුමතුන් නිසා දිළින්දෝ ද, උගතුන් නිසා නූගත්තු ද, වරදෙහි බැඳෙති යි නිගමනය කළ මහත්මෝ වරද මිනිසාගේ අවිද්‍යාව නිසාම සිදුවන්නකි යි ද එයට වගකිව යුත්තේ මෝහාන්ධකාරයට රුකුල් දෙන සමාජය යැයි පැවසුහ.”

අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලයන් පරිවර්තනය කළ මනුතාපය කෘතිය කියැවූ අයකුට මේ කතාව මතක බවට නිසැක ය. වික්ටර් මාරි හියුගෝ ගේ ''ද ලේ මිසරාබිලේ '' නම් අමරණීය ප්‍රංස නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මනුතාපය යි. අප මේ මුහුණ දෙමින් සිටින්නේ ද එවන් තත්ත්වයකට ය. නොසැලකිලිමත් කිහිප දෙනකු නිසා පවුල් පිටින් ද පවුල් කිහිපයක් නිසා දිස්ත්‍රික්කයක් ද, දිස්ත්‍රික්කයක් නිසා පළාතක් ද, පළාතක් නිසා රටක් ද යනාදී වශයෙන් දැන් කොරෝනා වසංගතයට අප නතු ව තිබේ. මෝහාන්ධකාරය හා අවිද්‍යාව විසින් බේරී ගත නොහැකි ව්‍යසනයකට අප ඇද දමා අවසන් ය. එනිසා දැන් සිදුව ඇත්තේ බලෙන් ජනතාව ආරක්ෂා කිරීමට ය. ඒ ආරක්ෂා කිරීම වෙනුවෙන් බලන් ඉදිද්දී අවපාතයට යන ආර්ථිකය පවා අමතක කර රට වරින් වර වසන්නට සිදුව තිබේ. එහි ප්‍රතිඵලය කුමක්ද යන්න බොහෝ දෙනකුට තේරෙන්නේ නැත. ඒ දිගු කාලීන කඩා වැටීමට මුහුණ දියයුතු වෙන්නේ ද ජනතාවට ම ය. පසුගිය අගෝස්තු 20 දා රාත්‍රී දහයේ සිට 30 දා අලුයම හතර දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය යළිත් 6 වැනිදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජයට සිදු වෙන්නේ නොසැලකිලිමත් බව නිසා කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිර යෑම නිසා ය. කොතරම් රට වැසුවත් ජනතාව සැලකිලිමත් නොවන්නේ නම් ඒ වැසීමෙන් ඇති වැඩක් නැත.

නීතිය ක්‍රියාත්මක කළ ද, නීතිය කැඩීමේ මනෝ ව්‍යාධියක් ජනතාවට තිබේ. එය ශ්‍රී ලංකාවට පමණක් පොදු ප‍්‍රශ්නයක් නොව මනුෂ්‍යයාගේ පොදු අර්බුදයකි. ඒ පොදු අර්බුදයෙන් මේ වසංගතය අබියස නොගැලවුණහොත් සිදුවන ව්‍යසනය බලපාන්නේ තනි පුද්ගලයකු ලෙස ඔබට පමණක් නොවේ. ප්‍රථමයෙන් සිය සමීපතමයන්ට අනතුරුව එතැනින් පොදු ප්‍රවාහයට ලෙසිනි. කිසිවකුත් නැති, බෙර හේවිසි නැති, ගරු බුහුමන් නැති හුදෙකලා මරණයක ඇති හුදෙකලාව හා ජීවතුන් අතර සිටින්නන්ට ඇති ශෝකය ගැන සිතත්දී නම් පෙරකී මනෝ ව්‍යාධි ඉබේ ම සුව වෙනු ඇත. වසංගතයේ ව්‍යාප්තියෙන් මුව විටට ම ලාවා ගලා එද්දීත් බජව් නටන්නට සිතෙන්නේ නම් එය මානසික වියවුලක් මිස අනෙකක් නොවේ. ඔක්සිජන් ගැන කෙතෙක් කිව්වත් එහි වටිනාකම තේරෙන්නට කොරෝනා මුව විටට ම හිර කරන තෙක් ඉඳින්නට සිදු විය. දැන් දැන් මිනිස්සු සිය ඔක්සිමීටර් හෙවත් ශරීරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කිරීමේ යන්ත්‍ර සොයමින් ඖෂධ හල් පීරති. අසල්වැසි ඉන්දියාවේ මරණාසන්නව සිටින රෝගියාගේ මුවට මුව තබා ආයාසයෙන් හුස්ම දෙන්නට තැතැණූ දහස් ගණනක සමීපතමයන්ගේ දසුන තවමත් අපට අමතක නැත. ඔක්සිජන් මොකටදැයි ඇසූවන්ට ඔක්සිජන් ගැන පාඩම සොබාදහම කියා දෙමින් සිටී.

කොරෝනා වසංගතයක්ම පමණක් ම නොවන බව දාර්ශනිකයන්ගේ මතයයි. එය ලෝකයේ මෙතෙක් දැක ඇති දේශපාලන නායකත්වයේ විශාලතම පරීක්ෂණය විය හැකි යැයි ඔවුන් කියන්නේ ඒ නිසා ය. ලෝකයේ සෑම නායකයෙක් ම සිය හැකියාව පිළිබඳ එක ම ආකාරයේ අභියෝගයකට මුහුණ දෙමින් සිටී.

හැම නායකයෙක් ම වෙනස් ආකාරයකින්, ඔහුගේ හෝ ඇයගේ ශෛලිය අනුව ප්‍රතිචාර දක්වයි. සෑම නායකයකු ම විනිශ්චය කරනු ලබන්නේ එහි ප්‍රතිඵලය මඟිනි. කොරෝනාවට කිසිවිටෙකත් ජන ජීවිතය පාලනය කරන්නට අපේ නායකත්වය ඉඩ දුන්නේ නැත. කඩිනම් හා හොඳ ම විසඳුම් සැමවිට ම අපට ආගන්තුක නොවූයේ ඒ නිසා ය. එන්නත්කරණය ශීඝ්‍රයෙන් රට පුරා ක්‍රියාත්මක කරමින් ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ ලා රජය පෙරමුණ ගන්නේ ඒ නිසා ය. නිවැරදි කළමනාකරණය හා මානව සම්පත් සංරක්ෂණය යන්න නිවැරදි මෙහෙයවීමක ප්‍රධාන ම සාධක ය.

කොවිඩ්-19ට එරෙහි ව සටන් කිරීම යනු වයිරසයට බියේ සියලු කටයුතු නවත්වා සැඟවී සිටීම නොවේ. එසේ කරන්නට සිතීම ම අපරිණත බොළඳකමකි. ආර්ථිකය ආරක්ෂා කර නොගතහොත්, නූතන සමාජයට පැවැත්මක් නැත. එනිසා ආර්ථිකයත් රැකගෙන මේ වසංගතයෙන් ගැලවීමේ මාර්ග සෙවිය යුතු බැව් ජනාධිපතිවරයා ස්වකීය විශේෂ ප්‍රකාශයේදී අගෝස්තු 20 දා කියූයේ ඒ නිසා ය.

මේ තීරණාත්මක කාලවකවානුවකි. ගුණෝත්තර ශ්‍රේණියකට සියල්ල ඉහළ යමින් තිබේ. මරණ අටදහසේ සීමාව ඉක්ම වූ අපි, දෛනික මරණ සංඛ්‍යාව 200 සීමාව ද පැන්නුවෙමු. තත්ත්වය සිතන තරම් සරල නැත. වැදගත් වන්නේ ඔබට කෝවිඩ් 19 ආසාදනය වන්නේ ද නැද්ද යන්න නොවේ. එය වැලඳෙන්නේ කුමන කාලයකදී ද යන්න ය. ජීවිතය ද; මරණය ද යන්න තීරණය කරන්නේ වසංගතයක් වැල‍ඳෙන කාලවකවානුව ය. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක වන රෝහල් පහසුකම් සලකා බැලීමේදී ඔබට මේ කරුණ වැටහෙනු නොඅනුමාන ය.

1930 දශකයෙන් පසු ගෝලීය ආර්ථිකය මුහුණ දෙන දරුණුතම ගෝලීය ආර්ථික අවපාතය මෙයයි. ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳාම මේ වසරේ 32% කින් පමණ මන්දගාමී විය හැකි බව ලෝක වෙළෙඳ සංවිධානය (WTO) පුරෝකතනය කර තිබේ. සංචාරක, ඇඟලුම්, දේපළ වෙළෙඳාම් හා ආහාර නිෂ්පාදන කර්මාන්ත ආදී සේවා මුළුමනින් ම අඩාළ වී ඇත. ගෝලීය ශ්‍රම බළකායෙන් 38% ක් පමණ සේවය කරන්නේ මේ ක්ෂේත්‍රයන්හි ය. මේ අනුව ගෝලීය දරිද්‍රතාව කෝටි 40 ත් 60 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. සමස්ත ලෝකයට ම කෝවිඩ් 19 නිසා වූ හානිය පුනරාවර්තනය කරන්නට දශකයක පමණ කාලයක් ගත වෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ උපකල්පනය කරති.

ලංකාවේ ශ්‍රම බළකාය ලක්ෂ 85 කි. ඉන් ලක්ෂ 36ක් පුද්ගලික අංශවල සේවය කරති. ලක්ෂ 34ක් ස්වයං රැකියා වල නිරත වන අතර; ලක්ෂ 15 ක් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරති. සේවා සපයන්නන් බොහෝ දෙනෙක් සිටින්නේ අනතුරේ ය.

අප ද, අපේ ප්‍රියයන් ද මේ වසංගතයට ඔරොත්තු දීමට සමත් විය යුතු ව ඇත. ජීවිතය යනු අරගලයකි. අප රැකෙනා අතරතුරේ අපේ ප්‍රියයන්, රෝගීන්, මහලු අය, සෞඛ්‍ය සේවකයන් හැකි තරම් සංඛ්‍යාවක් ආරක්ෂා කරගැනීම ඒ අරගලයේ කොටසකි. අප කොවිඩ්-19 වැලඳ නොගත යුත්තේ ඒ නිසා ය. එහෙත්, වයිරසයට බියෙන් සැඟවෙන්නට ද බැරි ය. කොවිඩ්-19 හමුවේ අප දන්නා සත්‍ය එය ය. එය ජීවන විලාසයක් වී තිබේ. අද මේ මොහොතේ පවා අප අරගල කරන්නේ ඒ වෙනුවෙනි.

Comments