කොවි­ඩ්ව­ලට යට නොවුණු ‘ඔන්ලයින්’ කෑම... | Page 3 | සිළුමිණ

කොවි­ඩ්ව­ලට යට නොවුණු ‘ඔන්ලයින්’ කෑම...

 

 

මේ ගෙවී යන්නේ ඔන්ලයින් හරහා කෙරෙන ඩිලිවරි සේවා, අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්ව ඇති කාලපරිච්ඡේදයකි. සාමාන්‍ය ජනතාව පවා, Online හරහා භාණ්ඩ ඇණවුම් කිරීමටත්, වැඩි වශයෙන් ඩිලිවරි සේවා හරහා ආහාරපාන ගෙන්වා ගැනීමටත් පෙලඹී සිටිති.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඩිලිවරි සේවා ආයතන කිහිපයක් සමඟ මේ කතාබහ ගොඩනැඟෙන්නේ , ජනතාව සහ එම සේවා අතර ගොඩනැඟී තිබෙන නව ප්‍රවණතා සහ සබඳතා පිළිබඳ විවරණයකට ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම e-commerce සමාගම වන 'කප්රුක' ආරම්භ කෙරුණේ, මීට වසර පහළොවකට පෙර දී ය. වර්ගීකරණ 12ක භාණ්ඩ යටතේ පමණක් ආරම්භ වූ 'කප්රුක' ඔස්සේ අද, කුඩා ටොෆියක සිට විවිධ ආහාර, වායු සමීකරණ යන්ත්‍ර, මල් වඩම්... දක්වා, භාණ්ඩ වර්ග එක් ලක්ෂ පණස්දාහක් පමණ අලෙවි වේ.

කොවිඩ් සමයේ සිය ඩිලිවරි සේවා පවත්වාගෙන යන ආකාරය පිළිබඳ, 'කප්රුක' සභාපති, දුලිත් හේරත් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" ආහාරවලට මේ දිනවල ඉල්ලුමක් තිබෙන එක පුදුමයට කාරණයක් නෙවෙයි. නමුත් මේ දවස්වල කප්රුක අපිට නම් වැඩිපුරම ඉල්ලුම තිබෙන්නේ ඇඳුම්වලට. ඔබ විශ්වාස කරනවා ද දළ වශයෙන් සතියකට රු.මි. 100කට වැඩි ඇඳුම් අලෙවියක් කප්රුක හරහා සිදු වනවා. ඒවා බොහොමයක් කාන්තා සහ ළමා ඇඳුම්. පිරිමි ඇඳුම් යන්නේ ඇත්තටම අඩුවෙන්. මේක අපිටත් පුදුමයක්.

අවුරුදු 15ක් තුළ ගොඩනැඟුණු ලක්ෂ 48 ක පාරිභෝගික ජාලයක් කප්රුක වටා සිටිනවා. ඒ අතරම පහු ගිය දැඩි සංචරණ සීමා කාලය තුළ 30%කින් අලුත් පාරිභෝගිකයන් එකතු වී තිබෙනවා. ඒ නිසාදෝ මේ දිනවල සෑම වර්ගයකම භාණ්ඩ අලෙවිය හතර ගුණයකින් වැඩි වී තිබෙනවා.

කප්රුක ඩිලිවරි සේවාව වෙනුවෙන් ඇප කැප වී වැඩ කරන කණ්ඩායම 480ක්. ඉන් වැඩි දෙනෙක් ඩිලිවරි ටීම් එකට අයත්. මේ වසංගත සමයේ වෙනදා නොආ විශාල සාමාන්‍ය ජනතාවක් කප්රුක හරහා මිලදී ගැනීම් කරන්න පෙලඹී සිටිනවා. ඒ නිසා, ග්‍රොසරි භාණ්ඩවල මිල, කඩේ මිලටම දෙන්න අපි දැන් කටයුතු සලසා තිබෙනවා.

ජනතාවට අවශ්‍ය මොන දේ වුණත් ගෙදරටම ගිහින් දෙන්න අපිට පුළුවන් වී තිබෙන්නේ, අපේ මේ ශක්තිමත් ඩිලිවරි ජාලය නිසා. නමුත්, ඩිලිවරි ජොබ් එකේ තියෙන අමාරුකම කවුරුවත් හිතන්නේ නැහැ.

ඊළඟට කස්ටමර් එක්ක කරන වෙහෙසකාරී ගනුදෙනුව. පාරවල් හොයාගෙන බඩු ටික ගේ ළඟට ම අරන් ගියාම වෙලාවකට කස්ටමර් ෆෝන් එක ගන්නේ නැහැ. සමහරු කියනවා මං මීටිමක් කියලා. එක්කෝ කියනවා අල්ලපු ගෙදරට බාර දෙන්න කියලා. එහෙමත් නැතිනම්, සෙක්‍යුරිටිට දෙන්න කියනවා. ආයෙ කෝල් කරලා බණිනවා, ඇයි බඩු ටික තියලා ගියේ කියලා. තට්ටු නිවාසවල සමහරු බඩු ටික අරගෙන උඩ තට්ටුවට ම එන්න කියනවා. ඒ බඩු මලුත් අරගෙන තට්ටු පහ හයක් යන එක ලේසි නැහැ. තනියම ගියොත් වාහනේ නවත්වන්න පාකින් නැහැ. වාහනේ දාලා ගියොත් පොලීසියෙන් ලියනවා. මේ ප්‍රශ්න සියල්ලට මුහුණ දෙමින් විසඳුම් හොයාගෙන ගෙනියන බඩු ටික බාර දෙන්න මේ ඒ අය දවස මුළුල්ලේ ලොකු සටනක් කරනවා. ඒ අයගේ ජීවිතේ දවසෙම මහ පාරේ. කන්නේ වාහන ඉඳගෙන. වැසිකිළි අවශ්‍යතාවල දීත් මේ අය සෑහෙන අපහසුතාවලට පත්වනවා.

අාහාර බෙදාහරින කාන්තාවන් පිරිසක්

ඉතින් මේ ඔක්කොම ප්‍රශ්නවලට උත්තර හොයා ගෙන, තමන්ගේ රාජකාරියත් ඉටු කරන මේ අයගේ මනස හදලා යවන්න අපි විවිධ වැඩසටහන් කරනවා. පහසුකම් සපයනවා. මොකද අපි දන්නවා, මේ වැඩේ තියෙන අමාරුකම.

සමහරු හිතන්නේ ඩිලිවරි මනුස්සයා වහලෙක් කියලා. ගේ දොරකඩට ම ගිහින් බඩු ටික තැබුවා ම සමහර නෝනලා, ඒවා කුස්සියෙන් ගිහින් තියන්න කියනවා. ඒක ගෙනියනකොට, සපත්තු දාගෙන ගෙට ආවා කියලා බණිනවා. ඉතින්, ආයෙත් හැරිලා ගිහින්, සපත්තු ගලවලා අර බඩු ටික නැවත කුස්සියට උස්සාගෙන යන්න ඕනේ. කස්ටමර් අපේ සම්පත තමයි. නමුත් සමහරු, ඩිලිවරි කරන අයට මේ විදියට සලකන එක ගැන නම්, මට තියෙන්නේ ලොකු කණගාටුවක්. මේ මිනිස්සු දවසම වෙහෙසට පත් වෙලා ඉන්නේ කියලා, මොහොතක් හිතන්න පුළුවන් නම්, ඒක හරිම මානුෂීයයි.

ඒ වගේම ඩිලිවරි සමාගම් හැමෝම තමන්ගේ රියැදුරන් ගැන හොඳින් බලාගන්න ඕනේ. ඒ අයට දිරි දෙන්න ඕනෙ. මේ වසංගත සමයේ මේ අය වෙනදාට වඩා විශාල වෙහෙස මහන්සියක් දරනවා, ගෙදරකට අවශ්‍ය කෑම්බීම් ටික ගේ දොරකඩට ම ගෙනිහින් දෙන්න..."

බොහෝ දෙනෙකුට සමීප pick me සමාගම මේ කොවිඩ් සමයේ පාරිභෝගිකයන් හා සමීප වූ ආකාරය පිළිබඳ, එම සමාගමේ අලෙවිකරණ සහ සන්නිවේදන අංශ ප්‍රධානී ගෞෂික් සත්‍යසිවා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" pick me කියන්නේ, ගමනාගමනය හා බැඳුණු සේවාවක්. අපේ ප්‍රධාන කොටස් කරුවන් වන්නේ, රියැදුරන් සහ ගමන් කරන මඟීන්. නමුත් උදා වූ වසංගත තත්ත්වය තුළ මිනිසුන් ගේ ගමන් බිමන් සීමා වුණා. කෑම් බීම් ගන්නවත් මිනිස්සුන්ට එළියට යන්න බැරි තත්ත්වයක් තුළ අපි කළේ, පැය 48ක් ඇතුළත අපේ ඇප් එක delivery platform එකක් විදියට මාරු කිරීම. ඒ එක්කම, ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා ලංකා සතොස සහ ලිට්ට්‍රෝ ගෑස් වැනි ආහාර හා බැඳුණු සමාගම් හාරසිය ගණනක් අපි එක්ක සම්බන්ධ වුණා. එතැන් පටන් පික්මී සමඟින් ගමන් බිමන් ගියා වගේම, තමන්ට අවශ්‍ය කෑම බීම් ටිකත් pick me හරහා ම නිවෙසට ම ගෙන්වා ගන්නට ජනතාවට හැකියාව ලැබුණා.

විශාල සමාගම් වගේම කුඩා අවන් හල්වල සිට විශාල රෙස්ටුරන්ට් සහ හෝටල් දක්වා ජනතාවට ආහාර පාන සැපයීමේ ක්‍රියාවලිය සඳහා අප සමඟ සම්බන්ධ වුණා. එසේ ගත් විට අප සමඟ සම්බන්ධ වූ ආයතන ප්‍රමාණය 2,500කට වැඩියි.

ඒ වගේම ඒ වෙලාවේ රට පුරා සිර වී සිටි විදෙස් සංචාරකයන් ගුවන් තොටුපළට යන්නට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට අපි hotline එකක් හඳුන්වා දුන්නා. එය සංචාරක මණ්ඩලයේ පවා ඇගැයීමට ලක් වුණා. සංචරණ සීමා දැඩිව පනවා තිබූ කාලයේ දී දිස්ත්‍රික්ක 8ක රියැදුරන් දහ දාහකට වඩා ප්‍රමාණයක් මේ ආහාර ඩිලිවරි සේවාවේ යෙදුණා. pick me මෙරට ආරම්භ වන්නේ 2015 වසරේ දී . මෙය ශ්‍රී ලාංකික ආයෝජකයින් සහ ශ්‍රී ලාංකීය කළමණාකාරීත්වයකින් යුතු, 100%ක් දේශීය සමාගමක්. අනික මේ, ශ්‍රී ලාංකිකයකු හඳුන්වා දුන් app එකක්.

මේ සියල්ල සඳහා අපිට වැදගත් වූයේ, අපගේ රියැදුරු ජාලය. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කිරීම උදෙසා, එන්නත ගන්න අපි ඔවුන් උනන්දු කළේ එන්නත ලබා ගන්නා සෑම රියැදුරෙකුටම රු.1,000ක දිරි දීමනාවක් ලබා දීමෙන්. ඒ අනුව, රියැදුරන් 2,000ක් තමන්ගේ ප්‍රදේශවලින් ඉතා උනන්දුවෙන් එන්නත ලබා ගත්තා"

මේ කොවිඩ් සමයේ ඇතැම් තරු හෝටල්, පාරිභෝගිකයන් ගේ නිවෙස්වලටම ආහාරපාන සැපයීමේ ඩිලිවරි සේවා ආරම්භ කළේ දෙස් විදෙස් සංචාරකයන් ගේ නොපැමිණීම හේතුවෙන් කඩා වැටී ඇති හෝටල් ක්ෂේත්‍රයට යම් අස්වැසිල්ලක් ඔවුන් විසින්ම එක් කර ගනිමිනි.

එසේ සිය ඩිලිවරි සේවා පවත්වා ගෙන ගිය ආකාරය පිළිබඳ, තරු හෝටල් නියෝජනය කරමින්, කොළඹ ගලදාරී හෝටලයේ අධ්‍යක්ෂ, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් තුෂාන්ත කාරියවසම් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" ඇත්තටම, අපි ඩිලිවරි සේවාව ආරම්භ කළේ, ගිය වසරේ ලොක් ඩවුන් සමයේ. ඒ නිසා අපගේ ඩිලිවරි සේවාව පිළිබඳ දන්නා සහ එයින් ප්‍රයෝජන ගන්නා විශාල පාරිභෝගික ජාලයක් කොළඹ නගරය පුරා මේ වන විට ගොඩනැඟී තිබෙනවා. අද වන විට ගලදාරි ආහාර ඩිලිවරි සේවාව අතරින් වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ බුරියානි සවාන් කෑම වට්ටෝරුයි.

එළියට යා නොහැකිව, නිවෙස්වලට ම කොටු වී සිටි ජනතාව මේ ආහාරවලට අමතරව ලම්ප්රයිස් සහ කේක් වර්ගත් වැඩිපුර ඇණවුම් කරන්නට පෙලඹී තිබෙනවා. කේක් සඳහා තිබෙන ඉල්ලුම නිසා ම, මේ දිනවල අපේ හෝටලයේ පේස්ට්‍රි කිචන් එකේ චෙෆ්ලා බොහෝ කාර්යබහුලයි. එළියට යෑමට නොහැකි නිසා බොහෝ දෙනෙක් තමන්ගේ නිවෙස්වලම දැන් පුංචි උපන්දින සැමරුම් කරන්න පුරුදු වෙලා. මේ තත්ත්වයෙන් හරි හෝටලයට වැඩ තිබෙන එක හොඳ දෙයක්.

ආහාර සඳහා හොඳ ඉල්ලුමක් තිබුණත් ප්‍රධාන වශයෙන් දැනට අපගේ ඩිලිවරි සේවාව නොමිලයේ පවත්වා ගෙන යන්නේ කොළඹ නගරය ඇතුළත පමණයි.

ඒ වගේම, මේ දිනවල අපි Outdoor Catering සේවාවත් පවත්වාගෙන යනවා. පවුලේ සාමාජිකයන් ගේ උපන් දිනයක් දවසක ටිකක් වෙනස් විදියකට කන්න හිතුණොත් අංගසම්පූර්ණ කෑම වේලක් සහිත ඒ සේවාව අපි ලබා දෙනවා.

අපගේ ඩිලිවරි සේවා පවත්වා ගෙන යන්නට මේ වෙලාවේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ්, ඇතුළු හෝටලයේ සෑම අංශයකම සේවක පිරිස ඇප කැප වී වැඩ කරනවා. ඇත්තටම මේ වෙලාවේ ඔවුන් අපට ආඩම්බර විය හැකි සේවක පිරිසක්. සති දෙකෙන් දෙකට මාරු වෙමින්, නිවෙස්වලට යන්නට පෙර නිරෝධායනය වෙමින්, සෞඛ්‍යාරක්ෂිත නීති රීති පිළිපදිමින්, ඔවුන් මේ අවදානම් සහිත කාල පරිච්ඡේදයේ සිදු කරන කාර්යයභාරය සුළුපටු නැහැ"

කොවිඩ් සහ සංචරණ සමය තුළ ආහාර සඳහා වන දැඩි පාරිභෝගික ඉල්ලුම සමඟ Uber Eats ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ, එහි ශ්‍රී ලංකා ප්‍රධානි, භාවනා දද්ලානි අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" මේ වසංගත කාලය තුළ ශ්‍රී ලාංකේය ජනතාවගේ ආහාර වගේම එදිනෙදා අත්‍යවශ්‍ය දෑ පිළිබඳ අප හඳුනා ගත්තා. ඒ නිසා සෞඛ්‍යාරක්ෂිත නීති පිළිපදිමින් රාත්‍රි කාලයේ දී පවා අප වැඩ කළා. පාරිභෝගිකයන් පිළිබඳ මෙන්ම, අවන්හල් හිමියන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් හට නැවත මුදල් ඉපැයීමේ අවස්ථාවක් ලබා දීම පිළිබඳවත්, සැපයුම් අංශය ක්‍රියාකාරිව පවත්වා ගැනීම සඳහාත් මේ සියලු දේ සැලසුම් කළේ දින කිහිපයක් ඇතුළත.

ඒ වගේම, අපේම මිනිසුන්ට උදව් කිරිම සඳහා, සෞඛ්‍ය සේවක ප්‍රවාහන පහුසකම් සපයා දීම උදෙසා, රු.මි. 8.5ක නොමිලේ ධාවන වාර ලබා දුන්නා. පාරිභෝගිකයන් ඒකාකාරී ජීවිතය තුළ කොටු වී සිටියත් ඒ තුළ වූ සිත් ඇදගන්නා සුලු ප්‍රවණතා කිහිපයක්ද අප දුටුවා. එළියට යෑමට නොහැකි වූවත් ඔවුන් අප හරහා ගෙන්වා ගත් ආහාර රස වින්දේ කෑමකට එළියට ගියා වැනි තෘප්තිමත් හැඟීමකින්. ඉන්දියානු, ඇමෙරිකානු සහ චීන ආහාර මේ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් ගේ හොඳම තේරීම් තුන බවට පත් වුණා.

ඒ වගේම Uber Eats සමඟ සම්බන්ධ වෙන්නට එන තනි මව්වරු, විශ්ව විද්‍යාල සිසුන්, විදේශයන් හි සිට පැමිණි සේවකයන් හා තවත් බොහෝ අයට Uber Eats අවස්ථා සපයන නිසා මූල්‍යමය වශයෙන් ස්වාධින වූ උදාහරණ රාශියක් අප සතුව තිබෙනවා. ඒ ගැන අපිට විශාල සතුටක් තිබෙනවා"

Comments