ජපා­නයේ සර­ණා­ගත ගැටලුව විශ්මාගේ මර­ණ­යෙන් ඇවිළෙයි | Page 3 | සිළුමිණ

ජපා­නයේ සර­ණා­ගත ගැටලුව විශ්මාගේ මර­ණ­යෙන් ඇවිළෙයි

 

 

 

විශ්මාගේ අවසන් කටයුතු සඳහා ඇයගේ සොහොයුරියන්ද ජපානයට

 

ඇය අසාධ්‍ය තත්ත්වයට පත්වුවත් රෝහල්ගත කිරිමට වෛද්‍යවරු අනුමත කර නැහැ

 

විශ්මා මියයන්නට දින දෙකකට පෙර මනෝ චිකිත්සක උපදෙස්වලට යොමු කරලා

 

ජපන් සරණාගත කඳවුරේ වීඩියෝ පටය නිකුත් කරන්න යැයි ඉල්ලීමක්

 

විශ්මා සඳමාලිගේ සිහින රට වූයේ ජපානයයි. පසුගිය මාර්තු 15 වැනිදා ජපානයේ Asahi Shimbun ආයතනයෙන් පළ කරන ‘The Asahi Shimbun‘ පුවත්පතේ 33 හැවිරිදි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නම් ශ්‍රී ලාංකික දියණියගේ අනපේක්ෂිත මරණය වාර්තා කර තිබුණේ ‘Sri Lankan woman dies in detention, wrote about her hunger‘ යනුවෙනි.

 

එදා ජපානයේ අයිචි ප්‍රාන්තයේ නගෝයා ප්‍රාදේශීය ආගමන කාර්යාංශයේ (Nagoya Regional Immigration Services Bureau in Nagoya City, Aichi ) මාස 7 ක් පමණ රඳවා සිටියදී 2021 මාර්තු 6 දා සිදු වූ විශ්මාගේ අකල් මරණය සම්බන්ධයෙන් මේ වන විට ජපානයේ මානව හිතවාදීන් විසින් සංක්‍රමණිකයන් සඳහා වූ එරට ආගමන විගමන නීති උල්ලංඝනය වූ බවට දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළේ ටෝකියෝහි පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදිය. ඒ ඇගේ සිහින රටේදි, සතකු මෙන් මැරෙන්නට ඉඩ දුන් නිසාය. ඇයගේ අවසන් කටයුතු සඳහා විශ්මාගේ සහෝදරියන් දෙදෙනාද ටෝකියෝවට පැමිණි අතර පසුගිය මැයි 16 දින ජපානයේ නගෝයාහි දී මලින් සැරසූ ඇයගේ දේහයේ අවසන් කටයුතු සිදුවිය.

මේ වන විට විශ්මාගේ මරණය සම්බන්ධයෙන් ජපානයේ ටෝකියෝ හි මානව හිතවාදී ක්‍රියාකාරීන් විසින් පවසන්නේ ඇයගේ මරණය සාවද්‍ය මිනිස් ඝාතනයක් ලෙස හුවා දක්වමිනි; එපමණක් නොව ජපානය සංක්‍රමණ පනත් කෙටුම්පත උල්ලංඝනය කළ බවටද චෝදනා නැගුණි. ඒ ඇයට අවසාන කාලයේදී කිසිදු ප්‍රතිකාරයක් නොකර මරණයට පත්වීමට ඉඩ හැර ඇති බවකි. 2017 ජපානයට ගිය විශ්මාට සිය අධ්‍යයන කටයුතු කරගන්නට නොහැකි වූයේ අතැති මුදල් අහවර වීමෙනි. මේ නිසා 2018 සැපැතැම්බර් මාසයේ ඇය සරණාගත තත්ත්වය ඉල්ලුම් කළ හෙයින් මාස දෙකක් රැඳී සිටිමට අවසර ලැබුණි. නමුත් ඒ වසරේම දෙසැම්බරයේ එය අලුත් කිරීමට ඇය උත්සාහ කළ ද සරණාගතභාවය නොලැබීමේ විපාකය වූයේ ඇයගේ පදිංචි ස්ථානය අහෝසි වීමත්, ඇයට ජපානයේ රැඳී සිටීමට අවසර හිමි නොවීමත්ය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී ඇයට නැවතත් ලංකාවට පැමිණීමට මුදල් නැති වූ බව සැලය. මේ නිසා 2020 අගෝස්තු මාසයේ ඇය නගෝයා හි රැඳවුම් මධ්‍යස්ථානයට යන්නේ නැවතත් මවු රටට යන තෙක්ය.

සියල්ල සිදු වන්නේ එතැන් සිටය. විශ්මා මාස හතරක පමණ කාලයක් තාවකාලික නිදහසක් බලාපොරොත්තුවෙන් ජපානයේ නගෝයා ආගමන විගමන මධ්‍යස්ථානයේ රැඳී සිටියදී ඇයගේ බර කිලෝ ග්‍රෑම් 19 ක් අඩුවී ඇත. ඒ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගටම පිරිහී යාම නිසාය. ඇයගේ මරණය සිදුවූ කාලයේ ඊට හේතු සාධක කියවුණේ කුසගින්නේ සිටිමින් සිය මවු රටට යවන මෙන් ඇය කළ උපවාසය හේතුවෙන් මියැදුණ බවකි. කෙසේ වෙතත් ඇය රැඳවුම් මධ්‍යස්ථාන ගත වූ කාලයේ සිටම ඇය වරින් වර වමනය කළ බවට පැමිණිලි ඇත. මෙවැනි රැඳවුම් මධ්‍යස්ථානයක සිටියවුන් පිළිබඳ වගකීම් විරහිතව කටයුතු කිරීමේ හැකියාවක් නැත. එසේ නොවුණි නම් එය ජාත්‍යන්තරව පරීක්ෂණයක් සිදුවිය යුතු කරුණකි. මේ සම්බන්ධව අදහස් දක්වන ජපානයේ මානව හිතවාදී ක්‍රියාකාරීන් පවසන්නේ අදාළ ආයතන බලධාරින් ඇය කෙරෙහි අඩු අවධානය යොමු කරමින් මියැදෙන්නට ඉඩහළ බවකි.

මේ වසරේ ජනවාරි මාසයේ ඇය සිය දුර්වල සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පැමිණිලි කරන්නට විය. පෙබරවාරි මස වන විට ඇගේ සෞඛ්‍ය තත්ත්වය කොතරම් දුර්වල වූයේද කියතහොත් ඇවිදීමට, නැගිටීමට පවා නොහැකි වූ අතර වැසිකිළියට යාමටද එම ආයතනයේ කාර්ය මණ්ඩලයේ සේවය අපේක්ෂා කරන්නට සිදුවිය. මේ වන විට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය රුධිර පරීක්ෂණ මඟින් පිරික්සූ බලධාරීහු පවසන්නට වූයේ සිරුරේ රතු රුධිර සෛල වැඩි වීමක් හෙවත් mild polycythemia තත්ත්වයෙන් ඇය පෙළී ඇති බවකි. නමුත් මේ වන විට මොහොතින් මොහොත අසධ්‍ය තත්ත්වට පත් වන විට එම ආයතනය බාර වෛද්‍යවරයා පවසා ඇත්තේ තවත් මාස දෙකකින් පමණ ඇයගේ රුධිර පරික්ෂාවක් සිදු කරන ලෙසය. නමුත් එදිනම විශ්මා ලේ වමනය කරන්නට වූ අතර ඒ අවස්ථාවේදීද ඇයව රෝහල්ගත කිරීමක් කර නැත. නමුත් ඉන්පසු ගෙවී ගිය දින කිහිපයේදිද ඇය දිගින් දිගටම ලේ වමනය කරන්නට වූ අතර බලධාරීන් කළේ ඇයගේ රෝගී තත්ත්වය නිසාවෙන් තනි කාමරයක ඇයව නැවැත්වීමය. මේ වන විට ඇය සිටියේ ඇඳ මත වැතිරී වැසිකිළි පවා යාමට නොහැකි තත්ත්වයකය. මේ අතර විශ්මා දැඩි ලෙස ගැස්ට්‍රික් හා මල බද්ධ රෝගයෙන්ද පීඩා විඳි අතර ඇයගේ තත්ත්වය සොයා බැලූ කිහිප දෙනෙක් පවසා ඇත්තේ ඇයව රජයේ රෝහලකට හෝ ගෙන ගොස් කැතිටරයක් හරහා හෝ බෙහෙත් ලබා දෙන ලෙසය. නමුත් වෛද්‍යවරු විසින් එයත් අනුමත නොකළ අතර සිදුවූයේ ඇයව මනෝ චිකිත්සක උපදෙස්වලට යොමු කිරීමකි. ඒ ඇගේ මරණයට දින දෙකකට පෙරය. එම මනෝ චිකිත්සකවරයා පවසා ඇත්තේ ඇයට වැළඳී ඇත්තේ ශාරිරික රෝගාබාධ නොව මානසික රෝගා බාධයක් බවය. කිසිදු නිශ්චිත ප්‍රතිකාරයක් නොලැබ දුරු රටකදි අවසන් හුස්ම හෙළන්නට සුදානමින් සිටි මේ දැරියගේ මරණයට පැය කිහිපයකට පෙර රුධිර පීඩනය හා හෘදය ස්පන්දනය පරීක්ෂා කිරිමට පැමිණි නිලධාරින්ගේ උපකරණවලද දෝෂ පැවතුනෙන් එය මැනීමටද නොහැකි විය. මේ වන විට ඇය සිටියේ වේදනාවෙන් හුස්ම ගනිමිනි.

මාර්තු 6 වැනි දින ඇය හුස්ම ගත්තේ බලවත් අපහසුවෙනි. හුදෙකලා කාමරයේ පැය ගණනක් ඇය වේදනාවෙන් කෙඳිරි ගෑවාය. කිසිදු හදිසි ප්‍රතිකාරයක් ඇයට ලැබුණේ නැත. සවස 2 පමණ වන විට ඇයගේ වේදනාවෙන් හුස්ම ගැනීම නැවති ජිවිතයෙන්ද පලා ගොස් තිබුණි.

කෙසේ වෙතත් තාක්ෂණයෙන් ඉතා දියුණු ජපානය ඇයගේ මරණයට හේතුව හඳුනා ගෙන නොතිබ්බේ ඇයි? එය වුවමනාවෙන් වසන් කළා ද? මරණ සහතිකයේ සඳහන් වූයේ මරණයට හේතුව උග්‍ර රක්තපාත හිඟකම බවයි. අප්‍රේල් 9 දින නිකුත් වූ අතුරු වාර්තාවකින්ද කියවුණේ ඇයගේ මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කිරිමට නොහැකි බවකි. කෙසේ වෙතත් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ඇය ජිවිතය යදින විට ලේ බිඳුවක් හෝ ලබා දීමේ වගකීම තිබුණි. නමුත් කිසිදු වෛද්‍යවරයෙක් ඇය රෝහල්ගත කරන ලෙස දන්වා තිබුණේ නැත. ඇගේ ආධාරකරුවන් පැවසුවේ විශ්මා රෝද පුටුවක් භාවිත කළ අතර ඔවුන් ආගමන මධ්‍යස්ථානයේදී ඇය හමු වූ විට වමනය දැමූ බවයි. මාර්තු 3 වන දින ඔවුන් ඇයව අවසන් වරට මුණගැසුණු විට ඇගේ දෑස් කුහර වී ඇති බවත්, ඇගේ මුඛය වටා පෙන ඇති බවත් ඇගේ ඇඟිලි තදින් ඇති බවත් දිස්වූ බවකි.

ශ්‍රී ලංකාවේ විශ්මාගේ මරණයෙන් පසු ආගමන විගමන නිති සම්බන්ධයෙන් ටෝකියෝවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට උපවාසයක්

 

ආගමන විගමන බලධාරීන්ගෙන් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස හෝ ඇයට තාවකාලික නිදහස් කිරීමක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිට ඇත.

තාවකාලික නිදහස් කිරීමක් යනු විදේශීය රැඳවියන්ට ආගමන මධ්‍යස්ථානවලින් නිදහස් කළ හැකි එකම ක්‍රමයයි. එහෙත් ආධාරකරුවන්ගේ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ බව අවසානයේ ඔවුහු පැවසූහ. මාර්තු 4 වන දින විශ්මා දුටු මනෝචිකිත්සකවරියක් ඇයට තාවකාලික නිදහස් කිරීමක් ලබාදෙන ලෙස නිර්දේශ කර ඇති අතර, ඇය නිදහස් වූවහොත් ඇගේ තත්ත්වය යහපත් අතට හැරවිය හැකි බව නාගෝයා ආගමන මධ්‍යස්ථානයට පවසා ඇත.

තමන්ගේ අසාධ්‍ය තත්ත්වයේදීද විශ්මා ප්‍රතිකාර අපේක්ෂා කර ඇත. ඇය සිය හිතවතුන්ට පවසා ඇත්තේ තමන්ට දැඩි ලෙස අසනීප බවත්, ආගමන මධ්‍යස්ථානයේ රැඳී සිටින නිසා ඔවුන් තමන්ව ප්‍රතිකාර මධ්‍යස්ථානකට ගෙන නොගෙන යන බවත්, මේ වන විට තමන්ට ප්‍රතිකාර දැඩි ලෙස අවශ්‍ය බවත්ය. START ආයතනයේ යසුනෝරි මාට්සුයි විශ්මා හමුවීමට ගොස් ඇත්තේ දෙසැම්බර් මාසයේය. ඒ වන විටත් ඇයගෙ රෝගී තත්ත්වය නිසාවෙන් ඇයව රෝහල් ගතකරන ලෙස බලධාරීන්ගේ ඉල්ලා සිටි බවත්, එහිදී බලධාරීන් පවසා ඇත්තේ එය අවශ්‍ය නොවන දෙයක් බවයි. මේ වන විට ඇයගේ මරණය සම්බන්ධයෙන් සත්‍යය හෙළි කරන ලෙස කම්කරුවන්ට සහ සරණාගතයන්ට සහාය දක්වන ජපාන කණ්ඩායම් රැසක් ඉල්ලීම් කර ඇති අතර ලංකාවේ සිටින විශ්මාගේ සහෝදරියන්ද ජපානයට ගෙන්වා ගෙන ඇත්තේ ඊට සහය පළ කිරිමක් වශයෙනි. ඔවුන් පවසා සිටින්නේ මෙය සමාව නොදිය හැකි වරදක් වන අතර සරණාගතයන් සම්බන්ධ ජාත්‍යන්තර නීතියට පිටින් සිදුකළ වරදක් බවය. ඇයට මරණයට පාර කැපු බවත්, වෛද්‍ය ප්‍රතිකාර නොසලකා හැරි බවත් මේ විරෝධතාකරුවන්ගේ තර්කය වී ඇත්තේය. ජපාන ආගමන මධ්‍යස්ථාන ප්‍රධානියා සහ අධිකරණ අමාත්‍යවරයා මේ වනවිට ජපානයට ගොස් සිටින විශ්මාගේ සහොදරියන් හමුව පවසා ඇත්තේ “ සිදුවූ දේ ගැන කණගාටුයි. මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරනවා “ යනුවෙන් පමණි. මේ පිළිබද මෙරට තානාතිපති කාර්යාල සම්බන්ධ වගකීමද මෙහිදී අවධාරණය කර ඇත. තම රටවැසියන් නියාමනය කිරිමේ යාන්ත්‍රණයේ අඩුපාඩු ද මෙහිදි ඉස්මතු කළේය. මෙහි කණගාටුදායක කරුණ වී ඇත්තේ ඇයගේ මරණයක් සමඟ ම ගෙවී ගිය වසරේ එවැනිම වූ තවත් ජපන් නොවන රැඳවියන් 14 දෙනෙකුගේ මිය යෑමය.

සංක්‍රමණ නීතිය සංශෝධනය කිරීම සඳහා වූ මතභේදාත්මක පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුව විසින් විවාදයට ලක් කිරීමත් සමඟ මෙම ශ්‍රී ලාංකික කාන්තාව ඇතුළු මෙම මරණ කරලියට පැමිණි අතර මෙහිදී අවධාරණය වූයේ ජපානයේ සරණාගතයන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවය.

පිටුවහල් කිරීමේ නියෝගයන්ට මුහුණ දී සිටින විදේශිකයන් දීර්ඝ කාලයක් එවැනි තැන්හි රඳවා තබා ගැනීම මෙන්ම සංක්‍රමණ නීතිය සංශෝධනය කිරීමේ මතභේදාත්මක පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් 2021 අප්‍රේල් 15 වන දින ටෝකියෝහි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට රැළියක් දියත් වූයේ එහෙයිනි. මොවුන් පවසන්නේ විශ්මාගේ මරණයට හේතුව අභිරහසක්ව පවත්නා තෙන් ජපානයේ මේ සංක්‍රමණික ගැටලුවලට විසඳුමක් නොලැබෙන බවකි. එසේම ජපානය පිළිගන්නේ සරණාගත අයදුම්පත් වලින් 1% ක් පමණි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයද පිටුවහල් කිරීම සඳහා සරණාගත අයදුම්කරුවන්ගේ අත්හිටුවීමේ බලපෑම ඉවත් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතට දැඩි කනස්සල්ල පළ කළේය. අවමංගල්‍ය උත්සවය සඳහා මැයි 1 වනදා ජපානයට පැමිණි විෂ්මාගේ සහෝදරියන් දෙදෙනාද ජපානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේ සිය සොහොයුරිය මිය ගියේ කෙසේද යන්නයි. සරණාගතයන් වෙනුවෙන් කතා කරන නීතීඥයන් අධිකරණ අමාත්‍ය යෝකෝ කමිකාවාගෙන් ඉල්ලා ඇත්තේ රැඳවුම් භාරයේ සිටියදී විෂ්මාගේ සෞඛ්‍ය තත්වය පිරිහී ඇති ආකාරය දැක බලා ගැනීම සඳහා නාගෝයා සංක්‍රමණික මධ්‍යස්ථානයේ වීඩියෝ දර්ශන නිකුත් කරන ලෙසයි. නමුත් විෂ්මාගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සහ ආරක්ෂක හේතු මත කමිකාවා එම වීඩියෝ පටය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

 

Comments