
හැත්තෑව දශකයේ සමඟි පෙරමුණු ආණ්ඩුව දේශීය කෘෂි ආර්ථික සැලැස්මක් ඇරඹීමට පාර කැපුවේ ය. සෑම නිවෙසක ම වැසියෝ තමන්ට හැකි පරිද්දෙන් වගා කළහ. එහෙත් එකී ආයාසකර මාර්ගයට ප්‍රවිෂ්ට වන්නට බොහෝ දෙනෙක් කැමැති වූයේ නැත. ඒ ක්‍රියාදාමයේ හොඳ නරක දෙක ම සම්මිශ්‍රිත ව තිබුණත් එකී වාක්‍ය හා බලාපොරොත්තුව ආදර්ශවත් ය. එය අපහසුවෙන් හෝ කළේ නම් අද රට ස්වයංපෝෂිත වන්නේ මිනිස් සිරුරට අහිතකර අයුරෙන් නොවේ.
තමන්ගේ කුඹුර වපුරා ගොයම් පාගා වී ගෙට ගන්නා ගොවියා පිදුරු ටික ඊළඟ කන්නය තෙක් කුඹුරට ම පොහොර වෙන්නට අත හරියි. තමන්ගේ වගාවට අත්‍යවශ්‍ය ඛනිජ ලවණයක් වෙන නයිට්‍රජන් ලබා ගන්නට අවැසි පරිසරයේම වැඩෙන ගස් ගැන එකල ගොවියා සවිඥානික ය. ඒවා සිය වගාවට දමා පසට පොහොර වෙන්නට අතහැරීම, ගෘහාශ්‍රිත සතුන්ගේ අපද්‍රව්‍ය පොහොර ලෙස සාදා ගැනීමත් කලෙක සිට ගැමියාට ආගන්තුක වූයේ නැත. වගාවේ වර්ධනය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා වගා භූමියට එකතු කරනු ලබන ද්‍රව්‍ය පොදුවේ පාංශු අවස්‌ථාපක ලෙස හැඳින්වේ. පසේ ආම්ලික බව අඩු කිරීම සඳහා එකතු කරන අළු මෙලෙස භාවිත කරනු ලබන එක් සංයෝගයකි. වසර දහස් ගණනක ඈත අතීතයේ සිට පැරැන්නන් සාම්ප්‍රදායික ගොවිතැන පවත්වා ගෙන යනු ලැබූවේ එසේ පරිසර හිතකාමී ගනුදෙනුවක යෙදෙමිනි. පළිබෝධකයන්ගෙන් සිය අස්වනු ආරක්ෂා කර ගැනීමට විවිධ උපක්‍රම යෙදූ ඔවුහු පරිසරයේ ම අංගයක් වෙන සත්ත්ව ප්‍රජාව ද අමතක කළේ නැත. කුරුලු පාළුව වෙන් වෙන්නේ ඒ වෙනුවෙනි.
භූමි අනුපාතයට අනුව ලෝකයේ වැඩිම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කරන රටක් ලෙස ලෝක ආහාර සංවිධානය ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. මෙහි වඩා ශෝචනීය තත්ත්වය වන්නේ වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ගොවියා සම්මත ප්‍රමාණයට වඩා කෘෂි රසායන භාවිතයට නැඹුරු වීමයි.
සෞඛ්‍ය සම්පන්න ආහාර සංස්කෘතියකට හිමිකම් කියූ ජාතියක් මෙවැනි තත්ත්වයට ඇද වැටීම අභාග්‍ය සම්පන්න ය. විසි කරන ලද දණ්ඩක් පවා ලියලන තරම් පොහොසත් සාරවත් භූමියක් ලංකාව සතු වුව ද එකී මහා පරිමාණ වගාව නිසා හා පසට නිසි පරිදි අවශ්‍ය කරන සංයෝග එකතු නොකිරීම නිසා අද ඒ තත්ත්වය වෙනස් වී ඇත.
එපමණක් නොව ජෛව විවිධත්වය ද සහමුලින් ම බිඳවැටීමට ලක්ව තිබේ. අහාර දාම ක්‍රියාත්මක වන්නේ ඉතා දුර්වල ලෙසිනි. ක්‍රමවත් හා අක්‍රමවත් කෘෂි රසායන භාවිතය නිසා පාරිසරික සමතුලිත බව බිඳ වැටී තිබේ. එබැවින් කඩිනම් විසඳුමක් අවැසි ව තිබේ. තිරසර සංවර්ධනයක් වෙනුවෙන් ජනතා හිතකාමී ආර්ථිකයක් හා පරිභෝජන රටාවක් ඇති කළ යුතු ව ඇත.
රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය ගංගා, ඇළ දොළ ජලය දූෂණය කරන අතර ගුණාත්මක පානීය ජල සම්පාදනයට ප්‍රබල අභියෝගයකි. වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරන වියදම වාර්ෂික ව ඉහළ යමින් පවතී. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමි වීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණ දෙන අභියෝගයක් බවට පත්වී ඇත.
මේ සියලු අතීත කතා ලියන්නට අප පෙළ ගැසුණේ පසුගියදා ජනාධිපතිවරයා ගොවීන් කාබනික පොහොරවලට යොමු කිරීමේ ක්‍රියාන්විතයට පිළිපන් නිසා ය. සෞභාග්‍යයේ දැක්මෙහි සඳහන් වන පරිද්දෙන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බවත් සිය ජනතා පොරොන්දු ඉටු කිරීම තමන්ගේ වගකීම බවත් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. “නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය.
ඉදිරි දශකය ඇතුළත ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින් ම කාබනික පොහොර යොදා ගැනීමට ඒ නිෂ්පාදන වේගවත් කළ යුතුය.“ යන්න “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව විය. එය යථාර්ථයක් බවට පත්කිරීමේ අඩිතාලම දමමින් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ - ආර්ථික රටාවක් අරමුණු කර ගනිමින් විසි වැදෑරුම් අමාත්‍ය මණ්ඩල සන්දේශය පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමත කළේ ය.
මෙරටට රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක ගෙන ඒම නතර කිරීම නිසා ජනතාවට වසරකට රුපියල් කෝටි 12,000ක ප්‍රතිලාභවලට අමතරව සුවබර ජීවිතයක් ද උරුම වනු ඇති බව කෘෂිකර්ම පර්යේෂණ අංශ කළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසන පරිද්දෙන් මෙරටට රසායනික පොහොර ගෙන්වීමට වසරකට රුපියල් කෝටි 6,300ක් වැය වන අතර, ඛනිජ තෙල් මිල වැඩි වුවහොත් ඒ මුදල රුපියල් කෝටි 8,000 දක්වා වැඩිවීමට ඉඩ ඇත. දැනට වසරකට මෙරටට ගෙන්වන කෘෂි රසායන පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 126,0000ක් වන අතර, කෘමිනාශක ටොන් 5,500ක් පමණ ද ගෙන්වනු ලබයි. ඊට අමතරව රජය රසායනික පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් කෝටි 5,000කට අධික මුදලක් වැය කරයි.
කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් අතර; ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
ඕනෑම හොඳ දෙයක් පටන් ගැන්මේ දී හිතේ කුකුසක් ඇතිවීම පෘතග්ජන ස්වරූපය ය. එහෙත් එසේ කියා තිරසර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැංවීම තවදුරටත් පමා කළ යුතු නැත.
මතුවෙන ගැටලුවලට පිළියම් සොයමින් ඒවා අවම කරගනිමින් හෝ මේ කාර්යයට අනුගත විය යුතුව ඇත. දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන දිරි ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් නිෂ්පාදකයන්ට සැපයීමට රජය ඍජු ව මැදිහත්වන බව ද ජනාධිපතිවරයා සඳහන් කරන්නේ එබැවිනි. මේ වනවිටත් අප මේ කාර්යයට පමා වැඩි ය. එබැවින් දැන් හෝ ගත් මේ කාර්යයට සහයෝගය දීම අපේ යුතුකමයි.