කොවිඩ් මඬින්න මැලේ­රියා පාල­න­යෙන් ඉගෙන ගනිමු!! | Page 3 | සිළුමිණ

කොවිඩ් මඬින්න මැලේ­රියා පාල­න­යෙන් ඉගෙන ගනිමු!!

මැලේරියා මදුරු මර්දනයට එදා තෙල් ඉසින ආකාරය

 

 

ඉතිහාසයේ අප මුහුණ දුන් දරුණුතම වසංගතයට අප මුහුණ දුන්නේ මීට වසර 86 ට පෙර 1934 වසරේදීය. එකල රටේ ජනගහනය මිලියන 6කි. 1934 / 35 වසරවල අප මුහුණ දුන් මැලේරියා රෝගයෙන් මිලියන 1.5 ක් වූ ජනතාවක් ආසාදිත වූ අතර මාස 8ක කාලයක් තුළ 80,000 ක පිරිසක් ජීවිතක්ෂයට පත්විය. මෙය ඉතිහාසයේ අප මුහුණ දුන් දරුණුතම වසංගතයයි. වර්තමානයේ ශ්‍රී ලංකාව සලකනු ලබන්නේ මැලේරියාවෙන් නිදහස්, එකම රෝගියකු හෝ වාර්තා නොවන රටක් ලෙසිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියාව අවසන් කළ රටවල් අතර, ශ්‍රී ලංකාවට ඉහළ අගයක් ලබා දී ඇත.

කර්නල් සී. ඒ. ගිල්, ශ්‍රී ලංකාවේ මැලේරියා මර්දය ගැන ලියන්නේ;

“මැලේරියා පාලනයට රාජකීය මාවතක් තිබුණේ නැත. එය රජය, සෞඛ්‍ය අංශ සහ ජනතාව අතර තිබූ සහයෝගීතාව සහ අන්‍යෝ න්‍ය අවබෝධය තුළින් ලබාගත් ජයග්‍රහණයකි. සෞඛ්‍ය අංශ, අවශ්‍ය වූ දැනුම සම්පාදනය කළේය. රජය වසංගතය පාලනය කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය, වෛද්‍ය පහසුකම් හා උපකරණ ලබාදුන් අතර, ජනතාව තම පාර්ශ්වයෙන් ලබාදිය යුතු සහාය උපරිමයෙන් ලබා දීම මඟින් පමණක් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

මැලේරියා රෝගය, 1880 ගණන්වල සිටම ලංකාව තුළ වාර්තා වී තිබුණි. මුල් වකවානුවේ දේශීය ජනතාව මේ උණ සැලකුවේ, ‘කැලෑ උණ“ ලෙසිනි. වසර 1990 න් පසු කාලයේ මැලේරියා රෝගය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත රෝගී තත්වයක් වූ අතර 1930 ගණන් වලදී ලක්ෂයකට ආසන්න ජීවිත බිලිගත් වසංගතයක් බවට පත්වුවද 1960 වනවිට වසංගතය සම්පූර්ණයෙන් පාලනය කිරීමේ හැකියාව ලැබුණි. අප මෙහිදී තේරුම් ගත යුත්තේ මැලේරියා රෝගය සම්පූර්ණයෙන් පාලනයට කිරීමට දශක පහක කාලයක් ගත වී ඇති බවයි. ඒ අතරම, ශ්‍රී ලංකාවේ මැලේරියා වසංගත පාලනය ගෝලීය ආදර්ශයක් ලෙසින් සැලකීමට, ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත. එය දීර්ඝ කාලීන අඛණ්ඩ අරගලයක කූඨප්‍රාප්තියකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශකත්වයත්, තාක්ෂණික සහායත්, රජය, සෞඛ්‍ය අංශ සහ ජනතාව අතර තිබූ අන්‍යෝ න්‍ය අවබෝධයත් මෙය සාර්ථක කර ගැනීමට ඉවහල් විය.

1931 දී සෞඛ්‍ය සඳහා රාජ්‍ය වියදම, රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 9.7% ක් පමණක් විය. කෙසේ වුවද වසංගතයේ පරිමාව තේරුම් ගත් රජය, 1935 වන විට මෙම වියදම 11.1% දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබුණි.

එවකට තිබූ යටත් විජිත පාලනය යටතේ, රාජ්‍ය මන්ත්‍රණ සභාව, මුලදී වසංගතය සඳහා නිසි සැලකිල්ලක් නොදැක්වූ අතර, සිවිල් සංවිධානයක් සහ බලපෑම් කණ්ඩායමක් ලෙසින් ක්‍රියාත්මක වූද, සම සමාජ පක්ෂයේ ආරම්භක පදනම වූද දකුණු කොළඹ තරුණ ලීගය වැනි සංවිධානවල බලපෑම යටතේ, 1935 ජනවාරි 15 දින, නිවිහැලි ගේ ප්‍රධානත්වයෙන්, “සහනාධාර සඳහා විශේෂ කොමිසම“ පත්කරන ලදී. ඒ අනුව;

1. තෝරාගත් පවුල් සඳහා සහල් සහනාධාරයක් ලබාදීම,

2. පාසැල් දරුවන් සඳහා නොමිලේ ආහාර වේලක් ලබාදීම,

3. මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා නොමිලේ මෝල්ටඩ් පානයක් ලබාදීම,

4. වැඩ සඳහා ආහාර (Food for work) වැඩසටහන මඟින් ජීවනෝපාය අහිමි වූවන් සඳහා විකල්ප ආදායම් වැඩපිළිවෙළක් ද යෝජනා කරන ලදී.

 

මැලේරියා වසංගතය පාලනයේ දී සූරිය මල් ව්‍යාපාරයේ මැදිහත්වීම

මැලේරියා වසංගතය හමුවේ, ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මානව හිතවාදීන් සහ වාමාංශික දේශපාලන බලවේග ක්‍රියා කළ ආකාරය, වර්තමාන කොවිඩ් වසංගතය හමුවේ මේ බලවේග ක්‍රියාත්මක වන ආකාරය හා සන්සන්දනයක් කිරීම ද මේ අවස්ථාවේ ඉතාම වැදගත් කාරණාවකි.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙසින් පැවතුණු ලංකාවේ, දෙවන ලෝක යුද්ධයේ දී සටන් වැදුනු, මිය ගිය සහ දැනටත් ජීවත් වන බ්‍රිතාන්‍ය හමුදා භටයන් සිහි කිරීමත්, ඔවුන්ට ආධාර කිරීමත් සඳහා ක්‍රියාත්මක වූ පොපිමල් ව්‍යාපාරයට එරෙහි වෙමින්, දෙවන ලෝක යුද්ධයේ සාමාජිකයන් වූ ශ්‍රී ලාංකික සෙබළුන් සිහිකිරීමත්, ඔවුන්ගේ සුභ සාධනයත් වෙනුවෙන් සූරියමල් ව්‍යාපාරය ආරම්භ විය.

1933 දී, බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරියක වූ “ඩොරීන් යන්ග්“ “සිලෝන් ඩේලි නිව්ස්“ පුවත්පතට ලිපියක් ලියමින්, ශ්‍රී ලාංකික පාසැල් දරුවන්ට පොපිමල් මිලදී ගැනීමට බල කිරීම දැඩි දෝෂ දර්ශනයට ලක්කළාය.

මේ සමඟම දකුණු කොළඹ තරුණ ලීගය සූරියමල් ව්‍යාපාරය, අධිරාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් ලෙසින් සලකා ඒ සමඟ එක්වූ අතර එය යුධ විරෝධී ව්‍යාපාරයක් ලෙසින් ද සලකා කටයුතු කිරීම ආරම්භ කරන ලදී. මෙය අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් ලෙසින් ක්‍රියාත්මක වූ අතර, යටත් විජිත ආණ්ඩුව, සූරියමල් ව්‍යාපාරයට එරෙහිව “මාර්ග වල මුදල් එකතු කිරීම නියාමනය“ සඳහා පනතක් ගෙන ආවේ සූරියමල් ව්‍යාපාරය අකර්මණ්‍ය කිරීම පිණිසය.

1934 වසරේ පැවැති නියඟයත්, ඉන්පසුව පැමිණි මහා ගංවතුරත්, ඒ සමඟ පැන නැඟුණු මැලේරියා වසංගතයත්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෝගීන් බවටත්, විශාල පිරිසක් ජීවිතක්ෂයටත් පත් කරන්නට යෙදුණි. පීඩාවට පත්වූ ගම්වල සංචාරය කළ සූරියමල් ව්‍යාපාරයේ සාමාජිකයන් නිරීක්ෂණය කළේ විශේෂයෙන් කාන්තාවන් හා දරුවන් විශාල පිරිසක් මන්දපෝෂණයට ලක්වී ඇති බවයි. ඒ නිසාම ඔවුන් මැලේරියා වසංගතයේ පහසු ගොදුරක් බවට පත්වී ඇති බවයි.

සූරියමල් ව්‍යාපාරය විසින් පීඩාවට පත් පවුල් සඳහා පරිප්පු සහ මාමයිට් ඇතුළත් වියළි සලාක බෙදා දුන් අතර, ආචාර්ය එන්.එම්. පෙරේරා, පරිප්පු මහතා ලෙසින් හැඳින්වීමට ලක්විය.

කොවිඩ් උවදුරට මුහුණදීමේදී සහ එය පාලනය කිරීමට ගන්නා උත්සාහයේදී, මැලේරියා වසංගතය පාලනය කිරීමේ අත්දැකීම් ඉවහල් කරගත හැකි ආකාරය විමසා බැලිය යුතුය.

පළමුවෙන් අප තේරුම් ගත යුත්තේ කොවිඩ් යනු ගෝලීය වසංගතයක් බවයි. එය පාලනය කිරීම, තනි රටකට, තනිව කළ හැක්කක් නොවේ.

කොවිඩ් මර්දනයට ගෝලීය ප්‍රවිෂ්ටයක් සහ මඟ පෙන්වීමක් අවශ්‍ය වේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීම සහ කාර්යභාරයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ මූලික අරමුණ, තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමයි. මීට අමතරව ගෝලීය ගැටලු සඳහා තාක්ෂණික සහාය සහ මඟපෙන්වීම් ලබාදීම සඳහා එ.ජා. සංවිධානය ඒ ඒ විෂයන්ට අදාළ සුවිශේෂී ආයතන ජාලයක් ද පිහිටුවා ඇත.

ඒ අනුව ගෝලීය වසංගත හෝ සෞඛ්‍ය ගැටලු පැනනඟින අවස්ථා වලදී, ඒ සඳහා අදාළ රටවල් වලට අවශ්‍ය මඟපෙන්වීම් සහ තාක්ෂණික සහාය සඳහා පිහිටුවා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ඔවුන් කරන්නේ අවශ්‍ය මාර්ගෝපදේශන ලබා දීමයි. එය සෑමවිටම නියාමනයක් වන්නේ නැත. සාමාජික රටවල් මේ මාර්ගෝපදේශන ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. එය තමන්ගේ රටවල් වලට ගැළපෙන ආකාරයට සකස්කර ගැනීම ඒ ඒ රටවල වගකීමකි.

මැලේරියා වසංගතයේදී ද ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළේ මේ කාර්ය භාරයයි. කොවිඩ් වසංගතයේදී ද මූලික වශයෙන්ම අප පිළිපැදිය යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන මාර්ගෝපදේශයන්ය.

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලටද මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයන් තුළ සුවිශේෂී කාර්ය භාරයක් සඳහා වගකීමක් සහ හැකියාවක් ඇත. අවශ්‍ය කටයුතු සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමත්, ඔවුන්ගේ සීමා නියම කිරීමත් අවශ්‍ය නියාමනයත් රජයේ වගකීම වන්නේය.

එක් පසෙකින් එ.ජා. සංවිධානයේ විශේෂිත ආයතනක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කරන අප අනෙක් පසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් විශේෂිත ආයතන වලින් අවශ්‍ය සහාය ලබා ගන්නේ ද යන්න ප්‍රශ්නයකි. ඊට සමානව නියමිත නියාමන සහිතව අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහාය ද වසංගතය මැඬ පැවැත්වීම සඳහා ලබා ගැනීම වරදක් නොවේ. නිසි අවබෝධයකින් තොරව සියලුම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතික්ෂේප කිරීම නොදැනුවත්භාවය ප්‍රකාශ කරන්නක් විනා රටේ සෛවරීභාවය ආරක්ෂා කළා යැයි ආඩම්බර වීම සඳහා කාරණාවක් නොවේ.

මැලේරියා වසංගතය පාලනය කිරීමේදී රටක සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහ වාමාංශික ව්‍යාපාරය සතු වගකීම සහ කාර්යභාරය, සූරියමල් ව්‍යාපාරය විසින් මනාව පෙන්වා දී ඇත. කොවිඩ් වසංගතය මැඬ පැවැත්වීමේදී එවැනි බලවේගවල සාධනීය මැදිහත්වීමක් අපට පෙනෙන්නේ නැත. හුදෙක් රජයේ සියලු කටයුතු විවේචනය කිරීමට එහා ගිය විකල්ප වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කිසිම විපක්ෂ බලවේගයකට හෝ ව්‍යාපාරයකට හැකි වී නැත. භාණ්ඩ හෝ උපකරණ ප්‍රදානයන් ඉක්මවා ගිය නිර්මාණාත්මක විකල්ප වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට මේ කිසිම කණ්ඩායමකට නොහැකි වී ඇත. රජය, විපක්ෂය, සෞඛ්‍ය බලධාරීන්, ස්වේච්ඡා සංවිධාන යන සියල්ලේ ඒකාබද්ධ ප්‍රවිෂ්ටයකින් තොරව “අභියෝගය ආපසු හැරවීමට නොහැකි වනු ඇත.“

මූලිකව එය ඉලක්කම් සහ සංඛ්‍යා ලේඛන පිළිබඳ හරඹයක් නොවේ. අවසන් විග්‍රහයේදී, එය ජනතාව පිළිබඳ ප්‍රශ්නයකි. එය ජනතාවගේ අවබෝධය සහ කැපවීම පිළිබඳ කතාවකි.

තාක්ෂණික නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රටපුරා විහිදුනු රෝහල් - සායන ඇතුළත් යටිතල පහසුකම්, අවබෝධය වැඩි කිරීමේ වැඩසටහන්, විශේෂඥ දැනුම සහ වසංගතය අවසන් කිරීම සඳහා කැපවුණු දේශපාලන නායකත්වය යන මේ සියල්ලේ එකතුව විසින්, අභියෝගය ආපසු හරවනු ඇත. එයට කාලයක් ගත වනු ඇත. එහෙත් එය සිදු විය යුතුය!

 

(කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා විශේෂ උපාධිය හැදෑරූ, දීප්ති ළමාහේවා නීති උපාධිධාරියකු සහ ව්‍යවහාරික සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු ද වේ. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉතාලියේ ටියුරින් විශ්වවිද්‍යාල ආයතනයේ, ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.

එසේම, ජාත්‍යන්තරකම්කරු සංවිධානයට අනුයුක්තව, කම්කරු අමාත්‍යාංශයේ, තරුණ කටයුතු අමාත්‍යාංශයේ සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශවල තරුණ රැකියා සම්පාදනය සම්බන්ධව විශේෂඥයකු ලෙසින් කටයුතු කළ අයෙකි.)

Comments