එකම විසඳුම එන්නත්කරණයයි! | Page 2 | සිළුමිණ

එකම විසඳුම එන්නත්කරණයයි!

කොරෝනා වසංගතයෙන් මිථ්‍යාව සමඟ විද්‍යාවද කුඩුපට්ටම් කර දැමූව ද, මිනිසුන්ට යම් සැනසීමක් ලැබුණේ නම් එය ලැබුණේ විද්‍යාවෙන් පමණි. මුව ආවරණ පැළඳ, හොඳින් සබන් යොදා දෑත් සෝදා, මීටරයක පරතරය ඇතිව සමාජ දුරස්ථභාවය රැකගත් මිනිසුන්ට කොරෝනා වයිරසය නොවැළඳුණේ නම් ඒ සිය පරෙස්සමේ ප්‍රමාණය අනුව ය. මේ වන විට අත්හදා බලමින් සිටින, සියයට 95කට වඩා සාර්ථක වී ඇති කොරෝනා එන්නත බිහිවන්නේ විද්‍යාවේ දියුණුව නිසා ය.

කැනේඩියානු ක්‍රියාකාරී චින්තිකාවක් වන නයෝමි ක්ලයින් පවසන්නේ කොරෝනා අර්බුදය යම් අයුරක ‘පරිණාමීය පිම්මකට’ උත්තේජනයක් විය හැකි බවයි. අප සටන් කරන්නේ වසර එකහමාරක සිට ය. සටනට නිසි පිළිතුර ලැබී ඇත්තේ දැන් ය. එන්නත්කරණය සීඝ්‍රයෙන් සාර්ථක ව ක්‍රියාත්මක වෙයි. මේ ලියන මොහොත වෙන විට අපේ රටේ එන්නත ලබාගත් පිරිස ප්‍රතිශතයක් වශයෙන් අතිබහුතරයකි. මේ වසර අවසාන වනවිට අවුරුදු 12ට වැඩි සියලු දෙනාට කොවිඩ් 19 මර්ධන එන්නත ලබා දී අවසන් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පවසා තිබේ. ඒ් අනුව වයස 12 ට වැඩි අවුරුදු 18 ට අඩු පාසල් යන වයසේ දරුවන් මිලියන 4ක පිරිසකට එන්නත ලබා දීම පිළිබඳ මේ වන විට කටයුතු කෙරෙමින් පවතී. කොවිඩ් එන්නත ලබා ගැනීමට වසංගතය බලවත් ලෙස පැතිරී ඇති රටවල් අතර ඇත්තේ තියුණු යුද්ධයකි; නැතිනම් සීතල යුද්ධයකි. ඒ් අනුව මේ සටනේ රටවල් එකසිය හැත්තෑවකට වඩා සිටිති. එබැවින් මුදල් තිබුණා යැයි කියා මේ එන්නත මිලට ගැනීම පහසු නැත. මේ වන විටත් ප්‍රමිතියෙන් ඉහළ එන්නත් මිලට ගැනීමටත් එය ක්‍රමානුකූලව අනතුරුදායක සහ සමාජයේ ගැටෙන පිරිස් වෙත ලබා දීමටත් කටයුතු කර තිබේ.

ඉකුත් සතිය ඇතුළත මෙරට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් 85%ක්ම එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන් බව අනාවරණය වී ඇත. එම සතියේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 95%ක පිරිසක් කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයන් වන අතර, ඒ් ආසාදිතයන්ගෙන් 22%ක් ලබාගෙන ඇත්තේ එක් එන්නත් මාත්‍රාවක් පමණි. එන්නත් මාත්‍රා දෙක ම ලබාගත් පිරිස අතුරින් ද පසුගිය සතියේ ආසාදිතයන් වාර්තා වූ නමුත් එය 3%ක් තරම් අඩු ප්‍රතිශතයකි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ රජය එන්නත් ලබාගැනීමට කොපමණ පහසුකම් සැපයුවත් 1% පමණ ප්‍රතිශතයක් එය ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර කොවිඩ් එන්නත්කරණය සාර්ථකව කිරීම සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික්කය පළමු තැනට පත්වී තිබේ. ඒ් අනුව මාතලේ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් 99.13% ක් මේ වනවිට පළමු මාත්‍රාව හෝ ලබාගෙන අවසන් ය. එන්නත්කරණයේ සාර්ථකත්වයෙන් දෙවන ස්ථානයට පත් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 93%කි. කළුතර දිස්ත්‍රික්කයේ 85% ක් ද, කොළඹ දිස්ත්‍රික්කයේ 84% ක් ද මේ වනවිට සාර්ථකව එන්නත්කරණය වී තිබේ.

එන්නත්කරණය අත්හදා බලා සාර්ථක වූ රටවල් පිළිබඳ විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ. චීනය, ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, තුර්කිය ආදී රටවල් වැඩි වශයෙන් ඒන්නත්කරණය කළ රටවල් වෙති. කොවිඩ් දෙවැනි රැල්ලෙන් අතිශය පීඩාවට පත් වූ ඇමෙරිකාව, එංගලන්තය, හා ඉතාලිය මේ වනවිට සැනසුම් සුසුම් හෙළන්නේ එන්නත්කරණය නිසා ය. එනිසා තුන්වැනි රැල්ලෙන් බැටකමින් සිටින අපට එක ම විසඳුම එන්නත්කරණය බවට රහසක් නැත. ලංකාව කොවිඩි මර්දනය කිරීමේ ප්‍රධාන ම මඟට අවතීර්ණ වූයේත් එන්නත්කරණය ගැන විශ්වාසයෙනි. එනිසා රජය පූර්ණ වශයෙන් ම ඒ් සඳහා කැප වී කටයුතු කරති. පසුගිය සියලු කොවිඩ් මර්දන කමිටු රැස්වීම් වලදී ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ එන්නත්කරණය කඩිනම් කරන ලෙසය. ජනාධිපතිතුමාගේ එම ප්‍රවේශය වඩාත් වෛද්‍ය විද්‍යානුකූල තීරණයකි. මුළු රටේ ම ජනතාවට එන්නත් කිරීම අවසන් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීම ජාතික කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේ අරමුණයි. එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාවගේ ද දැඩි උනන්දුවක් දක්නට ලැබෙන අතර, විවිධ පාර්ශ්වන්ගෙන් ඒ සඳහා රජයට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. එහි උපයෝගීතාව කෙතෙක් ද යත් එන්නත ඉල්ලා සමහර සංවිධාන උද්ඝෝෂණ කිරීමෙන් පැහැදිලි වේ.

එන්නතක් ලබා දෙන්නේ පූර්ණ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියක් වෙනුවෙනි. ලෝකය පුරා විවිධ වකවානුවල විවිධ වසංගත පැතිරී තිබේ. නිසි කලට අඛණ්ඩව ප්‍රතිශක්තිකරණය හඳුන්වා දීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණයෙන් වළක්වා ගත හැකි රෝග බොහොමයක් ඇති වීම අඩු වී ඇත. තවත් බොහෝ රටවල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හඳුන්වා දීමෙන් රෝග අඩු කිරීමේදී මේ හා සමාන සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ හා අනෙකුත් ආධාර සපයන්නන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ව්‍යාප්ත කළ ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙන් මේ ප්‍රතිලාභ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දීමේදී විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබේ. වසූරිය ගෝලීය වශයෙන් තුරන් කර දැමීමට ප්‍රතිශක්තිකරණය ඉඩ සැලසූ අතර තවත් රෝග සම්බන්ධයෙන් ද එය සිදුවී ඇත.

ඒ අනුව එන්නත් යනු අප සතුව ඇති වඩාත්ම සාර්ථක මහජන සෞඛ්‍ය මැදිහත්වීමකි. විවිධ රෝග 26 කින් මිනිසුන් ආරක්ෂා කිරීමට එන්නත් හඳුන්වා තිබේ. ඒ්වා අතර පැපොල, හෙපටයිටිස් බී, සරම්ප, පෝලියෝ, රුබෙල්ලා, ෂින්ගල්ස්, ටෙටනස්, කොලරාව, ජපන් එන්සෙෆලයිටිස්, ජලභීතිකා, වසූරිය, ක්ෂය රෝගය, ටයිපොයිඩ් සහ කහ උණ ද ඇතුළත් ය. කොවිඩ් 19 ද ඇතුළුව වෙනත් රෝග සඳහා දැනට එන්නත් 19 ක් පමණ අප සතුව ඇත. වසංගත ඇතිවීම යථාර්ථයක් වනතාක් ඊට එරෙහි එන්නත් බිහි වීම ද සාමාන්‍ය කරුණකි.

දරුවකු පාසලට ඇතුළත් කිරීමේදී පටන් අදාළ එන්නත් ගැන සවිඥානික පරිසරයක් අප සතු ය. එනිසාම අපට කොවිඩ් වෙනුවෙන් ආ මේ එන්නත ද තවත් වසංගතයක් මර්ධනය වෙනුවෙන් ආ එන්නතකි.

ජනතාව පෙළ ගැසී බලා සිටින්නේ මේ වසංගතයෙන් මිදී සිය එදිනෙදා කාර්යයන් සුපුරුදු පරිදි ඉටු කර ගැනීමේ මාවතට ප්‍රවිශ්ට වන්නට ය. අසමාන අසාධාරණ ක්‍රමවේදයකින් තොරව සියලු ජනතාවට එන්නත ලබා දීම වෙනුවෙන් රජය සක්‍රියව මැදිහත් වී තිබේ. අසාත්මිකතා හෝ වෙන යම් අපහසුතා ඇත්තන් හැරෙන්නට සැමට සමානාත්මතා දර්ශකයක් ඔස්සේ එන්නත් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින්නේ ඒ නිසාය. කොරහේ කිඹුලන් සොයන ඇතමුන් හැරෙන්නට අන් සියල්ලෝ එන්නත වෙනුවෙන් පෙළ ගැසී සිටිති. රාජ්‍ය සේවා නැවත පෙරපරිදිම ක්‍රියාත්මක වීමටත් අඩපණ වූ ආර්ථිකය නැවත නඟා සිටුවීමටත් තව දුරටත් බලා සිටිය නොහැකිය. මේ ඒ් වෙනුවෙන් ඇති එකම විකල්පයයි.

අප රැකෙනා අතරතුරේ අපේ ප්‍රියයන්, රෝගීන්, මහලු අය, සෞඛ්‍ය සේවකයන් හැකි තරම් සංඛ්‍යාවක් ආරක්ෂා කරගැනීම වසංගතය පිටුදැකීමේ අරගලයේ ම කොටසකි. අප කොවිඩ්-19 වැළඳ නොගත යුත්තේ ඒ නිසා ය. එහෙත්, වයිරසයට බියෙන් සැඟවෙන්නට ද අපට බැරි ය.කොවිඩ්-19 හමුවේ අප දන්නා සත්‍ය එය ය. එය ජීවන විලාසයක් වී තිබේ. එය අද මේ මොහොතේ පවා අප අරගල කරන්නේ ඒ වෙනුවෙනි. එන්නත්කරණය හැර ඊට විකල්පයක් නැත.

රාජ්‍ය සේවය නැවත සාමාන්‍යකරණය වීම අප සුබ පෙරගමනක් සේ දකින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

Comments