
ජුනි 05 ලෝක පරිසර දිනයයි. පරිසරය යනු අහසේ සිට පොළොව දක්වා අප ජීවත් වෙන වටපිටාවයි. එයට ජලය, වාතය, කරදිය, මිරිදියත් ඒ සියල්ලෙහි ජීවත්වන සියලු සත්ව හා ශාඛත් අයත් වේ.
දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මිය යනු ඇතැයි කීවේ රතු ඉන්දියානු නායක සියැටෙල් ය. මී මැස්සන් වඳ වෙතැයි බියෙන් අද කෘත්‍රිම මී මැසි ජනපද ඇති කරයි. ඇල්බට් අයිස්ටයින් පැවසුවේ මී මැස්සා ලෝකයෙන් වඳවී ගියහොත් මිනිස් ජීවය පවතින්නේ ඉතා කෙටි කලක් පමණක් බව ය. පරිසරයේ සියලුම සාධක සමඟ මිනිසා අත්‍යන්තයෙන් ම බැඳී තිබෙන්නේ ඒ අයුරෙනි. ලෝක පරිසර දිනය යෙදුණු ජුනි 05 වැනිදා වෙනුවෙන් එය දිනයක් බවට පමණක් පත් කර ගන්නට පෙර මේ පෙරවදන ලියන්නේ එකී අන්‍යෝන්‍ය පැවැත්ම පිළිබඳ මතක් කරන්නට ය. මෙවර පරිසර දින තේමාව වන්නේ ‘පරිසර පද්ධති යළි සවිබල ගන්වමු‘ යන්නයි. සියලු පරිසර පද්ධති එකිනෙකා හා බැඳී පවතින බැවින් මේ තේමාවට අදාළ කාර්යය සාධනය ඉතා වැදගත් ය.
මානව පැවැත්ම රඳා පවතින්නේ, සජීවී හා අජීවී සංරචක අතර සංකීර්ණ හා ගතික අන්තර්ක්‍රියාවක නිෂ්පාදිතය වන හුස්ම ගත හැකි වාතය, පානය කළ හැකි ජලය හා ප්‍රමාණවත් ආහාර සැපයුම වැනි “පාරිසරික පද්ධති සේවා” මත යි. එනම් මානවයන් රඳා සිටින කෘෂිකාර්මික බෝගවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් කෘමීන් හා කුරුල්ලන් ඇතුළු සත්ත්වයන් විසින් පරාගනය කරනු ලැබේ. එබැවින් මේ පරිසර පද්ධති රැක ගැන්ම සමස්ත මානව හා සත්ත්ව පැවැත්ම රැක ගැන්මකි.
ලංකා මුහුදු තීරය කාන්තාරයක් කරමින් පසුගියදා සිදු වූ එම් වී එක්ස්ප්‍රස්පර්ල් පර්ල් නෞකා අනතුර ගැන ලෝකය ම කතා කරති. ඉන් ලංකා මුහුදු තීරයට සිදු වූ හානිය ගණනය නොහැක්කකි. චීනයේ නිෂ්පාදිත මේ නෞකාවේ දළ වශයෙන් බහාලුම් 1486ක් රඳවා තිබුණු බව සඳහන් ය. නයිට්‍රික් අම්ලය අඩංගු බහාලුම් 25ක් එතීල් මධ්‍යසාර, අඩු ඝනත්වය සහිත ප්ලාස්ටික් කුඩා කැබලි හා රූපලාවණ්‍ය කර්මාන්තයට අදාළ බොහෝ දෑ එහි ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය කරමින් තිබිණි. මහා සාගරයේ එතෙක් මෙතෙක් සිදු වූ විශාලම කළු පැල්ලම ඇති කරමින් තෙල් ටොන් සිය ගණනක් හා විෂ රසායන සහිත නැව මුහුදු පත්ල ගොඩ නැඟිය නොහැකි තරමට විනාශ කළේ ය.
ඇමසන් වනාන්තරයට වඩා වැඩි ගුණයකින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට සාගර තණබිම්වලට හැකියාව තිබේ. එබැවින් මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කට වඩා ඉහළ යාම වැළැක්වීම පිණිස සාගර තණබිම් ආරක්ෂා කිරීමේ වැදගත්කම විද්‍යාඥයෝ නිරන්තර අවධාරණය කරති. කෙතෙක් අවධාරණය කළත් සමුද්‍ර කෙලසීම අඩුවන සෙයක් නොපෙනේ. මිනිස් ක්‍රියාකාරකම් හි පවතින අත්තනෝමතික නිර්ලජ්ජී ස්වභාව නිසා ගොඩබිම මෙන්ම මහ මුහුද ද රැක ගැනීමට අනවතර වෙහෙසක නිමග්න විය යුතුව තිබේ.
ශ්‍රී ලංකාව වටා ඇති මුහුද ද බරපතළ ලෙස දූෂණය වෙමින් හා හානි වෙමින් පැවතියේ අද ඊයේ සිට නොවේ. වසරකට මෙට්‍රික් ටොන් 32,000 ක් පමණක් කසළ ගොඩබිමෙන් ශ්‍රී ලංකවේ මුහුදට එකතු වේ. මේවා දීර්ඝ කාලීන ව සමුද්‍ර පද්ධතියට කළ හානිය සුළුපටු නොවේ.
පෘථිවි ගෝලයෙන් හෙක්ටයාර් බිලියන 4ක් හෙවත් 31%ක් වනගහනයෙන් වැසී පවතී. මේ වනාන්තරවලින් ජීවත්වන ජන සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් බිලියන 1.6කි. පසුගිය සියවසේ අප රටින් වඳවී ගිය සත්ව සහ ශාක විශේෂ සංඛ්‍යාව ද විශාල බව රතු දත්ත පොතෙන් හෙළි වේ. සංඛ්‍යා ලේඛන පරීක්ෂා කරන විට පෙනෙන්නේ වන විනාශය අඛණ්ඩ ව සිදු වූ බවයි. වර්ෂ 1950දී 44%ක් වූ වන වැස්ම, 1983 වනවිට 27% දක්වා පහළට ගියේ ය. එය 1992 දී 22.9%ක් දක්වා අඩු විය. වර්ෂ 1990 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ වනාන්තර හෙක්ටයාර් 24500ක් අහිමි වූ අතර එය වාර්ෂිකව 1.04%ක අඩුවීමකි. මෙලෙස වන විනාශය අඛණ්ඩ ව සිදුවුණොත් ශ්‍රී ලංකාවේ වනවැස්ම 2030 වනවිට 13% පමණ දක්වා අඩුවිය හැකි බවට පර්යේෂකයෝ අනතුරු අඟවති.
අප රටේ වැඩිපුර ම පැතිර තිබෙන්නේ වියළි කලාපීය මෝසම් වනාන්තරයි. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 1.02කි. පහතරට වර්ෂා වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් 124340ක් පමණි. උප කඳුකර සහ කඳුකර වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් 68892කි. මේ වනාන්තර ප්‍රමාණය ද රඳා පවතින්නේ අවදානමක බව වාර්ෂික ව ඒ වනවැස්ම ක්‍රමයෙන් අඩු වීමෙන් පෙනේ. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ වන වැස්ම වාර්ෂිකව 1% බැගින් එළිකෙරෙමින් පවතී. යටත් විජිත පාලන සමයේ ලංකාවේ ස්වභාවික වනවැස්ම 70%ක් අධික ප්‍රමාණයකින් පැවතිය ද අද වනවිට එය 29.2%කටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා පහත බැස තිබේ.
අද ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකය ම වනාන්තර රැකගැනීමේ අභියෝගයට මුහුණ දී සිටී. පරිසරවේදීන් ජෛව විවිධත්වයේ අගය කෙතරම් පැවසුවත් ලෝකය සංවර්ධනය මනින්නේ බිල්ඩින් මතිනි.
ලොව පුරා සිදුවන පරිසර විනාශයේ ප්‍රතිවිපාක ලෙස නියඟයෙන් හා ගංවතුරෙන් එකවිට බැට කන ජාතියක් බවට අප පත් වී ඇති බැවින් මේ සුන්දර දිවයින යළිත් හරිත වර්ණයෙන් බබළන අනාගත ලෝකයේ තිරසාර සංවර්ධනයේ පරමාදර්ශය බවට පත් කිරීමේ වගකීම ද අපට පැවරී තිබේ..." යනුවෙන් 'ගෝඨාභය රාජපක්ෂයන් ‘සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු පිටුවේ සඳහන් කරයි.
ඒ ප්‍රකාශයේ "දස වැදෑරුම් ප්‍රතිපත්ති" අතර "තිරසර පරිසර කළමනාකරණය" සඳහා ද ඉඩක් වෙන් වී ඇති අතර "තිරසර පරිසර ප්‍රතිපත්තියක්" ලෙස නම් කර ඇති එහි 08 වෙනි කොටසේ පරිසරය සුරැකීමට ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබේ. පසුගිය කාලවකවානුවේ සිදුවූ පරිසර විනාශ පිළිබඳ අපට කතා කරන්නට සිදු වන්නේ එකී පසුබිමේ සිට ය.
පනවන නීති අණපනත් අබිබවා මානව වර්ගයා තම පැවැත්ම උදෙසා පරිසරය විනාශ කිරීම දින දින ඉහළ යෑම වහා නතර කළ යුතු වේ. පවතින නීති පිළිබඳ ජනතා සවිඥානිකත්වය ඇති කළ යුතු සේ ම ඒවා උල්ලංඝනය කරන්නන් හට බලපැවැත්වෙන නීති තදින් ක්‍රියාත්මක කළ යුතු ව ද ඇත.
ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථාන 34ට අයත් රටක් වුව ද සියැටල් පැතූ ‘ මේ මහපොළොව මිනිසාට අයිති නැත; එහෙත් මිනිසා මහපොළවට අයිතිය‘ යන්න අමතක කර ඇත්තැයි සිතෙන්නේ දිනෙන් දින ම කෙරෙන මේ පරිසර විනාශ දකිද්දී ය.